මැතිවරණ කොමිසමේ කොන්ද කෙලින්ද කියලා පරීක්‍ෂාවට ලක් වෙන්නේ මෙම මැතිවරණයේදී – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

නාම යෝජනා බාරදීමේ අදියර දෙකේදීම කිසිදු නාම යෝජනා ලැයිස්තුවක් ප්‍රතික්‍ෂේප නොවී ආරම්භයේදීම ඉතාම සාර්ථකව නාමයෝජනා බාර දීමට අපිට හැකිවුණා. උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක්, කිලිනොච්චියේ 01ක්, මන්නාරම 01ක් සහ වව්නියාව ආයතන 05 සඳහාත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ආයතන සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ආයතන 12ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයතන 06ක් ඇතුළුව මුලු රටේම පළාත් පාලන ආයතන 311ක් සඳහා නාමයෝජනා බාරදීම සිදුකළා. බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් ඉදිරිපත් කළේ නැහැ. එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සංවිධානය මගින් ජේවීපී, ශ්‍රීලනිප, යූ ඇන්.පී. සාමාජිකයින්ගෙන් යුත් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා තුළ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයින්ද, කලාකරුවන්, ගොවි නායකයින්, ධීවර සමිති නායකයින් කාන්තා සහ තරුණ නියෝජිතයින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ආගම් බේදයකින්, ජාති බේදයකින් තොරව නියෝජනය වෙනවා.
මහ නගර සභා සහ නගරසභාවලින් විශාලම නගර සභාව කොළම නගර සභාවයි. කොළඹ නගර සභාව මැතිවරණ ආසන 05ක් නියෝජනය කරනවා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් පුරපති අපේක්‍ෂකයා ලෙස වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ගීත රචකයෙක්, ගායකයෙක් සහ ලේඛකයෙක් වූ විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා මෙවර මැතිවරණයේදී තරඟ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනාවල නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වුණු කිසිවෙකු නැහැ. චෝදනාවලින් තොර සමාජ විරෝධී ක්‍රියාවලට හවුල් නොවූ පිරිසිදු අපේක්‍ෂකයින් පිරිසක් අපිට ඉදිරිපත් කරන්න හැකිවෙලා තිබෙනවා. අනෙක් පක්‍ෂවල ලැයිස්තු දිහා බැලුවාම පාතාලයට සම්බන්ධ පුද්ගලයින්, දූෂිතයින්ගේ නම් ඇතුළත් වී තිබෙනවා. නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අපි ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් එම අවස්ථාවේදී තේරීම් භාර නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. නාම යෝජනා ලැයිස්තු දිහා බැලුවාම ජනතාවට වෙනස තේරුම් ගන්න පුළුවන්.
ඒ වගේම අනෙක් පක්‍ෂවල නීතියට පටහැනිව අපේක්‍ෂකයින් ඉදිරිපත් කරලා තිබෙනව. පළාත් පාලන පනතේ සංශෝධන අනුව ක්‍ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වෙනවා නම් එම සභා බල ප්‍රදේශය තුළ සේවයෙන් වසරකට පෙර ඉවත් විය යුතුව තිබෙනවා. එසේ තිබියදී ඇතැම් ලැයිස්තුවලට එවැනි පුද්ගලයින් ඇතුළත් කර තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා, එවැනි අයට ඡන්දය ලබාදී තමන්ගේ ඡන්දය අපතේ යවන්න එපා කියලා.
කොළඹ නගර සභාව තරගකාරිත්වයෙන් වැඩිම පළාත් පාලන ආයතනය වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරපත් කරලා තිබෙන්නේ පක්‍ෂ මාරු කරමින් එහේ මෙහේ පැනපු අසාද් සාලි මහතායි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කොට තිබෙන්නේ පහුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වුණු රෝසි සේනානායක මහත්මියයි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතායි. එනිසා අපි අංක එකේ අපේක්‍ෂකයෙක් කොළඹ නගර සභාවට ඉදිරිපත් කර තිබෙනවා. ගම්පහ නගර සභාවට ජවිපෙ නියෝජනය කරමින් තරඟ වදින්නේ වරලත් ඉංජිනේරු එරික් එදිරිවික්‍රම මහතා.
නාමයෝජනා බාර දීමේදී අනෙක් බොහෝ පක්‍ෂ වරද්දා ගත්තා. ජී.එල් පීරිස් මහතාගේ පොදුජන පෙරමුණ මහා බලයක් පෙන්නන්න උත්සාහ කළා. නමුත් පළමු වටයේ නාමයෝජනා හයකුත් දෙවැනි වතාවේ නාම යෝජනා පහකුත් ප්‍රතික්‍ෂේප වුණා. නීතිය පිළිබඳ මහා ඔස්තාද් කෙනෙක් වුණු ජී.ඒල්. පීරිස්ගේ පක්‍ෂය පළමු වතාවේ සිදුවූ වැරැද්ද හදාගන්න බැරුව දෙවැනි වතාවෙත් වරද්දා ගත්තා.
මෙම මැතිවරණය පුංචි ඡන්දය කිව්වට ගම, නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට, නගර සභාවට මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් තෝර පත්කරන විශේෂ මැතිවරණයක්. මීට පෙර ප්‍රධාන පක්‍ෂ දෙකෙන් අවුරුදු ගාණක් පත් කර යවපු සභාපතිවරු, නගරාධිපතිවරු, පළාත් පාලන ආයතනවල මුදල් කාබාසිනියා කළා. තමන්ගෙ බඩ වඩා ගත්තා. පළාත් පාලන ආයතන පිරිහිලා ගියා. ඒ නිසා ගම තුළ සුපිරිසිදු පාලනයක් හදන්න අලුත් ආරම්භයක් තැබිය යුතුයි. ගම නගරය ගොඩනැගීමට නම් පළමුව දූෂණය පරාජය කළ යුතුයි. ප්‍රාදේශීය සභා, නගර සභාව දූෂණයෙන් පිරිලා. කොළඹ නගර සභාවට අඩුම තරමේ කුණු ටික ඉවත් කරගන්න හැකියාවක් නැහැ. යූ.ඇන්.පී., ශ්‍රී ලංකා පක්‍ෂ දෙකම කොළඹ නගර සභාව පාලනය කරලා කුණු ප්‍රශ්නය විසඳා ගන්න බැරි වුණා. කුණු ටිකෙනුත් හොරාකන්න පටන් ගත්ත. මෙවර ජනතා විමුක්ති පෙරමුණේ තේමාව වුණේ ‘ගම ගොඩනගන, දූෂණය පරදන ජවය’ යන්නයි. ගම ගොඩනගන්න නම් ගමේ නායකත්වයට දූෂණය පරදන ජවයක් ඕනැ.
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල ප්‍රධාන රැලි ගණනාවක් ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. එමෙන්ම ප්‍රාදේශීය සභා, නගර සභා සහ කොට්ඨාස මට්ටමින් ජනහමු ගණනාවක් පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. එමෙන්ම ජවිපෙ පාලනයක් යටතේ ගම-නගරය ගොඩනගන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. සෑම කොට්ඨාසයකම අපේක්‍ෂකයා එම කොට්ඨාශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙළක් පත්‍රිකාවක් ලෙස ජනතාව අතට පත්කරනවා.
තිස්ස ප්‍රාදේශීය සභාව ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් තුළ ගම ගොඩනගන ආකාරය පෙන්වා දී තිබෙනවා. 2002දී තිස්ස ප්‍රාදේශීය සභාවේ බලය පළමු වරට ජනතා විමුක්ති පෙරමුණට ජනතාව ලබාදුන්නා. පළමු අවුරුදු 4ක පාලන කාලයේදී දස වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ ප්‍රාදේශීය සභාව ගොඩනැගුවා. වසරක් පාසා හොඳම ප්‍රාදේශීය සභාව ලෙස තේරී පත්වුණා. එවකට දකුණේ මහ ඇමතිවරයා විසින් තමයි එම සම්මාන ප්‍රදානය කළේ. මුළු රටේම පළාත් පාලන ආයතනවලින් අංක 1ට පත්වෙන්න තිස්ස ප්‍රාදේශීය සභාවට හැකි වුණා. ‘වනපස මල්’ නමින් අධ්‍යාපන ව්‍යාපෘතියක්, ‘බිංදුව-එක-දෙක’ නමින් ළදරු පාසැල් ව්‍යාපෘතියක්, ‘උඩුගම් බලා’ පරිසර ව්‍යෘපෘතියක්, ‘සුව පෙළහර’ නමින් සෞඛ්‍ය ව්‍යාපෘතියක්, ‘මාගල’ නමින් මාර්ග සංවර්ධන වැඩපිළිවෙළක්, ‘පුරවර පුබුදුව’, ‘කිරි ඇතිලියෙන් ඔබ්බට’ ආදී ව්‍යාපෘති ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කරමින් තිස්ස ප්‍රාදේශීය සභාව ඉහළට ගෙනාවා. දූෂණය පරාජය කරලා ප්‍රාදේශීය සභාව ගොඩනැගුවා. පළමු වසර තුළම කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස උද්දකන්දර කසළ ව්‍යාපෘතිය ගෙනාවා. කුණුවලින් කාබනික පොහොර නිෂ්පාදනය කර ප්‍රාදේශීය සභාවට අමතර ලාභයක් ලබාගත්තා. 2006දී දෙවන වතාවටත් තිස්සමහාරාම ජනතාව වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් ලබා දෙමින් ප්‍රාදේශීය සභාවේ බලය ජවිපෙට ලබා දුන්නා. මේ ආදර්ශයම ප්‍රමාණවත් වෙනවා ජනතාවට ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් හඳුනා ගන්න. ආණ්ඩුව කියනවා, ගම ගොඩනගන්න නම් පවතින ආණ්ඩුවටම ගමේ බලයත් දෙන්න කියලා. ඒ කතාව පට්ටපල් බොරුවක්. ජනතා විමුක්ති පෙරමුණේ අපි ආණ්ඩු බලයක් නැතිව ප්‍රාදේශීය සභාව ගොඩනගන විදිහ තිස්සෙදී පෙන්නුවා.
කෙනෙකුගේ උපතේ සිට මාතෘ සායනය, ළදරු පාසැල, පුස්තකාලය, ක්‍රීඩා පිටිය, ඇතුළු සියලුම දේවල් පාලනය වෙන්නේ පළාත් පාලන ආයතනයෙන්. කුඩා පාරවල් සංවර්ධන කිරීම, වීදි ලාම්පු නඩත්තු කිරීම, කැළි කසළ ඉවත් කිරීම, නිවාස සැලසුම් අනුමත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, ඉඩම් කට්ටි කිරීමට අවසර දීම වැනි සියලුම කාර්යයන් පැවරෙන්නේ පළාත් පාලන ආයතනයටයි. මරණයෙන් පසු රැගෙන යන කනත්තද නඩත්තු කරන්නේ පළාත් පාලන ආයතනයෙන්. එනිසා මිනිසෙකුගේ උපතේ සිට විපත දක්වා සියලුම යටිතල පහසුකම් ලබා දෙන්නේ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවයි. මෙම ආයතනවලට ආදායම ලැබෙන්නේ වරිපනම් බදු මුද්දර ගාස්තු, සහ එම පළාත් පාලන බල ප්‍රදේශය තුළ එකතු කරන දඩ මුදල්වලින්. එමෙන්ම එම බල ප්‍රදේශය තුළ පළාත් පාලන ආයතනය මැදිහත් වී සිදුකරන ආණ්ඩුවේ ව්‍යාපෘතිවලින් ආදායමක් ලැබෙනවා. කොළඹ නගර සභාවේ පසුගිය වසරේ ආදායම කෝටි 1400ක්. 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම කෝටි 1600යි. එනිසා පළාත් පාලන ආයතනවලින් ජනතාවට මූලික යටිතල පහසුකම් ලබාදීමට ආදායම් උපයා ගන්න පුළුවන්. එනිසා ආණ්ඩුව කරන පක්‍ෂයටම ප්‍රාදේශීය සභා ලබාදෙන්න ඕන නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලනවා, පළාත් පාලන ආයතනවල බලය ජවිපෙට දෙන්න අපි හදලා පෙන්වනන්නම් කියලා.
එජාප, ශ්‍රීලනිප, මෛත්‍රී පිල සහ මහින්ද පිල පාර්ශව 03ම විවිධ චෝදනාවන්වලට ලක්වෙලා තිබෙනවා. හොරකම දූෂණය නැතිකරන්න ආපු එජාපය මහ බැංකු වංචාව සිදුකළා. රවී කරුණානායක මහ බැංකු දූෂිතයින්ගෙන් ගෙවල් ගත්තා. කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් මහ බැංකු හොරුන් සමඟ දුරකථන සංවාද කළා. එනිසා ඔවුන් අද මහබැංකු වංචාවට චූදිතයින් වෙලා. අද එජාප සාමාජිකයින් නායකයින් ගැන කළකිරිලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අද ඉතා බංකොළොත් තත්වයට පත්වෙලා. ලැයිස්තුවක් හදාගන්න බැහැ. එහෙට මෙහෙට පැනපු අසාද් සාලි තමන්ගේ අපේක්‍ෂකයෙක් කරගන්න තරම් බංකොලාත් වෙලා. ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වෙලා නිවේදනයක් දාලා තියෙනවා, ජවිපෛ පිරිසක් ශ්‍රීලනිපයට එක් කරගත්තා කියලා. ලැජ්ජයි. ලක්‍ෂ 60ට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගත්ත මෛත්‍රීපාල සිරිසේන අද කුණු කෑලි එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වෙලා නිවේදන දානවා. ජනාධිපතිවරයා පොදු දේපොළ අපහරණය කරනවා. මේ ලැයිස්තුවල ඉන්න අන්ජාන් උම්මා විමල්ගේ පක්‍ෂයේ සාමාජිකාවක්. ඒ විතරක් නෙවෙයි පසුව එජාපයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට තිබෙනවා. එජාපයෙන් ගත්ත කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? එස්.කේ. සුභසිංහ පෙරටුගාමී පක්‍ෂයේ ගොවි නායක. මීට අවුරුද්දකට පමණ පෙර සිට ජනාධිපති කාර්ය සාධන බලකායේ වැඩ කරනවා. ගේ ඇතුළෙම හිටපු කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? රණවීර පතිරණ දුමින්ද දිසානායක යටතේ තිබෙන ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්. ජවිපෙන් ඉවත් වෙලා වසර ගණනක් වෙනවා. දිමුතු අබේකෝන් පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයෙක්. පසුව කිරිඇල්ලගේ උපදේශකයෙක් ලෙස සේවය කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අනුර නැමැත්තා එජාපයෙන් පළාත් සභාවට තරඟ කරපු කෙනෙක්. පසුව පේෂල ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. භූමිනාදන් තොණ්ඩමන්ගේ පක්‍ෂයේ සාමාජිකයෙක්. මේ අය කොහොමද ජවිපෙ සාමාජිකයන් වෙන්නේ? මීට වසර ගණනාවකට පෙර ජවිපෙන් ඉවත් කරපු අය තමන් ළඟට අරගෙන නිවේදන ගහනවා. මේ අය හරියට සංක්‍රමණිකයන් වගේ. අද මෛත්‍රීපාල සිරිසේන හරියට පරණ යකඩ බඩු එකතු කරන බෝතල් පත්තරකාරයෙක්ගේ තැනට වැටිලා.
ජී.ඇල්.පීරිස්ගේ පක්‍ෂයේ අය දැන් මහ ලොකුවට රට බෙදන එකට එරෙහිව ඡන්දය ඉල්ලනවා. ඒ අය රට බෙදන්න විරුද්ධයිලු. ජී.ඇල්. පීරිස් කියන්නේ කවුද? චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ රට බෙදන පැකේජ් එක ගෙනාපු පැකේජ් පප්පා තමයි ජී.ඇල්. පීරිස් කියන්නේ. ඔස්ලො සාකච්ඡාවලදී එරික් සෝල්හයිම්ලා සමඟ රට බෙදන්න කතා කරපු ජී.ඇල්. පීරිස් අද කියනවා රට බෙදන්න විරුද්ධයි කියලා. දූෂිතයින්, හොරුන්, පිරිසක් එකතු කරගෙන පක්‍ෂයක් හදාගෙන පැකේජ් පප්පා දේශප්‍රේමියෙක් වෙලා. මේ කතා ජනතාව තේරුම්ගත යුතුයි. මෙම බොරු දේශප්‍රේමීන් පරාජයට පත්කොට මෙම මැතිවරණය තමන්ගේ ගම හදන පිරිසිදු පාලනයක් ගොඩනගන තීරණාත්මක ඡන්දයක් කරගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම රට ගොඩනගන මාවත විවෘත කරගැනීම සඳහා ජවිපෙ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත්කරන නිවේදනවලට වගකිව යුත්තේ ජනාධිපති ලේකම්වරයායි. එනිසා මැතිරවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදන යැවීමට ප්‍රධාන චූදිතයා ජනාධිපති ලේකම්වරයායි. ඔහු වැරදිකරුද යන්න තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසමයි. අපි ජනාධිපති ලේකම්වරයාට එරෙහිව කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එම නිසා මැතිවරණ කොමිසමේ කොන්ද කෙලින්ද කියලා පරීක්‍ෂාවට ලක් වෙන්නේ මෙම මැතිවරණයේදී ඔවුන් කටයුතු කරන ආකාරය අනුවයි.
ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රධාන අමාත්‍යාංශ හතරක ඇමතිධුර 04ක්, නියෝජ්‍ය ඇමතිධුර 04ක් දරමින් පාලනය කළා. නමුත් අපේ සතුරන්ට බැරිවුණා හොරකම් වංචා ගැන එකම චෝදනාවක් නගන්න.
1989 ගැන මැක්කා වගේ දොඩවන්න පටන් අරගෙන තිබෙනවා. එම චෝදනා දැන් ජනතාව බාර ගන්නේ නැහැ. 1994න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කැටපෝලයක්වත් අල්ලලා නැහැ. අපේ සාමාජිකයන්ට ගහද්දී අපේ සාමාජිකයන් ඝාතනය කරද්දී අපි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කොට තිබෙනවා. අපි ඒ බව භාවිතයෙන් ඔප්පු කොට තිබෙනවා.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේත් දුප්පත්කම නැතිකරනවා කියයලා ව්‍යාපෘති පටන් ගත්තා. යාචකයින් නැති කරනවා කිව්වා. එහෙම කියලා කොළඹ යාචකයින් වෙන කොහාට හරි ගිහින් දැම්මා. ඒකෙන් දුප්පත්කම නැතිවුණේ නැහැ. මේ ආණ්ඩුවත් 2017 දුගීබව නැතිකරන වර්ෂය ලෙස නම්කළා. දැන් දෙසැම්බර් මාසය දුප්පත්කම නැති කළාද? ව්‍යාපෘති සියල්ල අසාර්ථකයි. දැන් තමන්ගේ බැරිකම වහගන්න යාචකයෝ කොහාට හරි ගිහින් දාන්න හදනවා. ඒකෙන් දුප්පත්කම නැතිවෙන්නේ නැහැ. යාචකයින් වෙන්න බලපාන හේතුව නැති කරන්නේ නැතිව දුප්පත්කම නැතිකරන්න බැහැ. ඒ නිසා මේ පාලකයෝ තමන්ගේ අසාර්ථකභාවය ඔප්පු කොට අවසන්.

මනෝජ් රූපසිංහ
ස්තූතිය ජවිපෙ මාධ්ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *