අගමැතිට එරෙහි පතාල තර්ජන – බණ්ඩාර උඩුරාවන

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක, ජාතික සහජීවනය සහ සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, මනෝගනේෂන් මහතාට විශේෂ කාර්ය බලකාය හෙවත් එස්.ටී.එෆ්. ආරක්ෂාව සපයා ඇති බව පසුගිය සතියේ ප්‍රවෘත්ති වලින් කියවිණ. හේතුව ඔහුට පතාල තර්ජන එල්ල වී තිබීමය. ඔහුට තර්ජන එල්ල වී ඇත්තේ උතුරු කොළඹ ආසනයෙන් බවද කියැවේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභාවේ අපේක්ෂක ලැයිස්තුවට පතාල සම්බන්ධතා සහිත තැනැත්තකුගේ නමක් ඇතුළත්ව තිබූ බවත් අවසාන මොහොතේ එම නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත ඉවත් කරන්නට යෙදුණු බවත් මීට පෙර කියැවුණි.

තවතත් මතයක් අනුව කියැවෙන්නේ, උතුරු කොළඹට දී ඇති එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ පතාල සම්බන්ධතා සහිත තවත් පුද්ගලයන් දෙදෙනකුගේ නම් ඇතුළත්ව ඇති බවයි. එක් එක් තැනැත්තකු කුඩු ජාවාරම, මින්ස් ඝාතන, මංකොල්ල කෑම් ආදී අපාරාධ රැසකට සම්බන්ධ බව කියැවෙන තැනැත්තකුගේ බෑනා කෙනෙක් බව කියැවේ. එපමණක් නොව එකී තැනැත්තාගේ (බෑනාගේ මාමා) ගේ නම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ඉලක්කකරමින් කොළඹ නගර සභා පිටියේදි එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයනට නවාතැන් සැපයූ බවට ගෑවී ඇති බවද පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ අපේක්ෂක ලැයිස්තුවේ නම සඳහන් ඉහත කී තැනැත්තාගේ මව සහ පියාද මත්ද්‍රව්‍ය චෝදනා මත සිරබත් කෑ අය බවද කියැවේ.

තවත් කතාවකින් කියැවෙන ආකාරයට මීගමුව අධිකරණයේ විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවකට සම්බන්ධ මෙන්ම මත්කුඩු ජාවාරමටද කලෙක සම්බන්ධ වී සිටියේ යැයි කියන තැනැත්තකුගේ නම ද උතුරු කොළඹින් කොළඹ මහ නගර සභාවට තරග කරන්නන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව තිබේ. ඒ තොරතුරු සත්‍ය නම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම මත පාතාලයට සම්බන්ධ එක් තැනැත්තකුගේ නම කොළඹ ලැයිස්තුවෙන් ඉවත් වුවද පාතාලයට, මිනීමැරුම්වලට, කුඩුජාරමට සම්බන්ධ තවත් තැනැත්තන් දෙදෙනකුගේ නම් කොළඹ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ ඉතිරිව තිබේ.

පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි පිරිසකට බ්ලූමැන්ඩල් පාරේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී එක් අයකු මියගොස් තවත් පිරිසකට තුවාල සිදුවිය. පසුව කරන ලද පොලිස් පරීක්ෂවලදී හෙළිවූයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටි ආධාරකරුවන් අතර පාතාලයට සම්බන්ධ තැනැත්තන් සිටි බවයි.

එම මැතිවරණයේ බ්ලූමැන්ඩල් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කොළඹ එක්සත් ජාතික පක්ෂ නායකයා වන රවී කරුණානායක මහතාගේ පිරිසකටය. ඒ අනුව ඒ මහතාට සහයෝගය දක්වන පිරිස අතර පතාල සම්බන්ධතා ඇති අය සිටි බව පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇති බව පිළිගන්නට සිදුවේ.

මැතිවරණ කටයුත්තක දී ගෙයින් ගෙට යාම වැනි අවස්ථාවකට සම්බන්ධවන අයගේ චරිත සහතික ආදිය සොයා බැලීම සියයට සියයක් කළ නොහැකි බව පිළිගත යුතුය. එවැනි අවස්ථාවල විවිධ තැනැත්තන් විවිධ මට්ටම් වලින් අපේක්ෂකයනට සහයෝගය දීමට ඉදිරිපත් වන බැවිනි.

තවත් අතකින එකල පැවැති සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව දේශපාලඥයන්ට දිස්ත්‍රික්කය පුරා මැතිවරණ කටයුතු මෙහෙයවන්නට සිදුව තිබුණි. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රබල අපේක්ෂකයන් රැසක් ඒ මැතිවරණයේ දී ඉදිරිපත් වී සිටි බැවින්, උපකාරයට පැමිණෙන්නේ කවරකු ගේ වුව සහය ලබගන්නට යම් අපේක්ෂකයකු සුදානම් වූයේ නම්, (එම සූදානම 100%ක් නිවැරැදි නැති නමුත්) බැහැර කළ නොහැකි තත්ත්වයක් පැවතුණි. පසුගිය මැතිවරණයේ දී පාතාල සම්බන්ධතා පැවතුණි නම් ඒ පිළිබඳව රවී කරුණානායක මහතාට යම් සමාවක් දිය හැකි වන්නේ එහෙයිනි. මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කේවල ඡන්ද ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන ආකාර දෙකෙන්ම යුතුව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේය. පැවති සමානුපාතික ක්‍රමය ඉවතට විසිකරන්නට බල පෑ මූලික හේතුව වූයේ ද එකී ක්‍රමය යටතේ අපේක්ෂකයනට කැමැත්තෙන් හෝ අකමැතතෙන් දූෂණ ක්‍රියාවලට යොමුවන්නටත්, යහමින් මුදල් වැය කරන්නටත්, බලගතු තරගයකට මුහුණ දෙන්නටත්, දිස්ත්‍රික්කය පුරා සටන් කරන්නටත් සිදු වී තිබීමය.

අලුතින් හඳුන්වා දී ඇති ඡන්ද ක්‍රමය අනුව එවැනි ගැටලුවක් ඡන්ද අපේක්ෂකයන්ට නැත. තරග කරන්නට අවශ්‍ය වන්නේ සීමිත ප්‍රදේශකය. දහස් ගණනින් ලක්ෂ ගණනින් රුපියල් වැය කරන්නට අවශ්‍ය වන්නේ නැත. අපේක්ෂකයා පැහැදිලිව හඳුනාගෙන ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ඡන්ද දායකයාට තිබේ.

අලුත් ඡන්ද ක්‍රමයේ එක් වාසියක් වශයෙන් පුන පුනා පෙන්වා දෙනු ලැබුවේ, යහපත් මිනිසුන් පිරිසක් පාලන ආයතනවලට තෝරා ගැනීමේ හැකියාව එමගින් ලැබෙන බවයි. යහපත් පුද්ගලයන් පිරිසක් පාලන ආයතන වලට තෝරා යවන්නට නම් යහපත් පුද්ගලයන් පිරිසක් අපේක්ෂක ලැයිස්තුවලට එක් කිරීම දේශපාලන පක්ෂ වල වගකීමකි. කොළඹ නගර සභා ලැයිස්තුව සැකසීමේ දී එකී වගකීම කඩ වී ඇති බව ඉතා පැහැදිලිය. හේතුව කොළඹ නගර සභා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නාම ලේඛනයේ එක නමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත මේ වන විටත් ඉවත් කරගන්නට යෙදී ඇති බැවිනි. එහි අදහස නුසුදුසු එක තැනැත්තෙකු හෝ කොළඹ එක්සත් ජාතික පක්ෂ නගර සභා ලැයිස්තුවේ තිබුණ බවයි. තවත් එවැනිම නම් දෙකක් කොළඹ එක්සත් ජාතික පක්ෂ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ ඇති බවට නගන චෝදනාව අමතක කළ ද ඇතුළත්ව තිබී ඉවත් කළ නම නාම ලේඛනයට ඇතුළත් කිරීමේ වගකීම අදාළ නායකත්වය බාර ගතයුතුය. හුදෙක් අදාළ නාම ලේඛනයයෙන් ඉවත් කිරීමෙන් පමණක් වරද නිවැරදිවේ යැයි පිළිගන්නට ජනතාව සූදානම් නොවනු ඇත. අතුළත් නොවිය යුතු නමක් (හෝ දෙකක් තුනක්) අපේක්ෂක ලේඛනයට ඇතුළත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශව විවේචනයට ලක්විය යුතුය. අවම වශයෙන් ඒ සම්බන්ධව අදාළ තැනැත්තන් ජනතාවයෙන් සමාව ගත යුතුය. වඩාත් නිවැරදිකාරයන් වන්නේ වරද කළ තැනැත්තන්ට විරුද්ධව පක්ෂ මට්ටමින් විනය පරීක්ෂණයක්, දඬුවම් පැමිණවීමක් වැනි පියවරකට යාමය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයේ හැඳින් වූයේ මිස්ටර් ක්ලීන් නැතහොත් සුපිරිසුදු මහත්මයා වශයෙනි. දැන් දැන් සිදුවන කටයුතු අනුව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුපිරිසුදු චරිතය අවට සිටින පිරිසගේ කටයුතු හේතුවෙන් විනාශ වී යන බවයි.

බැඳුම්කර ගනුදෙනුව එසේ රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතය කිළිටි වන්නට ඉඩ හැරුණු සිදධියකි. මිතුරන් ආරක්ෂාකරන්නට යාමෙන් එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කිත් සිරුරට සිදු වූ හානිය සුළුපටු නැත. දැන් අලුත් වටයකින් මැතිවරණ අපේක්ෂක ලැයිස්තුව හරහා එයම සිදු වෙමින් පවතී. මෙවර තත්ත්වය කෙතරම් බරපතල ද යත් ඔහුගේම ආණ්ඩුවේ ඇමතිවරයකුට ඔහුගේම ආණ්ඩුවට සම්බන්ධ තැනැත්තෙකු හරහා පාතාල තර්ජන ඇතැයි එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලන්නට සිදු වී තිබේ.

පිටතින් බලන විට පෙනෙන්නේ පාප මිත්‍රයන් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල අපරාධයක් සිදුවෙමින් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ මිතුරනට නොදැනෙන කණගාටුවක් කම්පනයක් රට වැසියන්ට තිබේ. ඒ වික්‍රමසිංහ මහතාගේ පිරිසිදු කාර්යශූර නායකත්වය අදටත් වඩා හෙටට රටට අවශ්‍ය බව ජනතාව විශ්වාස කරන නිසාය.

බණ්ඩාර උඩුරාවන

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *