අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2017/11/30

රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ය. ඊට විශේෂ හේතුවක්ද තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට ගිය කාරණය අග්‍රාමාත්‍යවරයා විසින් මැතිසබයට පැහැදිලි කරන ලදී.

‘කොමිසමේ සාක්ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කිහිපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට සිදුවුණා. ඒ 2015 වසරේ අප ආණ්ඩුව භාරගන්නා විට රටේ තිබූ මූල්‍ය තත්ත්වයයි.’ ‘කරුණු 20ක් සම්බන්ධයෙන් කොමිසම මඟින් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත් කරුණු 28ක් සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිඛිතව පිළිතුරු ලබාදුන්නා. මේ අතර මා දුන් පිළිතුරු කිහිපයක් ගැන වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වා සිටියා. ඒ අනුව නොවැම්බර් මස 20 වැනිදා මම කොමිසම හමුවට ගොස් කරුණු පැහැදිලි කළා’ යනුවෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලද කරුණු ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස මැතිසබය දැනුවත් කරන ලදී.

ඊට අමතරව පසුගිය ආණ්ඩුවේ පාලකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.
‘දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008-2014 කාලය තුළ සිදු කර ඇති වංචා පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වෙනවා’ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

මේ සමඟම මැති ඇමැතිවරු ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේසවලට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කරන්නට වූහ. ඔවුන් සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මේසවලට තටිටු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට සිය ප්‍රශංසාව පළ කිරීම විශේෂත්වයකි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා වේගයෙන් තම මේසයට තට්ටු කරන ආකාරයක් දක්නට ලැබිණ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට ඉතා හොඳින් සවන් යොමු කර සිටියද එම කතාවෙන් පසුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමද විශේෂත්වයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *