පුංචි ඡන්දය විස්ථාපනය වූ දේශපාලන ආභාසයක්? – ආචාර්ය ජයන්ත සෙනෙවිරත්න

පළාත් පාලන මැතිවරණය උණුසුම්ය. කෙනෙක් මෙය ආණ්ඩුවේ ගෙවුණු වසර 2 පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටිති. තවකෙක්, ආණ්ඩුවට පාඩමක් උගැන්වීමට මෙය අවස්ථාවක්කර ගත යුතු බව කියා සිටිති. ගමේ – නගරයේ පාලනය අතටගෙන ආණ්ඩු පෙරළියකට මගපාදාගත යුතු බව කියන කොටසක්ද වෙති. වඩාත් හාස්‍යජනක දේ වන්නේ පසුගිය රෙජීමයේ භීෂණ – දූෂණ ක්‍රියාවන් හෙළිදරව් කොට ඒවාට සම්බන්ධ උදවියට දඬුවම් පමුණුවන බව කියමින් බලයට පත් තව කෙනෙක් ඒ සම්බන්ධයෙන් නිද්‍රාගතව සිට ආණ්ඩුව ඇතුළත සුද්ධ පවිත්‍ර කිරීමට යැයි කියමින් දේශපාලන පිදුරු ගසක් ලෙසට මෙම මැතිවරණය තුළ එල්ලී සිටීමයි. ඒ සඳහා ආණ්ඩුවේ ඇතැමුන්ම ඉණිමන් සලසා දීමත් කුතුහලය දනවන්නක් වේ.

යුද්ධය යළි යළි වෙළෙඳාම් කිරීම, ජීවන වියදම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නය සහ රට බෙදීමේ භීතිකාව, බැඳුම්කරය, මතට තිත ආදී මාතෘකා පක්ෂ – විපක්ෂ දේශපාලකයින්ගේ ගැලවුම්කරුවා බවට පත්ව තිබෙන බව පෙනීයයි. ජාතික දේශපාලනයේ උණුසුම් මාතෘකා ගමට සහ නගරයට කාන්දුකොට තමන්ගේ දේශපාලන අභිලාෂ (උප්පරවැට්ටි) ඉටුකර ගැනීමේ කෙටි මගක් පාදා ගැනීමට ඔවුහු යුහුසුළුව ක්‍රියාකරමින් සිටිති.

ඒ කිසිවෙක් ගම නගරය දියුණු කරන්නේ කෙසේද ඒ පිළිබදව තමන් සතු සැලසුම් මොනවාද යන්න ගැන කතා නොකරති. අඩු වශයෙන් මේ මොහොතේ ගමේත් – නග‍රයේත් ඇති දැවෙන ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව හෝ කතා නොකරති. ඔවුන් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ දේශපාලන විනය තමන්ට අවශ්‍ය පරිදි සකස‍ා එය මෙම මැතිවරණය තුළින් එළියට ගැනීමය. තව කෙනෙකුගේ බිඳීගිය හෝ ඇල්මැරුණු දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීම පිණිස ප්‍රාදේශීය දේශපාලකයින් වුව යුහුසුළුව ක්‍රියා කරන්නේ ජාතික තලයේ දේශපාලකයන්ගේ මනදොළ සපුරා තම ඉදිරි පිම්ම ගැන තිබෙන සිහිනය ඇල්ලීම සඳහාය . එනිසා මෙම මැතිවරණය විස්ථාපනය වූ දේශපාලන අභ්‍යාසයක් ලෙස සැලකීම නිවැරදි යැයි සිතමි. එනම් සැබෑ දේ ආමන්ත්‍රණය කිරීම නොව වෙනත්‍ දෙයක් කරමින් සිටීමය.

මෙම මැතිවරණය වෙනදාට වඩා උණුසුම්වීමට තවත් හේතුවක් වී ඇත්තේ නව ක්‍රමය යටතේ තෝරාපත් කරගන්නා සභික සංඛ්‍යාව දෙගුණයක් වී තිබීමයැයි කිව හැක. (එය නම් තම ගොඩ වැඩිකර ගැනීමේ කදිම අවස්ථාවකි) එනම්, මහනගරසභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341ක් සඳහා සභික ධුර 8293ක් දක්වා ඉහළ නැග තිබීමයි. මහ නගර සභා 24ක්, නගරසභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඊට ඇතුළත්ය. පැවැති ක්‍රමය යටතේ සභික ප්‍රමාණය වූයේ 4327කි. එක්සත් නිදහස් සංධානය සඳහා ධුර 2639ක්ද, එක්සත් ජාතික පෙරමුණට ධුර 1157ක්ද, දෙමළ ජාතික සංධානයට 282ක්ද, ජනතා විමුක්ති පෙරමුණට 74ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ධුර 72ක් සහ ස්වාධීන 77ක් ආදී වශයෙනි. මිලියන 15.8ක් වූ ජනතාව මෙම ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබීමද සුවිශේෂී තත්ත්වයකි.

මෙම මැතිවරණයේ මා දකින වඩා සාධනීය ලක්ෂණයක් වනුයේ ස්ත්‍රී නියෝජනය 25% අනිවාර්ය වී තිබීමයි. ඒ අනුව මෙවර පළාත් පාලනය යටතේ ස්ත්‍රී සභික පිරිස 2000කට ආසන්න ප්‍රමාණයක් වනු නිසැකය. එසේ වුවද ස්ත්‍රී හඬ මැතිවරණ ව්‍යාපාරය තුළ තවමත් ඉස්මතුව පෙනෙන බවක් නොපෙනේ. නමුදු ඔවුනගේ භූමිකාව තම ප්‍රදේශවල ප්‍රශ්න සාධනීය ලෙස සහ අහිංසාවාදී ලෙස ආමන්ත්‍රණය සඳහා වනු ඇතැයි විශ්වාස කරමි.

පළාත් පාලන ක්‍රමය මඟින් ජනතාව බලාපොරොත්තුවන කාරණා කීපයක් වන්නේය. අප දන්නා පරිදි මධ්‍යම ආණ්ඩුව බෙහෙවින්ම තම අවධානය යොමුකරන්නේ ජාතික තලයේ කාරණය සම්බන්ධව පමණි. එනම්, රාජ්‍යයේ ජාත්‍යන්තර කටයුතු, විදෙස් පිලිවෙත්, රාජ්‍යයේ ආරක්ෂක කටයුත්ත, ආර්ථික හැසිරවීම, විදෙස් ණය සහ රාජ්‍යයේ අනාගතය සැලසුම් කිරීම, විරැකියාව, ජාතික ගැටලුව ආමන්ත්‍රණය කිරීම, ක්‍රමානුකූල ලෙස ගොඩනැංවූ සාපරාධීකාරී දේශපාලනයෙන් රාජ්‍යය මුද‍ාගැනීම ආදී දේ සඳහාය.

නමුදු ප්‍රජා න්‍යාය පත්‍රය තමන්ගේ ආසන්න ප්‍රශ්න විසඳාගැනීම සඳහා නාභිගත කිරීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ මංමාවත් දියුණු කර ගැනීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, සනීපාරක්ෂක කටයුතු, ඩෙංගු ඇතුළු වෙනත් සෞඛ්‍ය ගැටලු, පරිසරය පිළිබඳ ගැටලු සහ තම දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු ආදී දේ කෙරෙහිය. තමන් පළාත් පාලන ආයතන සඳහා ගෙවන බදුවලට සාපේක්ෂව ඒවා මඟින් සේවාවන් සැපයෙන්නේද යන්න විමසිලිමත්වීමත් ප්‍රජාව සතු කාර්යයකි. වෙනත් වචනවලින් කිවහොත් ආණ්ඩුකරණය (Governance)පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමය.

එනම්, තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම කරගන්නා තත්ත්වයට ජනතාව සවිබල ගැන්වීමය. එය වනාහී ආණ්ඩුවේ (Government) කර්තව්‍යයට වඩා එහා ගිය දෙයකි. රාජ්‍ය ආයතන සහ පළාත් ආයතන නිලධාරීන් නිලධාරිනියන් එක් පසකින්ද, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සමාජය සහ දේශපාලන පක්ෂ අනෙක් පසින්ද සිදුකරන අන්තර් ක්‍රියාවලියකට සක්‍රීය ලෙස දායකවීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසද එය සැලකිය හැක.

පුරවැසියන් හැටියට රාජ්‍යයේ සාර්ථකත්වය සඳහා දායක වීම අප සැමගේ වගකීමකි. ඒ සඳහා තීරණ ගැනීමේ සහ සහභාගී වීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට අප සැමට අවකාසයක් තිබිය යුතු ය. වසර පහක් සඳහා නියෝජිතයකු පත්කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. නියෝජිතයින් තෝරාගැනීමේදී ප්‍රජාව සතුව ද න්‍යාය පත්‍රයක් තිබිය යුතු ය. ඒ න්‍යාය පත්‍රයට ශබ්දය (Noise) පමණක් තිබුණාට මදිය. ක්‍රියාකාරී සහභාගිත්වයක්ද ලබාගත යුතු ය.

පළාත් ආයතනවලට මහා පරිමානයේ ආර්ථික සහ සමාජ යටිතල සංවර්ධනය සහ සේවා සැපයීම් කළ නොහැකි බව අපි දනිමු. ආර්ථික සංවර්ධන සැලසුම් සකස්කිරීම ඒවා ක්‍රියාවට නැංවීම, කළමනාකරණය සහ සම්බන්ධීකරණය ආදිය ජාතික මට්ටමින් කරනු ලබන්නේ මධ්‍යම රජය විසින් බවත් අපි දනිමු. සාමාන්‍යයෙන් මධ්‍යම ආණ්ඩුවේ පුරුද්ද වන්නේ වැඩසටහනක් දියත්කොට නිහඬවීමය. ඒවායේ ප්‍රතිලාභ හෝ විපාක විඳීම පිළිබඳ ගැටලුවලට පළාත් ප්‍රජාව මුහුණ දිය යුතු වන්නේය.

ඒ නිසා එවැනි සංවර්ධන කටයුතු පිළිබඳවද අවදියෙන් සිටීම පමණක් නොව ඒවාට සම්බන්ධවීම කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වන්නේය. මක්නිසාද යත්, රාජ්‍යයේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ පළාත් ආර්ථිකය ශක්තිමත් වන තරමට වන නිසා ය. ඒ නිසා පළාත් ආර්ථිකය කෙසේ විය යුතුද යන්න පිළිබඳව පළාත් පාලන ආයතනවලටද දැක්මක් තිබිය යුතු වේ. පළාත් පාලන වපසරිය දියුණු කරගැනීමෙහිලා එහි දිශානතිය (Local Direction) පළාත් තීරණගැනීමේ (Local Decision making) ක්‍රියාවලිය, මෙන්ම සැලසුම් ඉදිරියට ගෙනයාම (Forward planning) පළාත් ආර්ථිකය (Local Economy) ආයෝජනවල තත්ත්වය (Condition for investment), සහ සේවා සැපයීම් (Service providing) ආදී සියලු දේ කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

පළාත් පාලන ක්‍රමය මඟින් අලුතින් දේශපාලන නායකත්වයක් පුහුණුකිරීමද සිදුකරන බව සැබවි. මෙම නායිකාවන් සහ නායකයින් අභිෂේක ලද (Anointed) උදවිය නොව ප්‍රජාව තුළින් ඉස්මතු වන්නාවූ පුද්ගලයින්ය. පළාත් පාලන ආයතනයක් සාර්ථක වන්නේ ගුණාත්මක නායකත්වයක් (Quality Leadership) ඊට ලැබුණොත්පමණි. එසේම පලාත්පාලන භූමිය එම නායකයින් ප්‍රශ්න කරන ප්‍රජාතන්ත්‍රවාදී භූමියක්ද විය යුතු වන්නේය.

එම නියෝජිතයින් සතු වගකීම විය යුතු වන්නේ ජනතාවගේ අවශ්‍යතා සදිසි (Visible) කොට ඒවාට ප්‍රතිචාර දැක්වීම, ජනතාව දැනුවත් කිරීම, සජීවිකරණය, සංවිධාන කිරීම, පහසුකම්කරණය, ජනතාවගේ සම්පත් කළමනාකරණ කුසලතා පෝෂණය කිරීම සහ ස්වයං‍පාලන කුසලතා දියුණු කිරීමය. ඒ මගින් තමන්ගේ සහ ජනතාවගේ ස්වයංවර්ධනය, ආත්ම විශ්වාසය මෙන්ම සංවර්ධනයේ කොටස්කරුවන් වීමටද අවස්ථාව උදාවන්නේය. ඔවුන් විසින් ජනතාව සංවර්ධනයේ ප්‍රතිලාභවාදීන් බවට පත් කිරීමටද අවකාස සලසනු ලබන්නේය.

ඉහත කී කාරණා අනුව මෙවර පළාත් පාලන මැතිවරණය මගින්පළාත්පාලන ක්‍රමයෙන් බලාපොරොත්තුවන නිශ්චිත අරමුණු අපට ළඟා කරගත හැකිද යන ප්‍රශ්නය අප අභිමුඛව පවතී.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *