සුරක්ෂා රක්ෂණය සහ පෙරටුගාමි පක්ෂය – සෙනරත් විජය වික්‍රම

සුරක්ෂා රක්ෂණය යනු මෙරට සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ මුල් පියවරක් බව පෙරටුගාමි සමාජවදි පක්ෂයේ ප්‍රධානියකු පසුගිය දිනක ප්‍රකාශකර තිබුණි. කො‍රහේ කිඹුලන් දැකීම මෙරට වාමාංශිකයන් යැයි කියාගන්නා කණ්ඩායමේ සිරිතක් වුවද සුරක්ෂා රක්ෂණයෙන් මෙරට නිදහස් සෞඛ්‍ය ‍සේවයට හානියක් සිදුවේද එසේ නැතිනම් එම රක්ෂණය හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය අහෝසිවේද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බැවින් මේ ලිපිය ලියන්නට අදහස් කළෙමි.

සුරක්ෂා රක්ෂණය යනු මෙරට ශිෂ්‍ය ප්‍රජාව අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයකි. එය ‍යෝජනා කෙරුණේ 2016 අයවැය යෝජනා වලිනි.

සිසු සිසුවියනට ඇතිවන රෝගාබාධවලදී සහ ඔවුන් මුහුණදෙන හදිසි අනතුරුවලදී හානිපූර්ණය කිරීම සුරක්ෂා සිසු රක්ෂණයේ අරමුණයි. එය ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව බව ඔහුට ගෞරව පිණිස සටහන් කළ යුතුය. බෝනොවන රෝග වශනේ සැලකෙන දියවැඩියාව වැනි රෝග එයින් ආවරණය නොවන නමුත් (සෞඛ්‍ය රක්ෂණයකදී සාමාන්‍යයෙන් දියවැඩියාව වැනි රෝග ආවරණය නොවේ) ඩෙංගු, උණ, කැස්ස, හදිසි අනතුරු මේ රක්ෂණයෙන් ආවරණය වේ.

මෙරට පාසල් ළමයින් වසරකට ලක්ෂ 3ක් පමණ රෝහල්ගතවන බව පැවසේ. 20000ක් පමණ හදිසි අනතුරුවලට ලක්වෙති. මෙරට පාසල් ළමයින් සංඛ්‍යාව ලක්ෂ හතලිස් පහකි. රජයේ පාසල් අධාර ලබන සහ නොලබන පෞද්ගලික පාසල් වල මොවුන් ඉගෙනුම ලබති. අවුරුදු 5 – 19 අතර මෙකී සියලුම පාසල්වල දරුවන්ට සුරක්ෂා සිසුරක්ෂණයෙන් ආවරණය ලැබේ.

සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් කිසිදු මුදලක් මවුපියන්ගෙන් හෝ දරුවාගෙන් හෝ අය ‍කරන්නේ නැත. රජයේ අයවැය මගින් 2017 වර්ෂ‍ය සඳහා රුපියල් බිලියන 2.7ක්  එනම් මිලියන 2700ක් ඒ සඳහා ර‍ජයෙන් වෙන්කරනු ලැබිණි. එයින් එක් දරුවකුට රුපියල් ලක්ෂ 5 කට ආසන්න පුතිලාභයක් හිමිවේ. රක්ෂණය ක්‍රියාත්මක වන්නේ ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහාය.

සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය ආදි වශයෙන් ක්‍රියාත්මක වන මෙකී රක්ෂණ‍යේදී රජයේ පෞද්ගලික නේවාසික ප්‍රතිකාර ගැනීම, බාහිර ප්‍රතිකාර ගැනීම, හදිසි අනතුරු ආවරණය ආදිය ආවරණය වේ. එහි දී දරුවාගේ රෝගී අවස්ථා මෙන්ම දරුවා හෝ මව්පියන් මියයෑම, දරුවා පූර්ණකාලිනව අකර්මණ්‍ය වීම ආදියේදිද ප්‍රතිලාභ හිමිකර ගත හැකිවේ.

නේවාසික පුතිකාර ලැබීම සහ වෛද්‍ය සේවා ගාස්තු සඳහා වර්ෂකට රුපියල් ලක්ෂ දෙකක උපරිමයක්.

එක්වරකදී රෝහල් ගතවීම සඳහා දරුවකුට රුපියල් ලක්ෂයක් දක්වා වියදම් පුතිපූර්ණය කිරීම.

රෝහල් ගත වීමකින් තොරව වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබාදීම.

රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් කරන භාහිර පරීක්ෂණ සඳහා රුපියල් දස දහසක් දක්වා ගෙවීම.

සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය යටතේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක පුතිකාර ලැබීමේදී රුපියල් ලක්ෂයක් දක්වා ගෙවීම.

මවුපියන් අහිමි වූ විටෙක රු.75000ක වන්දියක්.

දරුවකුගේ පූර්ණ ආබාධිත වීමකදී රුපියල් ලක්ෂය දක්වා වන්දියක්.

දරුවකු මියගි‍යහොත් රුපියල් ලක්ෂයක්.

මෙලෙස වන්දි මුදල් සහ රෝහල් ගාස්තු, වෛද්‍ය පරීක්ෂණ ගාස්තු හිමිවන නමුත් මෙකී රක්ෂණය සඳහා සිසු සිසුවියන්ගෙන් හෝ ඔවුන්ගේ මවුපියන්ගෙන් කිසිදු අයකිරීමක් සිදු නොවේ. ලොව වෙනත් රටවලද මෙවන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වන බව සැබෑවකි. නමුත් එහිදී පුතිලාභ හිමිකර ගැනීමට පුතිලාභ අපේක්ෂා කරන තැනැත්තා මුදල් ගෙවා රක්ෂණාවරණය ලබාගත යුතුවේ. සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඒ ක්‍රමවලින් වෙනස් වන්නේ රජයේ අරමුදල් වලින් දරුවාට නොමිලයේ රක්ෂණ හිමිකමක් ලබා දෙනු ලබන බැවිනි. එය නිදහස් අධ්‍යාපනයේ තවත් පුළුල් වීමක් මිස නිදහස් සෞඛ්‍ය සේවය නැති කිරීමේ උත්සාහයක් හෝ ඊට බාධා කිරී‍මක් නොවේ.

මෙරට රජයේ රෝහල් වලට වඩා වැඩි පහසුකම් පෞද්ගලික රෝහල්වල පැවතිම රහසක් නොවේ. මුදල් ඇති හෝ පෞද්ගලික හෝ සේවා ආයතනයක රක්ෂණ ප්‍රතිලාබ හිමි මවුපියන්ගේ දරුවනට හදිසි අවස්ථාවකදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගත හැකි වුවද දුප්පත් දරුවනට එය මෙතෙක් පැවතියේ සිහිනයක් වශයෙනි. දැන් ඒ පහසුකම සියලු සිසුනට නොමිලයේ ලබා දී තිබීම නිදහස් සෞඛ්‍ය කප්පාදු කිරීමක් බව පෙරටුගාමින් කීවද ඇත්ත වශයෙන්ම එය නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් පුළුල් වීමකි.

විශේෂත්වය වන්නේ රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබද්දී පවා මුදලින් ප්‍රතිලාභ ලබන්නට දරුවාට අයිතිය හිමිව තිබීමයි. නිදහස් සෞඛ්‍ය කප්පාදු කරන්නට අවශ්‍ය වී නම් රජයේ රෝහලක නේවාසික පුතිකාර සඳහා ගාස්තු නොගෙවන කොන්දේසියක් එකතු කරන්නට ආණ්ඩුවට තිබුණි. මෙහිදී සිදුවන්නේ එය නොව රජයේ රෝහලකදී රජයේ වියදමින්ම දරුවාට ප්‍රතිකාර කොට රෝහලෙන් පිටව යද්දී ප්‍රතිලාබ මුදලකුත් ලබාදීමයි. එයටත් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදුව යැයි කියන්නේ නම් පෙරටුගාමින්ගේ මොළය පරික්ෂා කළ යුතුය.

සෙනරත් විජය වික්‍රම

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *