ජනවරමට ගරුකළ යුතුයි

සියලූම දෙනා දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා ගේ පසුගිය පාලන කාලය මේ රටේ ලක්ෂ 63ක ජනතාව ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතික්ෂේප කළ හ. ඒ ජනවාරි 8 වෙනිදා ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහුගේ පාලනයයි. ඒක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම ඒ 63 ලක්ෂයට එකතු වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදි සියලූම දෙනා එකතු වී සම්මුතියකට පැමිණ පොදු අපේක්ෂකයෙකු බලයට පත් කළ හ. ඒ වෙන කවුරුවත් නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය. ඔහුට මේ රටේ ලක්ෂ 63ක ජනතාව ජනවරමක් දුන්නා. ඒ ජනවරම ඉතාම පැහැදිළිය. ඒ ජනවරම මේ රට තුළ සමාජ වෙනසක් ඇතිකිරීමට දුන්නු වරමකි. ඒ සඳහා දේශපාලන වෙනසක් අවශ්‍ය ය. ඒක තමයි එම 63 ලක්ෂය පැවසුවේ. ඔහුත් සමග වේදිකාවල ගම් නියම් ගම් වල අපි එම අදහස ප්‍රකාශයට පත් කළෙමු. ඒ අනුව හැසිරීම මෛත්‍රිපාල මහතා ප්‍රදර්ශනය කළයුතු ය. වෙන මාවත් වල ඔහුට යන්නට හැකියාවක් නැත.
ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව අපි පැවසුවෙමු. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන්න බව පැවසුවෙමු. එමෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය හවුරු කරන්න, ඒ වගේම යහපාලනය ඇති කිරීමට පොරොන්දු වුනෙමු.. මෛත්‍රිපාලනයක් කියලා අර පොතක් මුද්‍රණය කළේ ඒ අදහස මත පදනම් වෙලා. එවිට දැන් සිද්ධවෙන ක්‍රියාදාමය පිළිබඳව අපිට සතුටු වීමට නොහැක.
ඊයේ දවසේ ප්‍රකාශයට පත්කළා මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට සහ මහ මැතිවරණයට ඉදිරිපත්වන බව. එය ඔහුගේ අයිතියකි. ඒකට විරුද්ධවන්නට අපිට හැකියාවක් නැත. පුද්ගලයෙකු විදියට ඔහුගේ දේශපාලන යළි ආගමනය අපිට ගැටළුවක් නොවේ. නමුත් ඔහුට නාම යෝජනා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ , එක්සත් Saman-Ratnapriyaජනතා නිදහස් සන්ධානය ක්‍රියා කරන්නේ නම් අපි එයට බරපතල ආකාරයට එරෙහි වෙමු. ඒ එරෙහි වන්නේ ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද වර්තමාන සභාපතිවරයා ඔහු වන නිසා ය. ඔහුට මේ රටේ ජනතාව ජනවරමක් දී නැහැ මහින්ද රාජපක්ෂ සමග නැවත දේශපාලනය කරන්න. එය ඉතාම පැහැදිළි ය. ජනවරම දුන්නේ මහින්ද රාජපක්ෂ ට සහ ඔහුගේ ගොල බාලයින්ට පැත්තකට වී සිටින්නට සහ මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ සම්මුතිවාදි කණ්ඩායමට මේ රටේ දේශපාලනය කරගෙන යන්නට ය.
ජනවාරි 8 පරාජය කළේ මහින්ද පමණක් නොවේ. ඔහු සමඟ රට කරවපු සියළුම දෙනා ය. අවාසනාව වන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුගේ ගොලබාලයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර දේශපාලන පක්ෂ නායකයින් ඒ තේරුම් නොගැනීම ය. සමහරවිට ඒ ගැන වැටහීමක් ඇතත් ඔවුන්ට වෙන විකල්පයක් නැහැ මහින්ද රාජපක්ෂ සරණ යෑම සහ ඔහුගේ නැවත දේශපාලන ආගමනය හැර.
මේ දේශපාලන වෙනස කළ මේ රටේ පුර වැසියන් සහ වෘත්තිය සමිතිවලට ඒකට එකඟවීමේ කිසිදු හැකියාවක් නැත. ඊයේ දවස වන විට එන තොරතුරු අනුව එක්සත් ජනතා නිදහස් සන්ධනය හා මහින්ද රාජපක්ෂගේ මේ නැවත දේශපාලන ආගමනය සිද්ධ වීමට නියමිතය. එක්සත් ජනතා සන්ධානයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා එයට එකඟ වූවා නම් එය මේ රටේ ජනතාව ඉවසන කාරණයක් නොවේ. එසේ නම් සරිසේන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු ය. එහෙම නැත්නම් ඔහුට දුන් ජන අභිලාෂයට අනුව ඔහුගේ හැරිරීම ප්‍රදර්ශනය කළ යුතු ය.
අපි තවදුරටත් විශ්වාස කරනවා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 8වෙනිදා දුන් ජන අභිලාෂයට ගරු කරමින් කටයුතු කරයි කියලා. එයට විරුද්ධව එය පාවා නොදෙයි කියලා. එය යම් ප්‍රමාණයකට හෝ එහි වෙනසක් ඇතිවුවහොත් ඒ ජන අභිලාෂයට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩ කළොත් අපි ඒකට එරෙහි වන්නට පසුබට වෙන්නේ නැත. අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට මේරටේ දේශපාලන බලය යළි අත්පත් කරගන්නට ඉඩදෙන්නට සූදානම් නැත්තේ ඇයි? ඉතා පැහැදිළි යි ඔහුගේ කාලය තුළ මර්ධනය පමණයි අප භුක්ති වින්දේ. ඒ වගේම ඔහු සමාජය පාදඩකරණයට ලක් කළේ ය. ඔහුගේ ගජමිතුරුවාදය තමයි රජ කළේ. ඔහු සහ ඔහුගේ කණ්ඩායම් තමයි මේ රටේ බිලියන ගනන් මුදල් ගසා කෑවේ. ඒ වගේම රාජ්‍යයේ ට අයිති ඉඩකඩම් මංකොල්ල කෑවේ. නීතියේ ආධිපත්‍යය වළ දැම්මේ. අධිකරණයේ ස්වාධීනත්වය නැති කළේ. ඒ දිනවල අපිට නිදහසේ කථාකරන්නට හැකියාවක් තිබුණේ නැත. දුර කථන පැය 24ම ටැප් කර තිබුණි. එවැනි තත්ත්වයක් තිබූ රට දැන් සැළකිය යුතු ප්‍රමාණයකට නිදහස් වී ඇත. දැන් මිනිසුන්ට නිදහසේ සිතන්නට පුළුවන. නිදහසේ අදහස් ප්‍රකාශකළ හැක. මේ වූ වෙනස තුළ ඒක පමණක් වූවත් ප්‍රමානවත් ය. නොයෙකුත් අඩුපාඩු තිබුණත් නොයෙක් ප්‍රශ්න තිබිය හැක.
ඒ නිසා මහින්ද රාජපක්ෂ පරාජය කළේ දැන් ඇති ඔබ ගෙදර යන්න කියන අදහස ඇතිව ය. එයා එය තේරුම් නොගෙන නැවත පැමිණෙන්නේ නම් ඔහු නැවත වතාවක් පරාජය කළ යුතුයි යන ස්ථාවරයේ අපි සිටින්නේ. අපි මෛත්‍රිපාල සිරිසේන මහතාට කියන්නේ ජනවාරි 8 දුන්නු ජනවරමට ගරු කරන්න. මොහොතකින්වත් ඒකට එරෙහිව යන්න සූදානම් වන්නට ලෑස්තිවන්නට එපා. එයට එරෙහිව ගියහොත් ඒ මොහොතේ එයට එරෙහිව යන්නට ඔහුට ඡන්දය දුන් සියළු දෙනාම සුදානම් බව මතක් කළ යුතු ය. අපගේ විශ්වාසය හැටියට ඔහු එවැනි තැනකට පත් නොවෙනු ඇතැයි යන්න ය. ඔහු එවැනි තැනකට පත් කරන්නට විවිධ කණ්ඩායම් උත්සාහ දරණ බව අපි දනිමු. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාට අපි කියනවා ජනවාරි 8 මේ රටේ ජනතාව 63 ලක්ෂයක් දුන් ජනතා වරම මාස 6කින් කොල්ල කන්න ඔබට හැකියාවක් නැත. ඔබ දකින්නේ සිහිනයක් පමණි. ඔබ අගෝස්තු 17 මැතිවරණටයට එන්නේ නම් ඔහුව පරාජය කිරීමට අප සූදානම් ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *