රාජපක්ෂවරු මේ හදන්නේ යළිත් “ආතතියක්” ඇති කරන්නද? – භාතිය බරුකන්ද

“ඡන්දේ කියන්නේ නත්තල් සීයලා බුරුතු පිටින් එළියට බහින කාලයක්” කියලා මේ රටේ පොදු ජනතාව කියන්නේ බොහොම කාලෙක ඉඳලා. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණු 1931 ඉඳලා අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් විසින් මේ නත්තල් සීයාගේ භූමිකාව රඟපෑවා කියලා. ශ්‍රී ලංකා දේශපාලනයේ සුප්‍රකට චරිතයක් වුණු ගාල්ලේ විජයානන්ද දහනායක මහත්තයා වරක් “මම සල්ලි ගහ හොළනවා. උඹලාට තියෙන්නේ ඒවා අහුල ගෙන මට කතිරේ ගහන එකයි” කියලා කිව්වේ දේශපාලනඥයන්ගේ නත්තල් සීයාගේ භූමිකාවේ සැබෑ තත්ත්වය අපූරුවට හෙළි කරමින්.

මේ කොහොම වුණත් පසුගිය කාලය පුරාම දේශපාලනඥයෝ ඡන්දේ කාලෙට තමන්ගේ පාක්ෂිකයන්ට මේ ආකාරයන් තෑගි බෝග දුන්නේ තමන් උපයා ගත් පෞද්ගලික ධනයෙන් බව පැහැදිලියි. ඒ නිසා මේ තෑගි බෝග දීම රටට වගේම ජනතාවටත් ඒ හැටි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ “මේ නත්තල් හැමදාම නැහැ” කියලා මේ හැමෝම දැනගෙන හිටිය නිසයි.

ඒත් දශකයකට ආසන්න කාලයක් රටේ විධායක ජනාධිපති ධූරය හොබවලා, යළිත් විධායක ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව අන්ත පරාජයකට මුහුණ දී අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ඡන්ද කාලෙට සිදුවන මේ නත්තල් සීයාගේ වැඬේ ගැන දැඩි වේදනාවෙන් කතා කරලා තිබුණා.

මේ මැසිවිලි කුමක් නිසාද?

“ඡන්දේ ගන්න බඩු බෙදන එකක හම්බන්තොට දිස්ත්‍රික්කය තමයි වැඩිපුරම දකින්න තියෙන්නේ. අනික් දිස්ත්‍රික්කවලිනුත් අපට පැමිණිලි ලැබෙනවා. සිමෙන්ති කොට්ට, සල්ලි, මැෂින් බෙදනවා. මේක මැතිවරණ කොමසාරිස්ට පේන්නේ නැහැ. රූපවාහිනියේ අපි මෙහෙම දේවල් දැක්කා කිවුවාම ඔහු දැක්කේ නැතැයි කිවුවා. මැතිවරණ කොමිෂමේ සභාපතිට හොඳට ඇස් පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවේ වැරදි පේනවා අඩුයි මේ දවස්වල. අපි කරන කාලේ තමයි පෙනුණේ” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහෙම කියන්නේ තමන්ගේ කාල්ටන් නිවසේදී තිබුණ ජනහමුවකදී.

මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට අවලාද කියන අතරේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් පසුගියදා තමන්ගේ තාත්තා යන පාරෙම යමින් ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් කළා.

“මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබා දෙනවා, ඉඩම් බෙදනවා, සිමෙන්ති කොට්ට බෙදනවා, මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුවත් කර තිබෙනවා. අදාළ ආයතන සියල්ලම දැනුවත් කර තිබෙනවා. නමුත් ඒ අයගේ ස්වාධීනත්වය තියෙන්නේ ආණ්ඩුවට පමණද ? ආණ්ඩුවට විරුද්ධව සටන් කරන අපට ස්වාධීනත්වය නැද්ද ? අපි ආණ්ඩුවට කියනවා කප්පම් දීලා ඡන්ද කොල්ලකන්න එපා කියලා”

මහින්ද – නාමල් පියපුතු දෙපොළ අද ඊයේ ඉපදුණා සේ කියන මේ කතා සමඟ සමාජය තුළ යළිත් “ඡන්ද දන්සල් ” ගැන උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. මේ උනන්දුව ඇති අය ඍජුව ප්‍රශ්න කරන කාරණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට, නාමල් රාජපක්ෂ මහතාට අද මේ ආකාරයෙන් චෝදනා කරන්න තරම්වත් සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද ? කියලයි. ඊට හේතුව වන්නේ රාජපක්ෂ පවුල් පාලනය විසින් 2005 – 2015 කාලය තුළ පවත්වන ලද සෑම මැතිවරණයකදීම දැවැන්ත ලෙස රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් ඡන්දදායකයන්ට තෑගී බෝග ලබාදීම අඛණ්ඩව කළ බව මේ රටේ ජනතාවට අමතක නැති නිසයි.

මහා භාණ්ඩාගාරයෙන් දන් දුන් යුගය

ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට කාලයක් පුරා බොහෝම අහිංසකව, තමන්ගේ සාක්කුවෙන් කරගෙන ආ මේ වැඩේ ඉතාමත් නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මක වන යුගයක් 2005 වසරින් පසු උදා වුණ බව මේ ගැන විමසුමේ යෙදෙන බොහෝ දෙනෙක් කියනවා. ඒ යුගය උදා වුණේ ඉතාම පැහැදිලිව හා ප්‍රකට පරිදි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ 2005 වසරින් පසුව බව අපට සාධක සහිතව පැහැදිලි කළ හැකියි. එහිදී සිදු වුණේ මෙපමණ කාලයක් දේශපාලනඥයන් ප්‍රාදේශීය වශයෙන්, ඇතැම් විට ගම් මට්ටමින් තමන්ගේ පෞද්ගලික ධනයෙන් කරගෙන ආ මේ තෑගි බෙදාදීම් රාජ්‍ය භාණ්ඩාරය හිස් කරමින් කරන ජාතික තලයේ දේශපාලන සූදුවක් බවට පත්වීමයි. මේ සඳහා දැක්විය හැකි ඉතාම පැහැදිලි උදාහරණයක් වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී සමාජයේ දැඩි විවේචනයට ලක් වූ “අරලියගහ මැඳුරේ මහා දන්සලයි”

මහින්ද රාජපක්ෂ මහතා විසින් 2005 – 2015 කාලය තුළ රිලේ ක්‍රමයට පවත්වන ලද (කඩින් කඩ) සෑම මැතිවරණ සමයකදීම දහස් ගණනින් වන පිරිස් දිනපතා, මුරක්‍රමයට අරලියගහ මන්දිරයට කැඳවමින් ඒ සඳහාම විශේෂයෙන් පිළියෙළ කරන ලද දැවැන්ත ශාලාවක දන්සලක් පවත්වා ගෙන ගියේ අනේපිඬු සිටුතුමා මෙන් මසුරුමළ ඉවත්කර ගැනීමේ සද්චේතනාවෙන් නොව සම්පූර්ණයෙන්ම තම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් බවට එදා විපක්ෂය ප්‍රමුඛ දූෂණ විරෝධ බලවේගවලින් දැවැන්ත ලෙස චෝදනා එල්ල වුණා. ඒත් ඒ ගැන කිසිදු තැකීමක් නොකළ රාජපක්ෂ පාලනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කරමින් කරගෙන ගිය මේ මැතිවරණ දූෂණය නතර කිරීමට කිසිදු පියවරක් ගත්තේ නැතුවා පමණක් නොව ඒවා විවේචනය කළ පාර්ශ්ව මර්දනයට ලක් කිරීමට ද පියවර ගත්තා. මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ මේ දැවැන්ත රාජ්‍ය සම්පත් අවභාවිතය සහ මැතිවරණ දූෂණය ගැන දැඩි විවේචනයක් යළිත් කළ අසාද් සාලි මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ “මහින්ද රාජපක්ෂ මහතාගේ මේ දන්සල්වල බිල් විතරක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දුන්නා නම් එතුමා ගස් කියලයි”

සිල් රෙදි-තහඩු කතා අමතක නැත

මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ වහාම මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නියෝග මත මේ සියලු ආකාරයේ මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කරමින් ප්‍රදානයන් සිදු වූ බව මනාව පැහැදිලි වන්නේ සුප්‍රකට “සිල් රෙදි නඩුව” සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව සමඟයි. මේ තීන්දුව ප්‍රකාශයට පත්වීම සමඟ මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ඍජු ප්‍රතිචාරය වුණේ, “මේවා ක්‍රියාත්මක වුණේ මගේ නියෝගයෙන්. ඒ කාලේ සිල් රෙදි අවශ්‍යතාවක් තිබුණා. ඒ නිසයි අපි බෞද්ධයෝ විදිහට, ව්‍යවස්ථාවෙන් ලැබිලා තිබෙන ප්‍රතිපාදන අනුව මේ සිල් රෙදි බෙදුවේ” කියලයි.

මහින්ද රාජපක්ෂ පාලනයේ රෙදි ගැළවූ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් මේ කල්ලිය අනුගමනය කළ පසු පියවර ද අපි මේ සමඟ යළි අවධානයට ගත යුතුයි. අධිකරණය විසින් චූදිතයන්ගෙන් අදාළ මුදල් අයකර ගැනීමට සහ දඩ මුදල් අය කර ගැනීමට නියෝග කළ වහාම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලිය දැක්වූ ප්‍රතිචාරය වුණේ අධිකරණ තීන්දුවට පවා අපහාසයක් වන ආකාරයෙන් “සිල් රෙදි සැකකරුවන් බේරා ගැනීම සඳහා මුදල් රැස් කිරීම සඳහා පිඬුසිඟා වැඩීම” නමින් ඊනියා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමයි.

මේ සමඟම මේ කල්ලියට මතක් කර දිය යුතු වැදගත් කරුණ වන්නේ එදා ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඍජුව මැදිහත් වී මේ මැතිවරණ දූෂණය වැළැක්වීමට පියවර ගනිද්දී රාජපක්ෂ කල්ලිය අද කියන ආකාරයට “විපක්ෂයේ අයිතීන් ගැන” “විපක්ෂයේ ස්වාධීනත්වය” ගැන අබමල් රේණුවක සංවේදීතාවක් දැක්වූවා ද යන්නයි.

මෙහිදී මහින්ද – නාමල් පියපුතු දෙපොළට යළි යළිත් අතීතය මතක් කරදීමට සිදුවන්නේ ඔවුන් ඉතිහාසයේ කළ වැරදි හා දූෂණ අද ඉතාමත් වංචාකාරී සහ සාටෝපකාරී ආකාරයෙන් සර්ව සාධාරණ කිරීමට ගන්න නිර්ලජ්ජිත වෑයම ජනතාව හමුවේ හෙළි කළ යුතු නිසයි.

නිලධාරීන්ට තර්ජනය කිරීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන නිවාස ණය ඇතුළු සිදුවීම් ගැන කිඹුල් කඳුළු හෙළමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට සහ පොලිස්පතිවරයාට චෝදනා කරන නාමල් රාජපක්ෂ මෙහිදී ද සිදුකරන්නේ ඉතාමත් වංචාකාරී ආකාරයෙන් රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ දැවැන්ත මැතිවරණ දූෂණ, ඒ සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුවලට අපහාස කිරීමයි. ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඍජු තර්ජනය කිරීමක්, බියගැන්වීමක් ද කරන බවක් දැකිය හැකියි.

“අපි මතක් කරන්න ඕනෑ නිවාස අධිකාරියේ ලේකම්තුමා, ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියාගෙන ඉන්න. මොකද අපි දැක්කා බොරුවට පොලිසිය සාක්ෂි හදලා රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු ලලිත් වීරතුංග මහත්තයාටත් නඩු දැම්මා. අද යහපාලන ආණ්ඩුවේ ලේකම්වරයා ක්‍රියාත්මක කරන්නේ රජයේ ප්‍රතිපත්ති නොවෙයි. ඇමැතිවරු එක්කෙනෙක් දෙන්නෙකුගේ අවශ්‍යතා මතයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔය ලේකම්තුමාලත් ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියා ගන්නවා හොඳයි”

අධිකරණය හමුවේ පවා ඔප්පු වූ නඩු තීන්දුවක් නාමල් රාජපක්ෂලා මේ ආකාරයෙන් යළි යළි අපහාසයට ලක් කරන්නේ කුමක් නිසාදැයි අපට පැහැදිලිය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ පුත්තු මේ සමඟ රාජ්‍ය නිලධාරීන්ට ඍජුව තර්ජනය කිරීමට හා බිය වැද්දීමට පියවර ගැනීමය. ඉහත සඳහන් ප්‍රකාශයේදී නාමල් රාජපක්ෂ ඍජුව අවධාරණය කරන්නේ “ඔය ලේකම්තුමාලත් ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියා ගන්නවා හොඳයි” යනුවෙනි.

නාමල් රාජපක්ෂ පමණක් නොව ඊනියා ඒකාබද්ධ විපක්ෂය පසුගිය ගිය කාලය පුරාම මේ ආකාරයෙන් ආණ්ඩුවේ නිලධාරීන්ට තර්ජනය කරමින්, ඔවුන් බිය වද්දමින් හැසිරෙන්නේ මේ සිදුවන ක්‍රියාවලි අඩපණ කිරීමටයි. උදාහරණයක් ලෙස “රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු ලලිත් වීරතුංග මහත්තයාටත් බොරුවට සාක්ෂි හදලා පොලිසිය නඩු දැම්මා” යැයි කියන නාමල් රාජපක්ෂ නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඍජුව චෝදනා කරන්නේ ඔහු ඇමැතිවරු එක්කෙනෙක් දෙන්නෙක්ගේ අවශ්‍යතාව ක්‍රියාත්මක කරන බවයි”

හම්බන්තොට ජනතාවට සිමෙන්ති, නිවාස ණය, බෙදනවා කියමින් මේ මහින්ද – නාමල් පියපුතු දෙපොළ චෝදනා කරන්නේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට බව පැහැදිලිය. එහෙත් ප්‍රශ්නය වන්නේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස පසුගිය තෙවරකට ආසන්න කාලය පුරා සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට හා මුළු රටම ආවරණය වන පරිදි නිවාස ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටියදී, ඒ සඳහා අයවැය ප්‍රතිපාදන වෙන්ව තිබියදී මහින්දලා – නාමල්ලා මේ ආකාරයෙන් සාවද්‍ය චෝදනා කිරීමය. එය වඩාත් හාස්‍යජනක වන්නේ “සිල් රෙදි බෙදීම රජයේ ප්‍රතිපත්තියක්” බව කියමින් ලලිත් වීරතුංග මහතාගේ අවභාවිතය සාධාරණීකරණය කරන නාමල්ලා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් දඬුකඳේ ගසන බවට තර්ජනය කිරීම.

වැපිරූ දේ නෙළා ගැනීම

මැතිවරණ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කළ හැකි සියලුම මැතිවරණ අපයෝජන කරමින් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කළ මේ කල්ලිය ද මේ ආකාරයෙන් විලාප නැඟීමට හේතු අපට පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මේ ලියුම්කරු සමඟ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ දේශපාලන විශ්ලේෂකයකු කියා සිටියේ රාජපක්ෂවරු හම්බන්තොට සිදුවන සජිත් ප්‍රේමදාස මහතාගේ සංවර්ධන කාර්යයන් මේ ලෙස දැඩිව විවේචනය කරන්නේ පැහැදිලිව තමන් විසින් හම්බන්තොටට හඳුන්වා දුන් දේශපාලන සංස්කෘතිය තමාටම පාරාවළල්ලක් බවට පත්වීම සමඟ උපන් භීතිය නිසා බවයි.

“සජිත් ප්‍රේමදාස මහත්තයා රාජපක්ෂ ආණ්ඩුව තිබෙන කාලයේ පවා අඛණ්ඩව හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මේ ආකාරයේ වැඩසහන් ක්‍රියාත්මක කළා. එදා සජිත්ට රාජපක්ෂලාට අලඟු තියන්නවත් බැරි වුණා. මොකද ඒ කාලේ සජිත් මේ සේරම කළේ තමන්ගේ පෞද්ගලික අරමුදල් සහ දානපතීන්ගේ සහයෝගයෙන්. ඒත් රාජපක්ෂවරු රාජ්‍ය භාණ්ඩාගාරය හින්දවමින් හම්බන්තොට ජනතාවට අල්ලස් දුන්නා. වරාය, ගුවන්තොටුපොළ, සිනමා ගම්මාන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා, අධිවේගී මාර්ග දුන්නා. ඒත් රාජපක්ෂ යුගයේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා වන නිවාස, පානීය ජලය සහ ආර්ථික අවස්ථා උදාකිරීමට කිසිදු සහායක් ලබා දුන්නේ නැහැ.

හම්බන්තොට ජනතාවට කොන්ක්‍රීට් සංවර්ධනයක් ලැබුණාට ඒ කිසිවකින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ඉඩම්, නිවාස හා රැකියා යන ගැටලු විසඳුණේ නැහැ. පසුගිය කාලය පුරාම සජිත් ප්‍රේමදාස මහතා අඛණ්ඩව ආමන්ත්‍රණය කරමින් ඉන්නේ, සහාය වෙමින් ඉන්නේ මේ ගැටලු විසඳීමටයි. මේ තත්ත්වය මහින්ද – නාමල් ඇතුළු රාජපක්ෂ පවුලට දරා ගන්න බැහැ. ඒකට හේතුව තමයි ඔවුන් දන්නවා තමන්ගේ පාලනය තුළ මේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය, මූලික අවශ්‍යතා ඉටු කිරීමට තමන්ගේ අතින් කිසිවක් සිදු නොවුණ බව. එදා ඔවුන් කළේ මැතිවරණවලදී දැවැන්ත ලෙස රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තාවකාලිකව මේ ජනතාව සතුටු කිරීම විතරයි. උදාහරණයක් විදිහට අරලියගහ මන්දිරයේ දන්සලට නොගිය එක මිනිහෙක්වත් මේ හම්බන්තොට ඉන්නවාද කියන එක සැකයි”

මේ දේශපාලන විශ්ලේෂකයන්ගේ පමණක් නොව හම්බන්තොට පොදු ජනතාවගේත් හෘද සාක්ෂිය බව පැහැදිලි වන්නේ අඩසියවසකටත් අධික කාලයක් පුරා රාජපක්ෂවරුන්ගේ අධිරාජ්‍යයක් ලෙස පැවැති හම්බන්තොට ජනතාව අදත් ලංකාවේ දිළිඳුම ජනතාව අතර සිටීමයි. ඔවුන් සඳහා වන ආර්ථික සහා සමාජ අවස්ථා සීමා වී තිබීමයි.

අනෙක් අතට මේ බෙදීම් ගැන වැළපෙන මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකව මේ සිදුවන දේ ගැන කනගාටුවිය යුතුයි. මන්ද ඔවුන්ම චෝදනා කරන ආකාරයට හම්බන්තොට ජනතාවට මේ ආකාරයෙන් ඉඩම්, නිවාස ණය, සිමෙන්ති ආදිය ලබා ගැනීමට ආණ්ඩුවේ ඇමැතිවරයා ළඟට යාමට සිදුව ඇත්තේ පසුගිය කාලය තුළ ඔවුන්ගේ එකී මූලික අවශ්‍යතා ඉටු නොවූ නිසයි. එසේ නැතිනම් අඩ සියවසකට අධික කාලයක් රාජපක්ෂවරු සෙවණේ වැඩුණු මේ අහිංසක ජනතාව ඔවුන්ට පිටු පා සජිත් ප්‍රේමදාස මහතා වෙත යන්නේ නැහැ.

ඒ නිසා අද රාජපක්ෂවරු කළ යුත්තේ ලලිත් වීරතුංග නඩු තීන්දුව දක්වමින් රාජ්‍ය නිලධාරීන් බිය වැද්දීම හෝ ඔවුන්ට තර්ජනය කිරීම නොව අද තමන් මේ නෙළමින් සිටින්නේ බලය හිමි කාලයේ තමන් විසින් මහත් ගිජුකමින් අභ්‍යාස කළ, කිසිදා අතහැර යාමට සිදු නොවෙතැයි සිතා සිටි රාජ්‍ය බලය අහිමි වූ විට මුහුණ දීමට සිදුවන නීරස දේශපාලන යථාර්ථය පිළිගැනීමයි. අද තමන් නෙළා ගනිමින් සිටින්නේ තමන්ම වැපිරූ දේවල්වල අස්වැන්න බව වටහා ගැනීමයි. එවැනි නිවැරදි වටහා ගැනීමකින් තොරව යළි එක අඩියක් හෝ ඉදිරියට ගමන් කිරීමට රාජපක්ෂවරුන්ට අවස්ථාව ලැබෙන්නේ නැති බව නම් පැහැදිලියි. මන්ද මුළු රාජ්‍ය භාණ්ඩාගාරයම හිස් කරමින් වෙස්සන්තර පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක නිරත වී සිටියදීත් ජනතාව විසින් තීරණාත්මකව පරාජය කළ රෙජිමයක් යළි ඔසවා තැබීමට එදා එකී බලවේග සමඟ පෙරට ආ කිසිවකු සූදානම් නැති නිසයි.

ඒ නිසා අප මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන හිටපු පාලකයන්ට අවධාරණය කරන්නේ 2010 ජනාධිපතිවරණයේදී හිටපු මැතිවරණ කොමසාරිස්වරයාට දුන් ආකාරයේ “ආතතියක්” වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට උරුම නොකරන ලෙසයි. මන්ද 2010 ආතිතයේ සැබෑ හේතුව මේ රටේ ජනතාවට තවමත් අමතක නැති නිසයි.

සටහන – භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *