සුජීව සේනසිංහ සහ යහපාලන අපේක්ෂා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

‘උඩ බලාගෙන කෙල ගහගන්නවා, යනුවෙන් කියමනක් ජන වහරේ තිබේ. ඉන් කියැවෙන්නේ අවසානයේ තමාටම අපහාස වන යමක් තමන් විසින්ම කරගන්නවා යන්නයි. ඉහත කියුම මතකයට නැගුණේ, පසුගිය 21දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, සිරිකොත හි දී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කළ ප්‍රකාශයක් ‍හේතුවෙනි.

දිනපතා පුවත්පතක් ‍සේනසිංහමහතා‍ගේ ප්‍රකාශය වාර්තාකර තිබු‍ණේ ‘‘බැදුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එ‍රෙහි කුමන්ත්‍රණයක්. ජනපති සමග මා ඉන්නේ කලකිරීමෙන්,” යනුවෙනි. ඇතැම් පිරිස්වල වුවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිතුමා පංගුකාරයෙකු නොවිය යුතු යැයි ද සේනසිංහ මහතා තවදුරටත් කී බව එම පුවත්පත වාර්තාකර තිබුණා පමණක් නොව, සේනසිංහ මහතාගේ ප්‍රකාශය ලොකු ඉඩක් දෙමින් ඇතුළු පිටුවේ ද සුජීව සේනසිංහ මහතාගේ ප්‍රකාශයක් එම පුවත්පත උපුටා දක්වා තිබුණේ ‘‘මේ බැදුම්කර උගුලෙන් අපි ලොකු වැරැද්දක් කර ගත්තා” යනුවෙනි.

ජනවාරි අට වෙනසට කතිරය ගැසීමෙන් පමණක් හෝ දායක වූ සියල්ලන් බැදුම්කර ප්‍රශ්නය හේතුවෙන් යම් කම්පනයකට පත් වූ බව පිළිගත යුතුය. බැදුම්කර ප්‍රශ්නයේ දී සිදු වූයේ කුමක්ද යන්න මෙතෙක් මුළුමනින් හෙළි වී නොමැති වුවද මේ මොහොතවන විට සමාජගත වී ඇති අදහස වන්නේ බැදුම්කර ගනුදෙනුව හරහා රටට අවාසියක් සිදු වී ඇති බවය.

එවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවට කටයුතු කළ හැකි ආකාර දෙකක් තිබුණි. පළමු ආකාරයක කවුරුන් කුමන ආකාරයෙන් චෝදනා කළ ද ගොළුවන් බිහිරන් සේ වෙන දෙයෙක් වෙන්නට හැර, වැරදිකාරයෙක් වෙත්නම් ඔහුටත් නිදහසේ ඉන්නටත් හම්බකරගන්නටත් ඉඩ දී නිහඩ වීමටය.

පසුගිය ආණ්ඩුව සමයේ කටයුතු සිදු වූ අකාරයද එයය. හෙජින් ගිවිසුම ආදි කාරණාවලදී ඊට විරුද්ධව ජනමතයක් ඇති වූවද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ නිහඬ වෘතයකි. ග්‍රීක බැදුම්කර ආදි ප්‍රශ්නවලදී රාජපක්ෂ පාලනය අනුගමනය කළේද එකම ප්‍රතිපත්තියකි.

ජනවාරි අට වෙනසට ජනතාව සහයෝගය දුන්නේ රාජපක්ෂ පාලනයේ එකී වැරදිවලට දඩුවම් දීමක් වශයෙනි. එනම් අවනීතියෙන් අසාධාරණයෙන් රට පාලනය කළ පිරිසක් පලවා හැරීමයි.

එසේ පළවාහැර අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි වැරදි අලුත් පිරිසක් විසින් කරගෙන යනවා දැකීම නොවේ. ඒ වැරදි නිවැරදි කර ගැනීමයි. බැදුම්කර කොමිසමට මුහුණ දී පිටතට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ‘‘වැරදි සිදුවෙනවා, නමුත් අපි යහපාලනය ඉදිරියටත් ගෙනයනවා” යනුවෙනි.

යහපාලන ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වන්නට නම් වැරැද්දක් සිදු වී අතැයි රටේ මතයක් පවතින විටෙක නිහඩව සිටීම සාධාරණ වන්නේ නැත. එහෙයින්ම, නිහඩ වීම වෙනුවට පරීක්ෂණයකට යොමුවීමට යහපාලන ආණ්ඩුවට සිදු වීම වැළැක්විය නොහැකිය. අප ඉහත කියන්නට තැත් කළ දෙවන ආකාරය වන්නේද අදාළ චෝදනාව පිළිබද විමර්ශනය කරන තැනකට යාමයි.

එසේ විමර්ශනයට යාම හේතුවෙන් මේ වන විට යම් යම් කරුණු අනාවරණය වෙමින් පවතිනවා පමණක් නොව විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව යම් යම් ක්‍රියාමාර්ග ද ගැනෙමින් පවතී. බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ සමාගමක් වන පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමග ගනුදෙනු පැවැත්වීය යන චෝදනාව මත මුදල් අමාත්‍ය වරයා ධුරයෙන් ඉවත් කිරීම එකී ක්‍රියාමාර්ග ගැනීමේ උච්චම ස්ථානයකි. එපමණක් නොව පර්පචුවෙල් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් ද මේ වන විට තහනම් නියෝග, සීමා පැනවීම් ආදිය සිදුව තිබේ.

මේ සියල්ල සැලකිය හැක්කේ ජනතාවගේ යහපාලන අපේක්ෂා යම් පමණකින් හෝ ඉටුවීමක් වශයෙනි. ඒකාබද්ධ විපක්ෂය වැනි ආණ්ඩු විරෝධී පාර්ශ්වයන්, ‘බැදුම්කරයෙන් ආණ්ඩුව අනාගත්තා නේද?, කියා අසන විට යහපාලනය වෙනුවෙන් පෙනීසිටි ජනතාවට ඔවුන්ට දිය හැකිව තිබූ සරලම පිළිතුර වුයේ ‘ඔවු වැරැද්දකුත් වෙලා ඇති, හැබැයි වැරදි යටගහන්නේ නැතිව පරීක්ෂණයකුත් කෙරෙනවා, යන්නයි.

බැදුම්කර ගනුදෙනුව වරදක් නම් එය නොවී තිබුණේ නම් හොඳ බවට තර්කයක් නැත. එහෙත් ඒ වරද සොයන්නට කොමිසමක් පත් කිරීම යහපත් එළඹුමක් බව කුහක නොවන කවුරුත් පිළිගත යුතුය. එයින් ආණ්ඩුව ඔප්පු කර ඇත්තේ යහපාලනය තුළ රැඳෙන්නට ආණ්ඩු උත්සාහ ගන්නා බැවිනි.

ඒ පරීක්ෂණ ඔස්සේ සිය නම් සදහන් වන විට සුජීව සේනසිංහලා කරන්නේ කොමිසමට ගල් ගැසීම නම් ජනවාරි 8 වෙනසට සම්මාදම් වූ බහුතරය එය අනුමත කරන්නේ නැත.

සුජීව සේනසිංහ පිළිවෙත අනුගමනය කරන්නේ නම්, එය අනුව යන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා ස්වේච්ඡාවෙන් බැදුම්කර කොමිසමට නොයනවා ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මුහුණදුන් කොමිසමට සිරිකොතේ සිට ගල් ගැසීමෙන් සුජීව සේනසිංහ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ දෙවූ කිරි කළයට ගොම මුසු කිරීම වැනි කටයුත්තකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට දිවිනොතකා කටයුතු කළ බව ද සේනසිංහ මහතා පවසා තිබුණි. ඔහුගේ ඒ ස්වරයේ තිබෙන්නේ අපි මෙමත්‍රි බලයට ගේන්න දරදිය ඇද්දා ඒ නිසා මෛත්‍රි අපේ වැරදි (සුජීව සේනසිංහ මහතා වරදක් කර ඇත්නම්) හොයන්න එන්න එපා යන අදහස නම් එය අනුමත කළ නොහැකිය. එසේ නොවන්නේ නම් මේ ආණ්ඩුවත් පැවති ආණ්ඩුවත් අතර වෙනස මැකී යන බැවිනි.

මිග් ගනු දෙනු ගැනත්, නැව් ගනුදෙනු ගැනත් සේනසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවේ දී මතුකර තිබුණි. එය සැලකිය හැක්කේ යහපාලන අපේක්ෂාවෙන් පෙළෙන ජනතාවගේ සිත්තුළ කලක් තිස්සේ පැසවන ප්‍රශ්නයක් සේනසිංහ මහතාගේ මුවින් ගිලිහීමක් වශයෙනි.

ආණ්ඩුවේ අවශේෂ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා ඊට දෙන උත්තරය කුමක්දැයි නොදන්නා නමුත් මෙරට ඡන්දදායකයා ආණ්ඩුවෙන් ජනපතිගෙන් පමණක් නොව සුජීව සේනසිංහ මහතා ගෙන් ද විමසනු ඇත්තේ ඒ ගැන ප්‍රශ්න කරන්නට මෙතරම් පමාවූයේ ඇයි යන්නය.

මිග් ගනුදෙනු නැව් ගනුදෙනු පිළිබද පමණක් නොව කෘෂිකර්ම අමාත්‍යාංශෆය් ගොඩනැගිල්ල වැනි දේ ගැනත් විමර්ශනය කරනු දැකීම යහපාලනය ගැන විශ්වාසය තබා සිටින පොදු ජනතාවගේ අපේක්ෂාවයි. ඒත් මේ වන විටත් ඒවා සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කරනු හැර කළහැකි අන් යමක් නොමැති බැවිනි. නමුත් ජනවාරි අට වෙනසට පෙර නම් ජනතාව අපේක්ෂා කළේ අලුත් ආණ්ඩුව යටතේ එවැනි දේ නොසිදුවනු ඇතැයි කියාය. සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් මනාපය ලකුණු කළ අය අතරින් බහුතරයද ඔහු මෙසේ හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු නොවන්නට ඇත. ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ, ආණ්ඩුවේ කුණු ටැප් එක ළග සේදීම නොවේ. වැරදි නොකරන ආණ්ඩුවක කොටස්කාරයකු වීමයි. වැරැද්දක් යම් අයකු කරන්නේ නම් ඊට දඩුවම් පැමිණ වීමයි. වැරදි නිවැරදි කර ගනිමින් හා නැවත වැරදි සිදු නොවන්නට වගබලා ගනිමින් යහ පාලන මාර්ගයේ ඉදිරියට යාමයි.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *