ව්‍යවස්ථා කොල්ලය – එම් ඕ ඒ ද සොයිසා

එක් අතකින් බලන විට ආණ්ඩුකරණය නැතිනම් රාජ්‍ය පාලනය ක්‍රීඩාවකට සමාන වේ. ක්‍රීඩාවක පදනම වන්නේ ක්‍රීඩා පිටියට බැසීමට ප්‍රථමයෙන් ක්‍රීඩකයින් ක්‍රීඩාවේ යෙදිය යුතු ආකාරය කෙරෙහි බලපාන නීතිරීති අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රීඩා කිරීමය. මේ හා සමානව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලන ක්‍රීඩාව කරන ක්‍රීඩකයින්ට අදාළ වන නීතිරීති පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. ඉතාම කෙටියෙන් කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පෙන්වා දෙන්නේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ දේශපාලන ආයතන පද්ධතියේ ව්‍යුහාත්මක පදනම, එම ආයතන සතු බලතල හා බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් බලපාන සීමාවන්, බලතල ක්‍රියාවට නැංවීම සඳහා සහභාගි වන පුද්ගලයින් කෙරෙහි බලපාන නීතිරීති සහ පුරවැසියන් සතු අයිතිවාසිකම් හා යුතුකම් යනාදියයි.

අනෙක් නීතිමය ලියවිලි සමඟ සසඳා බැලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුවිශේෂී වේ. මේ කෙරෙහි බලපාන හේතු කිහිපයක් තිබේ. එයින් එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය රටේ මූලික නීතිය ලෙස පිළි ගැනීමය. මේ අනුව රටේ අනෙක් නීති සෑදිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියට අනුකූලවය. දෙවන හේතුව ව්‍යවස්ථානුකූල නීතිය අති විශේෂ නීතිමය ආවරණයකින් ආරක්‍ෂා කර තිබීමය. මෙයින් අදහස් වන්නේ ව්‍යවස්ථානුකූල නීතිය හිතෙන හිතෙන විධියට නිරන්තරයෙන් වෙනස් නොකළ යුතු බව සහ වෙනස් කරන්නේ නම් එසේ කළ යුතු ආකාරය දැක්වෙන නීතිමය විධිවිධාන අනුගමනය කරමින් එය කළයුතු බවය.

තුන්වන හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතිශයින්ම ක්‍රමානුකූල පිළිවෙතකට සකස් කරන ලද ලිඛිත එක් ලේඛණයකින් පමණක් සමන්විත වූ ලියවිල්ලක් වීමය. සිව්වන හේතුව රාජ්‍ය බලය ක්‍රියාවට නංවන ආකාරය පෙන්නුම් කරන මූලික නෛතික ලියවිල්ල එය වීමය.

රාජ්‍යයේ අධිකාරී බලය ක්‍රියාවට නංවන ආයතන පද්ධතිය සහ එම ආයතන පද්ධතිය සතු බලතල මොනවාද සහ එම බලතල ක්‍රියාවට නැංවිය යුත්තේ කවුරුන් විසින්ද ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න පෙන්වා දෙන්නේ එමගිනි. වෙනත් ආකාරයකට කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය බලය බෙදාහැර ඇති ආකාරය, එම බලය ක්‍රියාවට නැංවිය යුතු ආකාරය, රාජ්‍ය සහ පුරවැසියන් සතු අයිතිවාසිකම්, යුතුකම් සහ වගකීම් පෙන්වා . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව රටක් පාලනය කිරීම හඳුන්වන්නේ ව්‍යවස්ථානුකූලවාදී පාලනයක් ලෙසය.

එවැනි පාලනයක ප්‍රධානම ලක්‍ෂණය වන්නේ පාලිතයින් මෙන්ම පාලකයින්ද ව්‍යවස්ථානුකූල පාලනයට එකසේ යටත් වීමය. එමෙන්ම එම කණ්ඩායම් දෙකම එකසේ ව්‍යවස්ථාවට ගරු කිරීමය. මෙසේ ගරු කිරීම හරහා ගොඩනැගෙන ව්‍යවස්ථානුකූල භක්තිය හේතුවෙන් කාලයක් ගතවන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූජනීය ලියවිල්ලක් බවට පත්වන අතර එහි අවසාන ප්‍රතිඵලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිවිල් ආගමක තත්ත්වයට පත් වීමය. එවැනි උත්තරීතර තත්ත්වයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් වූ විට ඒ වටා විශ්වාස පද්ධතියක් බිහි වේ. පුදපූජා පද්ධතියක් බිහි වේ.

අවසාන වශයෙන් එම අංගෝපාංග දෙක අවිච්චින්නව පවත්වාගෙන යාම සඳහා ආයතන පද්ධතියක් බිහිවේ. ව්‍යවස්ථානුකූල පාලනයක සැබෑ තත්ත්වය වන්නේ මෙයයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබීම පමණක් නොව එය සිවිල් ආගමක තත්ත්වයට වර්ධනය වී පූජනීය තත්ත්වයකට පත් වීමය. මෙයින් පැහැදිලි වන මූලික කරුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රාජ්‍ය පාලනයේ පදනම බවට පත් වීමට නම් සහ එය පූජනීය දෙයක් බවට පත් වීමට නම් ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම, පාලිතයින් මෙන්ම පාලකයින්ද ව්‍යවස්ථාවට ගරු කිරීම, පටු පෞද්ගලික දේශපාලන අරමුණු උදෙසා පාලකයින් විසින් ව්‍යවස්ථාව නිතර නිතර වෙනස් නොකිරීම, ව්‍යවස්ථාව අවිච්චින්නව දිගු කාළයක් රාජ්‍ය පාලනයේ මූලික නීතිය ලෙස ක්‍රියාත්මක වීම යනා දී වශයෙන් කරුණු රාශියක් බලපාන බවය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථානුකූල පාලනය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ දී 1832 වර්ෂයේ හඳුන්වා දුන් කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සමගය. ඉන් අනතුරුව 1910, 1920 සහ 1931 යන වර්ෂවල දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් අනුක්‍රමයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනය ඉදිරියට පැමිණියේය. 1948 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසුව රට පාලනය කිරීමේ පදනම වූයේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් හඳුන්වා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ඉන් අනතුරුව 1972 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරණායක රජය විසින් සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කොට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන අතර එයිනුත් අනතුරුව 1978 වර්ෂයේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කොට 1978 වර්ෂයේ දී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවනු ලැබීය. එදා සිට මේ දක්වා පුරා අවුරුදු 39 ට ආසන්න කාලයක් රට පාලනය වන්නේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.

සමස්තයක් ලෙස ගෙන බලන විට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනය හිමිකම් කියන ඉතිහාසය අවුරුදු 186 ක් තරම් වේ. මෙතරම් දිගු ඉතිහාසයක් තිබියදීත් ශ්‍රී ලංකාව තුළ ස්ථිරසාර ව්‍යවස්ථානුකූලවාදයක් ගොඩ නොනැඟුණේ ඇයිද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සම්බන්ධයෙන් බලපා තිබෙන හේතු සාධක රාශියක් තිබෙන අතර එකක් වන්නේ රටේ ජනතාවගේ ගෞරවයට, ආදරයට හා භක්තියට පාත්‍ර වූ ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමට ශ්‍රී ලංකාව මේ දක්වාම අපොහොසත් වීමය.

නිදහසෙන් පසු ගෙවී ගිය අවුරුදු 70 ක කාලය තුළ දී මේ රට පාලනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක්ම පැනවීමෙන්එය හොඳින්ම පෙනී යයි.මේ වනවිට තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් පවතින අතර යම් හෙයකින් එම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමට හැකි වුව හොත් නිදහසින් පසු කාළය තුළ මේ රට පාලනය කිරීම සඳහා පැනවූ සිව්වන ව්‍යවස්ථාව එය යි. අවුරුදු 70 ක් වැනි කෙටි කාලයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් පැනවීමෙන් සහ තවත් එකක් සම්පාදනය කරගෙන යාමෙන් පෙනී යන්නේ මේ රට තුළ ව්‍යවස්ථානුකූල පාලනය කොතරම් අසාර්ථක වී තිබෙනවාද යන කරුණය.

ව්‍යවස්ථානුකූල පාලනය අසාර්ථක වීම කෙරෙහි බලපා තිබෙන දෙවන හේතු සාධකය වන්නේ නිදහසින් පසු රට පාලනය කිරීම සඳහා පැනවූ කිසිදු ව්‍යවස්ථාවකට රටේ ජීවත් වන සෑම ජන කොටසකටම යුක්තිය හා සාධාරණත්වය සහතික කරමින් එක් රටක් එක් ජාතියක් යන සිද්ධාන්තය යටතේ ජාතිය සහ රාජ්‍යය

ගොඩනැඟීමට නොහැකි වීමය. නිදහසින් පසු කාලය තුළ මෙරට පැනවූ ව්‍යවස්ථා තුන මගින්ම කළේ රට තුළ ජීවත් වන විවිධ ජන කොටස් එකට එක්සත් කොට ජාතිය ගොඩ නැංවීමට අවශ්‍ය පදනම දැමීම නොව එම ජන කොටස් තව තවත් බේද භින්න කරවමින් ඔවුන් එකිනෙකා සමඟ ඇණකොටා ගැනීමට පසුබිම සපයමින් ජාතිය සමගිය ගොඩ නගනවා වෙනුවට ජාතික අසමගිය තව තවත් වර්ධනය කිරීමය.

මෙරට ව්‍යවස්ථානුකූල පාලනය අසාර්ථක වීම කෙරෙහි බලපා තිබෙන තුන්වන සහ වැදගත්ම සාධකය වන්නේ මෙරට පාලනය කිරීම සඳහා බලයට පත්වූ සමහර පාලකයන් තමන්ගේ පටු සහ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මංකොල්ල කෑමේ දේශපාලන සම්ප්‍රදායක් බිහි කිරීමය. නිදසුන් ලෙස 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක සම්පාදනය කිරීම කෙරෙහි බලපෑ අරමුණු සහ එම ව්‍යවස්ථා දෙකේ අන්තර්ගතය දෙස බලන විට පෙනී යන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන දෙදෙනා විසින් තමන්ගේ පෞද්ගලික හා ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු ඉටුකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංකොල්ලය කොතරම් හොඳින් සහ සූක්‍ෂමව කළාද යන්නය.

තමන්ගේ පටු ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මංකොල්ල කෑම සම්බන්ධයෙන් දියහැකි ඉතාම හොඳ නිදසුන වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනයයි. මෙම මංකොල්ලකෑම මෙරට ව්‍යස්ථානුකූල පාලන ඉතිහාසය තුළ කරන ලද බරපතළම සහ සාපරාධී මංකොල්ලකෑම ලෙස හැඳින්වීම වැරදි නොවේ. හේතුව එම සංශෝධනය මගින් මෙරට නාමික වශයෙන් හෝ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය මුලූමනින්ම උඩු යටිකුරු කර එකාධිපති ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා පදනම දැමීමය.

මෙම සාපරාධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංකොල්ලයෙන් රට බේරාගෙන රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය ස්ථාපිත කිරීම අරමුණු කොට ගෙන 2015 වර්ෂයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. එමගින් කළ ව්‍යවස්ථා වෙනස්කම් අතර ප්‍රමුඛස්ථානය ගත්තේ ජනාධිපතිවරයාට පැවරී තිබුණු සමහර ආඥාදායක විධායක බලතල කප්පාදු කිරීම, සමහර විධායක බලතල සංවරණය කිරීම, ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කිරීම සහ ධුරයට පත්විය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම යනාදියයි.

මේ දිනවල ජනමාධ්‍ය මගින් වාර්තා කරන දේශපාලන කරුණක් වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් දක්වා අඩු කිරීම පිළිබඳ විධිවිධානය තමන්ට අදාළ වන ආකාරය හා සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙන බවය. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එසේ විමසුවේ තමන්ගේ ධුර කාළය සම්බන්ධයෙන් එකිනෙකට පටහැනි මත දෙකක් ප්‍රකාශ වී තිබෙන බැවින් එය නිරාකරණය කර ගැනීම ඉලක්ක කොට ගෙන බවය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තමන්ගේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කර ගැනීම සඳහා ධුර කාලය පිළබඳව පවතින නීතිමය අර්බුදය නිරාකරණය කර ගැනීම අවශ්‍යයෙන්ම කළයුතු දෙයක් වන බවය. ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම සද්භාවයෙන් කරන ලද ඉල්ලීමක්ද නැතිනම් තවත් ව්‍යවස්ථා මංකොල්ල කෑමකට අවශ්‍ය අත්තිවාරම දමා ගැනීමක්ද යන්න තීරණය කිරීම මේ මොහොතේ කළ නොහැක. හේතුව ඒ සඳහා කල් වැඩි වීමය.

කෙසේ නමුත් අවසාන වශයෙන් කිව යුත්තේ තමන්ගේ පටු ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු ඉටුකර ගැනීම උදෙසා යම් පාලකයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මංකොල්ල කන්නේ නම් එය මහබැංකුව මංකොල්ල කෑ‍්‍රමටත් වඩා බරපතළ සාහසික ජාතික අපරාධයක් වන බවය. හේතුව මහබැංකුව කොල්ල කෑමෙන් වන විනාශය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආර්ථිකයට වීමත් ව්‍යවස්ථාව මංකොල්ල කෑමෙන් මුළු මහත් රටත් ජාතියත් විනාශ වී යාමත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *