ගෝඨා බය ඇයි? – අනුර සූරිය බණ්ඩාර

මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් වන නඩුවක සැකකරුවකු ලෙස නම් කර ඇති තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකාලීමේ නියෝගයක් නිකුත් කරවා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති දෙක තුළ දෙවතාවක්ම අධිකරණය හමුවේ අයාචනා කළේය. ඔහුට නැගී ඇති චෝදනා වන්නේ වීරකැටිය මැදමූලන ඩී.ඒ. රාජපකෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මහජන මුදල් අවභාවිත කර ඇතැයි යන්නය. ඔහුගේ අභියාචනය වන්නේ පොදු දේපළ පනත යටතේ තමාට එරෙහි පරීක්ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාගර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අපරාධ නොට්ඨාසය වළක්වාලන්න යන්නය.

අදාළ පෙත්සම පිළිබඳ නියෝගය ප්‍රකාශ යට පත්කිරීම සඳහා අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ පෙත්සම්කරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ දිනයේ තීන්දුවක් ලබාදෙනබව තමා දැනගත්තේ මාධ්‍ය මගින් බවය.

එවැනි නියෝගයක් නිකුත්කිරීමට පෙර වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නම්කොට සිටින නීතිපතිවරයාගෙන් විමසීමක් කළ යුතුව තිබුණු බවද ජනාධිපති නීතිඥ දික්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ කියා තිබුණි. ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ නිතිපතිවරයාගෙන් නොවිමසීම අඩුවක් වශයෙන් නීතපති කාර්යාලය වටහාගන්නා බවයි.

ගෝඨාභය සම්බන්ධයෙන් නැගී ඇති එකම චෝදනාව මෙය නොවේ. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම මිග් යානා ගනුදෙනුව ආදි කරුණුවලදී ද ගෝඨාභය මහතාගේ නම ගැවී තිබුණි. ගෝඨාභයට විරුද්ධව නඩු පැවරීමට ඔහු අත්අඩංගුවට ගැනීම විරුද්ධවන්නන් මතුකර තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණය සහ නායකත්වය යටතේ සිදුකළ යුද්ධයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම යන කරුණය.

එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීම යනු යමෙකු නීති විරෝධි කටයුත්තක යෙදී ඇත්නම් ඒ සඳහා අත්අඩංගුවට නොගැනීමට හෝ නඩු නොපවරා ඉන්නට සමාවට කරුණක් නොවේ. වීරකැටියේ රාජපක්ෂ ස්මාරකය යනු එල්.ටී.ටී.ඊ. යුද්ධයට අදාළ කරුණක්ද නොවේ. එල්.ටි.ටී.ඊ ය පරාජය කිරීමට නායකත්වය හෝ දායකත්වය සැපයීම යනු රජයේ මුදල් එනම් මහජන මුදල් අවභාවිත කරන්නට බලපත්‍රයක් ද නොවේ. ඒ.ඩී.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමට යොදාගත්තේ මැදමූලන හෝ ගොඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධනය නම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ ඇඟිලිගසන්නේද නැත.

අනෙක් කරුණ නම් ඇතැම් භික්ෂූන් සහ හමුදා නිලධාරින් ඇතුළු පිරිස් ගෝඨාභය වීරයකුසේ හුවා දක්වමින් ඔහු අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට ගන්නා උත්සාහයයි. ඒ වනාහි හුදෙක්ම ඔවුන් රජපක්ෂ සමයේ භුක්තිවිඳි වරප්‍රසාදවලට වන්දි ගෙවීමේ හෝ රාජපක්ෂලාගෙන් ගත් සැලකිලිවලට පුතිඋපකාර කිරීමේ උත්සාහයක් පමණි. යුද වීරයන් වෙනුවෙන් පෙනී සිටින්නේනම් ඔවුනට ඒ සඳහා තිබුණු හොඳම අවස්ථාව සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට ඔහුගෙන් මිලේච්ඡලෙස පළිගත් කාලයයි. නමුත් ඒ මොහොතේ අද ගෝඨාභය වෙනුවෙන් හඬනඟන කිසිවකු සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන්නට දායකත්වය දුන්නාය කියමින් ගෝඨාභය ගේ වීරත්වය උස්සා පෙන්නන්නට වෙර දරන පිරිස් පැහැදිලි කළයුතු තවත් කරුණු තිබේ. එනම් රතුපස්වල ජලය ඉල්ලූ පිරිසට වෙඩි තැබීමට අණ දුන් මොහොතේ ගෝඨාභය දැක්වූයේ කවර වීරත්වයක්ද යන්නය. කටුනායක වෙඩිතැබීම, මීගමුවේ වෙඩිතැබීම ආදිය තේරුම්ගත යුතු වන්නේද ගෝඨාභයගේ වීරත්වයේ කොටසක් ලෙසද? ඒ අකාරයෙන් ගත් කල වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ට තොරා වෙඩි තැබීමද ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිඳිමින් තමන්ගේ වීරත්වය විදහා පෑ තවත් කදිම අවස්ථාවකි.

සැබෑවීරත්වය යනු සත්‍ය හෝ අසත්‍ය වේවා චෝදනාවලට අභිතව මුහුණදීමයි. නමුත් ගෝඨාභය සැමවිටෙකම උත්සාහ දරා ඇත්තේ චෝදනාවක් එල්ල වූ විට අත්අඩංගුවටපත්වීමෙන් බේරී සිටීමටය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් 2016 වසරේ නඩු පැමරීමේ මූලික දැනුම් දීම අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරද ගෝඨාභය කළේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමේ නියෝගයක් ලබා ගැනීමයි. ඔහු වීරයකු නම් මේ ආකාරයට බියගුළු ලෙස කටයුතු කරන්නේ කවර හේතුවක් නිසාද යන්න ඔහු වෙනුවෙන් පනී සිටින්නන් පැහැදිලි කළ යුතුය.

ගොඨාභය යනු වීරයෙක් නොවේ. ඔහුගේ වීරත්වය තිබුණේ සිය ජනාධිපති සහෝදරයාගේ සැවණැල්ල තුළ පමණි. එකල ගොඨාභය මාධ්‍යවේදින්ට තර්ජනය කළෙත් බලය අයුතු ලෙස පරිහරණය කළේත් සිය වැඩිමහල් සොහොයුරාගේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමෙනි. දැන් ඔහු බියට පත් වී අධිකරණයට මුවා වී අතඅඩංගුවට පත්වීමෙන් බන්ධනාගාරගතවීමෙන් මිදී සිටිනනට උත්සාහ දරනනේ සහෝදරයාගේ ශක්තියෙන් මවාගත් කාඩ්බෝඩ් වීරත්වය මහින්දගේ පරාජයත් සමඟ හේදී ගිය බව දන්නා හෙයිනි.

ඇවන්ගාඩ් නඩුවෙන් තමා නිදහස් කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම පසුගිය මාසයේ අධිකරණය විසින ප්‍රතික්ෂේප කරනු ලැබිණ. දැන් මහජන මුදල් අවභාවිතය පිළිබඳ චෝකනාවකුත් ඔහුට ඈඳී තිබේ. සියල්ල ඉදිරියේ වීරයා භීතියට පත්වී සිටින බව සක්සුදක්සේ පැහැදිලිය. මම වීරයෙක් මට නඩු දාන්න එපාය කියා කිසිවකුට නීතියෙන් ගැලවීමට ඉඩ තිබිය යුතු නැත.

සමහරු කියන්නේ ගෝඨාභය අත්අඩංගුවට ගතහොත් ඔවුන් සිවිල් නීති කඩමින් ඊට විරෝධය පාන බවයි. ඔවුන් වටහාගත යුත්තේ එවැනි ප්‍රකාශ පවා සිවිල් නීති කඩකිරීම් බවයි. වැරැද්දක් කළ බවට චෝදනාවක් එල්ල වී ඇති අයකු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට හෝ ඇයට නඩුපැවරීමට හෝ විරුද්ධවීමට කිසිවකුට අයිතියක් ඇත්තේ නැත.

රටක නීතිය බලවතුන්ට එක් ආකාරයකටත් දුබලයන්ට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක කෙරෙන්නේ නම් එය අසාධරණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අඹගෙඩි කීපයක් සොරකම් කිරීමේ වරදට මහලු කතක් සිරගත කළ පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුණි. අඹගෙඩි තුනත් රුපියල් කෝටි තුනත් යන දෙකෙන් වඩා බර කුමක්ද යන්න ඉක්මනින් පැහැදිලි කිරීම නීතිය ක්‍රියාත්මක කරන අංශවල වගකීමයි.

අනුර සූරිය බණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *