බැඳුම්කර කරුණු ගැන නීතිපති උපදෙස් මත ක්‍රියා කරනවා – ජනාධිපති

 

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් අදාළ කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් අනුව විධිමත්ව සහ නීත්‍යානුකූලව කඩිනමින් සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වාර්තාවේ පිටපතක් දැනටමත් නිතිපතිවරයාට භාර දි ඇතැයිද වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර මහජනතාවට විවෘත වාර්තාවක් බවට පත් කරන බවද ජනාධිපතිවරයා ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කෙළේය.

ද්වීතිය වෙළෙඳ පොළේ ගණුදෙනුවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ගෙන ඇති ලාභය රුපියල් මිලියන 11, 145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථ සාධක අරැමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වු අලාභය රුපියල් මිලියන 8, 529 ක් හෙවත් බිලියන 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වී ඇති අතර සිදු වී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප්‍රමාණය නැවත අය කර ගැනිමටත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට පසුබට නොවන බවද ජනාධිපතිවරයා සඳහන් ‍කළේය.

2008 වසරේ පටන් මෙවැනි සමාන තත්ත්වයක් පැවති බව කොමිසම අදහස් කරන බවත් ඒවා සොයා බැලිම සඳහා 2008 වසරේ සිට සිදු වූ සියළු දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික විගණනයක් මුලින්ම සිදු කළ යුතු බවද ඒ තොරතුරු මත නිතිමය ක්‍රියා මාර්ගවලට එළැඹිය යුතු බවද කොමිසම දන්වා ඇතැයිද ජනාධිපතිවරයා කිය.

කොමිසම පවත්වා‍ ගෙන යාමට වැය වු සියළු පිරිවැය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකර ගත යුතු බව කොමිසම නිර්දේශ කර ඇතැයිද පැවැසිය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති තනතුරට පත් කිරිමට අගමැතිවරයා ගත් වගකීම විධිමත් බව වාර්තාව පෙන්වා දී ඇතැයි ජනාධිපතිවරයා පැවැසීය.

අදාළ පාර්ශ්වයන්ගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් අවභාවිතයට මග පෑදි ඇති අතර මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව නිර්දේශ කර ඇතැයිද දඬුවම් ලබා දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන ඇලෝසියස් , කසුන් පලිහේන මහත්වරුන් වාර්තාවෙන් හඳුනාගෙන ඇති අතර වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නිතිය කෘත්‍යන්ට එළැඹීමට යෝජනා කර ඇති අතර රජයට සිදු වු අලාබය අය කර ගැනිමට ක්‍රියා කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනිමේ ක්‍රියාවලිය මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත් වී අතර අභ්්‍යන්තර තොරතුරු පිටතට දීම ගැන වගකිව යුතු බව වාර්තාවේ සඳහන් වෙන බව ද කීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේද බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ සහභාගිත්වය හරහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බවත් වාර්තාවේ සඳහන් වන බවද ජනාධිපතිවරයා කිය.

කොමිසමේ නිර්දේශවලට‍ අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සුළු සංශෝධනයකට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නීති කෙටුම්පත් නිලධාරින් මේ වන විටත් කඩිනමින් කටයුතු සිදු කරමින් සිටින බවද කීය‍ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *