නොකෙරුණු දීගයක ප්‍රීතිය නිමිත්තෙනි – අනුර සුරියබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොහොට්ටුව ලකුණ දරන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගැටගැසීමේ වෑයම මේ වනවිට සාර්ථක නොවන උත්සාහයක් බවට පත්ව ඇතැයි කීව හැකිය. ඒ බව ප්‍රකාශවන මූලික සාධකයක් වන්නේ පොදුජන පෙරමුණ මේ වනවිට ස්වාධීනව එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල්වීමකින් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයොජනා දීමට ඉදිරිපතව සිටීමට. ඒ අනුව ඔවුහු දෙසැම්බර් 03 වන දා වන විට දිස්ත්‍රික්ක 07ක පළාත් පාලන ආයතන 26 කට නාම යෝජනා බාරදී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය එකමුතු කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ල.නි.ප.යෙන් මෛත්‍රි පිල සමඟ එක්වූ පිරිස බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉහත කණ්ඩායමේ මූලිකත්වය ගන්නේ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල වැන්නන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ‍පොදු ජන පෙරමුණ ගැටගැසීමේ අවශ්‍යතාව ඔවුන් හඳුන්වන්නේ පක්ෂය එකමුතු කිරීම හෝ පක්ෂය කැඩීයාම වැලැක්වීම යනුවෙනි.

මෛත්‍රිපාල සිරිසේන පොදු අපේකෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමත්, මහින්ද රාජපක්ෂ මෛත්‍රිගේ නායකත්වයට එරෙහිව කැරලිගැසීමට පටන් ගැනීමත් සම්‍ඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැහැදිලි බෙදීමක් ඇති විය. අප ඒ බෙදීම වටහාගතයුත්තේ පුගතිශීලි හා ප්‍රතිගාමි වශයෙන් පක්ෂය දෙපිල බෙදීමක් වශයෙනි.

මහින්ද බලයේ සිටියදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යම් මතවාදිමය පිල් බෙදීමක් පැවැති බව පිළිගත යුතුය. එය එක්විටෙක මතුපිටට පැමිණියේ බැසිල්ගේ අණසකට එරෙහිවීමක් වශයෙනි. මංගල සමරවීර ශ්‍රීපති සූරියආරච්චි වැන්නවුන් මහින්ද පාලනයේ මුල් කාලයේම ආණ්ඩුවෙන් ඉවත්වීම සැලකිය හැක්කේ එකී ප්‍රතිවිරෝධතාවේ පුපුරා යාමක් වශයෙනි.

මහින්ද ගේ යුගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ දෙවන හා බරපතළම පුපුරායාම පෙන්නුම් කරන්නේ එම පාලනයේ ජාතිවාදී ස්වරූපය සහ අල්ලස දූෂණය ප්‍රජාතන්ත්‍රවාදය නොසලකා කටයුතු කිරීම මර්දනය ආදි හේතුන් නිසාය.

එකී තත්ත්වය මෙසේ පැහැදිලි කළ හැකිය-

බේරුවල සිද්ධිය, – බේරුවල මුස්ලිම් ජනතාවට සිදුකළ පහර දීම කිසිදු මධ්‍යස්ථ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු අනුමත කරනු ඇතැයි සිතිය නො‍හැකිය. එම සිද්ධියට අනුබල දුන් බොදුබල සේනා පිටුපස තිබුණු හස්තය ගෝඨාභය රාජපක්ෂ බව ප්‍රසිද්ධ රහසකි. ඒ කාලයේම රාජිත සේනාරත්න වැන්නන් හරහා පෙන්නුම් කෙරුණු ප්‍රහාර විරෝධය සහ ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් ජනතාවට සහන සැලසීම් ආදිය ගණනය කළ යුත්තේ මහින්ද ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කරමින් තිබුණු සිංහල අන්තවාදී ගමන්මග ප්‍රතික්ෂේප කිරීමක් වශයෙනි.

 

  1. අල්ලස දූෂණය ප්‍රජාතන්ත්‍රවාදය නොසලකා හැරීම මර්දනය –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ මූලයන් වාමාංශික හෝ මාක්ස්වාදී නොවුණද පක්ෂය ආරම්භයේ පටන්ම සාමාජිකයන්ගේ හැඟීම වූයේ එය වමේ පක්ෂයක් යන්නය. විශේෂයෙන් පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන් වමේය කියා හඳුන්වාගන්නට කැමැත්තක් දැක්වූහ. සමුපකාර ක්‍රමය, ජනසතු ව්‍යාපාර ආදිය හේතුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිතරම පාහේ ආණ්ඩු කළේ මහජන එක්සත් පෙරමුණ සමසමාජ පක්ෂය කොමිනියුස්ට් පක්ෂය වැනි වමේ පක්ෂ සමඟ එක්ව වීම ද එයට හේතු වූවා විය හැකිය. එහෙයින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමකාමී දේශපාලය ඉහළින් අගය කරන්නන් පිරිසක් වූහ.

අල්ලස සහ දූෂණය හෝ දේශපාලනයෙන් හරිහම්බ කරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් සමඟ කෙසේවත් ගැලපෙන්නක් නොවීය. ඉඩම් ජනසතු කිරීමේ ව්‍යාපාරයේදි බණ්ඩාරනායක පවුල සිය පාරම්පරික දේපළ පරිත්‍යාග කළ ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කල්පනා කළේ ආඩම්බරයෙන් යුතුවය. එහෙයින් රාජපක්ෂ යුගයේ සිදු වූ මහජන දේපල කොල්ලකෑම්, පවුල් පෝෂණය, බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ බණ්ඩාරනායක නාමය පවා යටපත් කර රාජපක්ෂවාදය හිස එසවීම වැනි දේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අනුමත කළේ නැත. රතුපස්වල, කටුනායක, මීගමුවේ වෙඩි තැබීම් වැනිදේ සම්බන්ධයෙන් ද තත්ත්වය එසේම ය.

 

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ වාදයෙන් වෙන් වීම රාජපක්ෂවාදය ප්‍රතික්ෂේප කළ පාක්ෂිකයාට වැදගත් වූයේ ඉහත හේතු අනුවය. ඒ අනුව මෛත්‍රි සමග රැඳුණු පිරිස අපේක්ෂා කළේ සහ ඔවුනට අවශ්‍ය වූයේ මෛත්‍රි යටතේ පක්ෂය යළි ප්‍රගතිශීලි මාවතට අවතීර්ණය වනු දැකීමය.‍

 

ජනාවාරියේ ජනාධිපතිවරණයේ දී සහ පසුව මහමැතිවරණයේදි මහින්ද පිලට ශ්‍රී ල.නි.ප. ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගත හැකි වූයේ ශ්‍රී ලංකා නිහස් පක්ෂය තුළ මේ වන විට පවතින යු.එන්.පී. විරෝධය සහ මෛත්‍රීපාල මහතා ඍජු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා නොවීම නිසාය. ජනාධිපතිවරණයේදි ලබාගත් ඡන්ද සංඛ්‍යාව මහින්දට මහ මැතිවරණයේදී ලබාගත නොහැකි වීම පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද සාධකය දිය වී යාමකි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ නායකත්වය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය නම් මෛත්‍රි පාර්ශ්වය මේ මොහොතේ කළ යුත්තේ රාජපක්ෂවාදින්ට සිග්නල් දැමීම නොවේ. රාජපක්ෂවාදයෙන් මිදී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළිවෙත දෙසට තමන් ගමන්කරමින් සිටින බව පාක්ෂිකයාට ඒත්තු ගැන්වෙන් ලෙස කටයුතු කරීමයි. සෙල්ලම් පිස්තෝලකාරයන් සහ ගුරුවරුන් දණගස්සවන්නන් ලංකර ගැනීම වැනි අත්වැරදි නොකර සිටීම මතින් ඒ ගමන වඩාත් සාර්ථක ‍කරගත හැකිවනු ඇත.

මහින්ද සමඟ කල්ලිගැසී සිටින පිරිස වචනයෙන් කුමක් පුකාශකරමින් සිටියා වුවද ඔවුන්ගේ සැබෑ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෆ් උන්නතිය හෝ රටේ උන්නතිය නොවේ. මහින්ද වටා රැස්ව සිටින්නන් සියල්ල හදුනාගත යුත්තේ ඔහුගේ පාලනය යටතේ හිමිව තිබූ වරප්‍රසාද නැවත දිනාගැනීම සඳහා දිවිහිමියෙන් සටන් කිරීමට කැපවී සිටින පිරිසක් වශයෙනි. අවම වශයෙන් ඔවුන් සිය අතීත වැරදි සම්බන්ධයෙන් පාපෝචාරණයක් හෝ මේ වන තුරුත් සිදුකර නැත.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවට එකතුවන පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් පවා පුංචි ‍ගෝඨාභයලා, පුංචි මහින්දලා, පුංචි විමල් වීරවංශලාය. එනම් මහින්දගේ පාලන සමයේ කොන්ත්‍රාත් කිරීමෙන්, අල්ස් ගැනීමෙන්, ගස් කැපීමෙන්, වැලි ජාවාරම් කිරීමෙන් මුදල් ගසා කෑ සහ යහමින් හරිහම්බ කරගත් පිරිසයි. ඔවුන්ගේ අනුහසින් රැකියා ලබාගත් තවත් කො‍ටසක්ද ඊට එකතු වී සිටිති. මොවුන් ලංකර ගැනීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුෂිතයන් එකතුවීම හැර සිදුවන අන් යහපතක් ඇත්තේ නැත.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ ඇති අභියෝගය වන්නේ කිළුට්ටන් ලංකරගෙන ගඳ ගසන පක්ෂයක් වීම නොව ඈත්ව සිටින කිළුට්ටන්ට ඈත්ව යන්නට ඉඩහැර පිරිසිදු සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක් වශයෙන් නොකිළිටි, බුද්ධිමත් යහපත් බලවේගයක් ලෙස ඉදිරියට යාමයි. කෙටියෙන් කියන්නේ නම් මඩට බැසීමටත් මඩනාගැනීමටත් මහින්ද පාර්ශවයට ඇති අයිතිය පිළිගෙන, මහත්වරුනි, ඔබේ මඩ අපේ ඇඟේ තවරන්න එපායැයි කාරුණිකව ඉල්ලි සිටීමය. කෙටි කාලීන එය යම් අවාසියක් විය හැකි වුවද දිගුකාලයේදි එහි ධනාත්මක ප්‍රතිඵල ලැබෙනු ඇත. පක්ෂය පවිත්‍ර කළ නායකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ඉතිහාස ගතවනු ඇත. පොහොට්ටුවේත් අ‍තේත් නොකෙරුණු දීගය පිළිබඳ ප්‍රගතිශිලි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට සතුටක් දැනෙනේද ඒ හේතුව නිසාය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *