මහේන්ද්‍රන් කල පාඩුව සහ මහින්ද කළ පාඩු – භාතිය බරුකන්ද

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ආණ්ඩුවට එරෙහිව දේශපාලන සුනාමියක් කර ගැනීමට තැත් කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලියේ සියලූ සැලසුම් වේගයෙන් දුර්වල වන බවක් මේ වන විට පැහැදිලිව දැකිය හැකියි. එය දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් සියුම් ආකාරයෙන් තම දේශපාලන ප‍්‍රතිවාදීන් දුර්වල කිරීමට සේම ඔවුන්ට එරෙහිව ජනතාව තුළ මතයක් ඇති කිරීමට ද යොදා ගනිිමින් සිටින ආකාරයක් අපට සියුම්ව නිරීක්ෂණය කළ හැකියි.
මේ තත්ත්වය සරලව පැහැදිලි කරන්නේ නම් බැඳුම්කර කොමිෂමේ අවසන් වාර්තාවේ නිර්දේශ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, විශේෂයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම මැතිවරණයේදී තම දේශපාලන ප‍්‍රතිවාදීන්ට එරෙහි ප‍්‍රබල අවියක් ලෙස යොදා ගන්නා ආකාරයක් දැකිය හැකියි. එයින් එජාපයට හානියක් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව නොවුණත් අකමැත්තෙන් හෝ අපට එය එසේ වන බව පිළිගැනීමට සිදුවෙනවා. මේ තත්ත්වය තුළ එජාපයට දෛවෝපගත ආකාරයෙන් පොහොට්ටුවෙන් හා අතෙන් බැට කෑමට සිදුවෙලා තිබෙනවා. එය ඉතා පැහැදිලිව එජාපයේ මැතිවරණ ව්‍යාපාරය කෙරෙහි ඍණාත්මක බලපෑමක් සිදුකළ හැකියි.
කෙසේ වෙතත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හරහා එජාපයට එල්ල වන චෝදනා පෙරළා මහින්ද රාජපක්ෂ මහතාට වෙත තල්ලූ කිරීමට, එසේත් නැතිනම් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි කියන 2008 – 2015 මහා පරිමාණ ¥ෂණ ගැන යළි යළිත් අවධාරණය කරමින් තත්ත්වය තරමක් හෝ දුරට කළමනාකරණය කර ගැනීමේ අසීරු ප‍්‍රයත්නයක් ගන්නා ආකාරය ද දැකිය හැකියි. මෙයට මහින්ද රාජපක්ෂ යුගයේ බැඳුම්කර වංචා ගැන කොමිෂමේ නිර්දේශ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ද පුන පුනා අවධාරණය කිරීම මහත් රැුකුලක් වන බව ද පැහැදිලිව දැකිය හැකියි.
මෙවැනි තත්ත්වයක් මහින්ද රාජපක්ෂ විසින් අපේක්ෂා නොකළ බව පැහැදිලියි. ඔවුන් ඉතාම පැහැදිලිව බලාපොරොත්තු වුණේ බැඳුම්කර කොමිෂමේ වාර්තාව සඟවා ගනිමින්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරමින්, පාර්ලිමේන්තු විවාදය ලබා නොදෙමින් ආණ්ඩුව අත්තනෝමතිකභාවයක් ප‍්‍රදර්ශනය කරනු ඇති බවයි. එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතාමත් තීක්ෂණ ලෙස සිදුවීම කළමනාකරණය කර ගනිමින් සිටීම හමුවේ තව දුරටත් බැඳුම්කර සිදුවීම දේශපාලන වේදිකාව තුළ බලවත් තුරුම්පුවක් කර ගැනීමට පොහොට්ටුව දරන තැත ක‍්‍රමයෙන් දුර්වල විය හැකියි.
¥ෂණයට එරෙහි ධජය
පළාත් පාලන මැතිවරණ සටන තුළ ‘‘¥ෂණය’’ බලවත් මාතෘකාවක් වන බව ආරම්භයේදී දැකිය හැකි වුවත් අද එය ක‍්‍රමයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔසවා ගෙන යන ධජයක් බවට පත්ව තිබෙනවා. එජාපය සුපුරුදු පරිදි ආර්ථික සංවර්ධනය ගැන තම දැක්ම හා ප‍්‍රතිපත්ති ජනතාව හමුවේ අවධාරණය කරමින් ස්වාධීන මාවතක් නිර්මාණය කර ගනිමින් සිටිනවා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයේ සෑම මැතිවරණ රැුළියක් තුළ ම දැඩිව අවධාරණය කරන්නේ ආර්ථික සංවර්ධනය ගැන බවයි අපට නිරීක්ෂණය වන්නේ. දේශපාලන නිරීක්ෂකයින්ට අනුව මෙය එජාපය සම්බන්ධයෙන් අතිෂයින් සාධනීය තත්ත්වයක් නිර්මාණය කිරීමට දායක විය හැකියි. උදාහරණයක් වශයෙන් පසුගිය දෙවසර තුළ අතිෂය අසීරු අඩියක තිබූ විදේශ ණය ගෙවීම් නිසි පරිදි කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකිවීම, විපක්ෂයේ දැඩි බාධා කිරීම් හා චෝදනා කිරීම් මධ්‍යයේ සිදු වූ හම්බන්තොට වරාය ගිවිසුම අපේක්ෂිත පරිදි කි‍්‍රයාත්මක කළ හැකි වීම වගේම අපනයන ආදායම සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කිරීම එජාපයට තම ආර්ථික හැකියාවන් ගැන උදම් ඇනීමට හැකි පහසු වාතාවරණයක් නිර්මාණය කොට තිබෙනවා. එනියා බැඳුම්කර කොමිෂම සහ මේ වන තෙක් ප‍්‍රසිද්ධ නොකළ බරපතළ වංචා හා ¥ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වාර්තා 34 තමා සන්තකයේ තබා ගනිමින් ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන මහතා ¥ෂණයට එරෙහිව ගෙන යන සටනින් ඈත්ව ස්වාධීන ගමනක් යාමට එජාපයට අවස්ථාව හිමිවෙලා තිබෙනවා. මේ තත්ත්වය එජාප පාක්ෂිකයින්ගේ වගේම එජාප පළාත් පාලන අපේක්ෂකයින්ගේ ද සැනසිල්ලට හේතු වෙලා තිබෙනවා.
‘‘අපි හිතුවේ අපිව නැත්තටම නැති වෙයි කියලා. ඒත් දැන් නම් තත්ත්වේ ටිකෙන් ටික යහපත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමත් වැඩි බරක් දෙන්නේ මහින්ද රාජපක්ෂලාට ගහන්න බවයි පේන්නේ. ඒ වගේම කොමිෂම 2008 – 2015 ගැන සඳහන් කළ නිසා අපි යාන්තම් ගොඩ ගියා. දැන් මහින්ද රාජපක්ෂට කියන්න දෙයක් නැහැ. අර කොමිෂන් සභා වාර්තා 34ත් එළියට දැම්ම නම් අපි ගොඬේ ගොඩ ’’
මේ මෙවර පළාත් පාලන මැතිවරණයට එජාපයෙන් තරඟ වඳින බියගම පැත්තේ අපේක්ෂකයෙක් මේ ලේඛකයා සමග කළ කතාවක්. මෙවැනි කතා රැුසක් එජාප අපේක්ෂකයින්ගෙන් අසන්න පුළුවන්.
‘‘ජනාධිපතිතුමා ¥ෂණයට එරෙහි සටන අතට ගත්ත එක ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ. අපි කැමැති ආර්ථිකය, සංවර්ධනය ගැන කතා කරන්නයි. ඒ නිසා අපි දැන් කිසිම බයක් නැතිව වැඩ කරනවා. පොහොට්ටුවට තමයි සටන් පාඨ නැති වෙලා තියෙන්නේ ’’ හොරණ ප‍්‍රාදේශීය සභාවට තරඟවඳින එජාප අපේක්ෂකයින්ගේ පොදු හඬ බවට මෙය පත්ව තිබෙනවා.
බැඳුම්කරය බුමරංගයක් වීම
මුලින් සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලියට බැඳම්කර කොමිෂන් සභා වාර්තාව දේශපාලන බුමරංගයක් වුණේ 2008 – 2015 බැඳුම්කර ¥ෂණ ගැන කොමිෂම දැඩිව අවධාරණය කළ නිසා බව පැහැදිලියි. ඒත් 2008 – 2015 බැඳුම්කර ¥ෂණ ගැන නොතකා වුණත් මහින්ද රාජපක්ෂ පාලනය විසින් මීට වඩා සිය දහස් ගුණයක් ජාතික ධනය රටට අහිමි කරලා තිබෙන බව, සොරා ගෙන තිබෙන බව, පිල්ලි යවා තිබෙන බව ජනතාව දැඩිව විශ්වාස කරනවා. අධිකරණයමය ක‍්‍රියාමාර්ග තුළින් ඔප්පු වෙමින් තිබෙනවා. ‘‘කෝ හොරු ඇල්ලූවාද ?’’ යනුවෙන් පොහොට්ටු කල්ලිය කියන ඔච්චම් කතාවලට වඩා වැඩි හඬක් අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොමිෂන් සභා වාර්තා උපුටා දක්වමින් කරන කතා තුළ තිබෙනවා.
‘‘මේක ලංකාවේ නීතියේ තිබෙන පොදු දුර්වලතාවක්. අපරාධය කළ බව ඔප්පු කිරීමට සිදුවෙලා තිබෙන්නෙත් අපරාධයෙන් පීඩාවට පත් වුණ වින්දිතයාටම තමයි. චූදිතයාට ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඉතිං වින්දිතයා කොහොම හරි අපරාධය කළා කියලා ඔප්පු කළ යුතුමයි. සැකයේ වාසිය චූදිතයාට මිසක් වින්දිතයාට නෙමෙයි. මේ තත්ත්වය තුළ තමයි පසුගිය රාජපක්ෂ යුගයේ කළ සියලූම අපරාධ වැහිලා ගිහින් තියෙන්නේ. ඒක මූල්‍ය අපරාධවලට විතරක් නෙමෙයි, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, වාසීම් තාජුඞීන් ඝාතනය කිරීම, ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වැලිකඩ බන්ධනාගාර රැුඳවියන් ඝාතනය කිරීම වාගේ සිදුවීම්වලටත් එක වාගේ අදාළයි. මේ සියල්ල සිදුවෙලා තිබෙනවා. ලසන්ත වෙඩි තබා ඝාතනය කළා, තාජුඞීන් ඝාතනය කළා. ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වෙලා. ඒත් මේවා අධිකරණය ඉදිරියේ ඔප්පු කර පෙන්විය යුතුයි. මේක ඉතාම අසීරු, කාලයක් ගත වෙන දෙයක්. ඒ නිසා අද පරාජිත රෙජිමයට ජනතාව ඉදිරියේ පිරුවට ඇඳගෙන ඉන්න පුළුවන් වෙලා තිබෙනවා’’ සිවිල් අපරාධය හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අද පවතින ව්‍යාකූලත්වය නීතිඥයින්ගේ විමසුමට ලක්වන්නේ මේ ආකාරයෙනුයි.
‘‘මේකත් හරියට, සියඹලා ගෙනාවේ ම නැද්ද?’’ කියලා අහපු කතාව වාගේම තමයි’’ ඔහු තව දුරටත් කියනවා.
මහේන්ද්‍රන්ට එරෙහිව මහේන්ද්‍ර
2015 මාර්තු මාසේ සිට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපතිවරයා නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂයේ සහ රාජපක්ෂවාදී ජනමාධ්‍යවල හොඳම බයිට් එක වුණේ බැඳුම්කර සිදුවීමයි. මහින්ද රාජපක්ෂ යුගයේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ නම සඳහන් කරන ප‍්‍රවෘත්තියක් විකාශනය වන විට ‘‘බීප්… බීප් ’’ ගාපු ඇතැම් විද්‍යුත් මාධ්‍ය වගේම මූල්‍ය වංචා සම්බන්ධ වෝදනාවලට මුහුණ නොදී දිගින් දිගටම අධිකරණයෙන් වාරණ නියෝග ගන්න මාධ්‍ය මුදලාලිලාට අයත් පුවත්පත් පවා මේ බැඳුම්කර කොමිෂම එජාපය නායකත්වයට එරෙහිව සමාජය කුපිත කිරීමට, එජාප නායකයාගේ දේශපාලන ජීවිතය වැනසීමට ඇමක් ලෙස යොදා ගත්තා.
එහෙත් ප‍්‍රශ්නය, පොදු ප‍්‍රශ්නය තිබුණේ ඊට බොහෝ ඈතින් බව අප පිළිගත යුතුයි. බැඳුම්කර කොමිෂම හෙළිකරන ආකාරයට බැඳුම්කර වංචාව හරහා රජයට සිදුව ඇතැයි කියන මූල්‍ය අලාභය රුපියල් බිලියන 9.1ක් පමණයි. කොමිෂමට අනුව මෙය අයකර ගැනීමට ද හැකියාව තිබෙනවා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා සඳහන් කළ පරිදි බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ ඩොලර් බිලියන 12ක් මේ වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගෙන තිබෙනවා. ඒ අනුව බැඳුම්කර කොමිෂම හරහා රටට අහිමි වූ සියලූම මුදල් එක සතයක් නෑර යළි ලබා ගත හැකියි. ඒ නිසා එජාපය දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවමින් සිටින බැඳුම්කර වංචාව හරහා අවසානයේ රටට කිසිදු අගතියක් වන එකක් නැහැ. ඒත් ප‍්‍රශ්නය වන්නේ බැඳුම්කර කොමිෂම කියන ආකාරයට 2008 – 2015 බැඳුම්කර වංචාවලින් රටට අහිමි කළ ජාතික ධනය යළි අත්පත් කොට ගැනීමට හැකියාවක් තිබේවිද ? මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය එදාට අද මෙන් නීතියේ ආධිපත්‍ය, බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ සඳහන් ආකායට ¥ෂිතයින්ට දඬුවම් කළ යුතු බව කියමින් රට හොල්ලයිද ?
මේ ප‍්‍රශ්නයට උත්තරය ඉතාම පැහැදිලියි. රාජපක්ෂ කල්ලිය තමන්ගේ කිල්ලෝටවල හුණු සෙවීමට කිසිසේත් ඉඩ නොදෙන බව පැහැදිලියි. ඒ බව ඔවුන් පසුගිය කාලය තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා පැහැදිලි කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ගත හැකියි. ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්්ෂණවලට ගෝඨාභය රාජපක්ෂ කිසිදු සහායක් ලබා දෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂගේ මල්වාන මාළිඟවා, යෝෂිත රාජපක්ෂගේ දෙහිවල ගෙවල්, සී.එස්.එන් නාලිකාව, සිරිලිය ගිනුම ආදී කිසිවකට රාජපක්ෂ පවුල තුළන් සහයෝගය ලැබෙන්නේ නැහැ. ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් අධිකරණය මඟ හැරීම පුරුද්දක් බවට පත්කර ගෙන තිබෙනවා.
වෙහෙරත් ගිල්ල පාලනයක්
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ රාජ්‍ය ධනය කොල්ලකෑම හා පිල්ලි ගැසීම ගැන කිසිමදාක විගණනයක් සිදුකළ නොහැකි බව අද කවුරුත් පොදුවේ පිිළිගන්නා කරුණක්. ඒ නිසා මේ කල්පය පවතින තුරු රාජපක්ෂ ආණ්ඩුව විසින් රටට අහිමි කළ ජාතික ධනය ගැන සංඛ්‍යා ලේඛන ජන සාහිත්‍යය තුළ, ජනමාධ්‍යවල පමණක් රැුඳී තිබෙන කතාවක් වේවි.
ඊට හේතුව පැහැදිලියි. මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා රටට රුපියල් කෝටි 910ක් අහිමි වූ බවට චෝදනා කරන මහින්ද රාජපක්ෂ මහතාට තම ගෝලබාලයින්, විශේෂයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ අනුමැතිය යටතේ සිදු වූ ‘‘හෙජිං ගනුදෙනුව’’ මගින් රටට අහිමි වූ රුපියල් කෝටි 12000 වගේම අජිත් නිවාඞ් කබ්රාල්ගේ තවත් වික‍්‍රමයක් විදිහට සැලකෙන ‘‘ග‍්‍රීක බැඳුම්කර’’ ගනුදෙනුව හරහා රටට අහිමි වූ බව කියන රුපියල් කෝටි 380 ගැන කිසිදු මතකයක් නොවීම පුදුමයක් නොවෙයි. ඒ වගේම ඊනියා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ලංකාවට (හම්බන්තොටට* ලබා ගැනීම සඳහා අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා සමග විනාශ කළ ජාතික ධනය ගැන කිසිම තැකීමක් නැහැ. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙවැනි තවත් වික‍්‍රමයන් රැුසක් තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ මහ බැංකු අධිපතිවරයා විසින් ඍජුවම රුපියල් කෝටි 15,000කට අධික මුුදලක් රටට අහිමි කරලා තිබෙනවා.
මේ කතාව තවත් දිගට යනවා. ඇමැති පාඨලී චම්පික රණවකට අනුව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පිිහිටි ගාලූ මුවදොර පිටියේ ඉඩම චීන සමාගමට සින්නක්කරව විකිණීම අතිෂයින් ¥ෂිත ගනුදෙනුවක්. එහිදී අත යටින් දැවැන්ත මුදලක් හුවමාරු වූ බවට ප‍්‍රබල සැකයක් ¥ෂණ විරෝධීන් අතර තිබෙනවා. ඒ සියල්ල පසෙක තිබියදී පවා යුද්ධ හමුදා මූලස්ථානය ඉවත් කර ගැනීමට සිදුවීම සමග ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යාල පහසුකම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 500ක් විවිධ ආයතනවලට කුලී වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. එය 2025 දක්වා සිදුවිය හැකියි. මේ අනුව රටට අහිමිවන ජාතික ධනය ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයාට සේම මහින්ද රාජපක්ෂ මහතාට කිව හැක්කේ කුමක්ද ?
එයාර් ලංකා – මිහින් ලංකා
පසුගිය කාලය තුළ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම තුළ සිදුව ඇතැයි කියන ¥ෂණ සෙවීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂමක් පත්කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ යුගය තුළ ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටි නිශන්ත වික‍්‍රමසිංහ මහතා සහ මිහින් ලංකා ප‍්‍රධානියාව සිටි සජින් වාස් ගුණවර්ධන හිතූමතේ මේ ආයතන උලා කෑ බව මේ වන විටත් සාක්ෂි සහිතව ඔප්පු වෙලා තිබෙනවා. විශේෂයෙන් ජේ.සී වැලිඅමුණ වාර්තාව නිශාන්ත වික‍්‍රමසිංහ ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට කළ දැවැන්ත හානිය ගැන සවිස්තරව දක්වා තිබෙනවා. එහෙත් පුදුමයට කරුණ වන්නේ බැඳුම්කර කොමිෂම ගැන කිඹුල් කඳුුළු හෙළන මහින්ද රාජපක්ෂ මහතාට අද මේ කිසිවක් ගැන අල්පමාත‍්‍රයක හෝ පසුතැවීමක් නොතිබීමයි.
සුදු අලි හරහා කළ විනය
මහින්ද රාජපක්ෂ යුගයේ පුරාජේරුව විදිහට සැලකෙන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ හරහා පසුගිය කාලය තුළ රටට අහිමි වූ ජාතික ධනය ගැන සිතා ගැනීමටවත් නොහැකියි. චීනයෙන් ලබාගත් ගිනිපොළී ණය හරහා ඉදිකළ මෙම දැවැන්ත ව්‍යාපෘතිවලින් අදත් යම් පමණකට හෝ ආර්ථික ක‍්‍රියාවලියට දායක කර ගැනීමට සමත්ව ඇත්තේ හම්බන්තොට වරාය පමණයි. නැව් නොමැතිව, ගුවන් යානා නොමැතිව අම්බලම් බවට පත්ව තිබූ මේ සුදු අලි රටට කොතරම් ජාතික ධනයක් අහිමි කළාද යන්න ගැන අදත් නිශ්චිත සංඛ්‍යා ලේඛන නැහැ.
විදේශ විනිමය අහිමි කිරීම
ඇඟළුම් අපනයනය මගින් රුපියල් කෝටි 62,000ක ආදායමක් උපයා ගැනීමට 2017 වසරේදී හැකියාව ලැබුණු බව පසුගිය දා අගමැතිවරයා හෙළි කළා. ඒ වගේම යුරෝපයට මාළු අපනයනය කිරීම මගින් ද දැවැන්ත විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගැනීමට රටට හැකියාව ලැබුණා.
ඒත් මේ දෙඅංශයම පසුගිය පාලන සමය තුළ සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුණ බව අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ප‍්‍රශ්න මත ලංකාවට අහිමි කළ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය මගින් අති දැවැන්ත විදේශ විනියම ප‍්‍රමාණයක් රටට අහිමි වූ බව අපට පැහැදිලියි. එමෙන්ම යුරෝපා සංගම් මත්ස්‍ය තහනම ද රටට දැවැන්ත විදේශ විනියමය කන්දක් අහිමි කළා. මේ සියල්ල සිදු වුණේ පසුගිය ආණ්ඩුව සමයේ පැවැති අයහපත් මානව හිමිකම් වාර්තා නිසා බව අප අමතක නොකළ යුතුයි.
ගම උලාකෑම
අද මහින්ද රාජපක්ෂ මහතා සමග කල්ලි ගැසී සිටින විමල් වීරවංශ, මහින්දා නන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අදීන්සේම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ද හිතූමතේ මහා භාණ්ඩාගාරය හිස් කළ බව, රාජ්‍ය සම්පත් හා ධනය අවභාවිත කළ බව අප අමතක නොකළ යුතුයි. ගම නැඟුම, මග නැඟුම, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දිවිනැගුම ආදී ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහා බැසිල් රාජපක්ෂ විසින් ගමට පොම්ප කළ දැවැන් මුදල් කන්දරාව ගලාගෙන ගියේ අද පොහොට්ටුව සමග මඩ තලන ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සාක්කුවලටයි. අප ඒ බව කිසිසේත් අමතක නොකළ යුතුයි.
අපට මේ ශේෂ පත‍්‍රය තවත් දුරට විමසා බැලිය හැකියි. එවිට අපට ඉතා පහසුවෙන් පැහැදිලි වනු ඇත්තේ ‘‘අර්ජුන මහේන්ද්‍රන්ට වඩා දැවැන්ත මූල්‍ය හානියක් පර්සි මහේන්ද්‍ර විසින් රටට සිදුකර ඇති බවයි.
මේ තත්ත්වය තුළ අද රටේ ජනතාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කළ යුත්තේ ‘‘මහේන්ද්‍රන්ගේ පැටිකිරිය සෙව්වා සේ මහේන්ද්‍රගේ ද පැටිකිරිය සොයන ලෙසයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *