|

යහ පාලනයේ ප්‍රගති වාර්තාව – සී.ජේ.අමරතුංග

 යහපාලනයේ උපන් දිනය පසුගිය දිනවල යෙදී තිබිණි. 2015 ජනවාරි 8 වැනිදා පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිව්රුම් දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම සිදුවූයේ ජනවාරි 9 වැනිදාය. එබැවින් මේ දින දෙකම වැදගත්ය. කෙසේ වෙතත් මහජනයා ඡන්දය දී වෙනස සිදු කළේ ජනවාරි 8 දා නිසා එම දිනය යහපාලනයේ උපන් දිනය ලෙස සැලකීම නිවැරදි විය හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදී පවුල් පාලනය පෙරළා දැමූ 2015 ජනවාරි 8 වැනිදා සිදුවීම එයට සම්බන්ධ වූ පිරිස සලකන්නේ සාමකාමී විප්ලවයක් වශයෙනි. ඇත්ත වශයෙන්ම එහි විප්ලවයක ලක්ෂණ තිබිණි. සමාජ විප්ලවයක ප්‍රධාන ලක්ෂණයවන්නේ පීඩාකාරී පාලනයකට එරෙහිව සමස්ත ජනතාවගේ නැගිටීමකි. එනම් පාලන කල්ලියට සහය දෙන පිරිසට එරෙහිව සමස්ත ජනයාගේ නැගිටීමකි. එය එක පක්ෂයක නැගිටීමක් නොව පක්ෂ ගණනාවක සිවිල් සමාජ සංවිධාන රාශියක හා නිර්පාක්ෂික ජනතාවගෙන් සමන්විත ජන බලයකි. එම ලක්ෂණය 2015 ජනවාරි 8 සඳහා වූ පෙළ ගැසීම තුළ දක්න ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාධිපතිවාදි ග්‍රහණයට නතුව හා දූෂිත පාලනයක් ගෙනයාමත් දූෂිතව තිබූ ශ්‍රී ලනිපය බහුතරය සිටියේ රාජපක්ෂ මහතා සමගය. එසේ වුවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් පෙරට පැමිණියේ එම ඒකාධිපති පාලනයට තිත තැබීමේ අරමුණ ඇතිවය. ප්‍රධාන විපක්ෂය වශයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂ හා සිවිල් සමාජ කණ්ඩායම් සමග සම්මුතියකට සූදානම් වීය. මේ සියල්ල පෙළ ගැසීම සංවිධානය කළේ හා එයට මග පෙන්වීම කළේ නිර්පාක්ෂික කණ්ඩායමක් ලෙස කටයුතු කළ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයයි. එයට නායකත්වය දුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනි. ජනාධිපති ක්‍රමය අහෝසි කරන නිර්පාක්ෂික අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සිට මැතිවරණයෙන් පසුව දින සියයක වැඩ පිළිවෙළ ඇතුළු දේශපාලන න්‍යාය පත්‍රය සකස් කරන ලද්දේ එම සිවිල් සමාජ ව්‍යාපාරය විසිනි. දේශපාලන නායකත්වයට සිදුවූයේ එම සිවිල් සමාජ ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීමටයි. මෙය මහජන නැගිටීමක් නැතහොත් විප්ලවයක්ය කිව හැක්කේ එම පුළුල් ජන සහභාගීත්වය හේතුවෙනි.

ප්‍රතිවාදීන්ගේ එකතුව

මෙලෙස විවිධ පක්ෂ හා කණ්ඩායම් එකතුවී ක්‍රියාකිරීම තුළම යම් අපහසුතා හා සීමා තිබුණු බවද තේරුම් ගත යුතුව ඇත. පොදු අරමුණකට එකතු වුවද එසේ එකතු වූයේ සම අදහස් දරන කණ්ඩායම් නොවන බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ සම්ප්‍රදායික ප්‍රතිවාදී පක්ෂ දෙකයි. මෙම පක්ෂ දෙකේ සාම්ප්‍රදායික මතවාදී උරුමයද එකිනෙකට පටහැනිය. එම පක්ෂ දෙකේ නායකයන්ට එකට වැඩකිරීමට සම්මුතිවාදී දේශපාලනය තුළ බලකෙරී ඇත. අනෙක් අතට මෙම පෙරළියට සම්බන්ධ වූ බොහෝ පිරිසකට යහපාලනයේ ආණ්ඩු බලයට සම්බන්ධවීමේ ඉඩකඩක් ලැබී නැත. එවැනි වුවමනාවක්ද බොහෝ දෙනාට නැත. එසේ වුවද තමන් කළ වෙනසින් බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. ඒ සියලු දෙනාගේ අපේක්ෂා සමාන නොවන අවස්ථාද ඇති බව පැහැදිලිය. එම සබඳතාවලද තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකි.

සමස්ත ජනතාව මෙම පෙරැළියට සහභාගී වූයේ විශාල අපේක්ෂා ඇතිව බව අමතක කළ යුතු නැත. ඒවායින් ඇතැම් අපේක්ෂා ක්ෂණිකය. එම අරමුණු බොහොමයක් පෙරැළිය මගින්ම ඉටු වී ඇත. එසේ වුවද රටේ අනාගතය හා යහපාලනය සම්බන්ධ විශාල බලාපොරොත්තු ඇතිව මෙම පෙරැළියට සම්බන්ධ වූ විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ අපේක්ෂා හා බලාපොරොත්තු විශාලය. එම බලාපොරොත්තු අතරින් සමහරක් ඉටු වී ඇතත් බොහෝ දේ තවමත් ඉටුකර ගැනීමට ඉතිරිව ඇත. ඇතැම් වැඩ කටයුතු සිදුවන්නේ ඉබි ගමනිනි. මේ තත්ත්වය පිළිබඳව බොහෝ දෙනාගේ කලකිරීමක් ඇති බවද අමතක නොකළ යුතුය.

දෙවර්ගයක අපේක්ෂා

ජනවාරි අට පෙරැළිය මගින් දෙවර්ගයක අපේක්ෂා ඉටුකරගැනීමට මහජනයාට අවශ්‍ය වීය. එයින් කොටසක් නිෂේධාත්මකය. එනම් තිබෙන දේ වෙනස් කිරීමේ නැතහොත් ඇතැම් හානිකර තත්ත්වයන් අවසන් කිරීමේ අවශ්‍යතා ලෙස හඳුනාගත හැකිය. දෙවැනි වර්ගයේ අපේක්ෂා නම් නව තත්ත්වයක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවන්ය. යහපත් රටක් ප්‍රජාතන්ත්‍රවාදී පිරිසුදු පාලනයක් සඳහා වන අපේක්ෂාවන්ය. තවමත් සම්පූර්ණයෙන් ඉටුවී නැත්තේ මෙම දෙවන වර්ගයේ අපේක්ෂා බව පෙනෙන්නට ඇත.

එදා පෙළ ගැසුණු ජනතාවට පළමුවෙන්ම අවශ්‍ය වූයේ දුර්දාන්ත, පීඩාකාරී, ඒකාධිපති, දූෂිත පාලනය අවසන් කර දැමීමටය. ලසන්ත වික්‍රමතුංගලා, තාජුඩින්ලා ඇතුළු තවත් බොහෝ දෙනා මරා දැමූ, ප්‍රගීත් එක්නැලිගොඩලා අතුරුදන් කළ, නිදහස් වෙළෙඳ කලාපයේ, රතුපස්වල ජනයාට වෙඩි තැබූ වැලිකඩ හිරගෙදර විසි ගණනක් ඝාතනය කළ හිටපු අග විනිසුරුවරිය හිතුවක්කාර ලෙස ධූරයෙන් පහකළ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කළ හා පවුලක් විසින් රටේ ධනය සූරා කමින් ඔවුන්ගේ හෙන්චයියන්ටද හොරකමට ඉඩ ප්‍රස්තා සැලසූ ඒකාධිපති පාලනය අවසන් කර දමන්නට මහජනයාට අවශ්‍ය වී තිබිණි. ඒ සඳහා බොහෝ දෙනා තමන්ට හැකි පමණින් දායක වූහ. මහපාරේ, ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය මගින්ද මහජනයා පෙළ ගැසුණේ පළමුවෙන් එම අරමුණ ඉටුකර ගැනීමටය. ජනවාරි 8 වැනිදා බල පෙරළිය මගින් මහජනයා එම අරමුණ ඉටුකර ගත්තෝය. මෙම පෙරැළියට දායක වූ සමහරු පසුව කීවේ එම අරමුණ පමණක් ජයගැනීමට වුවද සෑහෙන බවයි.

එදායින් පසුව අපට ලැබුණේ නිදහස් රටකි. දැන් මාධ්‍යවේදින් පැහැර ගන්නේ මරා දමන්නේ නැත. ජනාධිපති අගමැති හෝ මැති ඇමැතිවරුන් විවේචනය කළාට තර්ජන ගර්ජන හෝ පහරදීම් හෝ ඝාතනය කිරීම් සිදුවන්නේ නැත. සියලු දෙනාගේ සිත් තුළ තිබූ බිය සැක දුරුවී ගොසිනි. දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට පොලිසිය හෝ අධිකරණය යොදාගැනීමක් සිදු නොවේ. එම ආයතනවලට ස්වාධීනව තම වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා ඇත. මේ සියල්ල ජනතාව ලැබූ ජයග්‍රහණයි.

යහපාලනයෙන් සිදුවූයේ කුමක්දැයි තවමත් සමහරු ප්‍රශ්න කළද මේ වනවිට ලබාගෙන ඇති ජයග්‍රහණද සුළුවෙන් තක්සේරු කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය මගින් ජනාධිපති බලය සීමාකිරීම හා ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක කිරීම දැවැන්ත ඉදිරි පියවරකි. වර්තමානයේ ක්‍රියාත්මක වන නිදහස තහවුරු වූයේ එම ක්‍රියාවෙනි. අත්තනෝමතික ඒකාධිපති පාලනයක් ගොඩනැගීමට මෙමගින් ඉඩකඩ අහුරා ඇති බව පැහැදිලිය. එහි තේරුම නම් මහින්ද රාජපක්ෂ පාලනය වර්ගයේ ඒකාධිපති පාලනයක් යළි අනාගතයේ ඇතිවීමට ඉඩක් නැති බවයි.

දූෂණයට තිත තබන ක්‍රම

දූෂණ නවතන්නට යහපාලනයට හැකිවී නැතැයි එදා දූෂණ කළ විපක්ෂයේ කල්ලිය චෝදනා නැගුවද ඔවුන් නගන චෝදනාවලට පදනමක් ඇත්දැයි සැක සහිතය. විශාල ඝෝෂාවක් නැගුවේ මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙනි. ඒ ගැන යහපාලනයේ පරීක්ෂණය පැවැතියේ ප්‍රසිද්ධියේය. එයට අගමැතිවරයා ද ඇමැතිවරුද පැමිණ සාක්ෂි දුන්හ. එක් ඇමැතිවරයකුට ඇමැතිකමද අහිමි වීය. බලයේ සිටින රජයක් මගින් මෙබඳු පරීක්ෂණයක් පවත්වා කරුණු හෙළි කිරීම කලාතුරකින් සිදුවන්නකි. පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් ආණ්ඩුවේ දේශපානඥයන්ගේ නිර්දෝශී භාවය හෙළි වී ඇති අතර බැඳුම්කර ගනුදෙනුවල වැඩිම දූෂණ සිදුව ඇත්තේ පසුගිය රජය සමයේ බව හෙළි වී තිබේ. අනෙක් අතට මෙම පරීක්ෂණයම අනාගතයේ මෙබඳු දූෂණ වැළැක්වීමට හේතුවන ක්‍රියාවකි.

රටේ දූෂණ වැළැක්වීම සඳහා වැදගත්වන තවත් පියවර ගණනාවක්ද යහපාලනය යටතේ ක්‍රියාවට නගා ඇත. එහි වැදගත්ම පියවරක් නම් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගෙන එම පනත සම්මත කොට ක්‍රියාවට නැගීමයි. එමගින් ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘතිවල වියදම් ගැන, ටෙන්ඩර් ගැන මිල දී ගැනීම් ගැන වැනි බොහෝ දේ පිළිබඳව තොරතුරු ලබාගැනීමට මහජනයාට ඉඩ සලසා තිබේ. අනාගතයේ මහජනයා මෙන්ම ජනමාධ්‍යද මෙම අයිතිය භාවිතා කිරීමට වැඩි වැඩියෙන් පෙළඹෙනු ඇත. එවිට දේශපාලනඥයන්ට හෝ නිලධාරින්ට දූෂණවල යෙදීම හෝ රජයේ මුදල් අවභාවිත කිරීම හෝ පහසු වන්නේ නැත.

දූෂණ නැවැත්වීම සඳහා ගෙන ඇති අනෙක් පියවර නම් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. විශාල ලෙස මුදල් වියදම් කළ හැකි කළු සල්ලිකාරයන්ට , කුඩු කාරයන්ට, ජාවාරම්කාරයන්ට බලයට එන්නට තිබූ මනාප ක්‍රමය අවසන්කොට කොට්ඨාස හා සමානුපාත කලවම් ක්‍රමයක් පළාත් පාලන ආයතන මට්ටමට හඳුන්වාදී ඇත්තේ අත්හදා බැලීමක් වශයෙනි. එමෙන්ම මැතිවරණ නීතිද තදින් ක්‍රියාත්මකය. දේශපාලන බලය හා ආණ්ඩු බලය යොදා ගැනීමක් ද නැත. මෙය දේශපාලනය පිරිසුදු කිරීමේ දැවැන්ත පියවරකි. මැතිවරණයට වියදම්කොට එම මුදල සොයා ගන්න හොරකම් කරන වර්ගයේ දේශපාලනඥයන් බිහිවීම මෙමගින් සීමා වනු ඇත.

දැන් තිබෙන ඉදිරි පියවර වන්නේ මෙම ක්‍රමය පළාත් සභා සඳහා මෙන්ම ජාතික මට්ටමේ මැතිවරණ සඳහා හඳුන්වා දීමයි. එයට තව කලක් ගතවනු ඇත. එසේ වුවද වහ වහා එම නීති ඉදිරිපත් කොට ක්‍රියාවට නැගීම අවශ්‍යය. එමගින් මෙරට දේශපාලන ක්‍රමය දූෂණයෙන් තොර කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට යහපාලනයේ ඉදිරි දෙවසර යොදාගැනීම අත්‍යවශ්‍යය.

යහපාලනයේ පොරොන්දු අතරින් එකක් තවමත් ඉටු වී නැත. එය නම් රටට උචිත නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමයි. එයට කල් ගතව ඇත්තේ නිකම්ම නොවේ. මෙවර නව ව්‍යවස්ථාවක් සකස් කරනුයේ සියලු දේශපාලන පක්ෂ මෙන්ම මහජනයාද සම්බන්ධ කරගෙනය. පළමුවෙන්ම කළේ මහජන අදහස් ලබා ගැනීමයි. පසුව පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස පත්කොට එහි අනුකමිටු මගින් යෝජනා ලබාගෙන මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් සකසා ඇත. දැන් තිබෙන්නේ ඒ අනුව ඉදිරි සාකච්ඡා කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා සම්මත කර ගැනීමේ අවස්ථාවයි. එයට එරෙහිව ජනමතයක් ගොඩ නගන්නට සුලු පිරිසක් වසර දෙක තුනක් තිස්සේම උත්සාහ කරමින් සිටියද එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. පෙනෙන්නට තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් සඳහා තිබෙන ජනතා සහය දිනෙන් දින වැඩිවන බවයි.

නීතියෙන් කරන උප්පර වැට්ටි

යහපාලනයට සහය දුන් හා ජනවාරි අට වෙනසට දායක වූ බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වන්නේ පසුගිය පාලනයේ සිටි දූෂිතයන්ට හා අපරාධකාරයන්ට දඬුවම් දීම ප්‍රමාද වී ඇති බවයි. එහි යම් සත්‍යතාවක් ඇති බව පැහැදිලිය. එහිදී දේශපාලන ඩීල් ගැන චෝදනාද යහපාලනයට එල්ල වී තිබේ. එසේ වුවද අපගේ අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රශ්නද නැතිවා නොවේ. දූෂිතයන්, අපරාධකාරයන් කරන්නේ එම ක්‍රමයේ තිබෙන දුර්වලතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි. වාරණ නියෝග ගැනීම, නඩු සඳහා දිගු දින ගැනීම පරීක්ෂණවලට නොපැමිණි අසනීප වීම වැනි මෙකී නීති උපාය යොදාගෙන අපරාධකාරයෝ පරීක්ෂණ මඟ හරිති. කල් ගනිති. දැන් යෝජනා වී ඇත්තේ මෙම නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණ ක්‍රියාවට නැගීමටයි. එමෙන්ම තවත් ජනාධිපති කොමිසන් පත් කරන බවද ජනාධිපතිතුමා කියා ඇත.

මෙලෙස මැන බැලූ විට යහපාලනයේ ශේෂ පත්‍රය නැතහොත් ප්‍රගති වාර්තාව නරකම නැත. එසේ වුවද මහජනයාට අවශ්‍ය වන්නේ මීට වඩා ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල බව මතක තබාගෙන වහාම ඉතිරි කටයුතු අවසන් කළ යුතුය. වැරදි හදාගත යුතුය.

සී.ජේ.අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *