ගෝඨා ගත්තොත් බරපතල තත්ත්වයක්

මේ සතියේ නිව්ස් මෑන් හරක් වීරසේකර ගොයියට කතා කළේ ගෝඨා වීරයා අත්අඩංගුවට ගත්තොත් අදාහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ඇති වනු ඇතැයි ඔහු කියූ ප්‍රකාශයක් පැහැදිලි කරගන්නටය.

ඇත්ත වශයෙන්ම හරක් මහත්තයා මොකක්ද ඔබ කියන බරපතළ තත්ත්වය කියා නිව්ස් මෑන් ඇසූ විට හරක් මහතා එකවරම කීවේ, ඒක අදහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ය කියා ය.

එවිට නිව්ස් මෑන් යළිත් ඇසුවේ අදහාගත නොහැක්කේ කාටද? බරපතළ තත්ත්වය උදාවෙන්නේ කාටද? කියාය. ඒ සංවාදය මෙසේය.

නිවුස් මෑන් – හරක් මහත්තයා කියන්නේ ගෝඨා අත්අඩංගුවට ගත්තොත් අදහා ගත නොහැකි තත්ත්වයක් ඇති වෙනව කියලද?

හරක් – නැතුව අනිවාර්යෙන්ම!

නිවුස් මෑන් – අදහාගන්න බැරි කාටද?

හරක් – කාටවත් නෙමෙයි මේ අපිට. කෙටියෙන් කිව්වොත් සාටක රජ්ජුරුවන්ගෙ පාර්ශවේ කට්ටියට. පොහොට්ටු කල්ලියට.

නිවුස් මෑන් – උත්තරය පැහැදිලි මදි. පැහැදිලි කරන්න.

හරක් – දැන් මෙහෙමනේ, ගෝඨා කියන්නේ අපේ සාටක රජ්ජුරුවන්ගෙ හුරතල් මල්ලි. සාටක හිටියට රජකමෙන් බාගයක් විතර ඒ කාලෙ තිබුණෙ ද්විත්ව පුරවැසි මල්ලිලා අතේ. ඉතිං එහෙව් බලයක් තිබ්බ උත්තමයෙක් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන් කියල අපි හිනෙන්වත් හිතුවෙ නැහැ. ඒ නිසා ගෝඨා අත්අඩංගුවට ගැනීම අපට අදහාගන්න බැරි තත්ත්වයක් නෙමේද?

නිවුස් මෑන් – එතකොට බරපතල තත්ත්වයක් උදාවෙයි කියල කීවෙ?

හරක් – ඒක මෙහෙමයි. දැන් ගෝඨා අත්අඩංගුවට ගන්න යන්නෙ මොකටද?

නිවුස් මෑන් – මවුපිය අනුස්මරණ සොහොනෙ කේස් එකට.

හරක් – ඉතිං ඒක බරපතල තත්ත්වයක් නෙමේද? රට බේරාගත්තු වීරයා කියලා අපි පුම්බගෙන උන්නු මිනිහා ආණ්ඩුවේ සල්ලි වලින් අම්ම තාත්ත සිහි කරන්න ස්මාරකයක් හැදුව කියන්නෙ බරපතළ තත්ත්වයක්. ඔය කතන්දර රටට එළි වුණාම වක්කඩෙන්අත හොදාගෙන නාම යෝජනා අත්සන් කරපු අප්පොච්චිගෙ අප්පොච්චිගේ කිර්ති නාමයට උදාවෙන්නෙ බරපතළ තත්ත්වයක්. ඒ අහිංසක මනුස්සය බණ්ඩාරණායකත් එක්ක එකතුවෙලා කරපු විප්ලවෙත් එයාගෙ හිච්චි පුතා කොට්ටඋරයක් කනපිට හරවනව වගේ අනිත් පැත්ත ගහල කියල රටට එළිවුණොත් ඒකත් බරපතළ තත්ත්වයක්.

නිවුස් මෑන් – ස්මාරකේ හැදුවෙ අම්ම තාත්ත දෙන්නම වෙනුවෙන් නේද?

හරක් – අන්න එතන තමයි වඩාත්ම බරපතළ තත්ත්වෙ තියෙන්නෙ දැන් බලන්ඩ ආණ්ඩුවෙ ඒ කියන්නෙ ජනතාවගෙ සල්ලි හොරාකාලා අම්මට තාත්තට ස්මාර්ක හැදුව කියල දැනගත්තු ගමන් ජනතාව ස්මාරකයක් නැතුවම ගෝඨගෙ අම්ම තාත්ත අනුස්මරණය කරන්න පටන් ගන්නෙ නැද්ද? මම කියන්නේ මේ එයාගෙ මවුතුමියට නිවන් සැප ලැබේවා වගේ වචන ජනතාව කියන්න ගත්තොත් ඒක බරපතල තත්ත්වයක් නේද?

නිවුස් මෑන් – රට බේරාගත්තු රජපක්ෂවරුන්ට එරෙහි ද්‍රොහි වැඩ අපිට කම්පනයක් කියලත් ඔබතුමා කියල තිබුණා.

හරක් – කම්පනයක් නේන්නම්, දැන් බලන්න ඒ අයගෙ රට බේරා ගැනීමේ කටයුත්තට අපිත් සහයෝගය දුන්න. මුලින්ම ජනාධිපතිවරණෙන්. පස්සෙ සරත් ෆොන්සේකා ලොක්කගෙන් රට බේරගන්න කරපු අරගලයට අපිත් කිසිම විරෝධයක් නැතුව සහයෝගය දුන්න. දැන් ඔය ශිරාණි නෝනගෙ ප්‍රශ්නයේදි වුණත් අපි අනුගමනය කළේ නිහඬව අනුමැතිය දීමේ පිළිවෙත නිසා ගෝඨට තියන අත අපටත් කොයි මොහොතෙ කැරකෙයිද කියල අපිට ලොකු කම්පනයක් තියෙනව. මොකද අපේ කිල්ලෝටවලත් හුණු තියනවනේ නේද?

නිවුස් මෑන් – මවුපියන් වෙනුවෙන් ස්මාරක හැදුවට ගෝඨාභය අත්අඩංගුවට ගන්න යාම වැරදියි කියලද ඔබතුමා කියන්නෙ?

හරක් – වැරදියි! ටිකක් නෙමෙයි. ඉතාම වැරදියි! බොහොම වැරදියි! පට්ටපල් වැරදියි!

නිවුස් මෑන් – ඇයි එහෙම කියන්නෙ?

හරක් – මවුපියන් වෙනුවෙන් ස්මාරක හැදුව කියන්නෙ ඉතාම සුළු කාරණාවක් නිසා දැන් කාලෙ භාෂාවෙන කියනව නම් හරියට ලූණු බිකක් වගේ.

නිවුස් මෑන් – මට පැහැදිලි මදි.

හරක් – ඒ කියන්නෙ ගෝඨා අත්අඩංගුවට ගන්නව නම් මවුපියන්ට ස්මාරක හැදුවට වැඩිය කොච්චර හේතු තියනවද? දැන් බලන්න රතුපස්පලදි හමුදාව වෙඩි තිබ්බ පස්සෙන් හිටියෙ කවුද, එයා අත්අඩංගුවට ගන්න ඕනෙ නැද්ද? කටුනායක මීගමුවෙ වෙඩි තැබීම් වල පිටිපස්සෙ උන්නු කෙනාට මිනීමැරීම් චෝදනා එල්ල කරල අත්අඩංගුවට ගන්න බැරිද? ඇවන්ගාඩ් කේස් එකත් පුංචිපහේ එකක්ද? ශ්‍රී ලංකන්, තාජුදීන්, ලසන්ත, ෂැන්ග්‍රිලා වගේ අත්අංගුවට ගන්න දේවල් තියෙද්දි ස්මාර්කයක් හැදුව කියල අල්ලනව නම් බරපතළ වැරැද්දක් ඒ කියල හිතෙනව.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *