පොහොර ප්‍රශ්නය යට මගඩියක් ! – බණ්ඩාර උඩුරාවන

ජනපති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා පකිස්ථාන අග්‍රාමාත්‍ය වරයා සමග කළ දුරකතන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් එරටින් මෙරටට පොහොර මෙට්‍රික් ටොන් 40000 ක් ලබාදීමට පොරොන්දු වූ බව ට ප්‍රවෘතියක් පළ වූයේ 2017 දෙසැම්බර් 29 දින දීය. ඒහා සමගම පොහොර සමාගමක ලොක්කකු කීවේ වරායට ලොරි යවා වහාම අවශ්‍ය ප්‍රදේශවලට පොහොර යැවීමට කටයුතු කරන බවයි.

මෙරට වී වගාවට යට වන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 739047 ක් බව කියැවේ. අහස් දියෙන් වගා කළා වුව වාරි දියෙන් වගා කළා වුව සුළුපරිමාණයෙන් යැපුම් කෘෂිකර්මයේ දී වුව ගොවි ජනපද ආශ්‍රිත මහාපරිමාණ කෘෂිකර්මාන්තයේ දී වුව වී වගාව සඳහා මේ වන විට රසායනික පොහොර නැතිවම බැරි සාධකයක් බවට පත් වී තිබේ. හේතුව අලුත් වී වර්ග වගාකිරීමේ මූලික අරමුණ වශයෙන් පවතින්නේ වැඩි අස්වැන්නක් ලබාගැනීම වීමයි. වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ ඉටු කරගන්න යාමේදී පසෙහි ස්වාභාවික වශයෙන් පවතින විවිධ පෝෂක වර්ග විශාල ප්‍රමාණයක් පසෙන් ඉවත් වේ. නැවත නැවතත් පස වගාවෙහි යොදවන්නේ නම් සහ ඉහළ අස්වැන්නක් ලබාගැනීමට බාලාපොරොත්තු වන්නේ නම් ඒ ආකාරයෙන් පසෙන් ඉවත්වන පෝෂක වර්ග නැවත නැවතත් පසට එකතු කරන්නට සිදුවේ. ගැටලුව වන්නේ එකී පෝෂක වර්ග සියල්ලම කාබනික පොහොර වශයෙන් ගොවිබිමට ලාබා දීමට නොහැකිවීමයි.

රසායනික පොහොර පසට එකතු කිරීමට අවශ්‍ය වන්නේ එහිදීය. නයිට්‍රිජන්, පොස්පරස්, පොටෑසියම් සහ සින්ක් එසේ එකතු කරන රසායනික ද්‍රව්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කන්න තුනක් පිටපිටම වර්ෂාව නොමැති වීම හේතුවෙන් පාලු වූ බව රටම දන්නා කරුණකි. මෙවර වැසි සමය ආරම්භවීමත් සමග ගොවියන් වගාකටයුතු ආරම්භ කළේ මහත් බලාපොරොත්තු සහගතවය. ඒ අතර වාරයේ ගොවි සංවිධාන ප්‍රකාශ කළේ වතුර නොදීම වැනි ගැටලු නිසා ගොවීන්ට නිලධාරින් ගේ අරියාදුවලට ලක් වීමට සිදු වී ඇති බවය. ඊට අමතරව පසුගිය කන්න වල හානි වූ වගාවලට වන්දි නොලැබීම පිළිබඳ ගැටලු වලටද ගොවිනට මුහුණ දීමට සිදු විය.

සියල්ල අතරින් ගොවීහු මේ කන්නයේ වගා කටයුතු කළද මේ වන විට ඔවුනට පොහොර හිඟයකට සහ තිබෙන පොහොරවලට නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවීම පිළිබඳව ගැටලුවකට මුහුණ දීමට සිදු වී තිබේ. නිදර්ශනයක් වශයෙන් ජනවාරි 01 හෝ 02 දින පොහොර ලබා ගැනීම සඳහා මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිය ගොවීන්ගෙන් පිරිසකට සිදු වූයේ බලාපොරොත්තු සුන්කර ගෙන ආපසු ඒමටය. හේතුව එම මධ්‍යස්ථානයට ලැබී තිබුණේ පොහොර හොණ්ඩර 500ක් පමණක් වීමය. එය සෑහුණේ ගොවීන් 250 කට පමණි. පෞද්ගලික අංශයේ පොහොර මෙට්‍රික් ටොන් 40000ක් ද රජය මෙට්‍රික් ටොන් 35000ක් ද පාකිස්ථානයෙන් ඇණවුම් කළත් එරට පොහොර අපනයනය සීමා කළ බැවින් ලැබුණේ නැති බවත් පොහොර හිගයට හේතුව එය බවත් කෘෂිකර්ම ඇමතිවරයා කියා තිබුණි.

ගැටලුව වන්නේ කෘෂිකර්ම ඇමතිවරයා සිටින්නේ පොහොර හිගයක් රටේ ඇති වූ විට එසේ ඇති වීමට හේතු පැහැදිලි කිරීම සඳහාද යන්නයි. එසේ නැතිව කෘෂිකර්ම ඇමතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ පොහොර අවශ්‍යතාවක් රටේ ඇති වන බව දැන එකී අවශ්‍යතාව සපුරාලීම සඳහා කටයුතු කිරීමද යන වග විමසිය යුතුව තිබේ.

රටේ පොහොර හිගයක් ඇති විට හැකි බවටත් එවැනි පොහොර හිගයක් ඇති වුවහොත් ගොවීන්ට මුහුණ දීමට සිදු වන තත්ත්වයත් සම්බන්ධව ගොවි සංවිධාන කලක පටන්ම ආණ්ඩුවත් මාධ්‍යයන් දැනුවත් කළ බව රහසක් නොවේ.

එසේ දැනුවත් කරද්දී අදාළ බලධාරින් කීවේ පොහොර හිගයක් රටේ නැති බවය. නැතහොත් පොහොර හිගයක් රටේ ඇති විය නොහැකි බවය. ඊළඟට ඔවුන් කී‍වේ, පොහොර හිගයක් පිළිබඳ කතා පැතිරුණු බැවින් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගොවීන් පොහොර එක්රැස් කළ බැවින් පොහොර හිගයක් මතු වූ බවයි. ගොවින් නිතර කියන්නේ තමන් ගොවිතැනට පොහොර යොදන්නේ කනකර පවා උගසට තබා බවයි. පසුගිය කන්න තුනක්ම වගා වගා පාලු වී ඇති තත්ත්වයක් තුළ ගොවීන් පොහොර තොග රැස්කරගනු ඇතැයි විශ්වාස කරන්නට ද හැකියාවක් ඇත්තේ නැත.

අනෙක බොහෝවිට පොහොර බෙදාහැරීම සිදු වන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාය. රජයේ නිලධාරින් හරහා පෝරම පිරවීම ආදි කටයුතුද පොහොර බෙදාහැරීම සම්න්ධව සිදු වේ. ගොවිජන සමිති නිතර චෝදනා කරන්නේ ද පෝරම පිරවීම ගොවියාට හිසරදයක් බවට පත්ව ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ අවශ්‍ය ප්‍රමාණය අනුව අවශ්‍ය අයට පොහොර බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකසා ගන්නට ආණ්වට බැරිකමක් නැත. එසේම පමණ ඉක්මවා ඉල්ලුමක් ඇති වීමෙන් පොහොර හිගයක් ඇති වූයේය යන කතාව පිළිගන්නටද පුළුවන් කමක් නැත. හේතුව ඕනෑම අවස්ථාවක ඕනෑම පොහොරක් භාවිත කරන්නට හැකියාවක් නැති බැවිනි. නිදසුනක් ලෙස ගොවීන් සාමාන්‍ය වහරේ මඩ පොහොර, යූරියා, බණ්ඩි පෙහොර වශයෙන් හඳුන්වන පොහොර වර්ග අදාල වයසේ දී පමණක් වී වගාවට යෙදිය යුතුය.  පොහොර තොග රැස්කර තබා ගැනීමෙන් පලක් නොවන්නේ එහෙයිනි. මේ කන්නයේ යූරියා යෙදූ විට යූරියා නැවත අවශ්‍යවන්නේ ඊළඟ කන්නයේ බැවිනි.

රටේ පොහොර හිගයක් නැතැයි කී බලධාරීන්ම ජනාධිපතිතුමා පාකිස්ථානයෙන් පොහොර ඇනවුම් කළ විට කීවේ, වරායටම ලොරි යවා අවශ්‍ය තැන් වලට පොහොර බෙදා හරින බවයි. පොහොර හිගයක් රටේ නොපැවතියේ නම් වරායට ලොරි යවා ගබඩාවලට පොහොර ගෙන්වා ගන්නවා වෙනුවට අවශ්‍ය තැන් වලට බෙදාහැරීමක් ගැන කතා කරන්නනේ කුමටදැයි විමසිය යුතුය. බලධාරින් වරායට ලොරි යවන්නට කතා කිරීමෙන් පැහැදිලි වන්නේ ගබඩාවල පොහොර ‍තොග තිබී නැති බවයි. එනම් අවශ්‍ය ආකාරයට නිසි වෙලාවට අවශ්‍ය පමණට පොහොර ගෙන්වා ගබඩාකර ගැනීමට බලධාරින් අවමත් වී ඇති බවයි. පොහොර සම්බන්ධෆයන් කෘෂිකර්ම ඇමතිවරායා අවස්ථා තුනක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් පරස්පර බවද ජනමාධ්‍ය පෙන්වා දුන් බව මෙහිදී මතක් කළ යුතුය.

ඇතැම් ජනමාධ්‍ය පෙන්වා දී තිබුණේ අවශ්‍ය වෙලාවට කුඹුරට පොහොර සපයා නොදී වගා පාලු වන්නට හා අස්වනු හානිවන්නට අවශ්‍ය පරිසරය සකස්කර රටින් සහල් ගෙන්වා කොමිස් ගැසීමේ ජවාරමකට බලධාරින් අර අඳින බවය. පවතින තත්ත්වය අනුව ඒ තර්ක කිසිවක් බැහැර කළ හැකි වන්නේ නැත. පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයා මැදිහත් වූ ආකාරයටම පොහොර ප්‍රශ්නයේ අක්මුල් නිවැරදිව හදානාගන්නට කවුරු හෝ මැදිහත් විය යුතුය. මෙවැනනක් යළි සිදු නොවන්නට කවුරුත් වග බලා ගත යුතුය. නැති නම් ජනතාව ආණ්ඩුවට විරුද්ධව පාරට බසින දවස දුර නොවනු ඇත.

බණ්ඩාර උඩුරාවන

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *