සුසිල් ඔයා ගෙදර යන්න – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජාතික ආණ්ඩුවෙ ආයුෂ හොයන්න චන්ද්‍රිකාට අයිතියක් නැහැ කියල විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුණ. ජාතික ආණ්ඩුව ගැන කතා කරන්න චන්ද්‍රිකා බණ්ඩාරණායකට අයිතියක් නැත්නම් ඒ ජාතික ආණ්ඩුවෙ ඇමතිකම් දරණ සුසිල් ප්‍රේම ජයන්තට ඇති අයිතිය මොකක්ද?

සුසිල් ප්‍රේමජයන්තත් කියන ආකාරයටම ජාතික ආණ්ඩුව බලයට පත්වුණු මහ මැතිවරණයේදි සුසිල් හිටියෙ මෛත්‍රිට විරුද්ධ පිලේ. කෙටියෙන් කියනවනම් සුසිල් අවසන් මොහොත දක්වාම කටයුතු කළේ මෛත්‍රි – රනිල් එකමුතුව පරාජය කරල නැවත මහින්ද රාජපක්ෂ බලයට ගෙනෙන්නයි.

මහින්ද රාජපක්ෂ බලයට ආවනම් රටට වෙන්න නියමිතව තිබුණෙ මොකක්ද කියල නොදන්නව වගේ සුසිල් හැසිරුණාට රටම දන්නව. මහින්ද ඒ ඡන්දයෙන් ජයග්‍රහණය කළා නම්, මේ ලියන මා ඇතුළු රටේ ජනතාවට වෙන්නෙ මහින්ද මැරෙනතුරුම ඒකාධිපති පාලනයට යටතෙ ජීවත් වෙන්න. මහින්දගෙ අරමුණ තිබුණෙ උතුරු කොරියාවෙ වගේ තාත්තගෙන් පස්සෙ පුතා නාමල් රාජපක්ෂට බලයට එන්න පාර කපන්න.

යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා 18 වැනි සංශෝධනය ඉවත් නොකළානම් මහින්දගෙන් පස්සෙ නාමල් බලයට ඇවිත් නාමල්ගෙ ජීවිතේ තියනතුරු රට පාලනය කරයි. සුසිල්ට ඒ තරම් කාලයක් ජීවත්වෙන්න ඉතුරුවෙලා නැති නිසා එයත් මහින්දගෙ නැත්නම් නාමල්ගෙ ඔඩොක්කු කුක්ක විදිහට ඉදල මැරිල යයි.

යහපාලන ආණ්ඩුව මෙතැනින් නතර නොවී තවදුරටත් ඉදිරියට යන්න ඕන කියන එක චන්ද්‍රිකා මැතිණියගෙ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුවට වචනයකින් හරි සහයෝගය දුන්න කාගෙත් අපේක්ෂාව බව සුසිල් වටහගන්න ඕන.

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමෙන් ජනතාව බොහෝ දේ අපේක්ෂා කළා. ඉන් පළමුවැන්න ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. 19 සංශෝධනය හරහා එය යම් දුරකට ඉටුවුණත් ඒ අපේක්ෂාව සම්පූර්ණයෙන් ඉටු වුණේ නැහැ. විධායකය ඉවත් කරන්න ගත්තු උත්සාහයට බෙල්ල කඩාගන්න තරමට විරුද්ධ වුණෙත් සුසිල්ගෙ කල්ලිය යන වග රටම දන්නවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය යහපාලනය බලයට ගෙන ඒමේ තවත් ජනතා අපේක්ෂාවක්. ඒ අපේක්ෂාව තවමත් ඉටු වෙලා නැහැ. ඒ උත්සාහයට විරුද්ධව ඉන්නෙ සුසිල්ගෙ කල්ලිය බව පැහැදිලියි. කොටින්ම කිව්වොත්, 1978 ව්‍යස්ථාව ගෙනාපු එක්සත් ජාතික පක්ෂයත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව කටයුතු කරද්දි මුලපටන්ම 1978 ව්‍යවස්ථාවට විරුද්ධ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවය කියල පුරසාරම් දොඩන සුසිල්ලට දැන් 1978 ව්‍යවස්ථාව රහ වෙලා. යහපාලන ආණ්ඩුව බලයට පත්කරන්න අවංකව වගේම කැපවීමෙන් වැඩ කළ චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය වගේ අය යහපාලනය රැකගන්න උත්සාහ කරනවට සුසිල්ල බය ඒ නිසයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් නොවුණනම් ව්‍යවස්ථා සභාවත් නැහැ. ස්වාධීන කොමිෂන් සභාත් නැහැ. අඩුම තරමින් ආණ්ඩුවෙ ඇමතිකමක් දරණ අතරෙ ආණ්ඩුවටම ගල්ගහන්න සුසිල්, ඩිලාන් වගේ අයට අද ලැබිල තියෙන නිදහසත් නැහැ.

විගණන පනත තවම අතර මඟ. යහපාලන ආණ්ඩුවට වයස අවුරුදු දෙක පිරෙද්දිත් තවම විගණන පනත සම්මත කරගන්න බැරි වෙල. යහපාලන ආණ්ඩුව යටතෙ විගණන පනත සම්මත නොවුණොත් අනාගතේ කිසිම දවසක විගණන පනතක් නැවත නොඑන බව ඉරහඳ වගේ විශ්වාසයි. යහපාලන ආණ්ඩුවෙ ආයුෂ 2017 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය යුතු නැහැ කියල චන්ද්‍රිකා මැතිනිය කියන තවත් හේතුවක් ඒකයි. තොරතුරු දැනගැනීමේ පනත මුල්වතාවට පාර්ලිමේන්තුවට ගෙනාවම සුසිල්ලගෙ ආණ්ඩුව ඊට බාධා කළ ආකාරය අනුව විගණන පනත වගේ ශක්තිමත් පනතකට ඒ අය අත් උස්සයි කියල කිසිම කෙනෙකුට විශ්වාසයක් නැහැ.

සුසිල්ල තවමත් හීන දකින්නෙ මෛත්‍රි – රනිල් එකඟතාව කඩල බිඳල සුනු විසුණු කරල මෛත්‍රි – මහින්ද පූට්ටු කරන්න. මෛත්‍රි යටතෙ හරි වෙන කෙනෙක් යටතෙ හරි තනියම හරි නැවත මහින්දට බලයක් දෙන්න සුසිල් වගේ හෙන්චයියො කීපදෙනෙකුට අරුණම මේ රටේ ජනතාවට අවශ්‍යතාවක් නැහැ.

යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව බලාපොරොත්තු වෙන්නෙ, 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ පළාත් පාලන ආයතනවලත් යහපාලන පුතිපත්තිය ක්‍රියාත්මක වෙනව දකින්නයි. කෙටියෙන් කියනවනම් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් වෙන වෙනම මැතිවරණ තරග කළාට තනි බලයක් ගන්න පුළුවන් වුණොත් දෙපක්ෂයම යහපාළන පිළිවෙත් ඉදිරියට යා යුතුයි. තනි බලයක් ගන්න බැරි වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට ගැටගහන්න සුසිල්ල බලාන හිටියට ජනතාව අපේක්ෂා කරන්නෙ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමගියෙන් පළාත පාලන බලය ගොඩනැඟෙනව දකින්නයි.

මහින්ද එක්ක හවුලෙ පුංචි ආණ්ඩු කරන්න ගියොත් වෙන්නෙ පසුගිය කාලයෙ තිබුණු දූෂිත තත්ත්වයට පළාත් පාලන ආයතන නැවත පත්වීම බව සුසිල් අමතක කළාට ජනතාවට අමතක කරන්න බැහැ. එහෙම වුණොත් වෙන්නෙ නෙල්සන් මැන්ඩලාගෙන් පස්සෙ දකුණු අප්‍රිකාවෙ පාලනය දූෂිත වුණා වගේ ලංකාවෙත් නැවත දූෂිත බලවේග වලට ඉඩ ලැබීම.

ඒ නිසා සුසිල් ඇමතිතුමෝ යහපාලනය ඉදිරියට අරන් යන්න ඔහෙට නැති ශුද්ධ වූ බලයක් අයිතියක් චන්ද්‍රිකා මැතිනියට තියනව. යහපාලනය ඉදිරියට ගෙනියන්න අකමැතිනම් ඔහෙ ගෙදර යන්න. මහින්දගෙ ආණ්ඩුවෙ ඉඳගෙන කරපු අපරාධ සහායක ජොබ් එකට වඩා ගෙදර යන එක ගොඩක් නම්බුකාරයි.

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *