ජාතියේ හද ගැස්ම – එම් . ඕ . ඒ . ද සොයිසා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කුමණ ආකාරයකටද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මය පදනම් කර ගෙනද නැතිනම් මෙයට අවුරුදු තුන්දහසකට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දේශපාලන දාර්ශනිකයා හඳුන්වා දුන් බෙදාහැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කර ගෙනද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මයට අනුව නීතිය ක්‍රියාත්මක වනවා නම් එය කළ යුත්තේ නීතිය ඉදිරියේ සියලූ දෙනාම එක හා සමාන වනවාය, නීතියේ සමාන ආරක්‍ෂාව සියලූ දෙනාටම එක හා සමානව ලැබෙනවාය යන සිද්ධාන්තය මුල්කර ගෙනය. මේ අනුව නීතියට ඉහළින් කිසිවකු නොමැත. පාලිතයා මෙන්ම පාලකයාද එකසේ නීතියට යටත් වේ. නීතිය සර්ව සාධාරණව සියලූ දෙනාටම එක සේ ක්‍රියාත්මක වේ.

අනෙක් අතට බෙදා හැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කරගෙන නීතිය ක්‍රියාත්මක වනවිට දැකිය හැක්කේ ඒ ඒ පුද්ගලයාගේ තරාතිරම නැතිනම් සමාජ මට්ටම අනුව නීතිය විශේෂීකරණය කරමින් ක්‍රියාවට නංවන ආකාරයයි.

එනම් නීතිය ප්‍රබලයාට එක අකාරයකටත් දුබලයාට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වීමය. මෙහි අශෝභන ප්‍රතිඵලය වන්නේ කුමන නීති විරෝධී දෙයක් කළද ප්‍රබලයාට නීතියේ රැහැනෙන් පිටපැන යාමට හැකි වීමය. මෙම ක්‍රියාදාමය හඳුන්වන්නේ අයුක්තියෙන් යුක්තිය අයත් කර ගැනීම හෙවත් අසාධාරණයෙන් සාධාරණය අයත් කර ගැනීමේ න්‍යාය ලෙසය.

ඉහත දැක්වූ කරුණු සළකා බලන විට මෙම සටහන ආරම්භයේ දී මතු කළ ප්‍රශ්නය යළිත් මතු කිරීමට සිදු වේ. එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ මේ වනවිට නීතිය ක්‍රියාත්මක වන්නේ ඉහත දැක්වූ මූලධර්ම දෙකෙන් කුමක් පදනම් කර ගෙනද යන්නය. බැලූ බැල්මට පෙනෙන්නේ ඉහත දැක්වූ ප්‍රථම මූලධර්මය එනම් නීතියේ ආධිපතිත්වය පදනම් කරගෙන නීතිය ක්‍රියාත්මක වන බවය. නමුත් සියුම් ලෙස ඒ දෙස බැලීමේ දී පෙනී යන්නේ නීතියේ ආධිපතිත්වය යන ශීලාචාර කඩතුරාවට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ක්‍රියාකාරිත්වයට කිසිසේත්ම නොගැලපෙන අතිශයින්ම අශීලාචාර සහ අතිශයින්ම ගෝත්‍රික තත්ත්වයක් නිරූපණය කරන බෙදාහැරීමේ යුක්තිය පිළිබඳ මූලධර්මයද මේ සමගම ක්‍රියාත්මක වන බවය.

මෙයින් පළමුවන මූලධර්මය ක්‍රියාත්මක වන්නේ දුගී දුප්පත්, දේශපාලන හව්හරණක් නැති අහිංසක සාමන්‍ය ජනතාවටය. බෙදා හැරීමේ යුක්තිය පිළිබඳ මූලධර්මය අනුව නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලන බලය සහිත ධනවත් සමාජ ප්‍රභූන්ටය. මේ සම්බන්ධයෙන් සඳහන් කළහැකි ආසන්නම සිද්ධිය වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා නීතියට පටහැනි වරදක් කර ඇතැයි සහ ඔහු අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කළයුතු බවට නීතිපතිවරයා මූල්‍ය අපරාධ කොට්ඨාශයට කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ උද්ගතව තිබෙන වාග් සංග්‍රාමයයි.

මෙම වාග් සංග්‍රාමයෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ කෙරෙහි ක්‍රියාත්මක කළ යුත්තේ බෙදාහැරීමේ යුක්තිය පිළිබඳ අශීලාචාර මූලධර්මය බවය. වාග් සංග්‍රාමයේ පැටලී සිටින ගෝඨාභයවාදීන් කියා සිටින්නේ එබැවින් ඔහු අත් අඩංගුවට නොගත යුතු බවයි. ගෝඨාභය කෙරෙහි බෙදාහැරීමේ යුක්තිය පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක කළ යුත්තේ ඇයි? ගෝඨාභයවාදී වන්දිභට්ටයින් පෙන්වා දෙන ආකාරයට හේතුව ඔහු එසේ මෙසේ තුට්ටු දෙකට දමා සැළකිය යුතු සාමාන්‍ය මිනිසෙකු නොවීමය.

ඔහු අධි මානුෂීය චරිතාංගවලින් යුත් අති විශිෂ්ට පුද්ගලයකු වේ.නිදසුන් ලෙස බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ගෝඨාභය රාජපක්‍ෂ හඳන්වා දුන්නේ ‘ජාතියේ හදගැස්ම’ ලෙසය. ඔහු අත් අඩංගුවට ගතහොත් ජාතියේ හද ගැස්ම නතර වී ජාතිය ඒක්‍ෂණයෙන් මකබෑවී යන බවයි. ඔහු මෙයින් අදහස් කරන්නේ ‘ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට ගතහොත් අපි සිවිල් නීති කඩකරමින් පාරට බහිනවා’යන්නය.; මේ අජිත් ප්‍රසන්න නමැති මේජර්වරයා ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට ගන්නා බවට පැතිරී යන කටකතාවට ප්‍රතිචාර දැක්වූ ආකරයයි. ‘ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට ගත්තොත් මහ සඟරුවන පාරට බහිනවා’; මේ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් සහ තවත් හාමුදුරුවරුන් කිහිප දෙනෙක් ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයටය.

‘ගෝඨාභය අත් අඩංගුවට ගත්තොක් විශ්‍රාම ගොස් සිටින හාර දහසකට වැඩි සිවිල් හමුදා ආරක්‍ෂක භටයින් කුමක් කරයිද කියන්න බැහැ’; මේ ගෝඨාභය සිද්ධිය පිළිබඳව තවත් විශ්‍රාමික හමුදා නිලධාරියකු දැක්වූ ප්‍රතිචාරයයි. ‘රට නිදහස් කර දුන්නාට ලැබෙන තෑග්ග හිර ගෙදරට යාම නම් මම එය සතුටින් බාර ගන්නවා’; මේ තමන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇතැයි යන ආරංචියට ප්‍රතිචාර දක්වමින් ගෝඨාභය රාජපක්‍ෂ තමන්ගේ බර තමන් විසින්ම කිරා ගත් ආකාරයයි.

මෙම වාග් සංග්‍රාමය හරහා ගෝඨාභයවාදීන් එල්ල කරන මිසයිල් ප්‍රහාරවලින් පෙනෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ක්‍රියාත්මක විය යුත්තේ නීතියේ ආධිපතිත්වය නොව බෙදාහැරීමේ යුක්තිය නමැති අශීලාචාර සිද්ධාන්තය බවය. එම අශීලාචාර සිද්ධාන්තය අනුව ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂට නොසැළකුවහොත් ආණ්ඩුවට එරෙහිව

කැරලි ගැසීමට ගෝඨාභයවාදීන් ලකලැහැස්ති වී සිටින බවය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදීයැයි සහ ශීලාචාරයැයි කියා ගන්නා සමාජ ක්‍රමයක් තුළ සිදුවිය යුතු දෙයක්ද? ගෝත්‍රික සමාජ ක්‍රමයක් තූළ හෝ වැඩවසම් සමාජ ක්‍රමයක් තුළ මෙම අශීලාචාර සිද්ධාන්තය ක්‍රියාත්මක වීම පුදුමයට හේතුවක් නොවූවද ශීලාචාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ මෙය කිසිසේත්ම සිදුවිය යුතු දෙයක් නොවේ. මෙම අශෝභන සිද්ධියෙන් පෙනී යන්නේ නීතියේ ආධිපතිත්වයට ගණන් නොගන්නා නීතියට ගරු නොකරන සහ නීතියට අවනත නොවන මිනිසුන් කණ්ඩායමක්ද මේ රට තුළ වාසය කරන බවය. පුදුමයට හේතුව මේ කණ්ඩායමට අයත් වන්නේ සාමාන්‍ය ජනතාව නොව උගත්යැයි සලකනු ලබන සමාජ ප්‍රභූන් වීමය. මෙයින් පෙන්නුම් කරන්නේ ඔවුන් සමාජ ප්‍රභූන් වූවද අශිලාචාර මිනිසුන් කණ්ඩායමක් වන බවය. හේතුව නීති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එයට ගරුකළ යුත්තේ සහ අවනත විය යුත්තේ ඇයිද යන්න ඔවුන් තේරුම් ගෙන නැති නිසාය. එසේනම් කළයුතු වන්නේ නීති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එයට යටත් විය යුත්තේ ඇයිද යන්න පිළිබඳව දැනුම්වත් කොට ඔවුන් ශීලාචාර මිනිසුන් බවට පත් කිරීමය.

නීති වශයෙන් සලකනු ලබන්නේ සංවිධිත දේශපාලන සමාජයක් තුළ මිනිසුන්ගේ සමාජ හැසිරීම පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කරගෙන රාජ්‍යයේ කැමැත්තට යටත්ව ආණ්ඩුව විසින් පනවන රෙගුලාසි සහ විධිවිධානයන්ය. විවිධාකාර ගතිගුණ හා හැසිරීම් රටාවලින් යුක්ත ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වන සමාජයක පෞද්ගලිකව මිනිසාගේත් පොදුවේ සමස්ත සමාජයේත් අභිවෘද්ධිය අයත් කර ගැනීමට නම් මිනිසුන්

තීතියට යටත් කොට පාලනය කළ යුතුය.එය මිනිසුන් ශීලාචාර සමාජ ජීවිතයක් ගතකිරීමට පටන් ගත් දිනයේ සිටම සමාජ පැවැත්ම සම්බන්ධයෙන් පිළිගත් පොදු සමාජ සිද්ධාන්තයක් වේ. සමාජ ජීවිතය පාලනය වන්නේ රාජ්‍ය විසින් පනවන නීති මගින් පමණක්ම නොවේ. සමාජය විසින් යුක්තිසහගතයැයි, සාධරණයැයි පිළිගත් සමාජ සිරිත් විරිත් මගින් මෙන්ම සමාජ සම්ප්‍රදායන් මගින්ද මිනිසුන්ගේ සමාජ ජීවිතය පාලනය වේ. නමුත් සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් නීති වශයෙන් සළකන්නේ නැත. හේතුව ඒවා කඩකළ පුද්ගලයාට දඬුවම් කිරීම සඳහා අධිකාරී බලයක් ඒවා පසුපස නොතිබීමය. එබැවින් සංවිධිත දේශපාලන සමාජයක් තුළ නීති වශයෙන් සළකන්නේ රාජ්‍යයේ කැමැත්තට යටත්ව ආණ්ඩුව විසින් පනවන නීති පමණි.

දේශපාලන සමාජයක් තුළ නීතිවලට මෙවැනි වැදගත් තැනක් හිමි වන්නේ කරුණු කිහිපයක් නිසාය. ප්‍රථමයෙන්ම රාජ්‍යයේ කැමත්ත මත ආණ්ඩුව විසින් නීති සෑදීම සහ එමගින් සමාජ පොදු අභිමතය නීති මගින් නිරූපණය වන නිසාය. දෙවනුව රාජ්‍යය පනවන නීතිවලට අවනත වීම අනිවාර්ය වීමය. රාජ්‍යය පනවන නීති වලින් කුමකට අවනත වනවාද කුමකට අවනත නොවනවාද තේරීම් කරමින් නීතිවලට අවනතිය දැක්වීමට පුරවැසියන්ට අයිතිය නැත. තුන්වනුව නීති ආවාට ගියාට පනවන දෙයක් නොව විධිමත් ව්‍යවස්ථානුකූල

ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් පනවන දෙයක් වීමය. නීති පනවන්නේ ව්‍යවස්ථාදායකය විසිනි. ව්‍යවස්ථාදායකය සමන්විත වන්නේ මහජන නියෝජිතයන්ගෙනි.

මෙයින් පෙන්නුම් කරන්නේ ව්‍යවස්ථාදායකය පනවන නීති මහජන කැමැත්ත පදනම් කරගෙන පනවන දෙයක් වන බවය. සිව්වනුව නීති සියලූ දෙනාටම පොදුවේ බලපාන මෙන්ම පොදුවේ බලාත්මක වන දෙයක් වීමය. . මේ අනුව පුද්ගලයින්ගේ තරාතිරම අනුව නීතිය බලාත් මක වීම වෙනස් නොවේ. අවසාන කරුණ වන්නේ නීති යනු දඬුවම් කිරීම නමැති තර්ජනය පසුබිම් කරගත් අධිකාරී බලය පදනම් කරගෙන ක්‍රියාවට නැංවෙන දෙයක් වීමය.

නීති මගින් පෙන්වා දෙන්නේ කළ හැක්කේ කුමක්ද සහ කළ නොහැක්කේ කුමක්ද යන්නය. නීතියෙන් නොකළ යුතුයැයි නියම කර ඇති දෙයක් පුද්ගලයකු කරන්නේ නම් එම පුද්ගලයා නීතිය කඩ කරන්නෙක් බවට පත්වන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ නීතියෙන් නියම කර ඇති අකාරයට දඬුවම් කිරීමකට ඔහු යටත් වීමය. මෙය සමාජයක ජීවත් වන සියලූම මිනිසුන්ට පොදුවේ අදාළ වේ. මෙයින් පෙනී යන්නේ ශීලාචාර සමාජ ක්‍රමයක අත්තිවාරම වන්නේ නීතිය බවය.

නීතියට ගරු නොකරන්නේ නම් සහ එයට අවනත නොවන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ අශීලාචාර සමාජ ක්‍රමයක ගති ලක්‍ෂණයන්ය. එවැනි සමාජ ක්‍රමයක් අනිවාර්යයෙන්ම අනධිකාරී සමාජ ක්‍රමයක් වන අතර එවැනි සමාජ ක්‍රමයක නියත අවසානය වන්නේ විනාශය මිස අභිවෘද්ධිය නොවේ.

ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් කෑ මොර ගසන අය තේරුම් ගත යුත්තේ මෙ ම යථාර්ථයයි. මෙය තේරුම් නොගෙන එයට එරෙහිව යන යම් අයෙක් වේ නම් එම තැනැත්තාට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නැංවීම ආණ්ඩුවේ වගකීම වේ. ජාතියේ හද ගැස්ම ආරක්‍ෂා කොටගෙන ජාතිය ජීවත් කළ හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කිරීමෙන් නොව නීතිය ආරක්‍ෂා කිරීමෙන් පමණක් බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට නොහැකි නම් එයින් පෙනී යන්නේ රාජ්‍යයේ බලය ඉක්මවා පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ඉහළ ගොස් තිබෙන බවය. එසේනම් එවැනි ආණ්ඩුවක් නියත ලෙසම අසමත් සහ දුර්වල ආණ්ඩුවක් වේ. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දක්වන මලානික ගතියෙන් පෙන්නුම් කරන්නේ මෙය අසමත් සහ දුර්වල ආණ්ඩුවක් බව ද යන ප්‍රශ්නයට මේ වනවිට නීතිගරුක පුද්ගලයින් ඉදිරියේ ඉස්මතු වී තිබෙන බව අවසාන වශයෙන් කිව යුතුය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *