දළ පූට්ටුවා සහ මුඛ පූට්ටුවෝ – බණ්ඩාර උඩුරාවන

ලංකාවේ වන අලි අවම වශයෙන් 5879ක් සිටිතැයි කියති. එසේම, වසරකට වන අලි 250ක් මියයන බවද පැවසේ ඉන් 175ක්ම මියයන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එකී මිනිස් ක්‍රියාකාරකමට ගොදුරුවී මියගිය අවසන් හස්තියා දළ පූට්ටුවා නමින් හඳුන්වන මෙකී ඇතා ගේ බර කිලෝ ග්‍රෑම් හාරදහසක් පමණ වෙතැයි කියති. උස අඩි අටක් නමයක් පමණ වේ. වන ජීවි නිලධාරින්ගේ සහ පරිසර වේදින්ගේ අදහස වන්නේ දළ පූට්ටුවා යනු පසුගිය කාලයේ වාසය කළ අතුන් අතරින් දෑවැන්තමයා බවයි. එනම් ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හසිතිරාජයෙකි.

අලි මිනිස් ගැටුම උග්‍රව පවතින තත්ත්වයක වුව දළ පූට්ටුවා නිතර ගැවසුණු ගල්ගමුව, සියඹලාන්ඩුව, රැස්වෙහෙර, පොතානේගම, පොල්පිතිගම ආදි ප්‍රදේශවල ජනතාව මේ ඇතාට දැක්වූයේ මහත් ආදරයකි. හේතුව ඔහුගෙන් කිසිවකුට හිරිහැරයක් කරදරයක් හානියක් ‍නොමැති වීමය.

එහෙත් මේ ඇතාට 2009 සිට කීපවතාවක්ම වෙඩි ප්‍රහාරවලට ලක් වීමට සිදුවිය. සාමාන්‍යයෙන් අලි ඇතුන් වෙඩි තැබීමට, හක්කපටස් පුහාරවලට, විදුලිසැර වැද්දවීමට, උගුල් මදු ආදියට ගොදුරු කරවීමට ලක්කරනුයේ අලි මිනිස් ගැටුමේ පුතිඵලයක් ලෙසිනි. එනම් අලි – ඇතුන් විනාශකාරී හා කඩකප්පල් ලෙස හැසිරෙන විට මිනිසුන් කෝපවී උන් විනාශකරන්නටත් උන්ගෙන් පළිගන්නටත් උත්සාහ කිරීම හේතුවෙනි. දළ පූට්ටුවා යනු එවැනි විනාශකාරි සතකු නොවන්නේ නම් ඌ නිතර වෙඩි ප්‍රහාරවලට ලක් වූයේ මන්ද යන්න වෙනම විමසා බැලිය යුතුය. හේතුව වශයෙන් අනුමාන කළ හැකි වන්නේ ඇතා සතුව තිබූ වටිනා දළ යුගලයි.

හස්තියාගේ වයස පනස් පහකට වැඩි යැයි අනුමාන කෙරේ. 2011 දී පමණ දඩයක්කාරයකුගේ වෙඩිපහරකට ලක්ව ඇතාගේ පෙනීම නැතිවී ගියේය. උස මහත ශරීරයත්, හැඩකාර ගමනත් හේතුවෙන් අලි නරඹන්නන්ගේ විශේෂ ඇල්මටත් හසිතිරාජයකු බැවින් ජනතාවගේ ගෞරවයටත් පත්ව සිටි ඇතකු ලෙස දළ පූට්ටුවා සැලකීමේ වරදක් නැත.

කෙසේ වෙතත් මෙකී වටිනා වස්තුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උගේ බාරකාරයන්වන වනජීවි දෙපාර්තමේන්තුව වගකීමෙන් යුතුව කටයුතු කළේද යන්න විමසා බැලිය යුතුය. පරිසර සංවිධානවල චෝදනාව වන්නේ වෙඩි වැදුණු අවස්ථාවල ඇතුට පුතිකාර කිරීමට පවා වනජීවි දෙපාර්තමේන්තුව උනන්දුවෙන් ‍කටයුතු නොකළ බවටය.

පරිසරවේදින් පවසන ඉහත කරුණ සනාථකරන තවත් සාධකයකි. එනම්, ගල්ගමුවේ දළපූට්ටුවා අතුරුදන් වී ඇති බව පරිසරවේදින් පැවසුවේ මාස එකහමාරකට පමණ පෙරදීය. එහෙත් පරිසර වේදින්ගේ එකී හෙළිදරව්ව පිළිබඳ වනජීවි අංශ උනන්දුවක් දැක් වූ බවක් පෙනෙන්නට නැත. වලාන දූෂණ මර්දන ඒකකය මගින් ලේ තැවැරුණු ඇත්දළ දෙකක් සහ ගජමුතු හයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නේ ඒ අතරවාරයේය. ඒ දළපූට්ටුවා අවසන්වරට ඇසගැසුණු බව පැවසෙන පොල්තිගම ප්‍රදේශයේ දී ය.

ඒ අවස්ථාවේදීත් වනජීවි නිලධාරින් එම ඇත්දළ දළපුට්ටුවාගේ බවට නිකමට හෝ සැක නොකළ බව පරිසර වේදීන්ගේ මතයයි. විවිධ හේතු කියමින් වනජීවි නිලධාරින් ඇත්දළ පුශ්නය නොසලකා හැරීමට කටයුතු කළ බව කියැවේ. වනජීවියේ එකී නිහඬ වත බිඳුණේ පරිසර සංවිධානවල පුබල හඬ හේතුවෙනි. පොලීසියේත් වනජීවියේත් නිලධාරින් 75ක පමණ කණ්ඩායමක් යොදවා ඇතා සෙවීම ආරම්භ වුයේ ඉන් පසුවය. එහෙත් එම නිලධාරින්ට සොයාගත හැකි වූයේ ඇතා නොව ඇතු‍ගේ ප්‍රාණය නිරුද්ධ ඕජස් ගලන ශරීරය පමණි.

දළපූට්ටුවා යනු විශේෂ අවධානම් සහිතව දිවි ගෙවූ සතෙකි. ඉන් එක අවධානමක් නම් උගේ අන්ධභාවයයි. අන්ධ බව හේතුවෙන් කවර හෝ ස්වාභාවික අනතුරකට ලක්වීමට ඌට තිබුණු ඉඩකඩ වැඩි නිසාවෙනි. දෙවැනි බරපතළම අනතුර උගේ ඇත් දළ යුවළයි.  දඩයක්කාරයන් උගේ දළ දෙකට කුරුමානම් අල්ලන බව වටහාගන්නට වනජීවියට විශේෂ ඥානයක් අවශ්‍යයැයි පිළිගතයුතු නැත.

ඇතා කීපවතාවක් වෙඩි ප්‍රහාරවලට ලක්වූවෙකි. උගෙන් මිනිසුනට හිරිහැරයක් කරදරයක් හෝ හානියක් නොමැති නම් සහ ඌ මිනිසුන්ගේ ගෞරවයට ආදරයට පාත්‍රව සිටියේ නම් නිරත්තර වෙඩි පුහාරවලට ලක්වන්නට සිදුවන්නේ කුමක් නිසාදැයි වනජීවියට කල්පනා කරන්නට තිබුණි. එහෙත් එවැන්නක් සිදු වී නැත.

සතා අතුරුදන් බව පරිසරවේදීන් කියද්දිත් වනජීවි නිලධාරින් නිහඬ වීමෙන් පෙනෙ‍න්නේ එකී අවධානමක් නොමැති බවට සාක්ෂියකි. ඇතා දඩයම් කරන්නට උත්සාහ කරන්නෙකුට එය කරන්නට ඉඩහැර වනජීවි නිලධාරින් බලා සිටියාද යන සැකය පවා යමකුට ඇති වන්නේ නම් පුදුමයක් නොවේ.කොලරයක් පැළඳීම වැනි සරල ක්‍රමයක් මගින් ඇතු ගැවසෙන පුදේශ නිරීක්ෂණය කිරීමේ හැකියාව වන ජීවියට ලබා ගන්නට තිබුණි. එසේ වූයේ නම් ඇතු අතුරුදන්ව ඇති බවට පරිසරවේදින්ට පෙර වනජීවි නිලධාරින්ට නීරීක්ෂණය වන්නට තිබුණි. එපමණක් නොව ඇතු මරාදැමුවේ නම් ඒ කවර ස්ථානයකද යන්නත් එමඟින් දැනගත හැකි වනු ඇත. මරා වළ දැමූ ස්ථානය වුව නිරීක්ෂණය කිරීමට එවිට හැකියාව ලැබේ. එහෙයින් බැකෝ යන්ත්‍ර යොදවා අනුන්ගේ හේන් හාරමින් කාලය ගත කරන්නට ඔවුන්ට සිදුවන්නේ නැත.

දළ පූට්ටුවා යනු සාමාන්‍ය ඇතෙක් නොව විශේෂ සතෙක් බව ඇතැම් පරිසරවේදින්ගේ මතයයි. ඔවුන් එසේ කීමට හේතු පහදන්නේ ඌ දැනට සිටි ඇතුන් අතරින් හොඳම ජාන සහිත ශක්තිමත් සතෙක් බව කීමෙනි. ‍එහෙත් ඒ සතා දැන් අහිමි වී අවසන්ය. අඩුම වශයෙන් අලි අනාථාගාරය ඇත් අතුරු සෙවණ වැනි තැනද රඳවා තැබීමට හෝ උත්සාහ ගත්තේ නම් උගේ ජාන සම්පත කෙසේ වෙතත් උගේ කාය සම්පතවත් තවත් කාලයක් යනතුරු රැකබලාගන්නට තිබුනා නො‍වේද? වනජීවිය කටයුතු කරන්නේ ඇතුන් ආරක්ෂා කිරීම වෙනුවට වෙඩි තබා ඝාතනය කළ ඇතුන්ගේ කුණු වූ සිරුරු ආගමික චාරිත්‍ර පෙරදැරිව භූමදානය කිරීමට නම් වන සතුන්ට දෙවියන්ගේම පිහිටය.

බණ්ඩාර උඩුරාවන

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *