|

සජිත්ගේ උපන්දින තෑගි බෙදීම කල් යයි

පසුගිය සඳුදා දිනය ජනාධිපතිතුමාට විශේෂ දිනයක් වුණා. 2015 ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණය ජයගෙන සිදු වූ පදවි ප්‍රාප්තියට වසර තුනක් ගතවීම එදිනට යෙදී තිබුණා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ජීවිතයේ විශාල සිහිනයක් සැබෑ කරගැනීමටද එදින හැකියාව ලැබුණා. එය නම් මොරගහකන්ද ජලාශයේ එක් රැස්වන ජලයෙන් රජරට ගොවි ජනයාගේ ජල ප්‍රශ්නය විසඳා විශාල ගොවි බිමක් අස්වැද්දීමයි.

එදින උදේ ජනාධිපතිතුමා රාජගිරියේ දිගම ගුවන් පාලම විවෘත කිරීම සඳහා සහභාගී වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල , පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා මහත්වරුන් හා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

එහිදී කතා කළ ජනාධිපතිතුමා මීට වසර තුනකට පෙර මෙරට පැවති දුර්දාන්ත පාලනය පෙරළා දැමීමට රටේ සියලු පක්ෂ, සිවිල් සංවිධාන පෙරට ආ හැටි හා එම බලවේගයේ නායකත්වයෙන් ජනාධිපතිවරණය ජයගත් ආකාරයද සිහිපත් කළා. එම සටනට මග පෙන්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන විශේෂයෙන් මතක් කළ ජනාධිපතිතුමා රටේ අගනුවරට පිවිසෙන දොරටුව බඳු රාජගිරිය නව ගුවන් පාලම සෝභිත හිමියන් නමින් නම් කරන්නට යෝජනා කළා.

මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවය එදින පැවතියේ සාලිස් වසරක මහවැලි අසිරිය නමින්. ජනාධිපතිතුමා සමග අගමැතිතුමාද මැති ඇමැතිවරුන්ද එම අවස්ථාවට සහභාගී වී සිටියා.

මෙහිදී කතා කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 1976 ජනවාරි 8 වැනිදා එදා සිටි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහවැලියේ මුල් අදියර අරඹමින් පොල්ගොල්ලෙන් මහවැලි ගඟ හැරවීම විවෘත කළ අවස්ථාව සිහිපත් කළා. තරුණයකු ලෙස බස් රථයක පැමිණ තමා එම රැස්වීමට සහභාගී වූ ආකාරය එතුමා පැහැදිලි කළා. එදින අමර‍දේවයන් ගැයූ මහවැලි ගීය මෙවර ගායනා කිරීම එම උත්සවයේදී සිදුවූයේ අමරසිරි පීරිස් ඇතුළු කණ්ඩායමෙන්.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට මුල් ගල තබද්දී ඒ සඳහා ශතයකවත් ආධාරයක් ලැබී නොතිබුණු බව ජනාධිපතිතුමා කීවා. දේශපාලන කුඩුකේඩුකම් නොවුණා නම් මෙම ජලාශයේ වැඩකටයුතු මීට වසර පහකට පෙර අවසන් කළ හැකි වන බවද ජනාධිපතිතුමා කීවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කතා කරමින් කීවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතනොහැර ගෙන ගිය සටන නොවන්නට මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සිදු නොවන්නට ඉඩ තිබුණු බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රථම රැලිය පසුගිය බදාදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙවර සන්ධානය බුලත් කොළය ලකුණින් මෙන්ම ඇතැම් තැන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින්ද තරග වදිනවා. එම නිසා ප්‍රචාරයේදී එම ලකුණු දෙකම යොදා ගැනෙනවා. දුමින්ද දිසානායක ඇමැතිවරයා විසින් සංවිධානය කොට තිබූ රැලියට දයාසිරි ජයසේකර, ටී.බී. ඒකානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙදා ඡන්දයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ගමනකට මුල පුරණ බවයි. පළාත් පාලන ආයතන ජයගෙන දූෂණයෙන් තොර පාලනයක් පිහිටුවන බවද ජනාධිපතිතුමා කීවා. රට වෙනුවෙන් විශාල වගකීමක් ඉටු කිරීමට ඇති බැවින් වාම ප්‍රගතිශීලී පිරිස් එක්ව ගමන් කළ යුතු බවත්, වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අද මතුවී ඇති බවත් ජනාධිපතිතුමා කීවා. අනුරාධපුරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති ඓතිහාසික සබඳතාවද ජනාධිපතිතුමා මතක් කර දුන්නා.

පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම සමීප ඥාතියකු වන ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ සහෝදරයාගේ මිණිබිරියගේ විවාහයට එක් වූණා. එම නිවෙසේ පැවති සාදයේදී සියලු දෙනාම සංගීතයට අනුව නටන්න පටන් ගත්තා.

“ඇයි රනිල් ඩාන්ස් කරන්නේ නැත්තේ. මෙයා පොඩි කාලේ ඉඳලම හොඳට නටන්න දන්නවා. නැටුම් හදාරලත් තියෙනවා.” අයිරාංගනී සේරසිංහ කිව්වා.

අභියෝගය පිළිගත් අගමැතිවරයා තම නැන්දණිය වටා අපූරු නර්ථනයක් ඉදිරිපත් කළේ සියල්ල මවිත කරවමින්. විනාඩි කිහිපයක් තුළදී එම නර්ථනය සමාජ ජාලාවල වැඩිම ආකර්ශනයක් දිනාගත් නර්ථනය බවට පත් වුණා. උත්සවයේ සිටි කිහිප දෙනෙක් අගමැතිවරයාගේ නර්ථනය දුරකතන හරහා පටිගත කළ අතර ආරක්ෂක අංශද එය වැළැක්වූයේ නැහැ.

පසුදා උදේම රාජගිරිය නව ගුවන් පාළම විවෘත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අගමැතිවරයාද එක් වූයේ මහාමාර්ග ඇමැති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඇරයුමෙන්. රු.කෝටි 470 ක් වැය කළ එය නියමිත කාලයට වඩා මාස 11 කට පෙර ජනතා අයිතියට පත් කිරීමට කිරිඇල්ල මහතා ක්‍රියා කොට තිබුණා. අනතුරුව ජනපතිවරයාගේ ඇරයුමෙන් ඔහු හා මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයටද අගමැතිවරයා එක් වුණා.

බැඳුම්කර වාර්තාව ගැන වහාම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධය, ශ්‍රිලනිපය හා ජවිපෙ, කථානායකගෙන් ඉල්ලුවා. කථානායක ඇමතු අගමැතිවරයා මෙන්ම සභානායකවරයා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු යොදන ලෙස දැනුම් දුන්නා. නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජනවාරි 23 දායි.

“අපට හංගන්න දෙයක් නෑ. බැඳුම්කරේ ගැන තුන් වරක් මේ රජය පරීක්ෂණ කළා. ඉල්ලන හැම පාරම විවාද දුන්නා. මේ විවාදයත් කරන්න අපි සූදානම්” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“අපට බැඳුම්කර වාර්තාව මුලින් දෙන්න. නැතුව විවාද කරන්නේ කොහොමද” විපක්ෂයේ පක්ෂ නායකයන් කිව්වා.

“සිල්ලර වැඩ කරන්න එපා. ඒක නොදැනද වහාම පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලුවේ” කිරිඇල්ල මහතා ඇහුවා.

“මට බැඳුම්කර ගැන විශේෂ ප්‍රකාශයක් කරන්නත් අවශ්‍යයි. අපි පාර්ලිමේන්තුව රැස්කරන්න එකඟයි” අගමැතිවරයා කිව්වා.

අනතුරුව වාර්තාවේ පිටපත් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට නිල ලිපි කඩිනමින් යැවීමටද තීන්දු වුණා. ඒ අනුව බදාදා හදිසි පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වුණා.

“අපට වාර්තාව දෙන්න. ඊට පසුව විවාදයට දින නියම කරමු” විපක්ෂය ගෝරනාඩු කළා.

“අපේ කාලෙ බැඳුම්කරෙන් රුපියල් බිලියන11ක් රටට අහිමි වෙලා නම් එය අය කරන්න ක්‍රියා කරනවා. ඒත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමති කාලේ 2008 සිට 2015 දක්වා රු. බිලියන 5175 ක බැඳුම්කර මහබැංකු මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතිව නිකුත් කර තිබෙනවා. ඉන් බිලියන 4700 ක් ඍජු නිකුතුයි. ඒ හරහා වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට විශාල හානි සිදු වූ බව බැඳුම්කර වාර්තාවෙත් තිබෙනවා. ඒ නිසා තමන්ගේ කාලේ බැඳුම්කර ගැන මහින්ද රාජපක්ෂ මේ සභාවට ප්‍රකාශයක් කළ යුතුයි. මම බය නැතිව අපේ කාලේ දේවල් කතා කරනවා නම් එතුමාටත් ඒ කාලේ බැඳුම්කර මගඩි ගැන කතා කරන්න කොන්දක් ඇතැයි හිතනවා” විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා කිව්වා.

ඒකාබද්ධ විපක්ෂයේ අය එදින සභාවාරය කඩාකප්පල් කිරීමට කලින් සිටම සැලසුම් කොට තිබුණා. අගමැතිවරයා හා එජාපයට එරෙහිව ඇඳ තිබූ පෝස්ටර් තොගයක් සභා ගැබ තුළ ප්‍රදර්ශනය කිරීමෙන් ඒ බව තහවුරු වුණා. ඒකාබද්ධ අයට ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මැති ඇමතිවරු පිරිසක්ද මෙහිදී යටින් සහාය පළ කරමින් ක්‍රියා කරන බවට ශ්‍රිලනිපයේම තවත් මැති ඇමතිවරු පිරිසක් අගමැතිවරයා කලින්ම දැනුවත් කොට තිබුණා.

“ඔය ප්‍රවෘත්තිය දැනටමත් මට ඒකාබද්ධය පැත්තෙනුත් ලැබිල තියෙන්නේ. අලුත් තොරතුරු තියනවා නම් කියන්න” අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙන්.

කෙසේ වෙතත් විපක්ෂය ඉල්ලූ හදිසි සභාවාරයට ජනතා මුදල් රුපියල් ලක්ෂ 26 ක් වැය වී තිබියදී එය නිමා වූයේ දෙපාර්ශවය ගුටි බැට ඇන ගැනීමෙන්.

“විපක්ෂය මේ විවාදය ඉල්ලුවේ අපි නොදේවි කියලා හිතලයි. අපි විවාදවලට බය නෑ. විවාද දුන්නම විපක්ෂය ඒකෙන් පැනලා දිවුවා. පෙබරවාරි 10 මැතිවරණයේදී ගෙදර දුවන්නම ජනතාව උත්තර දේවි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා හමු වීමට අරලිය ගහ මැදුරට පැමිණෙන විටද සුපුරුදු ලෙස බොහෝ පිරිසක් එහි පැමිණියා.

“රනිල් හොරා කියලා පටන් ගත්ත පාර්ලිමේන්තු සභාව අන්තිමට ඉවර වුණේ මහින්ද හොරා කියලයි” දයා ගමගේ මහතා කිව්වා.“ රාජගිරිය පාළම මහ යුද්ධයක් කරල අපි ජනතාවට බාර දුන්නා. එ්කත් අනිත් පැත්තට හරවන මාධ්‍ය මෙහෙයුමක් දියත් වෙලා. මේ අපේ වැඩ පිළිවෙළේ ආරම්භයයි. ට්‍රැෆික් නැති කරන්න තව හුඟක් පියවර ගන්න තියෙනවා” ලක්ෂමන් කිරිඇල්ල මහතා කිව්වා.

“ මේ රටේ මාධ්‍යවල හැසිරීමෙන් කල කිරෙන්න නරකයි. බිලියන දස දහසක් රටට අහිමි කරපු හොරු ගැන කතා නොකර දැන් හැමෝම බැඳුම්කරේ බිලියන 11 ගැන පැය 24 ම කතා කරනවානේ. ඒ බිලියන 11 අයකරගත යුතුයි.” අගමැතිවරයා කිව්වා.

“ අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංගයකුත් ගේන්න ප්ලෑන් කරනවා ගයන්ත කරුණාතිලක මහතා කිව්වා.

“ ගේන්න කියන්න. මීට කලින් ගෙනාපු කීයක් එයාල දිනුවද ? කීයක් එයාලම අකුල ගත්තද” අගමැතිවරයා කිව්වා.

“ පෙබරවාරි 10 ඡන්දයෙන් එජාපයට ජය නියත බව සමීක්ෂණ වාර්තා කියනවලු. ඒ ජයග්‍රහණයෙන් පස්සෙ තනි එජාප ආණ්ඩුවක් ඕන කියලයි ගමේ පාක්ෂිකයො කියන්නේ” එහි සිට මැති ඇමතිවරු වැඩි පිරිසක් කිව්වා.

රට ගොඩ අරන් මිනිස්සුන්ට සහන දෙන්නයි කවුරුත් හිතන්න ඕනෑ. තනි ආණ්ඩු හදන ඒවා ඡන්දෙන් පස්සේ කතා කරමු” යයි කී අගමැතිවරයා අසුනින් නැගිට්ටා.

ජනවාරි 12 වැනිදාට යෙදෙන සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වන්නේ කොහේද කියමින් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ දුරකථනයට ඉකුත් දින කීපයේ සිය මිතුරන්ගෙන් ඇමතුම් ගලා එද්දී ඔවුන් වෙත ලැබුණේ එකම පිළිතුරක්.”පාටි දාන්නෙ නෑ. ඒ වෙනුවට කරන සුභසාධක වැඩසටහනට පුළුවන් නම් පොඩි තල්ලුවක් දෙන්න” සජිත් කියද්දී මිතුරන් ඇසුවේ “ ඒ මොකක්ද?” කියාය. සජිත් කීවේ “මම කලින් දෙබරවැවටයි, සූරිය වැවටයි දුන්නා වගේ මගේ උපන් දිනය වෙනුවෙන් තවත් පාසල් 8කට බස් රථ ලබා දෙනවා. ඒකට උදව් කරන්න” කියායි. හම්බන්තොට සුචී ජාතික පාසල, හම්බන්තොට සහිරා ජාතික පාසල, දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලය, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය, සූරියවැව විහාරගල ද්විතීයික පාසල, යෝධකණ්ඩිය ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය, අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල සහ තිස්සමහාරාම, පන්නෙගමුව රාජකීය විද්‍යාලය මෙවර බස් රථ ලබාදීම සඳහා තෝරාගෙන ඇති පාසල් වනවා. සිය උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරන මෙම බස්රථ ප්‍රදානෝත්සවයට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිතව අවසර ඉල්ලා යැවූ සජිත් අනතුරුව කළේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙන්ම සෙසු සාමාජිකයන්ද ඉදිරියේ සජිත් ඉල්ලා සිටියේ තමන් 1994 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි දින සිටම උපන් දිනය වෙනුවෙන් වාර්ෂිකව ජනවාරි 12 වැනිදා සිට සති දෙකක් පුරා අඛණ්ඩව කරන සුභසාධක මෙහෙවරේ මෙවර වැඩසටහන් සඳහා ද අවසර ලබා දෙන ලෙසයි. සභාපතිවරයා සෙසු සාමාජිකයන් සමඟද සාකච්ඡා කර කීවේ “සංකේතාත්මකව එක උත්සවයකට විතරක් සීමා කරන්න. අනෙක් ඒවා පෙබරවාරි 10ට පස්සේ බෙදා දීමට කටයුතු කරන් කියායි. එහෙම කරන්නෙ කොහොමද සභාපතිතුමා , මම මේ තෑගි දෙන බව ඉස්කෝල අටේම ළමයින්ටත් පොරොන්දු වෙලයි ඉන්නේ. මේක ඡන්දයක් ඉලක්ක කරගෙන කරන දෙයක් නෙවෙයි” සජිත් කියද්දී සභාපතිවරයා කීවේ “කරන්න දෙයක් නෑ. මට වචනයෙනුත්, ලිඛිතවත් දෙන්න තියෙන එකම උත්තරේ මේ වැඩසටහන නවත්වන්න කියල විතරයි” යනුවෙන් පසුව හමුවුණු උපන්දින සංවර්ධන සුභසාධන සංගමයේ නිලධාරීන්ට සජිත් කීවේ “සංකේතයක් හැටියට උත්සවයක් පවත්වලා වැඩක් නෑ. එහෙනං ඡන්දෙන් පස්සෙ එක දවසක ඔක්කොම බෙදා දෙනවා. එතකං මේ බස් ටික මගෙ වීරවිල ගෙදර ළඟ ගාල් කරල තියේවි” කියාය.

ඉකුත් 06 වෙනි දා සෙනසුරාදා උදෑසනින්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇමති වජිර අබේවර්ධන මහතා ගුවනින් මහනුවරට ගියේ නව වසර වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිදුන් වැදපුදා ආශිර්වාද ලබාගැනීමටයි. අනතුරුව මල්වතු විහාරය වෙත පැමිණි අගමැති සහ ඇමති වජිර ඇතුළු පිරිස මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දුටුවා. නව වසරේ වැඩකටයුතු සඳහා අගමැති ඇතුළු පිරිස ආශිර්වාද ලබාගත් අතර රජය දියත් කිරීමට සැලසුම් කර තිබෙන සංවර්ධන කටයුතු සම්බන්ධව මෙන්ම මහනුවර සිදු කිරිමට නියමිත සංවර්ධන කටයුතු සම්බන්ධවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳවත් මෙහිදී මල්වතු මහනායක හිමියන් වෙත කරුණු දැක්වුවා.

අනතුරුව අගමැති , ඇමති වජිර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණියේ එහි අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමටයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 2000ක වියදමකින් ඉදි කරන ලද මෙම ශ්‍රවණාගාරය ආසන 675කින් සහ නවීන පහසුකම්වලින් සමන්විතයි. එහි පැවැති උත්සවයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වජිර අබේවර්ධන අමාත්‍යවරයා අස්ගිරි විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක දීර්ඝ වේලාවක් සාකච්ඡාවේ නිරත වුණා. එම අවස්ථාව සඳහා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ද එක්වී සිටියා. අනතුරුව අගමැතිවරයා සමග ඇමති වජිර ගුවනින් ම කොළඹ බලාපැමිණියා.

මාස් කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොලැබීම ගොවීන් මුහුණ දුන් බරපතළ ගැටලුවක් වුණා. පාකිස්තානයෙන් පොහොර නැවක් එන බවත් නැවේ සිට කෙළින්ම ලොරිවලට පටවා පොහොර බෙදාහරින බවත් ආණ්ඩුව කීවා. එහෙම වුණත් ඒ කී වෙලාවටත් ගොවීන්ට පොහොර ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එයට විරෝධය පළ කරන්න අපූරු වැඩක් කළා. ඔවුන් පොහොර ප්‍රශ්නය ගැන විරෝධය පළ කරන්න තෝරාගත්තේ ගොවි බිමක්. ගලේවෙල, පහළවැව පල්ලන්යාය කෙත් බිමේ මෙම විරෝධතාව හා ප්‍රවෘත්ති සාකච්ඡාවද සංවිධානය ‍කොට තිබුණා. ගලේවෙල පහළවැව එකමුතු ගොවි සංවිධානයද එයට එක්ව සිටියා.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා එහිදී කතා කරමින් කීවේ පාකිස්ථානයෙන් ගෙන්වන බව කී පොහොර නැවට බාලගිරි ‍දෝෂය උදාවී තිබෙන බවයි. ‘අපේ ගොයම පූදිනවා, පොහොර නැවත් පකිස්තානේ” කියමින් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ගොවීහු මෙහිදී විරෝධතාවක නිරත වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ වනවිට රට පුරා දියත්කොට තිබෙනවා. ඉන් එක් රැලියක් පසුගියදා පැවැති‍යේ කොත්මලේ ප්‍රදේශයේදීයි. එයට සහභාගී වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේ ජනතා විමුක්ති ‍පෙරමුණට සාර්ථක පාලනයක් ගෙන යා හැකිදැයි බැලිය හැක්කේ පාලනයක් භාරදීමෙන් පමණක් බවයි. එසේ නැතිව එම හැකියාව කිසිදා තක්සේරු කළ නොහැකි බවද බිමල් රත්නායක මහතා කීවා.

ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් පසුගිය දිනවල අසන්නට ලැබුණේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කිහිපයක්. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා කීවේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි. ඒ සඳහා විශේෂඥ උපදෙස් නීති උපදෙස් ලබාගෙන ඇති බවත්, බදාදාම විශ්වාසභංගය අත්සන්කොට කථානායකතුමාට භාරදෙන බවත් අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවා.

ඒ අතර එදිනම පුංචි බොරැල්ලේ වජිරාශ්‍රමයේ පැවැති රැස්වීමකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බැඳුම්කර වාර්තාව දැකලාවත් නැති බවයි. වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා දී නැති බවත්, නුදුටු වාර්තාවක් ගැන විවාද කළ නොහැකි බවත් ජී. එල්. පීරිස් මහතා කීවා.

කථානායක කරු ජයසූරිය මහතා බදාදා පාර්ලිමේන්තුවට කීවේ බැඳුම්කර වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ලබාදෙන බව ජනාධිපතිතුමා දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් දැන් ප්‍රශ්නය මතුව ඇත්තේ ඇහින් දැක නැති වාර්තාවක් මත පදනම් වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ කෙසේද යනුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැන් ආරම්භ වී තිබෙනවා. එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ගැන ප්‍රශ්න කළ විට මහාචාර්ය ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමා කීවේ එම මන්ත්‍රීවරු කිසිවෙක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නැති බවයි. හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැහැ. එසේ වුවද පසුගියදා කඩවත ප්‍රදේශයේ පැවැති එම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමන්ගේ ලකුණ පොහොට්ටුව බවයි.

මහින්ද රාජපක්ෂ මහතා කඩවතදී තවත් කතාවක් කීවා. එනම් මැතිවරණ කාලයේදී තාජුඩින් ඝාතනය නැවත නැවතත් කරළියට එන බවයි. මැරුණ මිනිහෙකුටවත් නිදහසේ ඉන්න නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *