|

මහින්දගේ වෙස් ගැලවෙයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. එහි දී මැතිවරණය ගැන මෙන්ම දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගැනද ජනාධිපතිතුමා කතා කළා. ශ්‍රී ලංකන් එයාලයින් හා මිහින් ලංකා සමාගම්වල සිදු වී ඇති දූෂණ හා අයතා ගනුදෙනු ආදිය ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට තමා තීරණය කොට ඇති බව ජනාධිපතිතුමා හෙළිදරව් කළා. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව ජනවාරි මස මුල දී මෙම කොමිසම පත්කරන බව ජනාධිපතිතුමා කීවා.

කඩුවෙල නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින හිටපු නගරාධිපති බුද්ධදාස මහතාගේ මැතිවරණ සටනේ මුල් ජනහමුව කඩුවෙල සතිපොළ භූමියේ දී පැවැත්වුණා. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාද රැස්වීමට එක්ව සිටියා. මෙය ජනාධිපතිතුමා සහභාගී වු ප්‍රථම මැතිවරණ ජනහමුවයි.

එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දේශපාලනයට එන හැමෝම තම වගකීම ජනතා සේවය බව ‍තේරුම්ගත යුතු බවයි. දේශපාලනය කිළිටි වූ විට රටේ හැම තැනක්ම කිළිටි වන බවත් අවංක හා විනයක් ඇති දේශපාලන පරපුරක් ඇති කිරීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා කීවා. බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවේ දූෂණ ගැන කළ පරීක්ෂණයකින් ඇමැතිවරුන් දෙදෙනකුට ඉවත්වීමට සිදුවූ අයුරු මතක් කළ ජනාධිපතිතුමා, ඉන්පසු කාලයේ ඇමතිවරුන්ට තනතුර අත්හැරීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ බව ද පෙන්වා දුන්නා. පළාත් පාලන ක්ෂේත්‍රයේ නව නැම්මක් මේ මැතිවරණ ජයග්‍රහණ‍යෙන් පසුව අරඹන බව ද ජනාධිපතිතුමා කීවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශාල අඩුපාඩුවක්ව පැවැති හෙද පීඨයක් ආරම් කිරීමට දැන් කටයුතු සිදු කොට ති‍බෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව අරඹන මෙම ‍හෙද පීඨය සඳහා මහල් දහහතකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් පසුගියදා සිදුවුණා. ජයවර්ධනපුර හෙද පුහුණු විද්‍යාල භූමියේ දී එම ගොඩනැගිල්ල ඉදිකෙරෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා ආශු මාරසිංහ මන්ත්‍රීවරයාද සහභාගි වී සිටියහ.

එහි දී කතා කළ රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ සංවර්ධනය ලෙස හඳුන්වන්නේ යටිතල පහසුකම් දියුණු කිරීම ම පමණක් නොවන බවයි. යටිතල පහසුකම් සමඟම මානව සම්පත දියුණුවට රෝහල්, වෛද්‍ය විද්‍යාල, වෛද්‍ය පීඨ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා. මානව සම්පත දියුණු කිරීමට නම් සෞඛ්‍යය හා අධ්‍යාපනය දියුණු කළ යුතු බව ඇමැතිවරයා එහි දී පෙන්වාදුන්හ.

උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතා කරමින් කීවේ සබරගමුව, මොරටුව හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට කටයුතු කොට ඇති බවයි . ලබන වසර උසස් පෙළ ප්‍රතිඵලවලින් ඒ සඳහා සිසුන් බඳවාගන්නා බව ද ඇමැතිතුමා කීවා. නිදහස් අධ්‍යාපනය විකුණන බවට ඇතැමුන් චෝදනා කරන්නේ රජය මේ දේවල් කරද් දී බව ද ජනාධිපතිවරයා මෙහිදි පැවසුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු සතිය ගත කළේ නුවරඑළිය ප්‍රදේශයේ. වසර අවසානයේ නිවාඩුවක් ගත කිරීමට සිය බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමග නුවර එළියට ගිය අගමැතිවරයා නත්තලට පෙර විවේක සු‍වයෙන් ගත කළා.

නත්තල් දින නුවරඑළියේ එස්.ඕ.එස්. ළමා ගම්මානයට ගොස් එහි සිටින මව්පිය සෙනෙහස අහිමි දරු දැරියන් සමඟ සුහද කතා බහක නියැළෙමින් ඔවුන්ට තෑගි බෝග පිරිනැමුවා‍. පේන්ටර් ළමා නිවාසයටද ගොස් එලෙසම දරු දැරියන් සමඟ නත්තල් සමරමින් ඔවුන්ට තෑගි බෝග පිරිනැමුවා. පේන්ටර් ළමා නිවාසයේ දරු දැරියෝ හතළිහක් ඉන්නවා. එහිදි දරුවන්ගේ දක්ෂතා දැක්වීම සඳහා විවිධ ප්‍රසංගයක්ද පැවැත්වුණු අතර වික්‍රමසිංහ මහතා සහ මහත්මිය එය නැරඹුවා. ප්‍රසංගය අවසන් වු පසු දරුවන් අතරට ගිය අගමැතිවරයා ඔයාලා හරි ලස්සනට සිංදු කිව්වනේ. පුරුදු කළේ කවුරුන්දැයි අසමින් ඔවුන් සමඟ සතුටු සාමිචයේ යෙදුණා. දරු දැරියන් සිය සමීපතමයන් ලෙස අගමැතිවරයා සහ ඔහුගේ බිරියට ළංවෙමින් සිය අධ්‍යාපන කටයුතු ගැන විස්තර කළා. අගමැතිතුමා නත්තල් දිනයේ තමන් බැලිමට පැමිණිම සිය ජිවිතයේ කිසිදා අමතක නොවන අත්දැකිමක් බව දැරියක් විවිධ ප්‍රසංගය අවසානයේ සභාව අමතමින් පැවසුවා. අගමැතිවරයා දරුවන්ට තෑගි බෝග බෙදා දුන්නා.

දෙවනුව අගමැතිවරයා ගියේ එස්.ඕ.එස් ළමා ගම්මානයටයි. එහිදි දරුවන් අගමැතිවරයා සහ බිරිය වෙනුවෙන් විවිධ ප්‍රසංගයක් පැවැත්වුවා. ප්‍රසංගය අවසානයේ දී එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ දිවාකර රත්නදොරේ මහතා පැවසුවේ අගමැතිතුමාගේ පැමිණිම එම දරුවන්ට මිල කළ නොහැකි මතකයක් වන බවත් නත්තලේ සැබෑ අරුත රඳා පවතින්නේ මෙවැනි ක්‍රියාවන් මත බවත්ය‍.

දරුවන්ට තෑගි බෝග බෙදා දුන් අගමැතිවරයා ඔවුන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටියා. එම ළමා ගම්මානයේ කුඩා දරුවකු සිතුවම් කළ අගමැතිවරයාගේ රුව සහිත සිතුවමක් එම දරුවා විසින් අගමැතිවරයාට පිළි ගැන්වුවා.

ඔයාලා හොඳට ඉගෙන ගන්න. ඉදිරියට යන්න තිබෙන එකම ඉනිමග අධ්‍යාපනය විතරයි ළමයින්ගෙන් සමුගනිමින් අගමැතිවරයා පැවසුවා.

අඹේවෙල කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට අගමැති වික්‍රමසිංහ මහතා 28 දා එක් වුණා.

මේ දිනවල සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දිනවල තිස්සමහාරාම ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂ කයන් දිරිමත් කරමින් ඉතා කාර්ය බහුලව සිටිනවා. මේ අතර තිස්සමහාරාමය ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් පැමිණියේ ඇමැතිවරයා වෙත යෝජනාවක්ද ඇතිවයි “ඔබතුමාගේ 51 වැනි උපන් දිනය ජනවාරි 12 වැනිදාට යෙදෙනවනේ . එදාට අපි ලොකු සද්දයක් දාලා සංගීතයක් කරමු. පළාතම හෙල්ලිලා යන්ඩ” තරුණයන් පිරිසක් යෝජනා කළා. තරුණයන්ගේ ළෙන්ගතුකම ගැන පොඩිපහේ ආඩම්බරයක් දැනුණත් ඇතිවූ සිනහව මැඬගෙන සජිත් කීවේ “අනේ මල්ලී සංගීතයක් කරලා ලැබෙන්නේ තාවකාලික තෘප්තියක් විතරනේ. මොකක්ද ලැබෙන ප්‍රතිඵලය ? මං අදහස් කරගෙන ඉන්නේ මගේ 51 වැනි උපන් දිනයේ දී පළාතේ දහම් පාසල් දියුණු කිරීමේ අරමුදලක් පිහිටුවන්නයි” කියාය. තරුණයන්ගේ පිළිතුර වූයේ “හොඳයි…හොඳයි සම්ප්‍රදායෙන් බැහැරව ගත්තු තීරණය අපි අගේ කරනවා” කියායි. එදිනම දිස්ත්‍රික්කයේ බෞද්ධ භික්ෂූන් වහන්‍සේලා හමුවීමට ලැබුණු අවස්ථාවේ දී ද සජිත් සඳහන් කළේ සිය උපන් දිනය නිමිත්තෙන් දිස්ත්‍රික්කයේම දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් දහම් පාසල් අරමුදලක් පිහිටුවීමේ සිය අදහස පිළිබඳවයි. භික්ෂූන් වහන්සේලා ඊට ප්‍රසාදය පළ කරද් දී සජිත් කීවේ “සමහර දහම් පාසල් පවත්වන්න වෙලා තියෙන්නේ ගස් යට. ගොඩනැගිලි නෑ. ඒ දුප්පත් පන්සල්වලට දහම් පාසල් ගොඩනැගිලි හදලා දෙමු” යනුවෙන්. ‘මට උපන් දිනය වෙනුවෙන් තෑගි බෝග ‍දෙන්න පුරුදු ‍වෙලා ඉන්න යාළුවන්ටත් මං කිව්වා මේ උපන් දිනයට නම් තෑගි එපා! ඒ සල්ලිත් මේ අරමුදලට පරිත්‍යාග කරන්න කියලා.” සජිත් කියද්දි භික්ෂූන්වහන්සේලා කීවේ “‍මෙහෙම තීන්දු තීරණ අරගෙන කවුරුත් වැඩ කරනවා නම් බොහොමත්ම ‍අගෙයි යනුවෙන්.

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ගාල්ල මහනගර සභාව සඳහා නාමයෝජනා භාරදීමට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන ගාල්ලට ආවා.උදෑසන ම ඔහු වැඩ ආරම්භ කළේ වැලිවත්ත විජයානන්ද විහාරයෙන්. වජිර සමඟ ගාල්ල මහ නගරසභාවේ සියලුම එන්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෝබෞද්ධ පුනරුදයට මුලික වු විජයානන්ද විහාරයට පැමිණ සිටියා. දෙමළ සහ මුස්ලිම් අපේක්ෂකයෝ ද ඔවුන් අතර සිටියා. ඔවුන්ට ද භික්ෂුන් වහන්සේලා ආශිර්වාද කළා. ඉන් අනතුරුව ඇමතිවරයා මාගාල්ල මුස්ලිම් පල්ලියට ගියේ මුස්ලිම් ආගමානුකූල කටයුතු ඉටු කිරිමේ අපේක්ෂාවෙන්. එතැන ආගමික වතාවත් අවසන් කර සියල්ලෝම කළුවැල්ලේ හිංදු කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව කළුවැල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයට ගිය ඇමතිවරයා ඇතුළු පිරිස එහි දී ආගමික වතාවත් සිදුකර පයින්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේ සුබ මොහොතින් නාමයෝජනා භාරදීමේ අපේක්ෂාවෙන්. ඇමැති වජිර නාමයෝජනා භාරදීම සඳහා පැමිණි නීති නිලධාරින් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වු පසු, ලේකම් කාර්යාලය දක්වා පැමිණි අපේක්ෂක අපේක්ෂිකාවෝ විසිර ගියා.

ඇමතිවරයා එහි ඇතුළු වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්බලන්ගොඩ නාමයෝජනා භාරදීමට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතා ද පැමිණ සිටියා. ඔවුන් දෙපොළ සුළු මොහොතක් සතුටු සාමිචියේ යෙදුණු අතර ඒ කතාබහ මැතිවරණය ගැනයැයි පසුව ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කීවා.

නාමයෝජනා භාරදීමට පෙර ඇමැති වජිර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ නාමයෝජනා දිනයේ දී වෙනදා මෙන් රථ වාහන පෙළපාලි සහ මහජන රැළි නොපවත්වන බවයි. එක්සත් ජාතික පක්ෂය ගාල්ලෙන් සාධාරණ සාමකාමි මැතිවරණයක් සඳහා ආදර්ශය සපයන බවට ඇමැති වජිර කියු කරුණ අපේක්ෂකයන් ඒ ආකාරයෙන් ම පිළිපදින බව ද පෙනෙන්නට තිබුණා. නාමයෝජනා භාරදීම අවසන් වී දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයෙන් එළියට ආ ඇමතිවරයා රථ පෙළපාලි නැතිවම නික්ම ගියේ ” අපි වැඩ කළ අවුරුදු දෙකට ගාල්ලටත් සමස්ත ගාල්ල දිස්ත්‍රික්කයටත් මිලියන ගණනක වැඩ නිහඩව සිදුකළා, ගමේ පාලනය ගෙනියන පළාත් පාලන ආයතනවල බලය පහුගිය අවුරුදු දෙකේම අපට තිබුණේ නැහැ, ඒත් අපි වැඩ කළා, අපි මේ මැතිවරණයෙන් ගමේ බලය ලබා ගන්නවා” යැයි මාධ්‍ය හමුවේ කියමින්. එතැනින් නික්ම ගිය ඇමතිවරයා ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ නිවෙස්වල සංවිධානය කර තිබු රැස්වීම් සඳහා සහභාගි වී මහ රාත්‍රියේ කොළඹ ගියා.

පසුගිය සතියේ හිරගෙදරට ගොස් හිරබත් කෑ වජිර අබේවර්ධන සිකුරාදා රාත්‍රී බන්ධනාගාර නිලධාරීන්ගේ සුහද සාදයට එක්වීම සඳහා යළි ගාලු ගියා. පසුගිය සතියේ මේ කොලමේ තිබූ සටහන කියවා තිබූ බන්ධනාගාර නිලධාරීන් ඇමතිවරයා වට කරගත්තේ ඒ ගැන කතා බහට එක්වෙමින්.

බදාදා උදෑසන වජිර අබේවර්ධන ඇමතිවරයා උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීම සඳහා එහි ගියේ අමාත්‍යාංශ ලේකම්වරයා ද සමගින්.

මුල්ගල් තැබීමේ උත්සවය සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණයට දින නියමවීමට පෙර දී බැවින් අමාත්‍යවරයා මේ උත්සවයට සහභාගී වීමට පෙර මැතිවරණ කොමිසමට ඒ බව දන්වා අදාළ අනුමැතිය ද ලබාගෙන තිබුණා.

උත්සවයේ දී මැතිවරණය ගැන කතා නොකිරීමට පරෙස්සම් වූ ඇමැති වජිර කොළඹට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය ලිපිගොනු සැකසීමේ කාර්යයේ නිරත වූණා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පසුගිය 26වැනි දින රාත්‍රියේ දී පැවැත්වුණා. මෙහි දී ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිත කොමිසන් සභා පිළිබඳවද කතාබහක් ඇති වුණා.ජනාධිපතිවරයා කියලා තිබුණා එයාර් ලංකා එක පිළිබඳව හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරනවා කියලා. ඡන්දෙ ළං වුණාම ජනතාව රවටන්න මොකක් හරි කියනවා. විජිත හේරත් කියා සිටියා.මෛත්‍රීපාල ජනාධිපතිවරයා පත්කරපු කොමිසන් ගණනාවක වාර්තා එතුමට බාරදීලා තියෙනවා. එකකටවත් නීතිමය කටයුතු නැහැ.අපි පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළා.හැම ජනාධිපතිවරයෙක්ම කළේ ප්‍රශ්නේ එන වෙලාවට කොමිසන් දාලා ප්‍රශ්නේ යට ගහපු එක.” අනුර දිසානායක කියා සිටියා.

ජනාධිපතිවරයා නැවත කොමිසන් දාන්න ඉස්සර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව චූදිතයින්ට නීතිමය පියවර ගන්න ඕනෑ.මාස ගාණක් විශාල මුදලක් වැය කළා. ලොකු මාධ්‍ය සංදර්ශනයකුත් කළා. ජනාධිපතිතුමා ඔප්පු කරන්න ඕනෑ කොමිසන්වලින් රටට වැඩක් වෙනවා කියලා; මුදල් කාබාසිනියා කරන ඒවා නෙවෙයි කියලා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

”මහින්ද රාජපක්ෂට දැන් පක්ෂයකුත් නැහැ. ජීඑල් පීරිස්ගේ පක්ෂයට සහාය දෙන්න වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කකුලක් තියාගෙන ජීඑල්ගේ පක්ෂයේ තව කකුලක් තියාගෙන ඉන්නේ.” ලාල්කාන්ත කියා සිටියා. ”දැන් ජීඑල්ගේ පක්ෂයේ අයට මේ ඡන්දෙදි කියන්න දෙයක් නෑ. ගම හදනවා කියන්නද? දූෂණය නැතිකරනවා කියන්නද? හොඳ අපේක්ෂකයෝ දැම්ම කියන්නද? මේ කිසිදෙයක් කියන්න බැහැ. මොකද ඒ අය තමයි අවුරුදු 10කට වැඩි කාලයක් මේ ආයතන පාලනය කළේ.” විජිත හේරත් කීවා.ඒ අය කියන එකම දේ රට බෙදන්න විරුද්ධව ඡන්දෙ දෙන්න කියන එක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙදිත් කිව්වේ තමන් පැරදුණොත් විදුලි පුටුවේ තියනවා කියලා. දැන් පැරදිලා අවුරුදු 03ක්. මොකුත් වුණේ නැහැ.මේ කට්ටිය දේශප්‍රේමීන්ද? පක්ෂයේ නායකයා ජීඑල් පීරිස්ට කිව්වේ පැකේජ් පප්පා කියලා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ව්‍යවස්ථා ඇමැති විදියට රට බෙදන පැකේජ් එක ගෙනාවේ ජීඑල් පීරිස්. අද ඇවිත් කියනවා රට බෙදන්න විරුද්ධයි කියලා. මේවා තමයි විහිළු. අපි ජනතාවට මේ පරස්පරය කියලා දෙන්න ඕනෑ” අනුර දිසානායක කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නගර සභා පුරපති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන රනිල් ජයසේනයි. ඔහු ගායකයෙක්, ගීත රචකයෙක්, රූප රචකයෙක් මෙන්ම ලේඛකයෙක්ද වනවා. මේ දිනවල ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී සිටිනවා. විද්වතුන් කලාකරුවන් හමුවී මැතිවරණය ගැන සාකච්ඡා කරනවා . පූජනීය ස්ථානවලට ගොස් නායක ස්වාමින්වහන්සේලාගෙන් ආශිර්වාද ලබාගන්නවා. මේ අතර එක් නායක ස්වාමීන්වහන්සේ නමක් ආශිර්වාද කරමින් කියා සිටියේ ”ඔබතුමා වගේ උගතුන් බුද්ධිමතුන් තමයි දැන් දේශපාලනයට ඕනෑ. දැන් මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා නරක දේශපාලඥයින් නිසා.” යනුවෙන් .ඔව්, මම රෝගීන්ට වෙදකම් කරන කෙනෙක්. අපේ රටේ හොඳ වෛද්‍යවරු වගේ හොර වෛද්‍යවරුත් ඉන්නවා. හොඳ වෛද්‍යවරයෙක් රෝග නිධානය හොයාගෙන ක්‍රමානුකූලව තමයි ලෙඩේ නිට්ටාවට සනීප කරන්නේ. හොර වෛද්‍යවරු කරන්නේ මුදල් බලාගෙන මොකක් හරි ප්‍රතිකාරයක් කරන එක. මම ශල්‍ය වෛද්‍යවරයෙක්. ඉතාම පරෙස්සමෙන් සූක්ෂමව තමයි ඒ වැඩේ කරන්නේ. මම දේශපාලනය කරන්නෙත් ඒ වගේ. කොළඹ ලෙඩ වෙච්ච නගරයක්. ඒක සුවපත් කරන්න ඕනෑ. රෝගීන් ගණනාවක් මගේ මේ අත් දෙකෙන් බේරාගෙන තියෙනවා. ඒ විදියට මට කොළඹ නගරයත් ගොඩගන්න පුළුවන්.” ඔහු කියා සිටියා.

හැංගි හැගී වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ කියා කතාවක් තිබෙනවා. එලෙසම මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂය හැදුවේද එයට තමාගේ සම්බන්ධයක් නැති බව පෙන්වමින්. මුල් කාලයේ එම පක්ෂය ගැන ප්‍රශ්න කළ විට මහින්ද කීවේ ජී.එල්.ගෙන් අහන්න කියාය. පසුව පක්ෂයේ වැඩ කටයුතු බැසිල් රාජපක්ෂ මහත‍ාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ මෙහෙයවීම මහින්ද රාජපක්ෂ මහතා බාරගෙන තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ පසුගියදා කීවේ මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 2 වැනිදා පවත්වන පොදුජන පක්ෂයේ සමුළුවේ දී පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වන බවයි. මහින්දගේ නායකත්වයෙන් පොදුජන පක්ෂය මැතිවරණ සටන ගෙන යන බවත් එයට වෙනත් පක්ෂද සම්බන්ධ කරගන්නා බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ සටන පටන් ගැනීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා තම අපේක්ෂකයන්ට විනය නීතියක්ද පනවා තිබෙනවා. එනම් පක්ෂයක් තරගකොට ජයගතහොත් රජයේ කොන්ත්‍රාත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවටයි. ඒ සඳහා සියලු අපේක්ෂකයන් ප්‍රතිඥා දිය යුතු වන අතර එම ප්‍රතිඥාව ගැනීම දෙවැනිදා කොළඹ දී පැවැත්වෙන රැස්වීමේ දී සිදුකිරීමට නියමිතයි.

මේ අතර පොදුජන පක්ෂයෙන් මැතිවරණ සංවිධායක කමිටුවේ රැස්වීමක් පසුගිය අඟහරුවාදා පැවැතියේ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයි. එහි දී මැතිවරණ වැඩ කටයුතු සඳහා ප්‍රධාන කමිටු තුනක් පත්කරගනු ලැබුවා. එනම් මාධ්‍ය මෙහෙයුම් කමිටු හා රැස්වීම් සංවිධාන කටයුතු හා නීති කමිටුව වශයෙන්. ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු මාධ්‍ය මෙහෙයුම් කමිටුවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල බන්දුල ගුණවර්ධන, මොහොමඩ් මුසම්මිල්, සිසිර ජයකොඩි හා සංජීව එදිරිමාන්න මහත්වරුන් පත්කරනු ලැබ තිබෙනවා. මැතිවරණ කාලය තුළ ජනමාධ්‍ය මඟින් උපරිම ප්‍රචාරය පක්ෂයට ලබාගැනීම මෙම කමිටුවට පවරා තිබෙනවා.

පොදුජන පක්ෂයේ ප්‍රධාන රැස්වීම් මාලාවක් රටපුරා පැවැත්වීම සඳහා සංවිධාන කමිටුවක්ද මෙහි දී පත්කොට ඇති අතර එය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මැතිවරණ, නීති සම්බන්ධයෙන් අපේක්ෂකයන් දැනුවත් කිරීම හා නීති කැඩීම් ගැන මැතිවරණ කොමිසමට හා පොලිසියේ ලැබෙන පැමිණිලිවල දී සිදුවන පරීක්ෂණ ආදියේ දී අපේක්ෂකයන්ට සහාය ලබාදීමට නීති කමිටුවක්ද පත්කොට තිබෙනවා. එහි නායකත්වය දරනුයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *