චේතිය පුත්තු – භාතිය බරුකන්ද

අද රාජපක්ෂවරුන් ජීවන වියදම ඉහළ යාම ගැන කිඹුල් කඳුළු හෙළන විට අප අවධාරණය කරන්නේ 2005 – 2015 රාජපක්ෂ පාලන යුගය තුළ කෘෂිකර්මාන්තය වෙනුවට ඊනියා කොන්ක්‍රීට් සංවර්ධනයට ප්‍රමුඛතාව දී සිදුකළ විනාශය මේ සඳහා ප්‍රධාන හේතුව වූ බවයි. පොල් ගසක් නොවැවූ රාජපක්ෂ ආණ්ඩුව, එක වාරි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොකළ රාජපක්ෂ ආණ්ඩුව මේ හෙළන්නේ කිඹුල් කඳුළු මිස වෙන දෙයක් නොවන බව පැහැදිලියි. ඒ නිසා අප ජනතාවට අවධාරණය කරන්නේ ඡන්ද කාඩ්පතට කෙළ හලමින් මේ චේතිය කල්ලිය ඇල්ලීමට සූදානම් අඩව්වට නොරැවටෙන ලෙසයි.

“වේතිය රජ්ජුරුවෝ” ගැන නොදන්න බෞද්ධයෙක් නැහැ. පන්සිල් අතර ප්‍රධාන සිල් පදයක් වන “මුසාවාදය” සම්බන්ධයෙන් උදාහරණ දීමේදී බොහෝ විට චේතිය රජ්ජුරුවෝ උදාහරණයට ගන්නවා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට ලෝකේ ලොකුම බොරුකාරයා තමයි මේ චේතිය රජ්ජුරුවෝ. ඒ නිසා අදත් “අල්ලේ පැළවෙන බොරු” කියන මහ බොරුකාරයන්ට මිනිස්සු කියන්නේ “චේතිය රජ්ජුරුවෝ වාගේ ” කියලා.

මේ චේතිය රජ්ජුරුවෝ කිව්ව බොරු නිසා අන්තිමේදී අපායේ ගියා කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒ නිසා අද කාලේ අපිට චේතිය රජ්ජුරුවෝ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 12 වැනිදා ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදාගෙන (පන්සිලුත් අරගන්න ඇති) එළියට බැස්ස ගමන් ජනමාධ්‍යවේදීන් හමුවේ පසුගිය අවුරුදු තුන පුරාම උදේ සවස කියන කතාව ම කිවුවා.

“මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුන ඇතුළත කරපු දේවල් ගැන මේ රටේ ජනතාව දන්නවා. ජාතික සම්පත් විකුණනවා, ආර්ථිකය කඩා වැටිලා, විරැකියාව වැඩි වෙලා, ජීවන වියදම අහස උසටත් නැගලා, මේවට දායක වෙන අය එක්ක ගිවිසුම් ගැහුවොත් අපිත් ඒකේ කොටස්කාරයෝ වෙනවා. මේ විනාශයට එක්සත් ජාතික පක්ෂය වග කියන්න ඕනෑ” යහපාලන ආණ්ඩුවේ පසුගිය කාලය දැඩිව විවේචනය කරමින් හිටපු ජනාධිපතිවරයා කළ මේ කතාව අහපු යමක් කමක් තේරුම් ඇති සාමාන්‍ය ජනතාව ගත් කටටම කිවුවේ “කියන කෙප්ප” කියලා. ජනතාව කියන කතාව හරි. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය පසුගිය කාලය පුරාම යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික ජයග්‍රහණ සම්බන්ධයෙන් “කෙප්ප” “අතේ පැළවෙන බොරු” ගජබින්න” “චේතිය කතා” වාගේ නම්වලින් ජනතාව හඳුන්වන කතා කියනවා.

හණමිටි කතා තවමත්

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කල්ලිය පසුගිය කාලය පුරාම දැඩිව උත්සාහ ගන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් ලබාගත් ජයග්‍රහණ බාල්දු කරමින් රට මහා ආර්ථික ප්‍රපාතයක ගිලෙමින් සිටින බව අවධාරණය කිරීමටයි. යහපාලන ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පටවමින් පොදු දේපළ විකුණා දමමින් සිටින බව ජනතාව හමුවේ අවධාරණය කිරීමටයි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය වගේම ඊට සම්බන්ධ විවිධ වෘත්තීය සමිති, ජනමාධ්‍ය දැවැන්ත සහයෝගයක් ලබා දෙමින් සිටිනවා. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉහත සඳහන් කළ පරිදි කතා කියන කොට “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” නම් සංවිධානය විසින් පසුගියදා පොදු ජනතාව අතර බෙදාහැරිය අත්පත්‍රිකාව සඳහන් කළේ, ඉතිහාසයේ නොවූ විරූ අයුරින් එකවර පනත් 19ක් සංශෝධනය කිරීමට අයවැයෙන් යෝජනා කෙරේ” යනුවෙනුයි. එහෙත් මේ පනත් සංශෝධනය වහාම සිදුවිය යුතු බව මධ්‍යස්ථ ආර්ථික විශේෂඥයන් පසුගිය කාලය පුරාම දැඩිව අවධාරණය කරමින් සිටි ඒවා. මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කළ ආකාරයට මේ නීති බොහොමයක් ඉතාම පසුගාමී හා පැරණි ඒවායි. උදාහරණයක් ලෙස 1958 අංක 01 දරණ කුඹුරු පනත වර්තමානයේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට කිසිඳු යහපතක් සිදු කරන්නේ නැහැ. එමගින් සිදුවන්නේ කුඹුරු ඉඩම් හිමි ගොවීන් සදාකාලික දිළිඳුභාවයේ බැඳ තබා ගැනීම බව කෘෂි විශේෂඥයන් දැඩිව අවධාරණය කරනවා. මේ ඊනියා වෘත්තීය සමිති විසින් රැකගත යුතු බව අවධාරණය කරන සෙසු පනත් 18ත් අයත් වන්නේ මේ තත්ත්වයටමයි. ඩිජිටල් බැංකුකරණය වේගයෙන් ප්‍රචලිත වන, වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවන මේ යුගයට මේ නීති කොතරම් අදාළ වන්නේ ද යන්න මේ ඊනියා වෘත්තීය සමිති යළිත් විමසා බැලිය යුතුයි.

ඇත්ත කතාව විමසමු

මේ තත්ත්වය හමුවේ අපිට පැහැදිලිව දැකිය හැකි වන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සේම ඒහා සම්බන්ධ තවත් කල්ලි හා සංවිධාන ඉතාම සංවිධානාත්මකව චේතිය කතා කියමින් ජනතාව මුලා කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. මේ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය තෙවසරකට ආසන්න කාලය තුළ අත්පත් කොටගත් සැබෑ ආර්ථික ජයග්‍රහණ යළි යළිත් රට හමුවේ තැබීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා.

මෙහිදී මුලින්ම අවධානය යොමුවිය යුත්තේ යහපාලන ආණ්ඩුව “රාජ්‍ය සම්පත් විකුණා ගෙන කනවා” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා බොහොම හැඟුම්බරව කියන කතාව වෙතටයි.

“රාජ්‍ය සම්පත් විකුණාගෙන කනවා” කියන කතාව ජනතාවට අතිසංවේදී දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ මතය වාමාංශික සහ ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් පසුගිය කාලය තුළ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් 80 දශකයේ අවසාන භාගයේ ක්‍රියාත්මක කළ පෞද්ගලීකරණ වැඩපිළිවෙළට අවස්ථාවාදීව එරෙහි වූ වාමාංශිකයන් සහ එවකට විපක්ෂය නියෝජනය කළ ශ්‍රීලනිපය විසින් රෝපණය කළ අදහසක් බව කිව යුතුයි. 60 සහ 70 දශකවල රට පාලනය කළ ශ්‍රීලනිප වාමාංශික හවුල් ආණ්ඩු කාලවලදී ආනයන ආදේශන කර්මාන්ත ප්‍රචලිත කිරීම සඳහා සහ සමාජවාදී රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සමාජවාදී රටවල පරිත්‍යාග වශයෙන් ලැබුණු දැවැන්ත සුදු අලිවන් රාජ්‍ය කර්මාන්ත බොහොමයක් ආරම්භ යුගයේ සිටම තිබුණේ ආණ්ඩුවට දරාගත නොහැකි බරක් වශයෙන්. ඒවා රටට ලබාදීමේ අරමුණු කෙසේ වෙතත් ඒවා අවසානයේ පත් වුණේ දේශපාලනඥයින්ගේ හෙංචයියන්ට රැකියා දෙන තිප්පොළවල්වල තත්ත්වයට. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ යුගයේ ආරම්භ කළ “එයාර් ලංකා” වැනි සමාගම් රජයට දරා ගැනීමට නොහැකි බරක් හා කළමනාකරණ ගැටලු ඇති කළා. පසුකාලීනව යුද්ධය සමඟ ඇති වූ ආර්ථික අපහසුතා සමඟ මේ දැවැන්ත ආර්ථික බරින් මිදීමට එජාප ආණ්ඩුව තීරණය කළා. එදා සිට අද දක්වා ඊනියා වාමාංශිකයින් සහ විපක්ෂය විසින් මතුරන “රාජ්‍ය දේපොළ විකිණීමේ” ඉතිහාසය මේකයි. මේ තත්ත්වය තුළ තමයි අද මේ රටේ ජනතාව දැවැන්ත වාසි හා පහසුකම් අත්පත් කොට ගන්නා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීම සමඟ සන්නිවේදන තාක්ෂණ වෙළෙඳපොළ පුළුල් වී දැවැන්ත නවීකරණයක් හා සංවර්ධනයක් අත්පත් කොට ගත්තේ. එදා මේ ආකාරයෙන් පුළුල් කළ කර්මාන්ත අවස්ථා අද වන විට රටේ සංවර්ධනයේ ගාමක බලවේග බවට පත්ව තිබෙනවා.

සුදු අලි කළ හානිය

අද මහින්ද රාජපක්ෂලා කිඹුල් කඳුළු හෙළමින් ජනතාව නොමඟ යවන්නේ ඉතාම පැහැදිලිව යහපාලන ආණ්ඩුව විසින් ඉතාම තීක්ෂණ හා සැලසුම් සහගත ආකාරයෙන් සිදුකළ හම්බන්තොට වරාය හවුල් කළමනාකාරීත්වය ගැන බව පැහැදිලියි. හම්බන්තොට වරාය හවුල් කළමනාකාරීත්වය හැරුණ විට මේ ලේඛකයාගේ මතකයේ හැටියට යහපාලන ආණ්ඩුව මේ රටේ කිසිදු රාජ්‍ය දේපළක් විකුණා දැමීමක් සිදුකර නැහැ. එය ඉතාම පැහැදිලි කරුණක්.

එසේ නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ ඊනියා වෘත්තීය සමිති නායකයන් කියන රාජ්‍ය දේපළ විකිණීමක් සිදුවන්නේ කොතැනද ? මේ කතාවේ සැක හැර දැනගැනීමට සිදුවන්නේ මේ හීනෙන් නැගිටලා වාගේ කතා කරන නායකයෝ තමන්ගේ පාලන සමයේ කළ කී දේ ගැන විමසා බැලීමෙන් පමණයි. මේ සඳහා හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ “ෂැංග්‍රිලා හෝටල් සංකීර්ණ ව්‍යාපෘතිය” “කොළඹ වරාය නගරය” වැනි දැවැන්ත ව්‍යාපෘතියි. මේ වන විට ඉතාම පැහැදිලිව වාර්තා වී ඇති ආකාරයට ෂැංග්‍රිලා ව්‍යාපෘතියේ ගිවිසුම පමණක් නොවෙයි එමගින් ලැබුණ මුදල් ගැන පවා පැහැදිලි වාර්තා නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ විසින් ඊනියා ජාතිකාභිමානයෙන් යුතුව ආණ්ඩුවට යළි පවරාගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජපක්ෂ පාලන යුගය පුරාම නිශාන්ත වික්‍රමසිංහගේ පෞද්ගලික බූදලයක් වුණා මිස එයින් රටට ලැබුණු යහපතක් නැහැ. ඒ වෙනුවට රටට දැවැන්ත ණය බරක් පමණක් උරුම කළා. එපමණයි මේ ඊනියා ජාති ආලයෙන් රටට උරුම වුණේ. මේ නිසා අප ඉතාම පැහැදිලිව අවධාරණය කරන්නේ ‘රාජ්‍ය සම්පත් විකිණීම” යන යහපාලන විරෝධි බුමරංගය යළි මහින්ද රාජපක්ෂ වෙත හඹා එන දෙයක් මිස යහපාලනයට එරෙහි දෙයක් නොවෙන බවයි.

ආර්ථිකය යළි සක්‍රීය වන විට

ජනාධිපතිවරණයට වසර දෙකකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ සැබෑ හේතුව මේ රටේ ජනතාවට තවමත් අමතක නැහැ. මේ හදිසි ජනාධිපතිවරණයට ඍජු හේතුව වුණේ 2015 වසරේ මධ්‍ය භාගය වන විට උද්ගත වනු ඇතැයි රාජපක්ෂ ආණ්ඩුව උපකල්පනය කළ ආර්ථික අර්බුදයයි. ඒ ගැන රාජපක්ෂ ආණ්ඩුව භීතියට පත්වීමට තාර්කානුකූල හේතු කිහිපයක් තිබුණා. ඉන් වඩාත් අවදානම් හා තීරණාත්මක කරුණ වුණේ රාජපක්ෂ යුගයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති (හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ) සඳහා සම්පූර්ණයෙන්ම පාහේ චීනයෙන් ලබාගත් අධිපොලී දැවැන්ත ණය කන්දේ වාරික ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ලංකාවට එක්සත් ජාතීන් හරහා ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ද තිබුණා. “කොරේ පිටට මරේ” කීවා සේ මහින්ද රාජපක්ෂ යුගයේදී රාජ්‍ය ආදායම සේම අපනයන ආදායම ද දැඩි නාය යාමකට ලක්ව තිබුණා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමි වීම, යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ආදිය නිසා අපනයන අංශය දැවැන්ත නාය යාමකට ලක්ව තිබුණා. මේ තත්ත්වය විසින් ඇති කළ ඍණාත්මක තත්ත්වයන් නිසයි මහින්ද රාජපක්ෂ “අවදානමට පෙර සූදානම” යන න්‍යාය යටතේ හදිසි ජනාධිපතිවරණයකට ගියේ. එසේ නැතිව මහින්ද රාජපක්ෂ අද කියන ආකාරයට 2015 ජනවාරි වන විට ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක්, එහෙම නැතිනම් ආසියාවේ ආශ්චර්යය කරලා තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ චීනයෙන් හැර එක ශතයක් ණයට ලබාගත නොහැකි ලෝකයෙන් කොන් කළ රටක්, නැව් නොයන හම්බන්තොට වරායක් සහ ගුවන්යානා නොඑන මත්තල ගුවන් තොටුපොළක්.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසුව බිහිවන මෛත්‍රී – රනිල් සහයෝගී ආණ්ඩුව ආරම්භයේදීම ඉතාම සුක්ෂම හා තීක්ෂණව රාජපක්ෂ යුගයේ ආර්ථික ගරා වැටීම නිසි පරිදි කළමනාකරණය කර ගත්තා. ඒ අනුව ආණ්ඩු වෙනසක් සමඟ සාම්ප්‍රදායිකව සිදුවන රාජ්‍ය ආයතන පුරවන සම්ප්‍රදායට තිත තැබුණා. දැඩි මූල්‍ය හා කළමනාකරණ විනයක් සමඟ පසුගිය වසර දෙකකට අධික කාලය තුළ දැවැන්ත ණය බර සේම ගරා වැටෙමින් පැවැති ආර්ථික හා ජාත්‍යන්තර අංශ ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුව සමත් වුණා. නොසිතූ විරූ ස්වභාවික ආපදා රැසක් සමඟ පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ ආර්ථික හා කළමනාකරණ අංශයෙන් ආණ්ඩුව දැවැන්ත ජයග්‍රහණ අත්පත් කොට ගත්තා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය වගේම යුරෝපා සංගම් මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය පහසුකම් ලබා ගැනීම මේ ආර්ථික ජයග්‍රහණයි.

මේ සියලු ආර්ථික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්නා විට යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි. මේ දිනාගත් ශක්තිමත් ආර්ථික පදනම තුළ තමයි ආණ්ඩුව පසුගියදා “නීල හරිත අයවැය ඉදිරිපත් කරමින් විෂන් 2020 දැක්මට ශක්තිමත් පදනමක් ලබා දුන්නේ.

රැකියා ලක්ෂ 10ක් ලබාදීම

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ළඟදීම කියනවා විරැකියාව වැඩිවෙලා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ සංඛ්‍යා ලේඛන සොයා ගත්තේ කොයි ලෝකෙන්ද කියලා අපි නොදන්නා නිසා ඔහුට අවධාරණය කළ යුත්තේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තා අනුව යහපාලන ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු කාලය තුළ අලුතින් රැකියා අවස්ථා ලක්ෂ 4.5කට අධික ප්‍රමාණයක් ආර්ථිකය තුළ නිර්මාණය වී ඇති බවයි. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යළි හිමවීම සමඟ අපනයන කර්මාන්ත යළි සක්‍රීය වීම, යහපාලන ආණ්ඩුව විසින් තරුණ හා කාන්තාවන් ඍජුව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ රැකියා හා කර්මාන්ත, ව්‍යවසාය වර්ධන වැඩසටහන් මේ සඳහා ප්‍රබල වශයෙන් හේතු වුණා.

ජීවන වියදම පහළ වැටීම

යහපාලන ආණ්ඩුවට, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන තවත් ප්‍රබල චෝදනාවක් වන්නේ “ජීවන වියදම අහස උසට නැග ඇති බවට” වන චේතිය කතාවයි.

මහින්ද රාජපක්ෂ මහතා රටේ ජීවන වියදම ඉහළ යාම ගැන කිඹුල් කඳුළු හෙළන විට ජනතාවට එක්වරම මතක් වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේ දැවැන්ත ලෙස ජීවන වියදම ඉහළ යන විට ඒ ගැන වගකීම දැරූ බන්දුල ගුණවර්ධන මහතා කළ කුප්‍රකට “සක්‍රයාගේ පුතා වයිමාගේ කතාවයි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැටුප් වැඩි නොවී, රැකියා කප්පාදු වෙමින් තිබියදී අඛණ්ඩව ජීවන වියදම ඉහළ යන විට බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරමින් කියා සිටියේ “ජීවන වියදම අඩු කිරීමට සක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි බවයි. මේ බොළඳ තර්කය ඔහු කොතරම් දුරට පිළිගෙන සිටියාද කිවහොත් “පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් හොඳ කාලා බීලා ජීවත් වෙන්න රුපියල් 2500කින් හැකි බවට තවත් ප්‍රකාශයක් කළා. ගෑස් සිලින්ඩරය රුපියල් 2450.00 ක් පමණ වුණ, පෙට්‍රල් ලීටරය රුපියල් 147ක් වුණ රාජපක්ෂ යුගයේ හලාවත ධීවරයෙක් ඝාතනයට ලක් වුණේ ඛනිජ තෙල් මිල ගණන් අසීමිත ලෙස ඉහළ දැමීමට ජනතාව දැක්වූ විරෝධයකදී බව අප අමතක නොකළ යුතුයි.

කිඹුල් කඳුළුවලට නොරැවටෙමු

එවැනි අතීතයක් තිබූ හිටපු පාලකයන් අද ජීවන වියදම අහස උසට ගිහින් යැයි කිඹුල් කඳුළු හෙළන්නේ 2015දී යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළ බව හිතාමතාම අමතක කරමින් වීම පුදුමයට කරුණක් නොවෙයි. එමෙන්ම පසුගිය වසර තුනට ආසන්න කාලය තුළ අත්‍යවශ්‍ය සේවා වන බස් ගාස්තු, විදුලිය, ජලය, ගෑස් වැනි අංශවල ගාස්තු ඉහළ යාම ගැනිය නොහැකි තරම් බව ආර්ථික විශේෂඥයින් කියනවා. උදාහරණයක් ලෙස පසුගිය කාලය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාම වාර්තා වුණේ සියයට 10ක අවම අගයකින්. විදුලිය, ජලය වැනි දේවල්වල මිල ඉහළ යාමක් සිදුව ඇත්තේම නැහැ.

අද රාජපක්ෂවරුන් ජීවන වියදම ඉහළ යාම ගැන කිඹුල් කඳුළු හෙළන විට අප අවධාරණය කරන්නේ 2005 – 2015 රාජපක්ෂ පාලන යුගය තුළ කෘෂිකර්මාන්තය වෙනුවට ඊනියා කොන්ක්‍රීට් සංවර්ධනයට ප්‍රමුඛතාව දී සිදුකළ විනාශය මේ සඳහා ප්‍රධාන හේතුව වූ බවයි. පොල් ගසක් නොවැවූ රාජපක්ෂ ආණ්ඩුව, එක වාරි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොකළ රාජපක්ෂ ආණ්ඩුව මේ හෙළන්නේ කිඹුල් කඳුළු මිස වෙන දෙයක් නොවන බව පැහැදිලියි. ඒ නිසා අප ජනතාවට අවධාරණය කරන්නේ ඡන්ද කාඩ්පතට කෙළ හලමින් මේ චේතිය කල්ලිය ඇල්ලීමට සූදානම් අඩව්වට නොරැවටෙන ලෙසයි.

සටහන – භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *