යහපාලන වෙනසට ජීවය දුන් සහයෝගීතාව ඉදිරියටත්… – භාතිය බරුකන්ද

මෙවැනි අති ධනාත්මක තත්ත්වක් තුළ ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ජීවය ලබා දුන් දේශපාලන සහයෝගීතාවයේ පෙකණිවැල සියතින්ම කපා දමනු හෝ දේශපාලන අවස්ථාවදයට ඒ සඳහා අවස්ථාවක ලබා දෙනු ඇතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. ජනවාරී 08 වෙනස වෙනුවෙන් ඇප කැප වූ සියලුම යහපාලනවාදී බලවේගයන්ගේ අපේක්ෂාව වන්නේ ඒ යුග මෙහෙවර අවසන් වනු දැකීම මිස යළි අවස්ථාවාදය හා අන්තවාදය ශක්තිමත්වී යක්ෂයා ශක්තිමක් වනු දැකීම නොවේ.

2014 නොවැම්බර් මාසේ මේ වෙලාවේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා කොළඹ නගර ශාලායේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන වෙලාව මේ වෙලාව. මිනිස්සුන්ගේ ජීවිතවලට ඉලක්ක තිබෙනවා. පාසල් දරුවන්ටත් ඉලක්ක තිබෙනවා. තරුණයින්ට ඉලක්ක තිබෙනවා. උගතුන්ට ඉලක්ක තිබෙනවා. රටකට ඉලක්ක තිබෙනවා. ජාත්‍යන්තරයට ඉලක්ක තිබෙනවා. අද වගේ දවසක මම එදා ආණ්ඩුවෙන් එළියට බැස්සේ ඉලක්කයක් සම්පූර්ණ කරන්නයි. එය බොහෝ සංකීර්ණ වූ ඉලක්කයක්. එය බොහෝ ගැටලු සහගත වූ ඉලක්කයක්. එය බොහෝ අභියෝගාත්මක වූ ඉලක්කයක්”

මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 23 වැනිදා සූර්ය බල සංග්‍රාමයේ මෙගා වොට් 100ක ඉලක්කය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයේදී කළ ප්‍රකාශනයේ උපුටා ගැනීමක්.

මේ දිනය අපට ඉතාම වැදගත් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්ස දිනට අවුරුදු තුනක් සම්පූර්ණ වූ දා කළ ප්‍රකාශයක් නිසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අභියෝගාත්මක, නිර්භීත තීන්දුව අරං දැන් අවුරුදු තුනකුත් අවසාන වෙලා තිබෙනවා. “මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ” යන දැක්ම මත ක්‍රියාත්මක වන “මෛත්‍රී – රනිල් ” සහයෝගී ආණ්ඩුවට, බොහෝ විට නාමකරණය වන “යහපාලන ආණ්ඩුවට” අවුරුදු තුනක් ගත වෙන්නත් ආසන්න වෙලා තිබෙනවා. ඒ අතරෙදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහතින් අවධාරණය කළ ආකාරයට යහපාලන ඉලක්ක තව තවත් අභියෝගාත්මක හා සංකීර්ණභාවයට පත් වෙමින් තිබෙනවා.

යක්ෂයා අවදිවීම

“මම දුර්වල කළොත් අවධි වෙන්නේ යක්ෂයා” කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මාස කිහිපයකට පමණ පෙර උතුරේ ජනතාව හමුවේ ප්‍රකාශ කළේ යහපාලන අභියෝග තව තවත් සංකීර්ණ, අභියෝගාත්මක වීම පිළිබඳ වන තත්ත්වය මනාව හඳුනා ගෙන සිටින නිසයි. ඒ මාස කිහිපය තුළ මේ සංකීර්ණභාවට සහ අභියෝගාත්මක තත්ත්වය තව දුරටත් සංකීර්ණ වෙමින් පවතින බව අපට වටහා ගත හැකියි. ඒ යක්ෂයා නානාප්‍රකාර වෙස් ගනිමින් කෙසේ හෝ බිල්ල ගිල ගැනීමට යළි යළිත් මාන බලමින් සිටින නිසයි. මේ තත්ත්වය තුළ එජාප – ශ්‍රීලනිප සහයෝගී ආණ්ඩුව තව දුරටත් අවශ්‍ය ද ? කියලා ප්‍රශ්නයක් ක්‍රමයෙන් සමාජය තුළ නිර්මාණය කිරීමට 2015දී ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත් කළ බලවේග හා කල්ලිය සියුම් උපක්‍රම යොදමින් සිටිනවා.

එජාප – ශ්‍රීලනිප සහයෝගී ආණ්ඩු බිඳ දැමීම ඔවුන්ගේ නම් දේශපාලන මනදොළ පිනවා ගැනීමක් බව අපට ඉතාමත් පැහැදිලියි. ඒත් ප්‍රශ්නය වන්නේ, එජාප – ශ්‍රීලනිප සහයෝගී ආණ්ඩුව බිඳ වැටෙනු දැකීමට එදා එක්සත්ව එක්සිත්ව නිර්භීතව ක්‍රියාකළ එජාප – ශ්‍රීලනිප නායයින්ට, එයට අනුබල දුන් සිවිල් සමාජයට සහ ජනතාවට අවශ්‍යතාවක් තිබෙනවාද ? යන්නයි. යක්ෂයා යළි අවධිවනු දැකීමට ඔවුන්ට වුවමනාවක් තිබෙනවාද ? යන්නයි.

එජාප-ශ්‍රීලනිප හවුලේ පදනම

අද ඊනියා ඒකාබද්ධ විපක්ෂයට සහ යළි රෙජිමය බලයට ගෙන ඒමේ පිපාසයෙන් පෙළෙන ජනමාධ්‍ය ඇතුළු විවිධ කල්ලිවලට එජාප – ශ්‍රීලනිප යහයෝගී ආණ්ඩුවේ එසේ නැතිනම් හවුලේ පදනම වුණේ කුමක්ද යන්න අමතකව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන පැහැදිලි අදහසක් තම ඓතිහාසික තීන්දුවෙන් වසර තුනක් ගෙවුණ දා ජනපතිවරයා විසින් කළ ඉහත සඳහන් ප්‍රකාශයෙන් අපට ලබාගත හැකියි. ඒ දශකයක මහින්ද රාජපක්ෂ පාලනය විසින් රට තුළ බිහි කර තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රජාපීඩක පාලනය අවසන් කිරීමයි. රට තුළ නීතියේ ආධිපත්‍ය සහ ජාතික සංහිඳියාව නිර්මාණය කිරීමයි. ලංකාව ගමන් කරමින් සිටි ජාත්‍යන්තර හුදකලාභාවයෙන් වහාම මිදිමයි.

එදා මේ සියල්ල ඒ වන විට ලංකාවට නුහුරු නුපුරුදු වචනයක් වූ “යහපාලනය” නම් වචනය තුළ ගොනු කිරීමට පියවර ගත්තා. 2015 ජනවාරි 08 වැනිදා බිහි වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව “යහපාලන ආණ්ඩුව” ලෙස ජනතාව විසින් නාමකරණය කළේ මේ නිසයි.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ මෛත්‍රී – රනිල් ද්විත්වය විසින් නිර්මාණය කළ එජාප – ශ්‍රීලනිප යහයෝගී ආණ්ඩුවේ ආයුෂ අවසන් වන තරමට, එය අනවශ්‍ය වන තරමට මේ යහයෝගීතාව අනවශ්‍ය බවට, නොවැදගත් බවට පත්ව තිබේද යන්නයි ? මෙය අති සංකීර්ණභාවයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහ එයට සහයෝගය දෙන කල්ලි විවිධාකාර උපක්‍රම යොදන ආකාරය අපට දැකිය හැකි වුවත් පොදුජනතාවගේ පැත්තෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශ වන්නේ ජනපතිවරයා හා අගමැතිවරයා විසින් ආරම්භ කළ මෙම යහපාලන ප්‍රවේශය ඔවුන්ට ජනවරම ලබා දුන් කාලය දක්වා ශක්තිමත්ව හා වේගවත්ව ගමන් කළ යුතු බවයි. ඒ පසුගිය කාලය තුළ ලබාගත් යහපාලන ජයග්‍රහණයන්ට වඩා, වඩාත් තීරණාත්මක හා වර්ණවත් පොදුජන ජයග්‍රහණය දිනාගත හැකි කාලය ඉදිරියේදී පවතින නිසයි.

මේ තත්ත්වය තුළ අප ප්‍රථමයෙන්ම මේ සහයෝගී ආණ්ඩුව බිඳ දමා ශ්‍රීලනිපය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි කියන ඒකාබද්ධ විපක්ෂය සහ ඒ වෙනුවෙන් විවිධාකාරයෙන් පෙනී සිටින පුද්ගලයින්ට සහ පාර්ශ්වයන්ට මේ සංකීර්ණ සේම වර්ණවත් දේශපාලන හවුල විසින් දිනාගත් දේශපාලන ජයග්‍රහණයන් පිළිබඳ සිහිකැදවීමක් කළ යුතුයි.

මෙහිදී ප්‍රථමයෙන්ම අවධාරණය කළ යුත්තේ “මෛත්‍රි – රනිල් ” එකඟතාව සේම පසුව බිහි වූ “එජාප – ශ්‍රීලනිප” එකඟතාව ද හුදු අවස්ථාවාදී දේශපාලන සන්ධාන හෝ හවුලක් නොවූ බවයි. එය අහඹු හෝ ක්ෂණික දේශාපාලන සන්ධානගත වීමක් නොවූ බවයි. ඒ සඳහා පදනම සේම අවශ්‍යතා , මහින්ද රාජපක්ෂ රෙජිමයේ දශක පාලනය විසින් ජාතික හා අන්තර්ජාතික වශයෙන් නිර්මාණය කළ ඍණාත්මක තත්ත්වයන් මත ඍජුව පදනම් වුණා. මේ යහයෝගය විසින් දිනාගත යුතු ජයග්‍රහණ සේම මුහුණ දිය යුතු අභියෝගත් ඉතා පැහැදිලිව නිර්වචනය වී තිබුණා. මේ තත්ත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මේ ආකාරයෙන් ජනතාව හමුවේ හෙළි කළා.

“අද වගේ දවසක මම ආණ්ඩුවෙන් එළියට එන විට අපිට අන්තර්ජාතික වශයෙන් ඉලක්කයක් සම්පූර්ණ කර ගන්න තිබුණා. ඒ ඉලක්කයේ ප්‍රමුඛතාව තිබුණේ රට වෙනුවෙන් මම ජාත්‍යන්තරය දිනා ගන්නේ කෙසේද ? කියලා”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තර ඉදිරියේ දිනාගත යුතු ඉලක්කය හුදු අහඹු ලෙස නිර්මාණය වූ අභියෝගයක් නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය අත්තනෝමතික හා අදූරදර්ශී විදෙස් පිළිවෙත විසින් නිර්මාණය කළ ඍණාත්මක තත්ත්වය බව අප මෙහිදී වටහා ගත යුතුයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ, ජාතික සංහිඳියාවේ පිරිහීමට සාපේක්ෂව නිර්මාණය වූ ආර්ථික සම්බාධක පණවමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් කිරීමට නියමිතව තිබූ මෙම ජාත්‍යන්තර හුදකලාභාවය සේම කොන් කිරීමයි එදා ජනාධිපතිවරයාට ජයගතව තිබුණේ. තම සහයෝගී ආණ්ඩුවෙන් මේ අභියෝග තමා ජයගත් ආකාරය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට හෙළි කළා.

“අද ලෝකයේ සියලු සෑම ප්‍රබල රාජ්‍යයකමත්, සියලු ජාත්‍යන්තර සංවිධානත් අපේ මිතුරන් බවට පත්වී තිබෙනවා. අද ලෝකයේ සියලු රාජ්‍ය අපේ මිතුරන් බවට පත් වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර මිත්‍රත්වය, ජාත්‍යන්තර සහයෝගීතාවය අද අපි රටේ ජනතාවගේ අනාගතය සඳහා, සංවර්ධනය සඳහා කැප කරනවා. ඔබට මතක ඇති අපි ලබාගත් ජයග්‍රහණ. ඒ ජාත්‍යන්තර ජයග්‍රහණය ලබාගැනීම තුළ අපි අපේ රටට අහිමි වූ බොහෝ දේ ලබා ගත්තා…”

යහපාලනයේ, එජාප – ශ්‍රීලනිප යහයෝගයේ නියමුවාණන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ජනතාව හමුවේ උදම් අනන ජාත්‍යන්තර ජයග්‍රහණ හුදු දේශපාලන කතා බවට පත් නොවන්නේ මහින්ද රාජපක්ෂ යුගය තුළ රට හමුවේ තිබූ අවදානම, රට මුහුණ දී සිටි නින්දාසහගත තත්ත්වය මෙනෙහි කිරීමේදීයි.

මේ වෙනස ජනතාවට බොහොම සනීපයි

“මීට අවුරුදු තුනකට පෙර තිබුණු තත්ත්වය මේ රටේ තිබුණා නම් මේ වන විට ඇති විය හැකි තත්ත්වය කුමක්ද ? ඇතැම් අය අහනවා වෙනස සනීප ද කියලා. අපි කියනවා රටේ ජනතාවට වෙනස හොඳටම සනීපයි කියලා. ඇයි එහෙම කියන්නේ ? මීට අවුරුදු තුනකට කලින් මේ රටට ආර්ථික සම්බාධක පැනවීමේ ජාත්‍යන්තරයේ පළමුවැනි පියවර තබලා තිබුණා. යුරෝපයට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අලෙවිය තහනම් කරලා තිබුණා. යුරෝපයට අපේ ඇඟලුම් කර්මාන්තයේ බදු සහන ඉවත් කරලා තිබුණා. ඒ මේ රටට ආර්ථික සම්බාධක ඇති කිරීමේ පළමු පියවර විදිහයි ඒ කටයුතු කෙරිලා තිබුණේ.

අහෝසි වූ විදුලි පුටුව

මීට අවුරුදු තුනකට පෙර ආණ්ඩුවෙන් එළියට බහින විට දේශපාලන වේදිකාව, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය ඒ සියල්ල තුළ කතාබහට ලක් වූ බොහෝ දේවල් තුළ විදුලි පුටුවක් ගැන කතා කළා. යුධ අධිකරණයක් ගැන කතා කළා. විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන ඒම ගැන තා කතා කළා. අපි ලබාගත්ත ජයග්‍රහණ අතර ඒ සියල්ල අද අපි ඉවත් කරලා තිබෙනවා. යුධ අධිකරණ නැහැ, ජාත්‍යන්තර විනිශ්චයකාරවරු මේ රටට එන්නේ නැහැ. විදුලි පුටු මේ රටේ නැහැ. ඒ තත්ත්වයට මේ රට වෙනස් කළා. ඒ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමක්.

අද යළි බලය අල්ලා ගැනීමට තැත් කරන ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කල්ලිය එදා රට පත්තර තිබූ අවදානම් තත්ත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ප්‍රකාශය මගින් මනාව වටහාගත හැකියි.

උදාහරණයක් ලෙස එදා රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී, බලවත් රාජ්‍යවල සංචාරය කිරීමට පවා නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබුණා. ප්‍රකට “ඔක්ස්ෆර්ඞ් දේශනය” හා බැඳි සිදුවීම ඒ අතර එකක් පමණයි. ඒ වගේම ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මිතුරන් අහිමි වෙලා තිබුණා.

රාජපක්ෂ යුගයේ ලංකාව ගනුදෙනු කළ, ලංකාවේ රාජ්‍ය නායකයින්ට දොරටු විවර වුණේ ස්වාසිලන්තය, ලිබියාව, යුක්රේනය වැනි ලෝකයේ හුදකලා රාජ්‍යවල පමණයි. මේ අනුව අපට පැහැදිලි වෙන එජාප – ශ්‍රීලනිප සහයෝගී පාලනයයේ වර්ණවත්ම ජයග්‍රහණයක් වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ අපකීර්තිමත් ජාත්‍යන්තර හුදකලාභාවයෙන් මිදී ලෝකය ඉදිරියේ ඇගයීමට ලක්වන රටක් වශයෙන් ලංකාව යළි කීර්තිය දිනා ගැනීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා දකුණු කොරියාවේ කළ සංචාරයයි.

අද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ වර්ධනාත්මක තත්ත්වය අවුල් වියවුල් කරමින් යළි රට ජාත්‍යන්තර වශයෙන් අගාධයට තල්ලු කර දැමීමටයි.

ඒ සඳහා ඔවුන් විසින් පසුගිය කාලය පුරාම යොදා ගන්නා ප්‍රකට ප්‍රයත්නයක් වන්නේ මේ සියලු ජයග්‍රහණයන්ට ශක්තිය හා පදනම නිර්මාණය කළ “එජාප – ශ්‍රීලනිප” සහයෝගීතාව බිඳ දැමීම සඳහා ප්‍රයත්න දැරීමයි. එජාප – ශ්‍රීලනිප සහයෝගීතාවෙන් ලබාගත් මේ ජාත්‍යන්තර ජයග්‍රහණ බුක්තිවිඳින ජනතාවක් ලෙස අප සැමගේ වගකීම වන්නේ එය කඩාකප්පල් කර ලංකාව යළි අඳුරට ගෙනයාමට කැසකවන මේ බලවේග තීරණාත්මකව පරාජය කිරීමයි.

සහයෝගයෙන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාව ජාත්‍යන්තර හුදකලාභාවයෙන්, ආර්ථික සම්බාධක භීතියෙන් මුසපත් කළ පරාජිත රෙජිමය විසින් ලංකාවේ ජනතාවගේ සකලවිධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ද ක්‍රමානුකූලව කප්පාදුකරමින් අධිකාරිවාදී පාලනයක් කරා රට ගෙනයි බව අප කිසි විටක අමතක නොකළ යුතුයි. මේ අධිකාරිවාදී, රෙජිමයේ පාලනය පරාජය කර රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශක්තිය ලබා දුන්නේ එජාප – ශ්‍රීලනිප යහයෝගී පාලනය බව ද අප අමතක නොකළ යුතුයි. මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා හෙළි කළා.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළ මේ රටේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවලා ජනතාවගේ මානව අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට කොමිෂන් සභාවක් පත් කළා. රාජ්‍ය සේවයේ වැඩකරන සියලු දෙනාට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව ශක්තිමත් කළා.

මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කළා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වෙන්න, අධිකරණය ශක්තිමත් කළා. මට පෙර මේ තනතුරේ හිටපු අය අධිකරණයට දුන්න දුරකථන ඇමතුම්, අධිකරණය පාවිච්චි කළ හැටි, විනිසුරුවරුන් පත් කළ ආකාරය, නඩු තීන්දු දෙන්න ක්‍රියා කළ ආකාරය, නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කළ ආකාරය මොන තරම් දූෂිත ද කියන එක ඔබ සැම කෙනෙක්ම දන්නවා. අවුරුදු තුනකට පස්සේ අද වගේ දවසක ඒ වෙනස වෙනුවෙන් එළියට බැහැලා අද මම කතා කරන්නේ ඒ වෙනස්කම්වල කළ යුතු බොහෝ දේ කළ නිසයි. ඉතා පැහැදිලිව ඒ ගැන කියන්න ඕනෑ”

තම නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුව විසින් ජනතාවට දේශීය වශයෙන් ලබා දුන් මේ වෙනස ගැන ඒ වෙනසට නායකත්වය දුන් ජනාධිපතිවරයාම උදම් ඇනීම අප සැලකිය යුත්තේ එතුමා තුළ ඒ වෙනස ආරම්භක අවස්ථාවේදී “වෙනසක් වෙනුවෙන් අභියෝග ජයගැනීම සඳහා තිබූ වුවමනාව, උනන්දුව වගේම ගෞරවය ද තවමත් නොනැසී ඒ ආකාරයෙන්ම පවතින බවයි. මේ තත්ත්වය තුළ මේ සියල්ල සඳහා ශක්තිය හා රැකවරණය සැපයූ දේශපාලන පදනම ගැන, බලය ගැන ජනාධිපතිතුමාට තව දුරටත් විශ්සායක් පවතින බව අප වටහා ගත යුතුයි.

යක්ෂයා ශක්තිමත් නොකරමු

“… ඇතැම් අය අහනවා වෙනස සනීප ද කියලා. අපි කියනවා රටේ ජනතාවට වෙනස හොඳටම සනීපයි කියලා” තම පාලනය ගැන ජනතාව සිතන ආකාරය ගැන මේ තරම් විශ්වාසයෙන් කතා කළ හැකි රාජ්‍ය නායකයින් ලෝකයේ බිහිවී ඇත්තේ අල්පයක් විය හැකියි. ඒ තමන් කළ හා තමන්ගෙන් ඉටුවිය යුතු දේ ගැන මනා වැටහීමක් හා විශ්වාසයක් පහසුවෙන් රාජ්‍ය නායකයෙකු තුළ නොපවතින නිසාය. ඉතිං මෙවැනි අති ධනාත්මක තත්ත්වක් තුළ ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ජීවය ලබා දුන් දේශපාලන සහයෝගීතාවයේ පෙකණිවැල සියතින්ම කපා දමනු හෝ දේශපාලන අවස්ථාවදයට ඒ සඳහා අවස්ථාවක ලබා දෙනු ඇතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. ජනවාරී 08 වෙනස වෙනුවෙන් ඇප කැප වූ සියලුම යහපාලනවාදී බලවේගයන්ගේ අපේක්ෂාව වන්නේ ඒ යුග මෙහෙවර අවසන් වනු දැකීම මිස යළි අවස්ථාවාදය හා අන්තවාදය ශක්තිමත්වී යක්ෂයා ශක්තිමක් වනු දැකීම නොවේ.

“අපි අපේ රටට අහිමි වූ බොහෝ දේ ලබා ගත්තා. ආණ්ඩුවක් විදිහට වැඩ කරන විට විවේචන තිබෙනවා. නින්දා අපහාස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක, නිදහස් සමාජයක ඒ දී ඇති අයිතිය භුක්ති විඳින සමාජයක අපි සියලු දේට ඉතාමත් ගරු කරනවා”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ හා තම පවුලේ ජීවිතය ගැන ද නොසිතා ඒ අභීත තීන්දුව ගත් දිනයට වසර තුනක් ගත වූ දා කළ මේ සිංහ නාදය අප මනාව වටහා ගත යුතුයි. ඒ කැප කිරීමෙන් ලබා ගත් වෙනස යළි ආපසු හරවා පවුලකට, කල්ලියකට සනීපයක් ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටේ කිසිවකු සූදානම් නැති බව පමණක් අවසාන වශයෙන් අවධාරණය කළ යුතුයි.

භාතිය බරුකන්ද

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *