ශ‍්‍රීලනිපයට තීරණාත්මක මොහොතේදී එයට වළ කපන බැසිල් රාජපක්ෂ

පියසිරි විජේනායක, ජයන්ත විජේසේකර, වීරකුමාර දිසානායක ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබලයින් කිහිප දෙනකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සමඟ ‘‘බැසිල් රාජපක්ෂ’’ ගැන මේ වන විට යළිත් දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබෙනවා.
ජනිපෙ හැර යමින් පියසිරි විජේනායක ඇතුළු පිරිස ඍජුව චෝදනා කළේ බැසිල් රාජපක්ෂට බව පැහැදිලියි. එහිදී ඔවුන් අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නන්නත්තාර කිරීම, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දුර්වල කිරීම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම යන පියවර මගින් කවුරුන්හෝ එජාපය දිනවීමේ කුමන්ත‍්‍රණයක් දියත් කොට ඇති බවයි. එහිදී නම් ගම් නොකියා ඔවුන් ඒ චෝදනාව එල්ල කළේ පොහොට්ටු පක්ෂයේ නොනිල නායකයා (නිල නායකයා මහාචාර්ය ජී.එල්. පීරිස් ය* වශයෙන් ක‍්‍රියාකරන බැසිල් රාජපක්ෂ මෙම කුමන්ත‍්‍රණකාරී පියවර ගත් බවයි.
ජනිපෙට දීර්ඝ කාලයක් පුරා බැසිල් රාජපක්ෂ සමග දැඩි ගැටුමක් තිබෙන නිසා මෙය අපගේ විස්මයට කරුණක් නොවෙයි. මන්ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පවා ජනිපෙ නායක විමල් වීරවංශ විසින් බැසිල් රාජපක්ෂ සහ ඔහු වටා සිටි පිරිස (පී.බී. ජයසුන්දර ඇතුළු* දැඩිව විවේචනය කළා. 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයේ වගකීමත් විමල් වීරවංශ විසින් ඍජුව බැසිල් රාජපක්ෂට පැවරුවා.
ඒ කොහොම වුණත් පසුගිය කෙටි කාලය තුළ අප දුටු සාමාන්‍ය තත්ත්වය වුණේ විමල් වීරවංශ බැසිල් රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටිලා සිටි තත්ත්වයක්. ඒ සඳහා හේතු වුණ කරුණු අපට ඒ වන විට පැහැදිලි නොවුණත් පක්ෂයේ දෙදරා යාම සමග ඇතුළත සිදු වූ දේ ගැන පැහැදිලි වැටහීමක් දැන් අපට ලබාගත හැකියි.
බැසිල්ව යළි කියවමු
2005 අපේ‍්‍රල් මස පැවැති ජනාධිපතිවරණයෙන් බලයට පත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බල මූලය සකස් වූයේ සම්පූර්ණයෙන් රාජපක්ෂ පවුල කේන්ද්‍ර කර ගනිමිනුයි. ඒ අනුව රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන තෙක් ලංකාවේ පුරවැසියන් නමක්වත් අසා නොතිබූ (වැඩිහිටියන් පිරිසකට මතක තිබුණා විය හැකිය* පුද්ගලයින් දෙදෙනකු නොනිල වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නොදෙවෙනි බලයක් අත්පත් කොට ගත්තා. ඒ 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ උප ජ්‍යෙෂට උපදේශක ධූරයට පත් බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ධූරයට පත් ගෝඨාභය රාජපක්ෂ යන මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරන් දෙදෙනායි.
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරයට පත් වන්නේ 2005 දී වුවත් එවකට පාර්ලිමේන්තුව 2004 මහ මැතිවරණයෙන් තේරීපත් වූවක් වූ හෙයින් මෙම රාජපක්ෂ සොහොයුරන් දෙදෙනාට පාර්ලිමේන්තුවට පත්වීමට නොහැකි වූණා. ඊට ප‍්‍රධාන හේතුව වූයේ 2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වන තෙක් බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන එහි පදිංචිව සිටි නිසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක වශයෙන් අසීමාන්තික රාජ්‍ය බලයක් අභ්‍යාස කළ බැසිල් රාජපක්ෂ මහතා 2010 පැවැති මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික් නායකයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අතර ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වූයේ වාර්තා ගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. (ලක්ෂ 4කට අධික*
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධූර කාලය නියෝජනය කළ 2010 – 2015 ආණ්ඩුවේ බලවත්ම අමාත්‍ය ධූරය වශයෙන් සැලකූ ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය දැරූ බැසිල් රාජපක්ෂ මහතා සමස්ත රාජ්‍ය අයවැය වියදම්වලින් සියයට 64ක පමණ භාරකාරත්වය දැරූ බවට එකල චෝදනා එල්ල වුණා.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ‍්‍රීලනිපයේ බිම් මට්ටම සංවිධානය කිරීමේ වගකීම කරට ගෙන සිටි බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන අසීමිත ලෙස බිම් මට්ටම වෙත යොමු කළා. ඒ අනුව ‘‘ගම නැඟුම, මඟ නැඟුම, දිවි නැඟුම, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව ‘‘ගෙවතු දශ ලක්ෂයේ ව්‍යාපෘතිය’ ආදි ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරමින් බිම් මට්ටමේ දැවැන්ත බලයක් අත්පත් කොට ගත්තා. විශේෂයෙන් ශ‍්‍රීලනිපයේ හදවත වශයෙන් සැලකිය හැකි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සහ සමෘද්ධි නියාමකයින්, ගොවි නියාමකයින් ඇතුළු බිම් මට්ටම සමග ගනුදෙනු කරන බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි බැසිල් රාජපක්ෂ මහතා දැවැන්ත බලපෑමක් කළා.
එමෙන්ම මෙම යුගයේ ක‍්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලින් මුදල් ගසා කන බවට බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ප‍්‍රබල චෝදනා එල්ල වුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තවත් බලවේගයක් නියෝජනය කළ විමල් වීරවංශ ආදීන්ගේ දැඩි විවේචනයට බැසිල් රාජපක්ෂ මහතා නිරන්තරයෙන් ලක්වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනුයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කොන් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ගත් නොයෙකුත් පියවර හේතුවෙන් ඔහු ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ ද දැඩි විවේචනයට ලක් වූණා.
බැසිල් රාජපක්ෂ මහතාගේ දැවැන්ත ග‍්‍රාමීය ශක්තිය හා හැකියාව ගැන ප‍්‍රබල විශ්වාසයක් තැබූ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ වහාම එම පරාජයේ වගකීම රාජපක්ෂ පවුල තුළින් සේම විමල් වීරවංශ ඇතුළු පාර්ශ්වය වෙතින් ද බැසිල් රාජපක්ෂ මහතා වෙත එල්ල වුණා. මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමත් සමග පසුදාම යළි ඇමෙරිකාවට සංක‍්‍රමණය වූ බැසිල් රාජපක්ෂ මහතා යළිත් මාස 06කට පමණ පසු ලංකාවට පැමිණියා.
රාජ්‍ය මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නඩුපිට නඩු පැටවී ඇති බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපය භේද බින්න කරමින් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත‍්‍රණයක් ඉටුකරන බවට ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වෙතින් දැඩිව විවේචනයට ලක් වුණා. මෙම විවේචනයට ප‍්‍රධාන හේතු වන්නේ 1977 – 1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ බැසිල් රාජපක්ෂ මහතාට එජාපය සමග තිබූ ප‍්‍රබල සම්බන්ධතායි.
බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රථමයෙන්ම දේශපාලනයට ප‍්‍රවේශ වන්නේ 1977 දී ශ‍්‍රීලනිපයෙන් මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශයට තරඟ කිරීම සමගිනුයිත මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ටී.ඞී. ෆැන්සිස්කු මහතා අතින් (22648* බැසිල් රාජපක්ෂ මහතා (17700* පරාජයට පත් වුණා. එහෙත් ශ‍්‍රීලනිපයට ඉතාම තීරණාත්මක මැතිවරණයක් වූ 1982 ජනමත විචාරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගත්තේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ගේ පමණක් නොව රාජපක්ෂ පවුලේ ද දැඩි විවේචනයට ලක් වෙමිනුයි.
මේ සමග 1977 – 1989 ජේ.ආර්. ජයවර්ධන යුගයේ ප‍්‍රබලයෙකු වූ මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාගේ සමීපතමයෙකු බවට පත් වුණා. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු එජාප ප‍්‍රබලයින් විසින් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාට ඉදිරිපත් කළ දෝෂාභියෝගයට පරාජයට පත්වීම සමග තටු සිඳුණු තත්ත්වයට පත් වූ ගාමිණි දිසානායක මහතා දේශපාලන වශයෙන් දුර්වල වෙද්දී බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක‍්‍රමණය වූණා.
ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට අනුව දේශපාලන කරණම්කරුවෙකු පමණක් නොව තම මිතුරා විපතට පත් අවස්ථාවේ වහාම පළායන පුද්ගලයෙකු ද වන බැසිල් රාජපක්ෂ මහතා ලංකා දේශපාලන කරළියට තුළ යළි ප‍්‍රා¥ර්භූත වන්නේ 2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම සමගිනුයි. මෙම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකළ මංගල සමරවීර, ශ‍්‍රීපති සූරියආරච්චි යන ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් දෙදෙනාව ආණ්ඩුවෙන් පළවා හරින මෙහෙයුමට නායකත්වය දෙන ප‍්‍රබලයෙකු වන්නේ ද බැසිල් රාජපක්ෂ මහතායි. ඒ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ නායකත්වය අතට ගැනීම සඳහා ගම්පහ ශ‍්‍රීලනිප දැවැන්තයින් වූ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ සහ ශ‍්‍රීපති සූරියආරච්චි හදිසියේ ඝාතනය වීම (ශ‍්‍රීපති සූරියආරච්චි මහතා මිය යන්නේ රිය අනතුරකිනි* බැසිල් රාජපක්ෂ මහතාට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ බව බොහෝ දෙනකුගේ මතයයි.
බොහෝ දේශපාලන විචාරකයින්ට අනුව බැසිල් රාජපක්ෂ දේශපාලනය කරන්නේ පුද්ගලික සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියෙකුගේ ස්වභාවය අනුවයි. ඔහුට අවශ්‍ය වන්නේ උපරිම ලාභ ලබා ගෙන තම පංගුවයි, තමන්ගේ සමීපතමයින්ගේ පංගුවයි උපරිමයෙන් ලබා ගැනීම බවයි ඔවුන් කියන්නේ. 2005 – 15 කාලය තුළ ‘‘මිස්ට ටෙන් ප‍්‍රසන්ට්’ ආදි නම්වලින් බැසිල් රාජපක්ෂව හැඳින්වීමට ඇතැම් මාධ්‍ය පියවර ගත්තේ මේ නිසයි.
ගාමිණි දිසානායකට බලය අහිමි වූ වහාම ඔහු හැරදා ඇමෙරිකාවට පළා ගියා සේම බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට බලය අහිමි වූ විගස ඔහු හැරදා ඇමෙරිකාවට පළා ගියා. එමෙන්ම ශ‍්‍රීලනිපයේ අනාගතය තීන්දු කළ 1982 ජනමත විචාරණයේදී එජාපයට සහාය දැක්වූ ආකාරයෙන්ම ශ‍්‍රීලනිපයට අතිෂයින් තීරණාත්මක 2018 පුංචි ඡුන්දයේදී ද බැසිල් රාජපක්ෂ මහතා තම දේශපාලන අවස්ථාවාදීත්වය ප‍්‍රදර්ශනය කරමින් සිටිනවා.
අද වීරකුමාර දිසානායකලා, පියසිරි විජේනායකලා බැසිල් රාජපක්ෂගේ තුරුළට වී සිටින විමල් වීරවංශ හැරදාලා යන්නේ බැසිල් රාජපක්ෂගේ මේ අවස්ථාවාදී දේශපාලනය තව දුරටත් ඉවසාගත නොහැකි නිසා බව පැහැදිලියි. ශ‍්‍රී ලංකා දේශපාලනයේ අමුතුම ගේම්කාරයෙකු වන බැසිල් රාජපක්ෂ 2018 පුංචි ඡුන්දයටත් පෙරම කොළේ ඉරා ගන්නා බව මේ වන විට පෙළගැසෙන දේශපාලන ප‍්‍රවණතා අනුව අපට වටහා ගත හැකියි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *