yukthiya

ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 0.746ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සෞභාග්‍යය දර්ශකය මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 2015 වසරේ පැවැති 0.685 සිට පසුගිය වසරේදී එනම් 2016 වසරේදී 0.746 දක්වා ඉහළ ගොස් ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

දර්ශකයේ උප දර්ශක සලකා බැලීමේදී 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජනතා සුබසාධන උප දර්ශකවල වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද සමාජ ආර්ථික උප දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවැතී ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී මෙරට ඉහළම සෞභාග්‍ය මට්ටම වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාතයි. බස්නාහිර පළාත් 1.272ක අගයක් වාර්තා කරමින් 2015 වසරට සාපේක්ෂව දර්ශක අගය 0.029කින් වර්ධනය වී තිබේ.

සබරගමුව පළාත් හැරෙන්නට අනෙක් සෑම පළාතක්ම 2015 වසර සාපේක්ෂව පසුගිය වසරේදී සෞභාග්‍ය දර්ශකයේ ඉහළ අගයන් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  කෙසේ නමුත් සෞභාගය දර්ශකයේ පළාත් ශ්‍රේණිගත කිරීම්වලදී 2015 වසරේදී මෙන්ම 2016 වසරේදී අවසාන ස්ථානයට පත්ව ඇත්තේ නැගෙනහිර පළාතය.

ලෙගටම් ආයතනය වාර්ෂිකව සිදු කරන සෞභාග්‍ය දර්ශකය 2017 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 53වැනි ස්ථානයට පත්ව තිබේ. සෞභාග්‍ය දර්ශකය මුල්ම වරට ඉදිරිපත් කරනු ලැබූවේ 2006 වසරේදීය. එතැන් පටන් අවසාන වශයෙන් පසුගිය මාසයේදී නිකුත් කරන ලද වාර්තාව සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව ස්ථාන 34කින් ඉදිරියට පැමිණ තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා – ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *