දේශපාලන හන්දි වෙද්දු – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකිය හැකි සුලබ දර්ශනයක් වන්නේ එක් පක්‍ෂයකින් තවත් දේශපාලන පක්‍ෂයකට කරණම් ගසා එසේ කිරීමට බලපෑ හේතු සාධක පිළිබඳව කරන විච්චූර්ණ ප්‍රකාශනයන්ය. මෙසේ කරණම් ගැසීම් බහුල වශයෙන් සිදු වන්නේ දුබල දේශපාලන පක්‍ෂයක සිට ප්‍රබල දේශපාලන පක්‍ෂයකටය. ඉඳහිට ප්‍රබල දේශපාලන පක්‍ෂයක සිට දුබල දේශපාලන පක්‍ෂයකට නැතිනම් දේශපාලන කණ්ඩායමකට කරණම් ගසන ආකාරයද දැකිය හැකි වේ.

කරණම් ගැසීම් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ අමුතු දෙයක් නොවේ. 1948 පළමු මැතිවරණයේ සිටම අනුක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ආ මෙම කරණම් ගැසීම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ දේශපාලන රංගනයක් බවට පත් වන්නේ 2005- 2015 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදීය. මෙම කාලය තුළ නිරන්තරයෙන්ම දැකිය හැකි වූ විශේෂිත ලක්‍ෂණයක් වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂවල සාමාජිකයින් පමණක් නොව පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබුණ පාර්ලිමේන්තුවෙන් බාහිරව තිබූ දේශපාලන පක්‍ෂවල සාමාජිකයින් පවා බුරුතු පිටින් තමන්ගේ පක්‍ෂය අත්හැර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන සංධානයට එක් වීමය.

මෙසේ කරණම් ගැසූ සියලූ දෙනාම එසේ කිරීමට බලපෑ හේතුව ලෙස පෙන්වා දුන්නේ එකම එක කරුණකි. එනම් තමන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සංධානයට එක්වූයේ ජනාධිපතිවරයාගේ දෑත්දෙපා ශක්තිමත් කොට ඔහු සමඟ එකට වැඩ කරමින්, ඔහු සමඟ ඉදිරියට යමින්, රටට සහ ජනතාවට සේවය කරමින්, රට සහ ජාතිය නගා සිටුවීමට බවය.

දෑත්දෙපා ශක්තිමත් කිරීම අවශ්‍ය වන්නේ එම අවයව යම් යම් අබල දුබලතාවන්ට ගොදුරු වී තිබෙන විටය. එනම් යම් යම් ආකාර වේදනාවන්, කැක්කුම්, හිරිවැටීම්, අප්‍රාණික වීම්, ඉදිමුම් වැනි රෝගාබාධයන්ට ලක්ව තිබෙන විටය. කරණම්කරුවන් ප්‍රකාශ කරන්නේ ‘කරණම් ගැසීම’ නමැති ප්‍රතිකාරය මගින් එම රෝගාබාධ සුව කිරීමට තමන්ට හැකියාව තිබෙන බවය. මේ අතින් බලන විට දේශපාලන කරණම් ගසන්නන් හන්දි වෙදුන්ට සමාන වේ. හේතුව ඔවුන් කරණම් ගසන්නේ බලධාරී දේශපාලන නායකයා පෙළෙමින් සිටින විවිධාකාර හන්දි රෝග සුවපත් කිරීම ඉලක්ක කොටගෙන බැවිනි.

ඒ හැරෙන්න වෙනත් කිසිදු බලපොරොත්තුවක් හෝ අරමුණක් ඔවුන්ට නැත. අඩුම වශයෙන් ඉතාම සුළු වාසියක්, වරප්‍රසාදයක්, තාන්න මාන්නයක් හෝ ප්‍රතිදානයක් ලබා ගැනීමට එළිපිට පමණක් නොව යටි සිත තුළවත් කිසිදු අපේක්‍ෂාවක් නැත. එකම අපේක්‍ෂාව දේශපාලන බලවතාගේ හන්දි රෝග සුවපත් කරමින් ඔහු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු බවට පත් කිරීමය. ලෙඩ සනීප කිරීමෙන් පසුව නායකයාගේ අසමසම බුද්ධිය, ප්‍රඥාව සහ හැකියාව ජාතියේ යහපත සහ හිතසුව පිණිස යෙදවීම උදෙසා ඔහුට අත්වාරු ඇල්ලීමය.

තමන්ගේ කරණම් ගැසීමෙන් ලෙඩා සුව වූවද නොවූවද, රට සහ ජාතිය සුඛිත මුදිත වූවද නොවූවද කරණම් ගසන සෑම දේශපාලන හන්දි වෙදෙක්ම ජප කරන්නේ මෙම මන්තරයයි. හන්දි වෙදුන්ගේ ප්‍රමුඛ ලක්‍ෂණයක් වන්නේ සෑම හන්දි රෝගියෙකුටම වෙදකම් නොකිරීමය. ඔවුන් වෙදකම සඳහා තෝරා ගන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ ඒ අවස්ථාව වනවිට දේශපාලන බලය හසුරුවමින් සිටින වඩාත්ම බලවත් රෝගියාය. මෙයින් පෙනී යන්නේ හන්දි වෙදුන් ‘දෑත්දෙපා ශක්තිමත් කිරීම’ සහ එසේ කිරීම මගින් ‘රටට ජාතියට සේවය කිරීම’ යන මන්තරයට මුවා වී වෙනත් කූඨ දේශපාලන කටයුත්තක යෙදෙන බවය. නැතිනම් අදෘශ්‍යමාන ‘දේශපාලන ඞීල් දැමීමක’ නියැලී සිටින බවය.

මෙම ඞීල් දැමීමේ මූලිකම අරමුණ තමන්ගේ වෙදකමට හැකි ඉහළම ගාස්තුවක් අයකර ගැනීමය.වෙනත් දේශපාලන තාන්න මාන්න හා වරප්‍රසාද එනම් ආණ්ඩුකාර පදවි, තානාපතිකම්, සංස්ථා සභාපතිකම්, අධ්‍යක්‍ෂක තනතුරු, රජයේ නිවාස, දරුවන්ට රාජ්‍ය තනතුරු යනා දී වාසි හා වරප්‍රසාද ලබා ගැනීමය. මේ අනුව සෑම දේශපාලන හන්දි වෙදෙක්ම සැළකිය හැක්කේ දේශපාලන කුහකයින්, දේශපාලන හොර කඩකාරයන්, දේශපාලන සූදුකරුවන්, දේශපාලන අවස්ථාවාදීන්, දේශපාලන බඩගෝස්තරවාදින් අවසාන වශයෙන් දේශපාලන මජරයන් ලෙසය.

දේශපාලන හන්දි වෙදුන්ගේ අවස්ථාවාදී භාවය ඉතාම හොඳින් තේරුම් ගතහැකි වන්නේ ඔවුන් හන්දි වෙදකම පටන් ගන්නා කාලය දෙස බලන විටය. මේ සෑම හන්දි වෙදෙක්ම පාහේ වෙදකම පටන් ගන්නේ මැතිවරණ කාලයන්හිදීය. හේතුව දේශපාලන බලධාරීන්ට හන්දි රෝග වැඩි වශයෙන් වැලඳෙන්නේ මැතිවරණ කාලයන්හි දී වීමය.

අනෙක් හේතුව හන්දි වෙදුන්ට ඉහළ ගාස්තුවක් අයකර ගැනීමට හැකි වන්නේ මැතිවරණ කාලයන්හි දී වීමය. ගාස්තුවට අමතරව මාධ්‍ය හරහා හොඳ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට හැකි වීමය.

ලෙඩා සමඟ එකට ඉඳිමින් පින්තූරයක් ගෙන එය පුවත්පතක දම්මවා ගැනීමෙන් හෝ රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශනය කිරීම මගින් තමන් දේශපාලන වශයෙන් වැදගත් පුද්ගලයෙක් බව මවා පෑමට හැකි වීමය. සෑම හන්දි වෙදකුගේම අරමුණ මෙය වූවද අයකර ගතහැකි මිල මට්ටම හා ලබා ගතහැකි වෙනත් තාන්න මාන්න සහ වරප්‍රසාද ප්‍රමාණය තීරණය වන්නේ හන්දි වෙදාගේ දේශපාලන වටිනාකමේ ප්‍රමාණය අනුවය. දේශපාලන වටිනාකම වැඩිනම් ලබාගත හැකි මිල මුදල් ප්‍රමාණය සහ අනෙකුත් දේශපාලන වරප්‍රසාද ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර දේශපාලන වටිනාකම අඩුනම් ලබා ගතහැකි මිල මුදල් ප්‍රමාණය මෙන්ම අනෙකුත් දේශපාලන වරප්‍රසාද ප්‍රමාණයද අඩු අගයක් ගනී.

මෙයින් පෙනී යන්නේ කවුරු කළත් කරණම් ගැසීම එක හා සමාන ක්‍රියාවක් වූවද කරණම් ගසන්නාගේ දේශපාලන වටිනාකම අනුව කරණම තක්සේරු කරන ආකාරය වෙනස් වන බවය. එනම් දේශපාලන වටිනාකම වැඩි දේශපාලන ලොක්කන්ව තක්සේරු කරන ආකාරයට දේශපාලන වටිනාකම අඩු දේශපාලන සොක්කන් තක්සේරු නොකරන බවය. මෙයින් තේරුම් ගතයුතු වැදගත් දෙය වන්නේ දේශපාලනය කරන ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක දී හන්දි වෙදෙක් බවට පරිවර්තනය වියහැකි වූවද පරිවර්තනයට ලබා ගතහැකි වටිනාකම හන්දි වෙදාගේ දේශපාලන වටිනාකම සහ කරණම ගසන අවස්ථාවේ දේශපාලන වෙළඳපොළේ උණුසුම යන හේතු මත වෙනස් වන බවය.

දේශපාලනය තුළ හන්දි වෙදුන් බිහිවීම කෙරෙහි බලපාන හේතු සාධක ගණනාවක්ම තිබේ. එකක් වන්නේ දේශපාලන පක්‍ෂ මතවාදීව සහ ව්‍යුහාත්මකව සංවිධානය වී තිබෙන ආකාරයයි. මේ කරුණු දෙක මත දේශපාලන පක්‍ෂ ජනතාවාදී පක්‍ෂ සහ කේඩර පක්‍ෂ වශයෙන් වර්ග කෙරෙන අතර ජනතාවාදී පක්‍ෂ ගොඩනැ‍ඟී තිබෙන්නේ නිශ්චිත දේශපාලන හා ආර්ථික මතවාදයක්, විධිමත්ව ගොඩ නගන ලද නිලබල පද්ධතියක් සහිත සංවිධාන ජාලාවක් සහ සාමාජිකයින් කෙරෙහි බලපාන ඉතාම දැඩි විනයක් පදනම් කර ගෙනය.

අනෙක් අතට කේඩර පක්‍ෂ ගොඩනැ‍ඟී තිබෙන්නේ පුද්ගල නායකත්වය, ලිහිල් සංවිධාන ජාලාවක් සහ නිශ්චිත දේශපාලන හා ආර්ථික මතවාදයක් නොමැති වීම යන කරුණු පදනම් කර ගෙනය. එමෙන්ම මෙම පක්‍ෂවල සාමාජිකයින් කෙරෙහි බලපාන දැඩි විනයක්ද දැකිය නොහැක.බොහෝවිට දේශපාලන හන්දි වෙදුන් වී දේශපාලන පක්‍ෂ මාරු කරන්නේ මෙවැනි පක්‍ෂවල සාමාජිකයින්ය. දෙවන කරුණ රට තුළ පවතින දේශපාලන පක්‍ෂ ක්‍රමයේ ස්වභාවයයි.ද්විපක්‍ෂ ක්‍රමයක් නම් එවිට පක්‍ෂ මාරු කිරීම අපහසු වන අතර බහුපක්‍ෂ ක්‍රමයක් වන්නේ නම් දේශපාලන හන්දි වෙදුන් බිහි වීමට ඇති ඉඩප්‍රස්තාවන් ඉහළ මට්ටමක පවතී.

තුන්වන හේතුව පුද්ගල පෞරුෂත්වයයි. පුද්ගල පෞරුෂත්වය සමඟ දේශපාලන කෞෂල්‍යයන් එකට මිශ්‍ර වුණ දේශපාලන චරිතයක දේශපාලන වටිනාකම නිසැකයෙන්ම ඉහළ අගයක් ගන්නා අතර එවැනි අයට දේශපාලන වෙළඳපොළේ ඇති ඉල්ලූමද ඉහළ මට්ටමක පවතී. මෙවැනි චරිතවලට දේශපාලන හන්දි වෙදුන්ගේ රඟපෑම ඉතාම හොඳින් කළහැක. සිව්වන සාධකය ඒ ඒ පුද්ගලයා දරන සමාජ ප්‍රභූ මට්ටමය. හේතුව සමාජ ප්‍රභූන්ට ස්වභාවයෙන්ම හිමි වී තිබෙන දේශපාලන වටිනාකම නිසා දේශපාලන හන්දි වෙදකම ලෙහෙසියෙන් හා පහසුවෙන් කිරීමට හැකි වීමය.පස්වන සාධකය පවතින මැතිවරණ ක්‍රමයේ ස්වභාවයයි.

පවතින මැතිවරණ ක්‍රමය සරල බහුතර නියෝජනය මත ගොඩනැ‍ඟී තිබේ. එම ක්‍රමය තුළ දේශපාලන හන්දි වෙදුන්ගේ ක්‍රියාකාරකම්වලට සැළකිය යුතු ඉඩකඩක් හිමි වේ. මෙයට පරස්පරව මෙම නියෝජන ක්‍රමය ගොඩනැ‍ඟී තිබෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය පදනම් කරගෙන නම් හන්දි වෙදුන්ගේ ක්‍රියාකාරකම්වලට ඇති ඉඩකඩ යම් ප්‍රමාණයකින් සීමා වේ. මෙම කරුණුවලට අමතරව නිතර නිතර මැතිවරණ පැවැත්වෙන්නේ නම් දේශපාලන හන්දි වෙදුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යන අතර මැතිවරණ පැවැත්වීම නිතර නිතර නොකෙරෙන්නේ නම් එහි දී දේශපාලන හන්දි වෙදුන්ගේ ක්‍රියාකාරකම් පහළ බසී. අවසාන හේතු සාධකය වන්නේ හන්දි වෙදුන්ට මෙන්ම ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා දේශපාලන රෝගීන්ට ලජ්ජාව නැතිකමය.

ඉහත දැක්වූ කුමන කරුණක් මත පුද්ගලයින් දේශපාලන කරණම් ගසමින් දේශපාලන හන්දි වෙදුන් බවට පත් වූවද එහි අවසාන බරපැන දැරීමට සිදු වන්නේ රටේ බදු ගෙවන්නන්ටය. හේතුව දේශපාලන හන්දි වෙදුන්ට කෘතගුණ සැළකීම සඳහා දේශපාලන බල අධිකාරිය උසුලන දේශපාලන බලවතා විසින් රාජ්‍ය දේපල යොදා ගැනීමය. දේශපාලන හන්දි වෙදකමේ අවාසනාවන්තම තත්ත්වය වන්නේ මෙයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *