ඇස්බස්ටස් සහ තේ කොළ – අනුර සූරියබණ්ඩාර

මෙරටින් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදනවලට පැනවූ තාවකාලික තහනමත් ලබන වසරේ සිට මෙරටේ පැනවීමට තිබු ඇස්බැස්ටස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචියක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා තිබුණි.

මෙරටින් රුසියාවට අපනයනය කරන 11% තේ ප්‍රමාණය අහිමිවුවහොත් ඉන් රටට ඇතිවිය හැකි බලපෑම ගැන රජය අවධානය යොමු කළ යුතු බැවින් ඇස්බැස්ටස් තහනම ඉවත් කරන්නට තීරණය කර ඇති බවද ඒ මහතා කියා තිබුණි.

නවීන් දිසානායක අමාත්‍යවරයා තවදුරටත් කියා තිබුණේ, රුසියාව නිෂ්පාදනය කරන සුදු ඇස්බස්ටස් වල සෞඛ්‍යආරක්ෂක බව සොයා බලන්නට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ආමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාවට යාමට නියමිති බවය. ඒ බව පැවසුනේ 2017.12.20 දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීය.

එදිනම කැබිනට් තීරණ දැනුම්‍දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබුණේ ද, රාජ්‍ය ආයතනවලට 2018 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ සුදු ඇස්බස්ටස් තහනම ඉවත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇති බවයි.

මෙරටට ගෙන්වනු ලබන සුදු ඇස්බස්ටස් වලින් 80%ක් පමණ යොදා ගන්නේ වහල සෙවිලි කිරීම සඳහා බවත් 2018 සිට ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබු සීමා කිරීම හේතුවෙන් ඉදිකරන්නන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ කීපදෙනකු අමාත්‍යමණ්ඩලයේ අවධානය යොමු කළ බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා තවදුරටත් කියා තිබුණි.

ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ ඇස්බස්ටස් භාවිතය සීමා කිරීමෙන් ඒ සඳහා සුදුසු විකල්ප නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් ඉදිකිරී‍ම් ක්ෂේත්‍රයෙන් කෙරුණු ඉල්ලීමත් ඒ විෂය සම්බන්ධයෙන් එම විෂය සම්බන්ධයෙන් විශේෂඥයන් කළ නියෝජනයත් යන  කරුණු දැක්වීම්වලට අවධානය යොමුකර මේ තීරණය ගත් බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබුණි.

බැලුබැල්මට පෙනෙන කාරණය වන්නේ රුසියව මගින් මෙරටින් ආනයනය කරන තේ වලට පැනවූ තහනමත් මෙරටට ගෙන්වන ඇස්බැස්ටස් තහනම් කිරීමට රජය ගත් තීරණයත් අතර සම්බන්ධයක් පවතින බවයි. මෙරටින් ගෙන්වන තේ වලට තාවකාලිකතහනමක් පැනවීමට හේතුව වශයෙන් රුසියාව දක්වා තිබුණේ තේවල කෘමියෙක් සිටීම වුව ඇත්ත හේතුව කෘමියෙකු නොවන බව දැන් දැන් සිදුවීම් පෙළගැසෙන ආකාරය අනුව සැක පහළවීම වැලැක්වි නොහැකිය.

නවීන් දිසානායක අමාත්‍යවරයා කියා තිබුණේ රුසියාව නිෂ්පාදනය කරන සුදු ඇස්බැස්ටස් වල සෞඛ්‍ය ආරක්ෂිතභාවය සොයාබැලීම සඳහා කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බවයි. 2018 ජනවාරි 01 සිට ඇස්බැස්ටස් තහනම් කිරීමෙ තීරණය ගනු ලැබුවේ 2016 වසරේදීය. ප්‍රශ්නය වන්නේ රජය එම තීරණය ගත්තේ රුසියාවේ නිෂ්පාදනය කරන සුදු ඇස්බැස්ටස් වල සෞඛ්‍ය ආරක්ෂිතබව පූර්ව සොයා බැලීමකින් තොරවද යන්නයි. යෙදී ඇති කරුණු අනුව පෙනී යන්නේ රජය එවැන්නක් කර නොමැති බවයි. 2018 වසර සිට ඇස්බැස්ටස් තහනම් කරන්නට තීරණය කළේ රුසියාවෙන් ගෙන්වන සුදු ඇස්බැස්ටස්වල සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නම් මේ මොහොතේ ඒ පිළිබඳව සොයා බලන්නට කණ්ඩායමක් රුසියාවට පිටත් කිරීමට අවශ්‍යවන්නේ නැත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන්නේ, ඇස්බැස්ටස් තහනම හේතුවෙන් ඉදිකරන්නන්ට අපහසුතා ඇතිවන බවයි. එමෙන්ම කෙටි කාලයකින් ඇස්බස්ටස් තහනම ක්‍රියාත්මක කරන්නට යාමෙන් ඉදිකරන්නන්ට විකල්ප මාර්ග වෙළෙඳපළ තුළ සාධාරණ මිලකට ලබාගැනීමට අපහසු වීම හේතුවෙන් ඇස්බැස්ටස් තහනම ඉවත් කරන්නට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.

ඇස්බැස්ටස් තහනම පනවන්නේ නම් ඊට විකල්පයක් අවශ්‍යවන බවට සංවාදයක් ඇස්බැස්ටස් තහනම් කිරීමේ තීරණය රජය ගත් 2016 සිටම පැවතුණි. ඇත්තෙන්ම කියන්නේ නම් දැනට නිෂ්පාදනය කෙරෙමින් තිබෙන භාණ්ඩයක් ආදේශකයක් හඳුන්වාදීමෙන් තොරව තහනම් කරන්නට යාම ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. ගැටලුව වෙන්නේ රජයට ඒ බව තේරුම් ගැනීමට රුසියාව ලංකාවෙන් තේ මිලදී ගැනීම තාවකාලිකව නරත කරන්නට තීරණය කරනතුරුම ඉන්නට සිදුවීමය.

මෙරට තේ ප්‍රමාණයෙන් සැලකිය යුතු කො‍ටසක් රුසියාව මිලදී ගන්නේ නම් රුසියාවේ තේ වෙළදපොළ අහිමි වීම ලංකාවට ගැටලුවක් විය හැකි නම් සහ ඇස්බැස්ටස් මෙරටට වැඩි කොටස ගෙන්වන් ලබන්නේ රුසියාවෙන් නම් ඇස්බැස්ටස් තහනම් කරන තීරණය ගැනීමට පෙර ඉන් ඇතිවිය හැකි ජාත්‍යන්තර වෙළඳ අවාසිය පිළිබඳ කල්පනා කරන්නට තිබුණි.

අනෙක් කරුණ වන්නේ, වත්මන් දේශපාලන වාතාවරණය තුළ අවශ්‍ය සියලු ආකාරයේ සෙල්ලම් දැමීමට ශ්‍රී ලංකාව වැනි බලගතු ආර්ථික ශක්තියකින් තොර කුඩා රටකට පමණක් නොව ලෝක බලවතකුට පවා අපහසු බවයි. හොඳම නිදසුන වන‍්නේ යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද නැද්ද යන තීරණය සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඇති වුණු දේශපාලන තත්ත්වයි. එය කෙළවර වූයේ බ්‍රිතාන්‍යයේ දේශපාලන පෙරළියකටත් පසුබිම සකසා දෙමිනි. යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවානම් හාල් මල්ල ගැන කියනු කවරේද යන ආප්තෝපදේශය මෙහිදී වැදගත් ‍වේ.

පටු කල්පනාකාරීව ගත් ජාත්‍යන්තර වශයෙන් බලපාන දේශපාලන තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට බරපතල වන්දි ගෙවන්නට සිදු වූ බව අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සන්නද්ධ අරගලය ඔඩු දුවා යන්නට බල පෑ කාරණා අතරින් ප්‍රධාන වූයේ මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට වඩා ත්‍රිකුණාමල තෙල් ටැංකි සහ ඉරණවිල සම්ප්‍රේෂ්ණාගාරයකට ඇමෙරිකාවට ඉඩ දීමයි. එකල පැවති සීතල යුද්ධ තත්ත්වය සහ ඉන්දියාව අනුගමනය කළ සෝවියට් හිතවාදි පිළිවෙත අනුව එය ඉන්දියාවට විරුද්ධව ඇමරිකාව දෙසට ලංකාව කිට්ටුවීමක් විය. ඉන්දියාව ඊට ප්‍රතිචාර දැක්වූයේ  මෙරට බෙදුම්වාදි සංවිධාන පෝෂණය කිරීමෙනි. (කියවන්න – INSIDE AN ELUSITV MIND PARBHAKARAN – M.R. Narayan Swamy)

අනෙක් ආසන්නම කරුණ පසුගිය ආණ්ඩුව සමයේ මෙරටට පැනවුණු යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම සහ ජී.එස්.ටී. ප්ලස් සහනය අකුලා ගැනීමයි. ඊට බලපෑවේ මෙරට එකල සිදු වූ මානව හිමිකම් උල්ලංගනය කිරීමේ තත්ත්වයයි.

ඇස්බැස්ටස් තහනම පිළිබඳ නැවත අවධානය යොමුකරන්නේ නම් එය සැලකිය යුත්තේ ජනප්‍රියවාදි පරිසර තීරණයක් ලෙසිනි. එනම් සොයාබැලීමකින් තොරව ගත් ජනප්‍රිය තීරණයක් වශයෙනි. වහලට සෙවිලි ඇස්බස්ටස් සහ පිළිකා අතර සම්බන්ධයක් මෙතෙක්  අනාවරණය කරගෙන තිබේද? ඇස්බැස්ටස් හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇති වීමේ වැඩි ප්‍රවණතාව ඇත්තේ ඒවා භාවිතා කරන්නන්ට නොව නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගිවන්නන්ට බව පැවසේ. එවැනි ගැටලු රන් කර්මාන්තය, මිනිරන් කර්මාන්තය හා ගල් අගුරු කර්මාන්තය ආශ්‍රිතවද ඇතිවේ. එහෙත් එසේ හෙයින්ම ඒවා තහනම් කරන තැනට ආණ්ඩු යොමු වන්නේ නැත. ‍

ඇස්බැස්ටස් තහනමට උපදෙස් දුන් තැනැත්තන් ඇති වී තිබෙන තත්ත්වයට වගකිව යුතුව ඇත. තාවකාලිකව හෝ ඒ හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට බලපෑමක් සිදු වී ඇති බැවින් සහ ගැටලුව නිරාකරණය කරගැනීමට අමතර වෙහෙසක් රටක් වශයෙන් දරන්නට සිදු වී ඇති බැවිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *