බැඳුම්කර වාර්තාෙව් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අරඹන්න – අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත උපදෙස් දුන්නේය.

බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (5) පැවැති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා දැනුම් දුන්නේය.

2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකොට, නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව බැඳුම්කර කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියලු ලිපිගොනු සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවැරිණි. මේ අවස්ථාවට මුදල් ඇමැති මංගල සමරවීර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ද සහභාගි වූහ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *