ඡන්දය පුංචියි වෙනස විශාලයි – සී. ජේ. අමරතුංග

 පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පෙබරවාරි මස 10 දින පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වී ඇත. මහ නගර සභා 24ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 276 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 කට රටපුරා එකම දිනයක මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම කාරණයද ඇතුළුව මෙම මැතිවරණය රටට ඉතාම වැදගත් වන ඉදිරි පියවරක් වීමට හේතු රාශියක් ඇත. එහි ඇතැම් කරුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශ මගින් පැහැදිලි විය.

මෙම මැතිවරණය පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වෙමින් පවතින වාතාවරණයකය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කොට තිබෙන්නේ මෙවර මැතිවරණ නීති තදින්ම ක්‍රියාත්මක කරන බවයි. පළාත් පාලන ආයතන 93 කට නාමයෝජනා භාරගත් අවස්ථාවේදී මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක විය. නීති විරෝධී පෙළපාලි ආදිය සිදුවූයේ සුළු වශයෙනි. පාසල් පොත් බෙදාදීමක් ඇතුළු නීති විරෝධී ක්‍රියා ගණනාවක් මැතිවරණ කොමසාරිස්වරය‍ාගේ මැදිහත්වීම මඟින් නවතා දමා ඇත. ආරම්භයේදීම ගත් එම පියවර මගින් ඉදිරියේ එවැනි දෑ සැලසුම් කිරීමද වළකනු ඇත.

කොමසාරිස්ගෙනුත් පෝස්ටරයක්

රජයේ රැකියා දීම්, උසස්වීම් හා මාරුකිරීම් ද මෙම කාලයේ සිදුනොකළ යුතු බවට මැතිවරණ කොමිසම උපදෙස් දී ඇත. ඒ අනුව මේ වනවිට ඉල්ලුම්පත් කැඳවා ඇති රැකියා ලබාදීමද අත්හිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙන් දුන් බවද වාර්තා විය.

නීති විරෝධී ලෙස පෝස්ටර් ගැසීම, කටවුට් ගැසීම ආදියද නැවැත්වීමට කටයුතු යොදා තිබේ. එබඳු කටවුට් ඇතැම් තැන්වල තිබී මේ වනවිටත් ඉවත්කොට ඇති බවද වාර්තා විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කොට තිබෙන්නේ නීති විරෝධී පෝස්ටර් මත තමන්ගේ පෝස්ටරයක් අලවා එය නීති විරෝධී බව හා එයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දැන්වීමට ක්‍රියාකරන බවයි. එය නීතිය ක්‍රියාත්මක කිරීමේ නිර්මාණාත්මක පියවරකි.

ඡන්ද පොළේදීම ගණන් කිරීම මෙවර මැතිවරණයේ තවත් වැදගත් පියවරක් විය හැකිය. ඇතැම් පක්ෂ මෙයට අකමැත්ත ප්‍රකාශ කළද, ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී හා පසුව වෙනත් තැනක ගණන් කිරීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා සලකා බලනවිට ඡන්ද පොළේදීම හෝ ආසන්නම ස්ථානයක ඡන්ද ගණන් කිරීමද වැදගත් පියවරකි. එමෙන්ම ඡන්ද විමසීම සවස 4.00 ට අවසන් කොට සවස 5.00 සිට ඡන්ද ගණන් කරන බවද කියති. එසේ කළහොත් ඡන්ද ගණන් කිරීම වඩාත් විනිවිදභාවයෙන් යුතුව හා විශ්වාසනීය ලෙස සිදුකළ හැකිවනු ඇත.

ඉහත කී සියලු කාරණා ඉතා වැදගත් වන්නේ මෙයින් රටේ කලක් තිස්සේ ගොඩනැගී තිබූ දූෂිත මැතිවරණ සංස්කෘතිය විශාල ලෙස වෙනස් කිරීම සිදුවන බැවිනි. මෑත කාලයේ අපට දක්නට ලැබුණේ කොටස් වශයෙන් ඡන්දය පවත්වමින් ආණ්ඩුවේ මුළු බලය යොදමින් මැතිවරණ වාසි ගන්නා ක්‍රියාවලියකි. රජයේ රැකියා උසස්වීම් හා මාරුවීම් සිදුකළේ ඡන්ද වාසි ඉලක්ක කරගෙනය. අපේක්ෂකයෝ දාන ශාලා පවත්වාගෙන ගියෝය. රාජ්‍ය බලය යෙදවීම නිසා නීතිය ක්‍රියාත්මක නොවීය. ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදා දුන්නේ ආණ්ඩුවේ මුදලිනි. සතොස වැනි ආයතනවලින් භාණ්ඩ ලබාගෙන තිබුණේ ශතයකුදු ගෙවන්නේ නැතිවය. පසුගිය කාලයේ එබඳු ඇතැම් සිදුවීම් ගැන පරීක්ෂණ සිදුවුවද බොහෝ සිදුවීම් යටපත් වූ බව නොරහසකි. දූෂණ සියල්ල යටගිය විට ඉතිරි වූයේ ඡන්ද ප්‍රතිඵලයකි. එයින් සේවය සිදුවූයේ දූෂිත පාලනයක් දිගටම ගෙනයාමටය.

මෙබඳු දූෂිත දේශපාලන ක්‍රියා සිදුකළ ඇතැම් දේශපාලනඥයෝ දැන් විපක්ෂයේ ප්‍රධානීහූ ලෙස සිටිති. දැන් ඔවුන්ට අන් අය බඩු බෙදන හැටි පෙනෙන්නට පටන්ගෙන තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් කියන්නේ වැඩිම බඩු බෙදන්නේ හම්බන්තොට බවයි. එදා වයඹ ඡන්දයේ තිබූ බඩු බෙදිල්ල ඔහුට පෙනුනේම නැත. කෙසේ වෙතත් දැන් හෝ මේ වැරදි වැඩේ පෙනෙන්නට පටන්ගෙන තිබීම වැදගත්ය. කවුරුන් කළත් මේවා නැවැත්විය යුතුය.

සිදුවී තිබෙන හා සිදුවෙමින් තිබෙන වෙනස ඇතැම් පැරණි දේශපාලනඥයන්ට මෙන්ම ඇතැම් ඡන්ද දායකයන්ටත් තවමත් තේරෙන්නේ නැත. ඔවුන් හිතන්නේ ආණ්ඩු වෙනස් වුණාට වෙනත් කිසිවක් වෙනස් වී නැති බව විය හැකිය. දැන් ආණ්ඩුවත් අපේ පොලිසියත් අපේ කියා පැරණි පරම්පරාවේ දේශපාලනඥයකු කියා තිබුණේ ඒ නිසා විය හැකිය. එවැනි බොහෝ දෙනා මෙම ඡන්දයෙන් පාඩම් ඉගෙන ගනු ඇත.

මෙම මැතිවරණය පැවැත්වෙන්නේ විශාල ව්‍යුහාත්මක වෙනසක්ද සමඟය. පසුගිය කාලයේ පැවැති ඡන්ද ක්‍රමය වෙනස් කිරීම එම වෙනසට හේතුවයි. පැවැති ඡන්ද ක්‍රමය සමානුපාතික ක්‍රමයක් වූ අතර ඒ සමඟම මනාප ඡන්ද ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. හරියට ක්‍රියාත්මක වී නම් එය වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. එසේ වුවද විශාල ඡන්ද කොට්ඨාසයක මනාප සඳහා එකිනෙකා සමඟ ඇති වූ විශාල තරගය නිසා සිදුවූයේ එය හොරුන්ගේ මැරයන්ගේ හා ජාවාරම්කාරයන්ගේ සටනක් බවට පත්වීමය. විශාල ලෙස මුදල් වියදම් කළ හැකි උදවියට පමණක් එම සටනින් ජයගත හැකිවිය. එහෙම බලයට එන උදවිය ඊළඟට කරන්නේ වියදම් වූ මුදල් උපයාගන්නා මාර්ග සකස් කර ගැනීමයි. රටේ දේශපාලන භූමියම දූෂිතයන්ගෙන් පිරුණේ ප්‍රධාන වශයෙන්ම මෙම මැතිවරණ ක්‍රමය නිසා බව බොහෝ දෙනා පිළිගත් කාරණයකි. දැන් සිදුකොට තිබෙන්නේ එම ක්‍රමයට තිත තැබීමයි. දූෂිත දේශපාලනය පිරිසිදු කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙය හැඳින්විය හැක්කේ ඒ නිසාය.

මැරයින්ට වැඩක් නෑ!

මෙවර ඡන්දයේදී රටපුරා ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 කි. කොට්ඨාස මට්ටමින් තේරෙන සභික සංඛ්‍යාව 5091 කි. එම කොට්ඨාස සඳහා තරග වදින අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරය කිරීමට සිදුවන්නේ කුඩා කොට්ඨාසයකය. මහ නගර සභාවක් තුළ මැතිවරණ ප්‍රචාරය කිරීමට හෝ මනාප හොයා දුවන්නට හෝ අවශ්‍යතාවයක් මෙවර නැත. නගර සභා හා ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය. එම හැම ආයතනයක්ම කොට්ඨාස ගණනාවකට බෙදා ඇත. සෑම කොට්ඨාසයකටම එක් පක්ෂයකින් තරග වදින්නේ එක් අයෙකි. තරගය තිබෙන්නේ විවිධ පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු අතරය. ඒ නිසා ගැටුම් ඇතිවීමද සීමා සහිතය. එනිසා මැරයින්ට තිබෙන කාර්යභාරයක්ද අහෝසි වනු ඇත.

බොහෝවිට මැතිවරන ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූයේ මනාප පොරය නිසාය. එමෙන්ම තරගයට පෝස්ටර් ගැසීම නිසාය. දැන් මනාප පොරයද නැත. පෝස්ටර්ද තහනම්ය. මෙය ගැටුම් ඇතිවීම පාලනය වීමට හේතුවක් විය යුතුමය.

පෝස්ටර්, කටවුට් තහනම් වූ විට, බඩු බෙදීම නීති විරෝධී වූ විට, සංග්‍රහ කිරීමද වරදක් වූ විට මැතිවරණ සඳහා විශාල වියදමක් අවශ්‍ය වන්නේද නැත. ඒ නිසා ඡන්දයට කළු සල්ලිකාරයින්, ජාවාරම්කාරයින් හා මැරයන් ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂවලට සිදුවන්නේ නැත. මීට පෙර මැතිවරණවලදී පෝස්ටර්වල පමණක් සිටි අවංක, පිරිසිදු, මහත්මා දේශපාලනඥයන්ටද දේශපාලන භූමියේ ඉඩක් ලැබෙනු ඇත. ඇතැම්විට ඔවුන්ට ඉහළම ඉල්ලුමක් ලැබීමෙන් දේශපාලනය යහපත් වනු ඇත.

සමහරුන්ට මෙලෝ රහක් නැතිවෙයි

පැරණි දේශපාලන සංස්කෘතියට හුරුවී සිටින උදවියට නව ක්‍රමයට හුරුවීමට කලක් ගතවීමට ඉඩ ඇත. ඔවුන් අතරින් ඇතැමුන් සිතන්නේ පෝස්ටර්, කටවුට් ගහන්නේ නැතිව ජනතාවට දන්සල් දෙන්නේ නැතිව, පෙළපාලි යන්නේ නැතිව ඡන්ද කරන්නේ කොහොමද කියාය. කළ හැකි දේ මොනවාදැයි මැතිවරණ කොමිසම කීවාට ඒවාට හුරුවන්නට සමහරු සූදානම් නැත. විශේෂයෙන්ම කළු සල්ලිකාරයින්ට ජාවාරම්කරුවන්ට අවශ්‍ය තමන්ට තියෙන ශක්තිය යොදා අන් අය යට කරන්නටය. ඔවුන් අත තිබෙන්නේ මුදල් හා මැර බලයයි. එයින් අනෙක් අපේක්ෂකයන් යට කරන්න බැරි මැතිවරණ ක්‍රමයක් ඔවුන්ට පෙනෙනවා ඇත්තේ මෙලෝ රහක් නැති ක්‍රමයක් වශයෙනි.

අනෙක් අතට අපේ ජනතාවගෙන් බහුතරයක්ද දුෂණයෙන් තොර දේශපාලනය යනු කුමක්දැයි නොදන්නා බවද කිව යුතුමය. ඇතැම්විට මෙම ජනතාවම ඉල්ලන්නේ දූෂිත දේශපාලනයකි. ඔවුන්ට අවශ්‍ය තමන්ටද දේශපාලන අනුග්‍රහය ලබාගත හැකි ක්‍රමයකි. විශේෂයෙන්ම අප රටේ ප්‍රධාන පක්ෂවල ආධාරකරුවන් හිතන්නේ එහෙමය. ඔවුන්ට ඕනෑ තම දරුවාට රජයේ රක්ෂාවක් ලබාගන්නට, ජනප්‍රිය පාසලකට ළමයා ඇතුළු කරදෙන්නට, උසස්වීමක්, මාරුවීමක් ලබාදෙන්නට දේශපාලන අනුග්‍රහය දෙන දේශපාලනඥයෙකි.

මට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. ඊළඟ පාර මං පරදියි” කියා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාට කියන්න සිදුව තිබෙන්නේ ඒකයි. රජයේ රැකියාදීම, ළමයාට පාසලක් දීම හා වෙනත් එබඳු කටයුතුවලට දේශපාලනඥයා අත දැමීම දූෂණයක් බව හෝ එය දූෂිත දේශපාලනයක උල්පතක් බව මෙම දේශපාලන ආධාරකරුවෝ නොදනිති. එයම විශාල ඛේදවාචකයකි.

ව්‍යාපාරිකයන්ට හා ජාවාරම්කරුවන්ට අවශ්‍යව තිබෙන්නේ තම තමන්ගේ ව්‍යාපාරවලට දේශපාලන අනුග්‍රහය ලබාගෙන පොහොසත් වන්නටය. රේගු බදු, ආදායම් බදු හා වෙනත් දෙයින් ගැලවෙන්නටය. ඔවුන්ද ඉල්ලන්නේ දූෂිත දේශපාලනයකි.

බර්ටෝල්ඩ් බ්‍රෙස්ට් වරෙක කීවේ පළමුව කළ යුත්තේ සුදුසු ජනතාවක් පත්කර ගැනීම බවයි. අපේ ජනතාව ගැනද කියන්නේ තියන්නේ ඒකය. ඕනෑම ජනතාවකට ලැබෙන්නේ තමන්ට සුදුසු ආණ්ඩුවක් කියා කතාවක්ද ඇත. ඒ අනුව බැලුවද දූෂණය ඉල්ලන ජනතාවකට දූෂිත ආණ්ඩු ලැබීමද පුදුමයක් නැත.

කෙසේ වෙතත් මෙම දූෂිත දේශපාලන ක්‍රමය වෙනස්කිරීම අඩු තරමේ මේ රටේ ප්‍රබුද්ධ ජනයාගේ අවශ්‍යතාවයකි. 2015 ජනවාරි 08 ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් දූෂිත පාලනයක් වෙනස් කළේ ඒ සඳහාය. දැන් තිබෙන්නේ එතැන් සිට ඉදිරියට යන්නටය. ස්වාධීන කොමිසන් සභා මගින් රාජ්‍ය සේවය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව ආදියට දේශපාලන ඇඟිලි ගැසීම සීමාකිරීම මෙන්ම මැතිවරණ ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසද එයට දැවැන්ත පියවරකි. එසේ වුවද දේශපාලන සංස්කෘතියේ තවත් බොහෝ දේ වෙනස්විය යුතුව ඇත. දූෂිත ක්‍රමයක්ම ඉල්ලන මහජන විඥානයේ වෙනසක් කිරීමද එහිදී අවශ්‍ය බව පැහැදිලිය.

අදීන මිනිසුන් සිටින රටක්

අපට අවශ්‍ය වන්නේ අදීන මිනිසුන් සිටින රටක් ගොඩනගන්නටය. රස්සා ඉල්ලාගෙන, ළමයාට හොඳ පාසල් ඉල්ලාගෙන, උසස්වීම් ඉල්ලාගෙන, ව්‍යාපාරවලට දේශපාලන අනුග්‍රහය ඉල්ලාගෙන දේශපාලනඥයන් පිටුපස යන ජනතාවක් නැති රටක් ගොඩනගන්නටය. තමන්ගේ දියුණුව තමන්ගේ ශක්තියෙන් නීත්‍යානුකූලව හා යුක්තිගරුකව පමණක් ඉටුකරගන්නා මිනිසුන් සිටින රටක් ගොඩගන්නටය.

එසේ වුවද, මිනිසුන් අසරණ වනවිට, නීතිය යුක්තිය වල්වැදී තිබෙන විට එය කරන්නට බැරිය. එබැවින් දූෂණයෙන් තොර ක්‍රමයක් ගොඩනැගීමද ඒ සමඟ සිදුවිය යුතුය. සිදුවිය යුත්තේ මේ දෙපැත්තෙන්ම ක්‍රියාත්මකවීමයි.

මේ රටේ ජනතාව 2015 ජනවාරි අට පෙරළිය කළේ දූෂණයෙන් තොර රටක් ගොඩනගන්නටය. එයින් කියන්නේ එදා සිට දූෂණ ඉවර වූ බව නොවේ. දුෂණයෙන් තොර රටක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සිදුවූ බවයි. එහිදී දූෂණයේ උල්පත් වසා දැමිය යුතුය. නව මැතිවරණ ක්‍රමය ක්‍රියාවට නැගීම එම මාර්ගයේ දැවැන්ත ඉදිරි පියවරකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *