හරින් හරිද වැරදිද – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

“මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්ය දුන්නා. නමුත් මට බදුල්ලේ එක මිනිහෙකුට රස්සවක් දෙන්න බැරි වුණා. ටෙලිකොම් එකෙවත් රස්සාවක් දෙන්න බැරි වුණා. ඉතින් මම මොනවා කරන්නද? ඕන නම් මම මීළඟ ඡන්දෙදි පරාදවේවි. කරන්න දෙයක් නැහැ.”

විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 8 වෙනිදා පාර්ලිමේන්තුවේදි එහෙම කියල තිබුණ.

බලූබැල්මට ඒ කතාව පෙනෙන්නෙ හරිම සානුකම්පිත ජනතාවාදි ප්‍රකාශයක් විදිහට. ලක්ෂ දෙකකට වඩා ඡන්ද ලැබුණා. එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. අඩුම තරමින් එයා යටතෙ තියන ටෙලිකොම් ආයතනයේවත්. පවුනේද? හරින්! පවුනේද බදුල්ලෙ මිනිස්සු?

මේ ප්‍රකාශය අනුව මට ප්‍රශ්න දෙකක් මතු වෙනව.

  1. ඇමතිලා මන්ත්‍රීල ඉන්නෙ මිනිස්සුන්ට රස්සා දෙන්නද?
  2. අමාත්‍යාංශ තියෙන්නෙ ඇමතිලාගෙ ඡන්ද බල ප්‍රදේශයේ අයට ‍රස්සා දෙන්නද?

මන්ත්‍රී කෙනෙක් ඇමතිකෙනෙක් කියන්නෙ ව්‍යවස්ථාදායකයෙ සාමාජිකයෙක්. ව්‍යවස්ථාදායකය නැත්නම් පාර්ලිමේන්තුව කියන්නෙ රටට නීති පුතිපත්ති සම්පාදනය කරන තැන. රටේ ජනතාවට රැකියා විතරක් නෙවෙයි ප්‍රවාහන, සංවර්ධන, ගමනාගමන, ආයෝජන, විදෙස් මූල්‍ය, අධිකරණ ප්‍රතිපත්ති සකස් කරන්න තමයි ඇමතිවරු මන්ත්‍රිවරු ඉන්නෙ. එහෙම පුතිපත්ති සම්පාදනය කෙ‍රෙද්දි රටේ විරැකියාව අඩුවෙන්න ඕන. ජනතාවගේ රැකියා පුශ්නය විසදෙන්න ඕන. වඩාත් පැහැදිලිව කියනවා නම් ආණ්ඩුව තියෙන්නෙ රටේත් ජනතාව‍ගේත් පුශ්න විසඳන්න.

ඊළඟ කාරණය හරින් කතා කරන්නේ තමන්ට ඡන්දය දුන්නු ලක්ෂ දෙකක බදුල්ලේ ජනතාව ගැන. එයා කනගාටුවෙන්නෙ බදුල්ලට රස්සා දෙන්න බැරිවීම ගැන. දැන් අපි මෙහෙම පුශ්නයක් හරින්ගෙන් ඇහුවොත්, “රස්සා ඕන බදුල්ලට විතරද, බදුල්ලෙනුත් ඔයාට ඡන්දෙ දුන්න අයට විතරද?”

අනිත් කතාව තමයි එයා එයාගෙ විශේෂනය එනම් ‘අඩුම තරමින් ටෙලිකොම් එකේවත්’ කියන කෑල්ල. ඒ ප්‍රකාශයෙන් කියවෙන යටි අර්ථය මෙහෙමයි. “බලුල්ලේ මිනිස්සු මට ලක්ෂ දෙකකට වැඩිය ඡන්දෙ දුන්න. ඒ නිසා මම අනිත් හැමෝටම කලින් ඒ අයට සලකල ඉන්න ඕන. ටෙලිකොම් එක කියන්නෙ මා යටතෙ තියෙන ආයතනයක්. ඒ නිසා බදුල්ලෙ මිනිස්සුන්ට ටෙලිකොම් එකේ රස්සාවක් දෙන්න මට පුළුවන්කමක් තියෙන්න ඕන! එකඅතකට මහින්ද රාජපක්ෂ කළෙත් ඔය දේම නේද? එතකොට හරින් – මහින්ද අතර වෙනස?

දැන් අපට මෙහෙම ප්‍රශ්නයක් එනව. ටෙලිකොම් එක තියෙන්නෙ ඇමතිගෙ මිනිස්සුන්ට රස්සා දෙන්නද? ඇමතිගෙ බල පුදේශයෙන් පිට අයට ටෙලිකොම් රැකියා අකැපද? විශේෂයෙන් බදු‍ල්ලෙ අයට වැඩි සුදුසුකම් තියෙන කෙනෙක් මොණරාගල හරි නුවරඑළියෙ හරි රටේ වෙන තැනක හරි හිටියොත් එයාට බදුල්ලෙ කෙනාට කලින් ටෙලිකොම් රස්සාව දෙන්න ඕන නැද්ද?

තවත් අතකින් ගත්තොත් හරින්ට ඡන්දය දුන්නෙ නැති ඒත් රස්සාවකට සුදුසුකම් තියෙන අය බදුල්ලෙ ඉන්නව නම් ඒ කෙනාට රස්සාව ගන්න හරින්ගෙ පක්ෂයට එන්න ඕනද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ෆියුඩල් නැත්නම් වැඩවසම් දෙයක්, එහෙම නැත්නම් නායකය පස්සෙ මිනිස්සු යායුතු ඉබාගාත සංකල්පයක්ද,

88-89 කැරැල්ලෙන් පස්සෙ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කොමිසමක් පත් කළා. නම තරුණ අසහන කොමිසම. පත් කළේ කැරැල්ලට හේතු හොයන්න. නැවත එවැනි කැරැල්ලක් ‍ඇති නොවන්න යෙදිය යුතු පිළියම් ආණ්ඩුවට යෝජනා කරන්න.

ඒ කොමිසම කළ ප්‍රධාන යෝජනා දෙකක් තමයි ‘තරුණයන්ට දේශපාලනයට එන්න වැඩියෙන් ඉඩදිය යුතුය. රැකියා දීමේදී දේශපාලනයෙන් තොරව තරඟ විභාග ක්‍රමයකින් රැකියා දිය යුතුය’ යන්න.

ඇත්තෙන්ම පුජාතන්ත්‍රවාදි රටක නම් රැකියා දෙන පිළිවෙත විය යුත්තේ තරඟ විභාග ක්‍රමය වැනි විනිවිද පෙනෙන ක්‍රමයක්. එවැනි ප්‍රතිපත්තියක් පවතින රටක රැකියා ප්‍රශ්නය ගැන මන්ත්‍රිට ඇමතිට චෝදනා කරන්න කාටවත් බැහැ. රස්සා දීමේ බර වගකීම මන්ත්‍රිට ඇමතිට පැටවෙන්නෙත් නැහැ.

නමුත් ආර්. ප්‍රේමදාස ජනධිපතිතුමාටත් ඒ පිළිවෙත දිගට ගෙනියන්න පුළුවන් වුණේ තමුන්ගෙ පක්ෂයෙ අයගෙම විරෝධතා මැද්දෙ. ප්‍රේමදාස මහතා ඝාතනය වෙනවත් එක්කම විභාග පවත්වා රැකියා දෙන ක්‍රමයත් ඝාතනය වුණා. ඉන් පස්සෙ එක වතාවත් හෝ දෙකක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මුල් වකවානුවේ, තරඟ විභාගයකින් දේශපාලන භේදයකින් තොරව උපාධිධාරි පත්වීම් දුන්න. ඒ හැරෙන්න රටේ අදටත් ක්‍රියාත්මක වෙන්නෙ මන්ත්‍රි චිට් වලින් ජොබ් දෙන ක්‍රමයක්.

මෙතෙක් පැවති සමානුපාත දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නිසා ඇමති කෙනෙක් ඉන්න දිස්ත්‍රික්කෙක ඡන්ද දායකයන්ට ඇමති තුමාගෙන් රස්සාවක් ඉල්ලගන්න පුළුවන්කම තිබුණ. නමුත් අලුතින් ආසනයට වගකියන මන්ත්‍රි කෙනෙක් පත්වන ඡන්ද ක්‍රමය යටතේ ආසනේට ඇමති කෙනෙක් වෙනුවට මන්ත්‍රි පට්ටමක් විතරක් ලැබුණොත් හරින්ගේ ක්‍රමය අනුව රස්සා දෙන්නෙ කොහොමද කියන එක පුශ්නයක්. ඇමතිගෙ අමාත්‍යාංශයේ රස්සා ඇමතිගෙ ආසනේ අයට දුන්නාම මන්ත්‍රිලගෙ ආසනවල ඉන්න ඡන්දදායකයන්ගෙ රැකියා ප්‍රශ්නයට දෙයියන්ගෙම පිහිටයි.

රස්සා දීමේ මන්ත්‍රි චිට් ක්‍රමය සාධාරණ නැති බවට වෙනත් තර්ක අවශ්‍ය නැහැ. එක්තරා දිස්ත්‍රික් රෝහලක දොස්තරලටත් හෙදියන්ටත් අනෙකුත් කාර්ය මණ්ඩලයටත් ඩෙංගු වැලඳීම ගැන සොයා බැලූවිට දැනගන්න ලැබුණෙ, රෝහල් භූමියෙ අපිරිසිදුකම ඩෙංගු බෝවිමට හේතුව බවයි. රෝහල් භූමිය සුද්ධ පවිත්‍ර නොකරන්න හේතුව විමසූවිට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා තිබුණේ රෝහලේ සුළු සේවකයන් රෝහලේ පවිත්‍රතා කටයුතුවලට දායක නොවන බවයි. පවිත්‍රතා කටයුතු කිරීම අවනම්බුවක් වශයෙන් ඒ සුළුසේවකයන් සලකන බවයි වෛද්‍යවරයා කියා තිබුණේ. “මේ රෝහලේ ඉන්න සුළු සේවකයො හැමෝම දේශපාලනයෙන් ආපු අය. අපි වැඩක් පැවරුවට කරන්නේ නැහැ. දේශපාලන හයිය හිතට අරගෙන ඉන්නෙ. දඬුවමක් කළොත් දේශපාලන ලියුමක් අරන් පහුවදා වැඩට එනවා. එයාලට දඬුවම්, උපදෙස් දෙන්න ගියොත් අන්තිමට වෙන්නෙ මගේ ආත්ම ගෞරවය නැතිවෙන එක.” වෛද්‍යවරයා පවසා තිබුණි. මන්ත්‍රි චිට් ක්‍රමයේ තවත් බරපතළ පැත්තක් නෙමේද ඒක?

රාජ්‍ය සේවා කොමිසම ආදි ආයතන හරහා රැකියාදීමේ ක්‍රමයක් ඇතිනොකරනතුරු මෙරට රාජ්‍ය සේවයේ විනය හෝ ඵලදායකත්වය වර්ධනය කරන්නට ලැබෙන එකක් නැහැ.

දැන් සිදුවෙන්නේ පලදායි රැකියා අවස්ථා වර්ධනය කරනු වෙනුවට කුමක් හෝ රැකියාවක් දී ජාම බේරා ගැනීමයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මගේ මිතුරකු වන ඉහළ නිලධාරියකු කීවේ, වෙල්ගම ඇමතිවරයාගේ සමයේ පිරිමින්ට පමණක් සුදුසු රැකියාවලට පවා කාන්තාවන්ටත් දුම්රිය දේපාර්තමේන්තුවේ පත්වීම් ලබාදී ඇති බවයි.

තවත් නිදසුනක් වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ උපාධිධාරින්ට ලබාදුන් සංවර්ධන සහකාර පත්වීම්ය. ඔවුනට රැකියාවක් ද තිබේ. වැටුපක්ද ලැබේ නමුත් කරන්නට රාජකාරියක් ඇත්තේ නැත. එක්තරා ප්‍රාදේශීය සභාවක සංගීත උපාධිධාරියකුට අපදා කළමනාකරණ සහකාර පත්වීමක් ලබා දී තිබේ. ඔහුට භූවිද්‍යාව පිළිබඳ දැනුමක් නොමැති බැවින් නාය යෑමක් ගංවතුරක් සුනාමියක් ආවිට කරන්නට වෙන්නේ වීණා වැයීම යැයි සහෝදර රැකියා ලාභීහු විහිලු කරන්නේලු.

හරින්ලා හිතන ආකාරයේ වැරැද්ද ඇත්තේ එතැනයි. ලක්ෂ දෙකකට වැඩි පිරිසක් හරින්ලාට ඡන්දය දුන්නේ පැවති ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරන්නට මිස පරණ තැටිය නැවතත් වාදනය කරන්නට නොවේ. දැන් හරින්ලා හමුවේ ඇති අභියෝගය නැවත ප්‍රජාත්න්ත්‍රවාදය සවිබල ගැන්වීමයි. ටෙලිකොම් රැකියා බදුල්ලට දෙන්න බැරිවුණා කියමින් ආඩපාලි කීම ඊට අදාළ නැහැ.

හරින්ලාගේ ක්‍රමයට රස්සා දීම දිගටම කෙරුණොත් ආණ්ඩු විරෝධි අයට කවදාවත්ම රැකියා නැහැ. උතුරු – නැගෙනහිර වැනි ප්‍රදේශවලින් ඇමතිවරුන් පත්වීම අඩු නිසා ඒ ප්‍රදේශවලටත් රැකියා නැහැ. එවිට සිද්ධවෙන්නේ තරුණ අසහනය උත්සන්න වෙනඑක. ඒ තත්ත්වය වැඩි වර්ධනය වුණොත් තරුණයන් දේශපාලනඥයන්ට ටොකු ඇන නතර වෙයිද? ගල්මුල් තුවකිකු අතට ගනීද?

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *