අපතේ යන මිනිස් පැය – බණ්ඩාර උඩුරාවන

2016 වර්ෂයේ දී වැඩවර්ජන 41ක් හේතුවෙන් මිනිස් දින 104,327 රටට අහිමි වූ බව මහ බැංකු වාර්තාව අනුව පැහැදිලිවේ. බැංකු වාර්තාවේ දැක්වෙන් පරිදි 2016 වසරේ වර්ජනවලට එක් වූ සේවක ප්‍රමාණය 38.5කින් ඉහළ ගොස් තිබේ. වැවැලි ක්ෂේත්‍රෙය් වර්ජනවලට එක් වූ සේවක සංඛ්‍යාව 21% ඉහළ ගොස් ඇති අතර වැවිලි නොවන අංශයන් වලින් වර්ජනවලට එක් වූ සංඛ්‍යාව  61% ක් ඉහළ ගොස් ඇති බව පැවසේ. 2008 වසරේ වර්ජන හේතුවෙන් රටට අහිමි වූ මිනිස් දින 65,655කි. 2015 දී එය 82,294කි. 2016 වසරේ වර්තාගත වන රටට අහිමි වූ මිනිස් පැය ප්‍රමාණය 2007න් පසුව වාර්තාවන ඉහළම අගය බවද පෙනේ.

වර්ජන හේතුවෙන් රටට අහිමිවන මිනිස් දින සංඛ්‍යාව සහ යහපාලනය අතර සම්බන්ධතාවක් ඇති බව හැ‍ඟෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් කාලය වූ 2014 දී පෞද්ගලික අංශයේ සේවක වර්ජන 2013 වසරට සාපේක්ෂව 42%කින් අඩු වී ඇති බැවිනි. එසේම 2013ට සාපේක්ෂව 2014 දී පෞද්ගලික අංශයේ අහිමි වූ මිනිස් දින 53.6 කින් අඩු වී ඇති බවද සඳහන්ය. ඉහත සංඛ්‍යා ලේඛන 2016 වසර සඳහාය. 2017 වර්ෂයේ  මහ බැංකු වාර්තාව නිකුත් වූ විට එම සංඛ්‍යා පැහැදිලිවම වෙනස් වනු ඇත.

කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. එනම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ නොතිබුණු තරමේ වැඩ වර්ජන සංඛ්‍යාවක් වත්මන් ආණ්ඩුව යටතේ සිදුවෙමින් පවතින බවයි. යහ පාලන පිළිවෙත යටතේ කම්කරුවන්ට මහින්ද රාජපක්ෂ යටතේ නොලැබුණු සහනයක් ලැබී ඇතැයිද, වැඩවර්ජන උද්ඝෝෂණ ආදියෙන් පෙනෙන්නේ රටේ පුජාතන්තුවාදය ඉහළින්ම ක්‍රියාත්මක වන බව යැයිද එය යහපාලන රජයේ ජයග්‍රහණයක් යැයි කියමින් උදම් අනන්නට ජනතාවටත් ආණ්ඩුවටත් හැකියාව තිබේ. එහෙත් ඒ පුජාතන්ත්‍රවාදි නිදහසත් උදම්ඇනීමත් පසුපස ඇත්තේ භයානක ඛේදවාචකයකි.

වසරකට මිනිස් දින 104,327 ක් වැඩවර්ජන හේතුවෙන් රටට අහිමි වීම ආර්ථිකයට යහපත් කරුණක් නොවේ. වැඩවර්ජන හේතුවෙන් රටට අහිමි වූ මිනිස් දින 104,327 නැවත කිසි දිනක රටට ලැබෙන්නේ නැත. වර්ජනය අවසන් වූයේ වෘත්තිය සමිතිවලට ජයග්‍රහණය ලබා දෙමින් වුව පරාජය ලබාදෙමින් වුව වැඩ නොකර සිටි පැය ගණන යළි කම්කරුවන් අමතර සේවයේ යෙදී හිලව් නොකරන බැවිනි. ඊට අමතරව වැඩ වර්ජනය කර සිටි කාලය වෙනුවෙන් සේවකයන්ට හිමිවිය යුතු වැටුප්, වැටුප් වර්ධක, නිවාඩු, ආදිය වෙනුවෙන්ද පිරිවැයක් දරන්නට ආණ්ඩුවට හෝ අදාළ පෞද්ගලික අංශයට හෝ වැවිලි ක්ෂේත්‍රයට සිදුවේ. වැඩ නොකර සිටීමෙන් සිදු වූ පාඩුවත්, වැඩ නොකර සිටි කාලයට ගෙවීමට සිදුවීමත් පාඩුව දෙගුණ තෙගුණ වීමකි.

2017 වසරේ වාඩාත්ම දිග්ගැස්සුණු වැඩවර්ජනය සහ උද්ඝෝෂණය වශයෙන් සැලකිය හැක්කේ සයිටම් විරෝධි වර්ජනය සහ උද්ඝෝෂණයයි. කාර්මික සාමය වඩාත්ම ආරක්ෂා වූ වර්ෂය වශයෙන් රාජපක්ෂ  පාලන සමයේ අවසන් කාලය වන 2014 වසර හදුනාගතහැකි වුව සයිටම් ප්‍රශ්නය යනු සහපාලනයේ නොව මහින්ද පාලනයේ දරුවෙකි. එනම් මහින්ද පාලනයේ කරන්නට තිබුණු වර්ජන සහ උද්ඝෝෂණ මාලාවක් යහපාලන ආණ්ඩු කාලය මාරු වී ඇති බවයි.

මෑතදී අවසන් වුණු දුම්රය වර්ජනයට බලපෑ එක් හෙතුවක් වූයේ වැටුප් විෂමතාවකි. ඒ වැටුප් විෂමතාව ද යහපාලන ආණ්ඩුව ඇති කළ එකක් නොව කලක් තිස්සේ දිග්ගැසෙමින් එන්නකි.

තැපැල් සේවකයන්ද ළඟදී දිනක වැඩ වර්ජනයකට සුදානමින් සිටිති. ඔවුන්ට ද ඇත්තේ වැටුප් ප්‍රශ්නයකි. එකී වැටුප් ප්‍රශ්නයද මෑත කාලයේ ඇති වූවක් නොව කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නයකි.

හම්බන්තොට වාරය සම්බන්ධයෙන් ද කොළඹ වරායේත් හම්බන්තොටත් උද්ඝෝෂණ වැඩවර්ජන රැසක් පැවැත්විණි. හම්බන්තොට ගිවිසුම සම්බන්ධයෙන් ගතහොත් එය මේ ආණ්ඩුව යටතේ අත්සන් කෙරුණු එකක් නොවේ. හම්බන්තොට අක්කර 15000ක ආයෝජන කලාපය පිළිබඳ එකඟතාව ඇති වූයේ 2014 දෙසැම්බර් මාසයේය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේය. නමුත් හම්බන්තොට විරෝධතාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාද පෙරමුණේ සිටියේය. හරියටම තාත්තාගේ පාලන කාලයෙ කළ යුතුව තිබුණු විරෝධතාවක් හදිස්සියේ නාමල් රාජපක්ෂට මතක් වූවා සේය.

2017.12.26 ජංගම දුරකථන වලට ලැබුණු කෙටි පණිවිඩ ප්‍රවෘත්තියකින් කියැවුණේ, හම්බන්තොට වරාය බදු ගිවිසුමේ පළමු 30% පංගුව වශයෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 292.1 මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ ගිණුමට ඇමරිකානු ඩොලර් ගිණුමට බැර වී ඇති බවයි. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ විරෝධතාවලට ආණ්ඩුව යටත් වූයේ නම් මේ වන විටත් සිදුවෙමින් පවතින්නට තිබුණේ ඇමරිකානු ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් වීම නොව කොළම වරායෙන් උපයන ඇමරිකානු ඩොලර් ණය වාරික වශයෙන් චීන ගිණුමක තැන්පත් වීමයි.

වැඩවර්ජන හේතුවෙන් රටට අහිමිවන්නේ මිනිස් පැය මිනිස් දවස් විතරක් නොවේ. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලට ද එයින් බාධා ඇතිවේ. ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සැලසුණි නම් ශ්‍රී ලංකන් වැනි සුදු අලින් නඩත්තුවට යන බදු මුදල් වලින් රට ගලවා ගන්නට තිබුණි.

මහ බැංකු වාර්තාව දෙසට නැවත හැරෙන්නේ නම් මහින්දගේ පාලනයේ අවසන් කාලයේ එනම් 2014 දී සේවක වර්ජන 42% අඩුවීමෙන් පෙනෙන්නේ ඒ කාලයේ ආර්ථිකය නිදහසේ බාධා කිරීම්වලින් තොරව පවත්වාගෙන යාමට පැවති හැකියාවය.

රටක් වශයෙන් ආර්ථික වර්ධනයේ දී වැඩි බර තබන්නේ විදේශ ආයෝජන මත නම් ආර්ථිකය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඇති හැකියාව එහි දී වැදගත් වේ. නිතර වැඩවර්ජන පවතින, නිතර ප්‍රවාහනය ඇනහිටින, කාර්මික සාමයක් නැති රටක ආයෝජනය කරන්නට විදේශ ආයෝජකයන් මැළිවෙනවා පමණක් නොවේ, දේශීය ආයෝජකයකු වුවද ඒ පිළිබද දෙවරක් කල්පනා කරවාට සැකයක් නැත.

ආණ්ඩුවක් පරාජය කිරීමට හොඳම උපායමාර්ගය රටක ආර්ථිකය වැට්ටීමයි. වැඩ වර්ජන මගින් ආර්ථික ගමනට බාධා කිරීම, ආයෝජකයන් උදාසීන කිරීම ආදිය පිටුපස ඇත්තේ හුදු වෘත්තීය සමිති වාදයක්ද යන වග ආණ්ඩුව විශේෂයෙන් කල්පනා කළ යුත්තේ එහෙයිනි. නිදසුනක් වශයෙන් වැඩවර්ජනවලට උඩගෙඩි දෙන අතරම එනම්, මහින්දගෙනා සයිටම් ආයතනයට මහින්දම විරුද්ධවන අතර, සහ මහින්දගේ හම්බන්තොට වරායට නාමල් එරෙහි වන අතර ඒකාබද්ධය රටට ආයෝජකයන් එන්නේ නැතැයි අවලාද නගති.

මහිනද පාලන සමයේ යුද්ධය නිමා වීමත් සමඟ මෙරට සංවර්ධනයට ස්වර්ණමය අවස්ථාවක් උදා වූ බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. නමුත් මහින්ද පාලනයට යුද්ධය අවසන්වීමේ වාසිය අත්පත් කර ගන්නට හැකි වූයේ නැත. එයට හේතු වූයේ ඔවුන්ගේ මානව හිමිකම් කැරැට්ටුවයි. ඔවුන්ගේ කාලයේ සිදුවූයේ   GSP + වැනි අවස්ථා පවා අහිමිකර ගැනීමයි. ඒ වෙනුවට ගිනි පොලියට ණය ලබාගනිමින් අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපල, ක්‍රීඩාපිටි, සම්මන්ත්‍රණශාලා වැනි ආර්ථික වාසි අත්පත් කර නොදෙන එහෙත් පිරිවැය ඉහළ නංවන සංවර්ධන සංදර්ශන පැවැත්වීමයි. සුදු අලියන් වැඩිවැඩියෙන් ආර්ථිකයට හදුන්වා දීමයි. අහස අපට කියමින් රටට හදුන්වාදුන් මිහින් ලංකා ඊට හොඳම නිදර්ශනයකි.

දැන් රටට මානව හිමිකම් චෝදනා නැත. කවුරුත් කෙසේ කීවද මෙරට ප්‍රාග්ධන වෙළදපලට ඉතිහාසයේ වැඩිම ආයෝජන කෙරුණේ පසුගිය නොවැම්බරයේය. ඇමරිකන් ඩොලර් මිලියන 292.1කින් මේ වන විට මෙරට ඩොලර් ගිණුම ශක්තිමත් වී තිබේ.

දැන් රටට අවශ්‍ය කාර්මික සාමයයි. කුසපොත්ත ගැන සිතා වර්ජනය කරන වෘත්තිය සමිති මෙයට වඩා රට ගැන සිතා කටයුතු කරන්නට පුරුදු විය යුත්තේ ඒ නිසාය. අනෙක් කරුණ වන්නේ විරුද්ධ පාර්ශව වලට ශක්තිමත් වෘත්තිය සමිති ව්‍යාපාර පැවතුනද ආණ්ඩුවේ වෘත්තිය සමිති ඔවුන්ගෙන් එල්ලවන අභියෝග වලට මුහුණදීමට තරමට ශක්තිමත් තත්ත්වයක නොපැවතීමය. නිදසුනක් වශයෙන් සංහිඳියා ආණ්ඩුවේ කොටස්කරුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිතිවල බලය තවමත් පවතින්නේ මහින්ද පාර්ශවයට අනුගතවය.

ජුලි වර්ජනයෙන් පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා කළ පළමු කටයුත්ත ජාතික සේවක සංගමය ශක්තිමත් කිරීමයි. එතෙක් රටේ බලවත්ව පැවති වාමාංශික වෘත්තිය සමිති දණ ගැස්සුවේ ජේ.ආර්. මහතාගේ සංකල්පය හේතුවෙනි. වත්මන් ආණ්ඩුවට එවැනි දර්ශනයක් ඇති බව පෙනෙන්නේ නැත. මෙරට වාමාංශික වෘත්තිය සමිති යනු කවරදාකවත් අනාගත දැක්මකින් යුතුව කටයුතු කළ සංවිධාන කොට්ඨාශයක් නොවේ. පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය නමැති වෘත්තිය සමිති එකමුතුවක් විසින් 2017.12.06 දින බෙදා හැර තිබුණු අත් පත්‍රිකාවක එක් ඡේදයක් මෙසේය; එය උපුටාදක්වන්නේ මෙරට වෘත්තිය සමිති කෙතරම් පසුගාමීද යනවග තේරුම් කිරීම සඳහාය.

‘‘ඈත අතීතයේ පටන් අපේ රටේ රාජාණ්ඩු පැවැති කාල වකවානුවල රට වර්තමානයට වඩා සශ්‍රීක මට්ටමක පැවති බව පිළිගත යුතුය,

වර්තමානයට වඩා යහපත් අතීතයක් තිබුණු බව කවර හෝ මාක්ස්වාදියකුට නොව ඉතිහාසය මැනවින් හැදෑරුවකුට වුවද පිළිගත යැකි නොවේ. මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ මෙරට වෘත්තිය සමිති සූදානම් වන්නේ අනාගතයට මුහුණ දීමට නොව අතීතයට පසුබැසීමට බවය. එවැනි තැනැත්තන්ට මෙරට මිනිස් දින මිනිස් පැය කාබාසිනියා කරන්නට ඉඩ හැර ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදම් අනානවාද? රටේ හෙට දවස තීරණය වනු ඇත්තේ අද ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර මතය.

බණ්ඩාර උඩුරාවන

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *