රාජගිරිය ගුවන්පාලම ජනතා අයිතියට…

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිඛෙන පාලම යකඩ මත කොන්ක්‍රිට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *