“ඡන්දයට පෙර යහන්ගතවන්න ” – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

තමන් ලිංගික අල්ලස් නොදුන් නිසා තමාට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ස ඳ හා නාමයෝජනා ‍‍නොලැබුණු බවට මධූෂා රාමසංහ පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

මෙරට ලිංගික අල්ලස් කතාවේ අලුත්ම පුපුරායාම ලෙස ඇගේ චෝදනාව සලකන්නට පුළුවන. එය එසේ වන්නේ පළාත් පාලන ආයතන යනු මෙරට ආණ්ඩුකරණයේ පහළම ඒකකය එනම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මුල්ම පුරුකද වන බැවිනි. එවැනි ආයතයක දීත් කාන්තාවකට තම නම මැතිවරණයේ අපේක්ෂක ලේඛනයට ඇතුළත් කිර ගැනීම සඳහා  ශරීරයෙන් පුදන්නට සිදුවන්නේ නම් මේ රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ  ඇතිවන්නේ අපූලකි.

යම් ‍දේශපාලන පක්ෂයක මැතිවරණ නාම යෝජනා පත්‍ර සකස් කරනු ලබන්නේ අදාළ පක්ෂයේ ඉහළ නිලධාරින් විසිනි. එකී තැනැත්තන් බොහෝවිට පළාත් සභාව පාර්ලිමේන්තුව ආදි ආයතන නියෝජනය කරන එනම් රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායක වන්නන්ය. නැතහොත් ව්‍යවස්ථාදායකයට එකතු වීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ය. කාන්තා හිංසනයට, ස්ත්‍රී දූෂණයට වැට බඳින ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඔවුන් අතිනි. ඉතිං ඔවුන් කාන්තා අ‍පේක්ෂිකාවකට නාම යෝජනා ලබා දෙන්නට ලිංගික අල්ලසක් ඉල්ලා සිටින්නේ නම් කිවහැකි වන්නේ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියාය.

ඡන්ද අපේක්ෂක ලැයිස්තුවක කාන්තා නියෝජනය ඉහළ දමා ඇත්තේ ප්‍රතිපත්ති සම්පාදන කාර්යයේදී කාන්තා දායකත්වය වැඩියෙන් ලබා ගැනීමේ අටියෙන් බව කියැවේ. ඉහත තත්ත්වය මුහුකුරා ගියහොත් ආත්ම ගෞරවයක් ඇති කාන්තාවකට මැතිවරණයකට ඉදිරිපත් වීමට හැකි වේද?

මධුෂා රාමසිංහ තමන්ට කාන්තාවක ලෙස මුහුණ දීමට සිදු වූ වාචික අතවරවලට එරෙහි වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබුණි. නමුත් තමාට සිදු වූ අතවරය පිළිබඳ නීතිය හමුවේ පැමිණිල්ලක් කර ඇති බවක් දැනගන්නට නැත. ඇය කළ එකම දෙය උපවාසයකින් විරෝධය පෑම සහ තමා කෝට්ටේ ආසනයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉල්ලුම් කළ බවත් මැතිවරණයට ඉදිරිපත් වීමේ දී කාන්තාවන් ලිංගිකත්වය සම්බන්ධව කතාබහට ලක්වීම සම්බන්ධව කතාබහට ලක්වීම හේතුවෙන් කාන්තාවක් ලෙස තමා අසරණ වූ බව පැවසීමත්ය. තවත් කාන්තාවන් පිරිසක් ඇතැම් පුද්ගලයන් හේතුවෙන් පක්ෂය හැරගිය බවද ඇය ප්‍රකාශ කළාය.

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇය වැලිකට පොලීසියට කැඳවාගෙන ගොස් ඇත. ඇය අපේක්ෂක්ත්වය බලාපොරොත්තු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණිනි.

2016 සැප්තැම්බර් 21 පළවූ පුවතකින් හෙළිදර කෙරුණේ ගංවතුරින් විපතට පත් වූ වනාතවිල්ලුව ප්‍රදේශයේ 24 හැවිරිදි විවාහක කතකට ගංවතුර සහන ලබාදීමට අදාළ පුදේශයේ ග්‍රාම නිලධාරි ලිංගික අල්සක් ඉල්ලූ බවය. අල්ලස ලබාගැනීමට යාමේ දී වනාතවිල්ලුව පොලීසිය මගින් ග්‍රාමසේවක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.

2016 ජනවාරි පළ වූ පුවතකින් කියැවුණේ ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ලිංගික අල්ලසක් ලබාගැනීමට යාමේ‍ දී අත්අඩංගුවට පත් වූ බවයි. ඒ අල්ලස ඔහු බලාපොරොත්තු වී තිබුණේ කාන්තා නිලධාරිනියකගෙනි.

2013 සැප්තැම්බර් 06 පළ වූ පුවතකින් හෙලිදරව් කෙරුණේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති විදුහලට දරුවකු ඇතිළත්කර ගැනීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ බවයි.

2015 මැයි 22 පළ වූ පුවතකින් කියැවුණේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කණ්ඩායමේ සිය ස්ථානය ආරක්ෂාකර ගැනීමටත් කණ්ඩායමට ඇතුළත් වීමටත් ලිංගික අල්ලස් දීමට බල කෙරී ඇති බවයි.

විශ්‍රාමලත් ශ්‍රේෂාඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රි පුද්ගල කමිටුවක් විසින් කරන්නට යෙදුණු විර්ශනයක දී ලැබුණු තොරතුරු අනුව ඒ බවට සාක්ෂි ලැබී ඇති බව පවසා තිබුණේ ක්‍රිඩා අමාත්‍යංශය විසිනි.

ඉහත පුවත් අනුව පැහැදිලි වන්නේ ලංගික අල්ලස් ගැනීම ශ්‍රී ලංකාවේ කවර කටයුත්තක දී වුවද සිදුවිය හැකි බවයි. ක්‍රීඩා කණ්ඩායමක නියෝජනය වීමට, යම් ආයතනයක සේවයක් ඉටු කරවාගැනීමට, අධාර මුදලක් ලබා ගැනීමට, දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමට ආදී වශයෙනි. රටේ නීතිය ක්‍රියාවේ යොදවන අධිකරණ පද්ධතිය පවා මාංශ අල්ලස් ගැනීමෙන් නිදහස් නැත. උසාවිය නිහඬයි චිත්‍රපටය ඔස්සේ ද සාකච්ඡා කෙරුණු විත්තිකරුවකුට ඇප ලබා දීම සඳහා ඔහුගේ බිරියගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටි විනිසුරුවරයා සම්බන්ධ පුවත නිදර්ශනයකි.

දැන් අලුත්ම පිපිරුම දේශපාලනයෙනි. රැකියා ලබාදීම, කොන්ත්‍රාත් ලබාදීම, ස්ථාන මාරු ලබාදීම සඳහා කතුන්ගෙන් ලිංගික අල්ලස් ලබාගන්නා බවද දේශපාල‍නයේ පුසිද්ධ රහසකි. මධුෂා රාමසිංහ‍ගේ චෝදනාව සත්‍ය නම් මේ වනවිට නාම යෝජනා ලබාදීම දක්වා ලිංගික අල්ලස් ඉල්ලාසිටීම පැතිර තිබේ.

මධුෂා රාමසිංහ ජනතාවගෙන් ඉල්ලන්නේ තමාට කාන්තාවක ලෙස මුහුණ දීමට සිදු වූ වාචික අතවරවලට එරෙහි වන ලෙසය. තම පක්ෂයෙන්ම නාම යෝජනා හිමි වූ අනෙකුත් කාන්තාවන් සම්බන්ධයෙන් ඇය අවලාද මුඛයෙන් කතා කරන ආකාරය අනුමත කළ නොහැකිය. හේතුව පිරිමින්ගෙන් තමාට කාන්තාවක වශයෙන් වාචික අතවරයට ලක් වූ බව කියමින්ම කාත්වක වන ඇයද අනෙකුත් කතුන් වාචික අතවරවලට ගොදුරු කරන බැවිනි.

ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ වෛද්‍යවරයා තමාට ලිංගික අතවර කළ බවත්, එම අතවර සම්බන්ධයෙන් නිහඬව සිටීමට බලකරමින් ඇමරිකානු ජිම්නාස්ටික් සම්මේලනය තමාට අල්ලස් දුන් බවත් ඔලිම්පික් රන්පදක්කම් ලාභී ජිම්නාස්ටික් ශූරිය මැක්සලා රෝස් මැරොනි මෑත දී ප්‍රකාශ කළාය. ඇය එහි දී කීවේ, ජිම්නාස්ටික් සංචිතවල සිටින ක්‍රීඩිකාවන්ගේ යහපත තකා තමා අධිකරණයට පැමිණ ඇති බවයි. තමා අභිබවා මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු වූ කතුන් පිළිබඳව මධුෂා රාමසිංහගේ හැසිරීමත් මැක්සලා රෝස්ගේ විධික්‍රමයත් අතර වෙනස මෙහි දී වටහා ගත යුතුය.

ක්‍රීඩිකාවට සිදුවන ලිංගික හිංසනවලට එරෙහිව නව නීති ගෙන ආයුතුය යන අදහස ඇමරිකානු සමාජයෙ තහවුරු කෙරෙන මට්ටමට මැක්සෙලාගේ සටන ප්‍රබල වී තිබේ.

ගැටලුව වන්නේ මෙරට ලිංගික අල්ලස් පිළිබඳ සිදුවීම් හුදු ප්‍රවෘත්තිවලින් ඔබ්බට වර්ධනය නොවීමය. ලිංගික අල්ලස්වලට ගොදුරුවන කතුන් කොතෙකුත් සිටිය හැකි වුව ද ඊට මුහුණ දෙන කතුන්ගේ නොදැනුවත්කම නිසාද සමාජ අවලාදයට ගොදුරු වනු ඇතිය යන බිය නිසා ද බොහොමය අප්‍රසිද්ධියේ වැළලී යයි. එහෙයින් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් වහා ඇතිවිය යුතුය. ලිංගික අල්ලසින් කතුන් මුදාගත හැකි බලවත් නීති පද්ධතියක් රටට අවශ්‍ය බවද පැහැදිලිය. සියල්ලටම වඩා කාන්තාවන ගේ අයිතියට මාතෘත්වයට කාන්තා නිදහසට ගරුකර සදාචාරවත් සමාජ ක්‍රමයකට රට යොමු කළ යුතුය.

තමන්ගේ දියණිය ආරක්ෂා කරන අතර අනුන්ගේ දියණිය දූෂ්‍ය කරන තරමට පමණක් නොව තමන්‍ගේම දියණිය පවා දූෂණ කරන මිලේච්ඡත්වයක් කරා රට ගමන් කරමින් ඇති බව පෙනේ. ධර්මය ශ්‍රවණය කරන නමුත් ධර්මය පිළිපදින්නන් දුලබය. අනෙකාගේන් නීතිගරුක වීම අපේක්ෂා කළ ද තමා නීතිගරුක නැත.

පාසලෙන් කෙරෙනුයේ, විභාග සමත් වීමට ඉගැන්වීම මිස දරුවන් ජීවිතයෙන් සමත් කිරීම නොවේ. රැකියාව ලබා ගැනීමට, උසස්වීම ලබා ගැනීමට පමණක් නොව දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට උපාධිය සමත් වීමට පවා ලිංගික අල්ලස් පිදීමට සිදුවන තැනකට රට ගමන් කරන්නේ නම්, අනේ අප කවදාක හිනැහෙමු ද මේ රටේ.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *