මහින්දගේ වැදි බණ – අනුර සූරියබණ්ඩාර

මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂකයන් අමතා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ, තෝරාපත්වන මන්ත්‍රින් පළාත් පලන ආයතන වල කොන්ත්‍රාත් ගැනීමෙන් වැළකිය යුතු බවය. ඔහු තවදුරටත් කියා තිබුණේ හරිහම්බ කර ගැනීම වෙනුවට පළාත් පාලන මන්ත්‍රිවරු ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට ඉටා ගතයුතු බවය.

ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව මෙරට බිහිවූ බලවත්ම පාලකයා මහින්ද රාජපක්ෂ බව අමුතුවෙන් කිවයුතු නැත. ජේ.ආර්. ජයවර්ධන මහතා තරමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මහින්ද රාජපක්ෂට නොලැබුණු නමුත් උපායෙන්, කපටිකමෙන්, මුදල් වැයකිරීමෙන්, තනතුරු දීමෙන් වුව සිය පාලන සමයේ අන්තිම කාලයේ පාර්ලිමේන්තුව තුළ ඔහුට පැහැදිලි බහුතර බලයක් තිබුණි. එසේම ජේ.ආර්. ජයවර්ධන මහතා සතුව තිබූ විධායක බලයද යුද ජයග්‍රහණය හේතුවෙන් හිමි වූ ජනප්‍රියත්වයේ බලයද ඔහුට උවමනාවටත් වඩා තිබුණි.

පළාත් පාලන ආයතන වල පළාත් සභාවල බහුතර හා පැහැදිලි බලය ද ඔහුගේ සන්ධානය සතුව පැවතුණි. ඒ කාලයේ අවශ්‍යතාව තිබුණි නම් මහින්ද රාජපක්ෂ මහතාට මෙරට දේශපාලනය පිරිසිදු කරන්නට හැකියාව තිබුණි. එහෙත් ඔහු එසේ කළේ නැත. දැන් තේරීපත්වන පළාත් පාලන ආයතන නියෝජිතයනට පළාත් පාලන ආයතන වල කොන්ත්‍රාත් කරන්නට සූදානම් වන්නට එපා යැයි මහින්ද රාජපක්ෂ මහතා අද කියන්නේ ඔහුගේ පාළන කාලයේ පුංචි ආණ්ඩුවලට පත්ව සිටි නියෝජිතයන් ප්‍රාදේශීය පාලනයේ කොන්ත්‍රාත් කර මුදල් ඉපැයීම සිරිතක් කරගෙන සිටි බව දන්නා නිසාය. ඉන් ඔප්පු වන අනෙක් කරුණ වනේනේ ප්‍රාදේශිය පාලකයනට කොන්ත්‍රාත් කරන්නට ඉඩහැර මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන කාලයේ නිහඬව සිටි බවය.

බලය නැති කාලයට මහින්ද රාජපක්ෂ මහතා කොහොමටත් ජනතාවාදීය. විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රිවරයකුව සිටි කාලයේ ඔහු මානව හිමිකම් ආරක්ෂා කරන්නට පාද යාත්‍රා ගි‍යේය. රථ යාත්‍රා ගියේය. ජන ඝෝෂා කළේය. එතැනින් නොනැවතී මෙරට මානව හිමිකම් පිළිබද පැමිණිලි කරන්නට ජිනීවා මානව හිමිකම් කමිටුවටද ගියේය.

බලයට එන්නට පෙර ඔහු කීවේ, මම භූමියේ පාලකයා නොව බාරකාරයා ය කියාය.  බලය අතට පත් වූ පසුව ඔහුට ඒ සියල්ල අමතක විය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය. පුදීප් එක්නැලිගොඩ ඝාතනය අතුරුදන් කළේය. පොද්දල ජයන්තගේ අතපය කඩා දැම්මේය. රතුපස්වල වතුර ප්‍රශ්නයට උද්ඝෝෂණය කළ පිරිසට එලව එලවා වෙඩි තබමින් ඔවුන්ගේ මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කළේ එදා ජන ඝෝෂා කළ, මවුවරුන්ගේ පෙරමුණ ආරම්භ කළ මහින්ද රාජපක්ෂමය. කටුනායක පිකටින් කළ අයට ද මීගමුවේ උද්ඝෝෂණය කළ අයටද මහින්ද රාජපක්ෂගේ වෙඩි උණ්ඩයෙන් ගැලවී ගත ‍හැකි වූයේ නැත.

පළාත් මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් ගත් කල මෑත යුගයේ බිහි වූ ජරාජීර්ණම පළාත් පාලන මන්ත්‍රිවරුන් වශයෙන් ගත හැක්කේ මහින්ද රාජපක්ෂගේ ගෝලබාල යෝය. නූරි වතුයායේ අධිකාරිවරයා ඝාතනය කළ අතකොටා මහින්දගේ ගෝලයකි. පෙම්වතා ඝාතනය කොට විදෙස් තරුණියක දූෂණය කළේද කතුන් දෙසීයක සමග යහන් ගතවීම සමරන්නට ප්‍රීතිසාද පැවැත්වූයේ ද මහින්ද රාජපක්ෂගේ ගෝලයකි.

මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිව සිටි කාලයේ ඒ කිසිවක් නවත්වන්නට කටයුතු කළේ නැත. ඔහු කළේ හැකි සෑම ආකාරයකින්ම ඔවුනට ආරක්ෂාව සැපයීමය. නැතහොත් නීතිය ක්‍රියාත්මක නොවන්නට ඉඩ හැර සිටීමය.

ප්‍රාදේශීය සභා යනු එකල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ ධන නිධාන කොන්ත්‍රාත් සාගර බවට පත්ව තිබුණු බව මහින්ද රාජපක්ෂ මහතා දැන සිටි බවත් ඒවාට ඉඩ දී නිහඬව සිටි බවත් කොන්ත්‍රාත් බාර ගන්න එපා යැයි අද කීමෙන් පැහැදිලිවේ. අතැමුන් තමන්ම කොන්ත්‍රාත් කළහ. තවත් අයෙක් හිත මිතුරන් ඥාතින් ගාවාගෙන කොන්ත්‍රාත් කළහ. තවත් අයෙක් කොන්ත්‍රාත් ලබා දී 10%  20% ආදි වශයෙන් කොමිස් ගැසූහ. ගම්වල පවතින කතා බහ අනුව මුලදි 20% සාක්කුවේ දමාගෙන් 80%කින් කොන්ත්‍රාත් නිම කළ මන්ත්‍රිවරු පසුව 80% සාක්කුවේ රුවා ගෙන 20%න් කොන්ත්‍රාත් අවසන් කරන තත්ත්වයට පත්ව තිබුණි.

රාජපක්ෂ මහතා අදත් කියන්නේ කොන්ත්‍රාත් ලබාගන්නට එපා කියාම නොව කොන්ත්‍රාත් ගන්නට සූදානම් වන්නට එපා කියා පමණි. ප්‍රාදේශිය සභා නගර සභා මන්ත්‍රිවරු මහින්ද රාජපක්ෂ සමයේ මුදල් හරිහම්බ කළේ කොන්ත්‍රාත් මගින් පමණක් නොවේ. ප්‍රදේශයේ ගස් කැපුවේ ප්‍රාදේශිය දේශපාලකයෝය. වැලි හැරුවේත් බොරලු කැපුවේත් ප්‍රාදේශිය දේශපාලකයෝයමය. මහින්දට එවැනි දේ ට එපා කියන්නට හැකියාවක් නැති බව පෙනේ.

පසුගිය සමයේ ප්‍රාදේශිය ‍සභා ‍නගර සභා මහ නගර සභා නියෝජනය කළ දූෂිත බහුතරය තවමත් සිටින්නේ මහින්ද රාජපක්ෂ සෙ‍වනේ බව අමුතුවෙන් කිවයුතු නැත ඔවුන් තවමත් මහින්ද සමග රැඳී සිටින්නේද ඔහුගේ පාලනයේ රස දන්නා නිසාය. රට, ජාතිය ගැන කොතරම් කටපූචානම් කීවද මහින්ද ඇතුළු ඔවුන් සියල්ලන්ගේ එකම අරමුණ සහ අභිප්‍රාය නැවත බලය අත්පත් කරගෙන පුරුදු ගසා කෑම් නැවත ආරම්භ කිරීමය.

පිරිසිදු පාලනයකට අවංකවම කැප වෙන්නේ නම්, මහින්ද තේරි පත්වුණොත් කොන්ත්‍රාත් කරන්නට එපා යැයි පළාත් පාලන අපේක්ෂයන්ට කියමින් ඉන්නට අවශ්‍ය වන්නේ නැත. මෙවරත් ඔහුගේ පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා සිටින පැරණි සොරුන්ට නාම යෝජනා නොදී ඉන්නට තිබුණි. ඊටත් කළින් මහින්දානන්ද, විමල් වැනි දැනටමත් දූෂණ චෝදනා ලැබ සිටින ඔහුගේ පිරිස ඉවත් කරන්නට තිබුණි. නාමල්ට, ශීරන්ති වැනි අයට නීතිය ක්‍රියාත්මක වනවිට ‘මෙන්න පලිගන්නවෝ’ කියා කෑගසන්නේ නැතිව නිහඬවන්නට තිබුණි. මවුපියන් සමරන්නට ආණ්ඩුවේ මුදල් වැය කිරීම නතර කරන්නට තිබුණි. ෂැංගිලා වැනි දූෂිත ගනුදෙනු නතර කරන්නට තිබුණි. අඩුම තරමින් අපරාධකාරයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ විට ඔවුන් බලන්නට යමින් මාධ්‍යවලට අපත ප්‍රකාශකිරීමවත් නතර කරන්නට තිබුණි. ඒ කිසිවක් මහින්ද කළේ නැත ක‍රන්නේ ද නැත. එහෙයින් යම් හෙයකින් එක් පළාත් පාල ආයතනයක හෝ බලය ඔහුගේ පක්ෂයට ලැබුණොත් ඔහුගේ ගෝලයන් කොන්ත්‍රාත් පමණක් නොව පුරුදු ජඩවැඩ සියල්ලම අලුතින් පටන්ගන්නවාට කිසිම සැකයක් ඇත්තේ ද නැත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *