ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – එම් ඕ ඒ ද සොයිසා

පසුගිය 18 වෙනි දින කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වුණ අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික සමුළුව ඉදිරියේ දේශනයක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයේ සමහර පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කරන නිර්දේශ පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවය. ප්‍රසිද්ධ රැස්වීමක දී ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැළඹීමක් ඇති කිරීම කෙරෙහි දැඩි බලපෑමක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුලින්ම හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්ථාවට 2001 වර්ෂයේ සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. ඒ කෙරෙහි බලපෑවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පවරා දුන් රාජ්‍ය සේවයේ, අධිකරණ සේවයේ සහ පොලිස් සේවයේ ඉහළ නිලතලවලට කළ යුතු පත් කිරීම් හා සම්බන්ධ බලතල අත්තනෝමතිකව සහ හිතුවක්කාරී ලෙස ක්‍රියාවට නැංවීම වලක්වාලීමය. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් 1978 වර්ෂයේ සිටම දැකිය හැකි දෙයක් වූයේ බලයට පත් වූ ජනාධිපතිවරුන් විසින් ඉහත දැක්වූ සේවාවන්ට කරනු ලබන පත් කිරීම් හා සම්බන්ධ ව්‍යවස්ථානුකූල බලතල අයථා ලෙස අවභාවිත කිරීම හේතුවෙන් එම සේවාවන් ඉතා වේගයෙන් දේශපාලනීකරණය වෙමින් ඒවායේ අපක්‍ෂපාතීභාවය සහ ස්වාධීනභාවය බලා සිටියදීම විනාශ වී යාමය.

මෙහි ප්‍රතිඵලය වූයේ රාජ්‍ය සේවාවන් ලෙස පැවතිය යුතු මෙම සේවාවන් අනුක්‍රමයෙන් එම පදනමෙන් ඈත් වී ආණ්ඩුවේ සේවාවන් බවට පත් වී ඉන් අනතුරුව එයිනුත් ඔබ්බට ගොස් ජනාධිපතිවරයාගේ සේවාවන් බවට පත් වූ තත්ත්වයක් නිර්මාණය වීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙන එන්නේ මෙම තත්ත්වයෙන් එම සේවාවන් මුදා ගනිමින් ඒවායේ ස්වාධීනත්වය සහ අපක්‍ෂපාතීභාවය ආරක්‍ෂා කොට පවත්වාගෙන යාම සඳහාය . එම සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ජාතික හෙළ උරුමය නියෝජනය කළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණි. අනෙක් සියලූම මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් සංශෝධන යෝජනාව සම්මත වු අතර 2001 ඔක්තෝම්බර් 03 දින කථානායකවරයා පනතට අත්සන් තැබීමෙන් පසුව පනත ව්‍යවස්ථානුකූල නීතියක් බවට පත් වීය.

17 වන ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රතිපාදනයක් වූයේ ජනාධිපතිවරයා විසින් විධායක බලතල අත්තනෝමතිකව ක්‍රියාවට නැංවීම වලක්වාලීම අරමුණු කොටගෙන එය යම් පාලනයකට යටත්ව කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නමින් හඳුන්වන කමිටුවක් පිහිටුවීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ අගමැතිවරයා, කථානායකවරයා (සභාපති, විරුද්ධ පක්‍ෂයේ නායකයා, ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයෙක්, අගමැති සහ විරුද්ධ පක්‍ෂයේ නායකයා විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත් කරන සිවිල් සමාජ නියෝජිතයින් පස් දෙනෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළුපක්‍ෂ ඒකාබද්ධව පත් කරන නියෝජිතයෙක් යනා දී වශයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන්ය. මෙම සංයුතියේ විශේෂ ලක්‍ෂණය වූයේ සාමාජිකයින් 10 දෙනාගෙන් හත් දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නිර්දේශපාලනීකරණය වූ පුද්ගලයින් වීමය.

එම හත්දෙනා විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත් පොදුජන ජීවිතයේ දී කීර්තියට පත් කිසිදු දේශපාලන පක්‍ෂයක් නියෝජනය කොනරන පුද්ගලයින් විය යුතු බව ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් විය. එමෙන්ම එම සාමාජිකයින් පත්කළ යුත්තේ සුළුජන කොටස්ද නියෝජනය වන අයුරින් බව ද ව්‍යවස්ථාවේ සඳහන් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරුණු කාර්යයන් දෙකක් විය. එකක් ස්වාධීන කොමිෂන් සභාවලට පත්කළ යුතු සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමය. දෙවැන්න රජයේ සමහර උසස් නිලතලවලට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරන නිර්දේශ අනුමත කිරීමය. මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නීර්ණය කොමිෂන් සභාව යන කොමිෂන් සභා හතට පත්කළ යුතු සාමාජිකයින් නම් කොට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කළයුතු විය.

අනෙක් අතට ශ්‍රෙෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකරු සහ අනෙක් විනිශ්චයකරුවන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අනෙක් විනිශ්චයකරුවන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා යන තනතුරු සඳහා පත්කළ යුතු අයගේ නම් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කොට අනුමත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළයුතු විය. මෙයට අමතරව 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත, 2002 අංක 32 දරන මුදල් (සංශෝධන ) පනත සහ 2002 අංක 35 දරන මහජන උපයෝගිතා පනත යන පනත්වල දැක්වුණු විධිවිධානවලට අනුව එම පනත් යටතේ සංස්ථාපනය කරන මණ්ඩලවල සාමාජිකයින් පත්කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවට යටත්ව බව සඳහන් විය.

යම් යම් අර්බුද හා බාධක මධ්‍යයේ වූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 2005 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර එය අභාවයට පත් වන්නේ 2005 වර්ෂයේ දී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තනතුරට පත් වීමෙන් පසුවය. එසේ වීම කෙරෙහි බලපෑ හේතු සාධක දෙකක් විය. එයින් එකක් වූයේ 2005 වර්ෂය වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සාමාජික තනතුරු හයක් සඳහා ජනාධිපතිවරයා විසින් අලූතෙන් සාමාජිකයින් පත් නොකිරීමය. දෙවන කරුණ වූයේ 2010 වර්ෂයේ දී සැප්තැම්බර් 08 දින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව නමින් හැඳින්වුණු නව ආතනයක් පිහිටුවීමය. නව පාර්ලිමේන්තු සභාව සමන්විත වූයේ අගමැතිවරයා, කථානායකවරයා, විරුද්ධ පක්‍ෂයේ නායකවරයා සහ අගමැතිවරයා හා විරුද්ධ පක්‍ෂයේ නායකවරයා විසින් නම් කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වශයෙන් පස් දෙනෙකුගෙන්ය.

මේ අනුව කලින් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තිබුණු සිවිල් නියෝජනය මුළුමනින්ම නැති කරන අතර නව සභාව සම්පූර්ණයෙන්ම දේශපාලනඥයින්ගෙන් සමන්විත වු දේශපාලන ආයතනයක් විය. අනෙක් අතට කලින් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිමිව තිබූ බලතල සියල්ලම පාහේ අලූතෙන් පිහිටවූ පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කළ අතර එයට හිමිවූයේ ඉහතින් දක්වන ලද කොමිෂන් සභාවලට සහ රාජ්‍ය තනතුරුවලට කරන පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නිර්දේශ කිරීම් සලකා බැලීම පමණි. නිර්දේශ කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ මතය කුමක් වූවද ජනාධිපතිවරයා එයට බැඳීමක් නොවූ අතර පාර්ලිමේන්තු සභාවේ මතය නොසලකා හරිමින් ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලය ක්‍රියාවට නංවමින් තමන්ට කැමති ආකාරයට එම පත් කිරීම් කළහැකි විය. මේ අනුව යළිත් වරක් මේ රටේ රාජ්‍ය සේවය, අධිකරණ සේවය සහ පොලිස් සේවය දේශපාලනීකරණයට ලක් වූ ජනාධිපතිවරයාගේ සේවාවන් බවට පත්විය.

මෙම තත්ත්වයෙන් ඉහත සේවාවන් මුදා ගෙන ඒවා අපක්‍ෂපාතී සහ ස්වාධීන වු රාජ්‍ය සේවාවන් නැතිනම් මහජන සේවාවන් ලෙස පවත්වාගෙන යාමේ අරමුණෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය 2015 අප්‍රියෙල් මාසයේ දී ගෙන එනු ලැබිණි. මෙම සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කරන අතර එය සමන්විත වූයේ පාර්ලිමේන්තු නියෝජිතයින් හත් දෙනකු සහ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනකු වශයෙන් දස දෙනකුගෙන්ය.

සංශෝධනයෙන් කරන ලද වැදගත්ම වෙනස වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොසලකා හරිමින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොමැතිව ව්‍යවස්ථාවේ සඳහන් රාජ්‍ය තනතුරු සඳහා පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයාට තහනම් කිරීමය. සැබැවින්ම මෙම ප්‍රතිපාදන මගින් උත්සාහ කර තිබෙන්නේ ඉහත සඳහන් කාර්යයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම වලක්වාලමින් එම සේවාවන්හි ස්වාධීනත්වය සහ අපක්‍ෂපාතීභාවය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යාමටය. වෙනත් ආකාරයකට කියනවා නම් මෙම සේවාවන් දේශපාලනීකරණය වී රාජ්‍ය සේවාවන් යන තත්ත්වයෙන් ඉවත් වී ජනාධිපති සේවාවන්ගේ තත්ත්වයට පත්වීම වලක්වාලීමටය. එයට පටහැනිව රාජ්‍ය බලය හසුරුවන අය කටයුතු කරනවා නම් කළයුතු හොඳම දෙය වන්නේ එම සභාව අහෝසි කොට ආපසු මහින්ද රාජපක්‍ෂ යුගයට යාමය.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *