පබා විවියන් තමලිනි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% අනිවාර්ය කෙරී ඇත. තරුණ නියෝජනය පිළිබඳ නියමය ඉහත කී කාන්තා නියෝජනයේ කෝටාව තුළ අමතක වී තිබේ.

පළාත් පාලන ආයතන තුළ අනිවාර්ය තරුණ නි‍යෝජිත ප්‍රතිශතයක් නිර්දේශ කෙරුණේ 1988 – 1989 වකවානුවේ දකුණේ පැවති තරුණ කැරැල්ලට හේතු සෙවීමට සහ යළි එවැනි තත්ත්වයක් ‍රටේ ඇති නොවීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට එවක පැවැති ආණ්ඩුව පත්කළ තරුණ අසහන කොමිසම විසිනි. ඒ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ දී ය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම තරුණ නියෝජනයන් සඳහා පැනවූ නියමය එක්සත් ජාතික පක්ෂෆය් නායත්වයෙන් යුතු ආණ්ඩුවකින්ම අහොසිවීම එක් ආකාරයකින් දෛවෝපාගත සිද්ධියක් වශයෙන් සැලකය යුතුය.

අනෙක් කරුණ වන්නේ තරුණ නියෝජනට නිශ්චිත කෝටාවක් ලබාදීම විසින් බලාපොරොත්තු වූ අරමුණ කොතෙක් දුරට සාර්ථක වූයේ ද යන්නය. තරුණ නියෝජක ප්‍රතිශතය වැඩි කිරීමෙන් අරමුණු කළේ, තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ වැඩි ඉඩක් ලාබා දී ඔවුන් පුජාතන්ත්‍ර විරෝධී එනම් කැරලිකාරි දේශපාලනයට යොමුවීමෙන් වලක්වාලීමය.

තරුණ අසහන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමෙන් පසුවත් උතුරේ මෑතක් වනතුරුම දිග්ගැස්සෙමින් තිබු යුද්ධයට සැපයුණු දායකත්වය තේරුම්ගත යුත්තේ කෙසේද යන ගැටලුව අප හමුවේ තිබේ. දෙවනුව තරුණ නියෝජනය යන සංකල්පය යුද්ධය නොපැවති දකුණේ ක්‍රියාත්මක වූ ආකාරයයි. මෙහිදී අදහස් වන්නේ තරුණ නියෝජනය තෝරා ගැනුණේ කොතැනින්ද යන්නයි. බොහෝ විට ප්‍රකට වූ සත්‍යය වන්නේ බිම් මට්ටමේ තරුණයන්ට දේශපාලනයට පැමිණීමට දොර හැරීම වෙනුවට තරුණ නියෝජනයට මුවා වී දේශපාලන බල පුළුවන්කාර‍යන්ගේ දරුවන් පළාත් පාලන ආයතනවටත් ඒ හරහා පළාත් සභාවටත් එතැනින් පාර්ලිමේන්තුවටත් රිංගවා ගැනීමයි.

තරුණ අසහන කොමිසම යෝජනා කළේ වප්‍රසාද අහිමි තරුණයාට ඉඩදීමක් වුවද ප්‍රයෝගික තලයේ දී සිදු වූයේ, වරප්‍රසාද ලත් පන්තියේ තරුණයා ඒ හරහා ඉදිරියට තල්ලු කිරීමයි. අද පාර්ලිමේන්තුවේත් පළාත්සභාවලත් ඇති අප්ප පුතා නියෝජනය පැහැදිලි කරන සත්‍ය එයයි.

ඉහත කාරණය උපුටා දැක්වූයේ කාන්තා නියෝජනයට පාළාත් පාලන අපේක්ෂකත්වයෙන් 25% ක කෝටාවක් ලබාදිය යුතුය යන නිර්දේශය සාකච්ඡා කිරීමේ අභිලාෂයෙනි.දේශපාලනයේ කාන්තා නියෝජනය ශ්‍රී ලංකාවට අමුත්තක් නොවේ. කාන්තා පීඩනය සමාජයේ පැවතියා වුවද කාන්තාවන්ගේ දේශපාලනයට පිවිසීම ද මෙරටට අමුත්තක් නොවන බැවිනි.

කාන්තාවන් විසින් රට පාලනය කෙරුණු අවස්ථා පිළිබඳ මහාවංශයේද සඳහන්ව ඇති සේම, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළ රට වශයෙන්ද අපට ඇත්තේ ගෞරවයකි. ඉන් පසුව විධායක ජනාධිපතිවරියකද අපට සිටි බව අමතක කළ යුතු නැත.

දකුණු ආසියාතික රටවල කාන්තාවන් දේශපාලනයේ තැන හිමිවන්නේ වැන්දඹුවන් වූ පසුවය යන මතයක්ද පවති. එනම් සැමියා මියගිය විට බිරියට පියා මියගිය විට දියණියට දේශපාලන බලය හිමිවන බවය.

සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සම්බන්ධයෙන්, සැමියාගේ අභාවයෙන් පසුව දේශපාලනයට ඒම යන්න යම් පමණකින් පිළිගත යුතුය. එසේ පිළිගත යුතු කරුණක් වන්නේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය වැනි චරිතයක් යටතේ ඉඩම් ජනසතුව වැනි දෑවැන්ත ව්‍යාපාර ද මෙරට ක්‍රියාත්මක වූ බවය. අප්‍රේල් කැරැල්ල මැඩපැවැත්වීම ආදි කරුණු විසින් පෙන්වා දෙනේනේ ඇගේ දේශපාලන ශක්තියයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගත් විටද උතුරේ අරගලය සන්නද්ධ බලයෙන් මැඩ පැවැත්වීම සඳහා ඇය වැඩ කළ ආකාරය පිළිබඳ අවධානය යොමුවිය යුතුය. මල්ටි බැරල් ආයුධ ගෙන්වීම, දිගුදුර විහිදුම් බලකාය වැනි දේ එකී සැලසුම් වලට අයත්ය. සුදු නෙළුම ව්‍යාපාරය ද ජාතික සමගිය වෙනුවෙන් ඇගේ කැපවීම පෙන්නුම් කරන්නකි. ඒ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ වැන්දඹු බව ඉක්මවු දේශපාලනශක්තියක් ඇය කෙරෙහි නෛසර්ගිකව පිහිටා තිබුණු බවයි. නමුත් ඒ බලය පෙන්වීමට ඇයටත් ඇගේ මවටත් අවස්ථාව සැලසෙන්නේ පවුලේ පිරිමි දේශපාලනය හරහාය.

පළාත් පාලන ආයතනවල 25% කන්තා නියෝජනය සම්බන්ධයෙන් ගත්කල ද කල්පනා කළ හැකි ආකාර කීපයක් තිබේ. පළමුව දැනට සිටින දේශපාලකයන් ගේ දියණිවරුන්, ලේලිවරුනට, මිනිපිරියනට, ඥාතිවරියනට, හිතවතියනට දේශපාලන රන්කිරිකටගෑම සඳහා එම කෝටාව භාවිත කළ හැකි බවය. එසේ වන්නේ නම් එයින් අපේක්ෂිත ඉලක්කය ඉටු නොවනු ඇති බව විශේෂයෙන් පැහැදිලි කළයුතු නැත.

දෙවන ආකාරය වන්නේ කාන්තාවනට තම හැකියාව සහ කැපවීම මත ඉදිරියට පැනීමට ඉඩ සලසන පිමි ‍පොරුවක් වශයෙන් 25% කෝටාව ප්‍රයෝජනයට ගැනීමයි. එහිදී ඒ ඒ පක්ෂවල නායකත්වයට විශේෂ වගකීමක් පැවරේ. එනම් ඒ ඒ පක්ෂයේ කාන්තා කෝටාව පරවේණියට හෝ හිතවත් කමට යට වීමට ඉඩ නොතබා සුදුසු කාන්තා නියෝජිකත්වයකට ඉදිරියට ඒමට දොරටුවක් සේ විවෘතකර තැබීමය.

පසුගිය සමයේ කාන්තා නියෝජිතයන් දේශපාලනයේ පෙරලිකළ ආකාරයද මෙහි දී මතකයට නගාගත යුතුය. ඇතැම් විටෙක පරිනත දේශපාලයඥයන් ඉක්මවා නිළියන් මනාප පො‍රයෙන් කප් කැසූහ. එහිදී ඔවුන්ගේ ප්‍රතිරූපය දේශපාලනයේදි යොදා ගැනුණේ, කාන්තාවනට අවස්ථාව ලබාදීමේ අරමුණින් හෝ රටේ යහපත පිණිස කාන්තාවන්ගේ ශක්තිය උපයෝගි කර ගැනීමේ අරමුණින් නොවේ. ඔවුන්ගේ ජනප්‍රියත්වයේ සහ රූප ශෝභාවේ පිහිටෙන් තමන්ගේ මනාප ගොඩ ලොකුකර ගැනීමේ යටි අරමුණෙන් යුතුවය. 25% කෝටාවට චරිත තේරිමත් ඒ ආකාරයෙන් සිදු වු‍වහොත් කියන්නට සිදු ඇත්තේ 25% ‍කෝටාවත් බල්ලාට ගියා වැනි දෙයකි.

පිරිමි දේශපාලනය තුළට කාන්තාවන් කාන්දුවීම නොරුස්සන පිරිසක් ද සිටින බව පෙනීයාම තවත් කරුණකි. ඇතැමුන්ගේ මතය වන්නේ කතුන් ඍජුව දේශපාලනයට නොයා උපදේශකයන් වැනි දෙයින් දේශපාලනයට සම්බන්ධ වීම පමණක් සෑහෙන බවයි. තවත් දේශපාලන නායකත්වයකින් ප්‍රකාශ වී තිබුණේ තම පක්ෂයට කාන්තා නියෝජනයට වඩා තම ජාතික ප්‍රශ්නය වැදගත් බවයි.

විවියන් ගුණවර්ධන උපතිස්ස ගමනායක බිරිය තමලිනී ආදි වශයෙන් ඒ ඒ පෙරමුණුවල පුරුෂයන් සමග කරට කර සටන් කළ කැපවීම් කළ දක්ෂතා පෙන්වූ කතුන්ගෙන් මෙරට මෑත ඉතිහාසය සමන්විත බව කතුන් ගෙන් උපදේශනය පමණක් බලාපොරොත්තු වන්නන්ට පෙන්වා දිය යුතුය. කාන්තා නියෝජනයට වඩා ජාතික ප්‍රශ්නය වැදගත්කොට සලකන පිරිසටද මතක් කළ යුතු වන්නේ ජීවිතය දෙවැනිකොට ජාතිය වෙනුවෙන් මෙන්ම පන්තිය වෙනුවෙන්ද සටන් කළ කාන්තාවන්ගෙන් මෙරට මෑත ඉතිහාසය හිස් වී නැති බවය.

කතුනට කෝටා කොට ඇති 25% ප්‍රයෝජනයට ගත හැක්කේත් කතුන්ගේ ශක්තිය රටේ අභිවෘද්ධියට දායක කරගත හැක්කේත් ආත්මාර්ථකාමි නොවීමෙන් සහ කුහක වීමෙන් තොරව දේශපාන පක්ෂත් පක්ෂ නායකත්වයත් කටයුතු කරන්නේ නම් පමණි.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *