බුද්ධ ටැටූ කතාවේ නොදකින පැත්ත – නිශාන්ත කමලදාස

 බුද්ධ රූපයකට සමාන රූපයක් ටැටූ එකක් ලෙස අතේ කොටා ගත් විදේශ කාන්තාවක් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රටෙන් පිටුවහල් කරනු ලැබී ය. ඇය එම තීරණයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි තීන්දුව අනුව ඇයගෙන් සමාව ගැනීමටත් ඇයට වන්දි ගෙවීමටත් නියම විය.

ඒ ගැන ආරංචිය සමග, විමසන මනසකට ප්‍රශ්න කීපයක් ඇති වීම ද නිගමනය කීපයක් ඇති වීම ද වැළැක්විය නොහැකි ය. මේ ලිපියේ අරමුණ, ඒ නිගමන හා ප්‍රශ්න විමසීම හරහා, අපට වැරදී ඇති හා වැරදීමට නියමිත තැන් කීපයක් ගැන සංවාදයක යෙදීමට ය.

පළමුව රටේ පහළ අධිකරණයට සාපේක්ෂව ඉහළ අධිකරණය තවමත් පළල් ලෙස සලකා තීන්දු ගන්නා බව මෙයින් ගම්‍ය වේ. එය සතුටට කරුණකි. පහළ අධිකරණය ගන්නා වැරදි තීන්දුවක් සම්බන්ධයෙන් යම් සහනයක් තවමත් ලංකාව තුළ ලබා ගත හැකිය යන අදහස ම සතුටට හේතුවකි.

පැන නැගුණු එක් ප්‍රශ්නයක් නම් එසේ පිටුවහල් කරනු ලබන්නේ කුමන නීතියක් යටතේ ද යන්න ය. ඒ පහළ උසාවියට වැරදුන තැන සොයන්නට ය. එසේ වැරදුනේ ඇයි කියා සොයා බලන්න ය. ඒ නැවතත් එහෙම වැරදි නොකර ඉන්නට ය. නඩු තීන්දුව දී ඇත්තේ ඇය රට තුළ රැඳී සිටීමෙන් රටේ බහුතරයකගේ ආගමික හැගීම්වලට රිදවිය හැකි බව සලකා බලා ය. කෙනෙකුගේ ඇඟේ ‍කොටා ඇති පච්චයකින් තව පිරිසකට රිදෙන්නේ කෙසේ ද යන්න සලකා බැලුවේද නැද්ද යන්න පැහැදිලි නැත.

දන්තධාතුව වැඩම වූ හැටි

ඇය ටැටූ කර ගෙන ඇත්තේ බුද්ධ රූපයක් යැයි සහසුද්දෙන් කිව හැක්කේ කාට ද? ඉන්දියාවේ බොහෝ ආගමික ශාස්තෘන්ගේ රූප බුද්ධ රූපයට සමාන ය. ඒ සියල්ල ඉන්දීය සිත්තරුන් විසින් නිර්මාණය කරන ලද කලා කෘතීන් මිස බුදුන්ගේ ඡයාරූප නොවේ. ඒ නිසා ඇය ටැටූ කර ගෙන ඇත්තේ බුද්ධ රූපයක් ම දැයි නිශ්චය කළේ කවුරුන් ද?

දෙවැනුව බෞද්ධයන්ගේ හැඟීම්වලට රිදෙන්නේ බුද්ධ රූපයක් ටැටූ කර ගැනීම හරහා බුදුන්ට අගෞරවයක් වන්නේ නම් ය. එසේ වූයේ යැයි නිගමනයට පැමිණියේ කෙසේ ද? ඇය ම පසුව කියා ඇති විදිහට ඇය බෞද්ධයෙකි. ඇය එම රූපය කොටා ගෙන ඇත්තේ බුදුන්ට ඇති ගෞරවය නිසා ය. ක්‍රිස්තියානි දහම අදහන්නන් ජේසූස් වහන්සේගේ රූප මාලයක එල්ලා බෙල්ලේ එල්ලා ගන්නේ ජේසූස් වහන්සේට අගෞරව පිණිස නොවේ. ගෞරව පිණිස ය. ඇයගේ මේ ටැටූ ව අගෞරවයක් ලෙස ගන්නේ කෙසේ ද? එක් එක් රටවල මිනිසුන් ගැහැනුන් ගෞරව දක්වන්නේ වෙනස් අයුරිනි. එහෙම වෙනසක්වත් ඇතැයි පිළිගන්නට, එහෙම වෙනසකට ගරු කරන්නට, අපට නොහැකිව ඇත්තේ මන් ද?

ඇතැම් විට එසේ නිගමනය කර ඇත්තේ ඇය කාන්තාවක් නිසා විය හැකි ය. මා එසේ කියන්නේ දැන් කාලයේ ගැහැනිය බොහෝ දෙයින් බැහැර කිරීමට ආගමික ස්ථානවල පුරුද්දක් ඇතිවෙමින් තිබෙන නිසා ය. ඒ දැන් කාලයේ ප්‍රචලිත ව ඇති බමුණු මතයක් මිස පුරාණ ලංකාවේ තිබුණු මතයක් නම් නොවේ. (අප යමින් තියෙන්නේ ඉදිරියට නොව පස්සට ය. පෙර නොවූ බමුණු මත දැන් පහළ වන්නේ ඒ නිසා ය.)

දන්ත ධාතූන් වහන්සේ ලංකාවට ගෙන ආවේ හේමමාලී කුමරියගේ කෙස් කළඹේ සඟවාගෙන ය. එහෙත් දළදා මාලිගාව තුළ සමහර ස්ථාන කාන්තාවන්ට අකැප ය. ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ආවේ සංඝමිත්තා තෙරණිය ය. එහෙත් ඒ බෝ මළුව ම කාන්තාවන්ට අකැප ය.

ටැටූ එක නරක වන්නට ඇත්තේ එදා පැරණි ලංකාවේ නොතිබුණු දැන් පවතින බමුණු බුද්ධාගමට අනුව විය හැකි යැයි සිතුනේ ඒ නිසා ය.

ඇතැම් විට මේ කාන්තාව මෙසේ බුද්ධ රූපයක් අතේ කොටා ගෙන යෑමෙන් හිරිහැරයට ලක් වෙතැයි සද්භාවයෙන් පොලීසිය හා අධිකරණය කටයුතු කළා යැයි කෙනෙකුට හිතන්නට ද අවකාශ තිබේ.

එවිට මතුවන කාරණය නම් මේ කාන්තාව මෙසේ පිටුවහල් කරන්නේ නැතිව ඇයගෙන් මේ රූපය වසා ගෙන සංචාරයේ යෙදෙන ලෙසට කාරුණිකව ඉල්ලන්නට අපට නිහතමානිත්වයක් නො තිබුණේ ද යන්න ය. ප්‍රශ්නය අප මුලින් කී පරිදි ඇයට ම වන කරදරයෙන් බේරා ගැනීමට නම් කරන්න තිබුණේ ඒක ය. එහෙත් එහෙම වුවමනාවක් තිබුණු බවක් අපට වාර්තා වන්නේ නැත.

මේ නඩුව ගොනු කර ඇත්තේ සංචාරක පොලීසියවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවවත් නොවේ. අපේ රටේ සාමාන්‍ය පොලීසිය ය. එයින් පෙනී යන්නේ අදාළ ස්ථානවලට යොමු නොකරම ඉක්මනින් ඇයට දඬුවම් කර පිට කිරීමේ වුවමනාවක් ද බුද්ධාගමේ නාමයෙන් යමක් කරන්නට අවස්ථාවට සම්බන්ධ වූ අයට ඊටත් වැඩි වුවමනාවක් ද තිබෙන්නට ඇති බව ය.

ලෝකය ඉදිරියේ පල්ලම් බැහීම

සමහර අය කැමති තමන් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින බව කියන්නට ය. පෙන්වන්නට ය. මේ ඒ සඳහා හොඳම අවස්ථාවකි. ඇතැම් විට එය අපමණ කැමැත්තෙන් භාවිතා වුණා වෙන්නට ද පුළුවන. ඒ නිසා ම ඔවුන් තාවකාලික වීරයන් වූවා ද විය හැකි ය.

එහෙත් ඒ සියල්ලෙන් වුණේ ලෝකය ඉදිරියේ අප ද සවුදි අරාබිය දක්වා පල්ලම් බැහීම ය. ආගම නිසා නිදහස අහිමි කරගත් ජාතියක් හැටියට ලෝක සිතියමේ ලකුණු කර ගැනීම ය.

ඒ පාප කර්මයෙන් පමා වී හෝ අප ගලවා ගැනීම ගැන ඒ විදෙස් කාන්තාවට අපි අපේ තුතිය පුද කළ යුතු ය. ඇය රටේ උසස් අධිකරණයට තමන්වත් අඩු තරමින් එසේ නොවේ යැයි කියන්නට අවස්ථාවක් ලබා දුන්නා ය. ඒ නිසා ම ඇයට අපේ ගෞරවය හිමි විය යුතු ය. ඒ අවස්ථාව භාවිතා කළ උත්තර අධිකරණයට ද අපේ ප්‍රණාමය හිමි විය යුතු ය.

එසේ වන්නේ මේ වන්දිය ගෙවීම සඳහා පිණ්ඩපාතේ වඩින්නට සංඝයා වහන්සේලා තීරණය නොකරන්නේ නම් පමණකි. නැත්නම් වන්නේ නැවත වතාවක් අප ආපස්සට යෑම ය. නා ගැනීම ය. අප එසේ කීවේ බොහෝ දේට මුණිවත රකින සංඝයා වහන්සේලා බොහෝ දෙනෙකු මෙවැනි තැනක ආවේගශීලිව ඉදිරිපත් වෙනු දැක ඇති නිසා ය.

අපේ රටේ මිනිසුන් කොහොමටත් සුද්දන්ව ආණ්ඩු මට්ටු කරන්නට ලැබෙන්නේ නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කැමති ය. ඒ උන් අපට කළ දෙයට ප්‍රති උත්තර දීමේ අවස්ථාව ලැබෙන නිසා ය. විශේෂයෙන් උන් අපේ රටේ දී, අප කියන විදිහට හිටියා ම, අපට නම්බුවක් ලැබේ යැයි අපට හිතෙන්නේ ය.

ඒ වුණත් අප තේරුම් ගත යුත්තේ මේ එන්නේ අප ආණ්ඩු මට්ටු කළ සුද්දා නොවන බව ය. අපට විදේශ විනිමය ගෙන එන සංචාරකයින් බව ය. ආණ්ඩුව වෙනම සංචාරක පොලීසියක් ඇති කර තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයට අවැඩක් නොවන හැටියට විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් විසින් පමණක් මේ සංචාරකයින් සමග කරන ගනුදෙනුවක් කළ යුතු නිසා ය. ඒ නිසා ම මේ ගැන සංවේදී වීමට අපේ රටේ සාමාන්‍ය පොලීසිය ද ජනතාව ද අප විසින් පුරුදු පුහුණු කළ යුතු ය.

වගකිව යුත්තේ

සුද්දා සමග ගනුදෙනුවේ දී අතීත වග සිහිපත් කරමින් හීනමානයක් ඇති කර ගැනීම වෙනුවට ඔවුන් ලෝකයේ අප වැනි ම සහෝදර ජන කොට්ඨාසයක් ලෙස බැලීමට අපට උගත යුතු ය. එවිට බොහෝ ප්‍රශ්න මග හරවා ගත හැකි ය. ඔවුන් අමාරුවේ දමා ගාන කපා ගැනීමට මාන බලන මිනිසුන් කරන්නේ සුද්දාට හිරිහැරයක් වීම පමණක් නොවේ. මේ රටට මුදල් ගෙනෙන සංචාරක ව්‍යාපාරයට හතුරු කමකි. ඒ කෝණයෙන් මේ දෙස බලන්නට ජනතාව පෙළඹවිය යුතු ය. මේ සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය භාරව ඇති කප්පරක් ආයතනවලට ද වගකීමක් පැවරේ. ඒ සංචාරකයන්ට නිදහසේ හැසිරිය හැකි සුහද පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජන මනස වෙනස් කිරීමට උර දීම ය.

අපේ රටේ භාෂාවෙන් කියතොත්, අජාන් බ්‍රහ්මවංශ හිමියන්, සංඝයා වහන්සේ කෙනෙකුට අමතරව, සුද්දෙක් ද වෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය ද උන්වහන්සේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ය. ඒ කියන්නේ නිකම් සුද්දෙක් නොව පට්ට සුද්දෙක් බව ය.

එක් ජනමාධ්‍යවේදියෙකු උන් වහන්සේ අමාරුවේ දමනු පිණිස ප්‍රශ්නයක් නගා තිබේ. ඒ ඔබ වහන්සේ ඉදිරියේ දී කවුරුන් හෝ සද්ධර්මය අඩංගු පොතක් කක්කුස්සිවලකට විසි කළොත් ඔබ වහන්සේ කුමක් කරන්නේ ද යන්න ය. මඳක් කල්පනා කළ උන්වහන්සේ කීවේ තමන් පයිප්ප වැද්දුම්කරුවෙකු කැඳවන බව ය. හේතුව පැහැදිලි ය. මේ නිසා සිදු විය හැකි ලොකු ම ප්‍රශ්නය නළ මාර්ගය අවහිර වීම ය. වෙනත් විදිහකින් උන් වහන්සේ කීවේ ඉතිරිය ඒ තරම් සැලකිය යුතු නැති බව ය. අපේ රටේ දී නම් උත්තරය හාත් පසින්ම වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ කතාව අපට කියන්නේ සුද්දන්ගෙන් පමණක් නොව සුදු හාමුදුරුවන්ගෙන් ද ඉගෙනීමට බොහෝ දේ අපට තිබෙන බව ය. ආගමකට අපහාස කිරීමට ඔවැනි ක්‍රියාවලින් බැරි බව ය. බුදු රජුන්ට අපහාස කිරීමට පින්තූරයක් ඇඟේ කොටා ගැනීමෙන් බැරි බව ය.

බෞද්ධ හාමුදුරුවරු

බොහෝ පන්සල්වල එල්ලා ඇති දැන්වීම්වලින් කියන්නේ පාවහන් හිස් වැසුම් ගලවා ඇතුළු වන ලෙස ය. වල්පොල රාහුල ධර්මායතනය අභියස එවැනි දැන්වීමක් නැත. ඒ වෙනුවට ඇත්තේ ජාති ආගම් කුල බේද පසෙක තබා ඊට ඇතුළු වන ලෙස ය. ඉගෙන ගන්නට සුද්දා ම වුවමනා නැති බවත් අපේ ධර්මධර භික්ෂූන් වහන්සේලාගෙන් ද අපට ඉගෙනුමට දේ ඇති බවත් ඒ දැන්වීමෙන් අපට ලැබෙන පණිවුඩය ය. එහෙත් අවාසනාවට අප රටේ බහුතර භික්ෂූන් වහන්සේලා අයත් වන්නේ ඒ කුලකයට නොවේ. ඊටත් අමතරව අප කී වර්ගයේ ස්වාමීන් වහන්සේලාට මාධ්‍ය තුළ ඉඩක් නොලැබේ. ඔවුන් කුණු නොඅවුස්සන නිසා ය. ඒ නිසා ඔවුන්ගේ වචනය අසන්නට අප වාසනාවන්ත නැත. අපට සුදු හාමුදුරුවන්ගෙන් ඉගෙනීමට සිදු ව ඇත්තේ ඒ නිසා ය.

සුදු කාන්තාව සම්බන්ධ සිද්ධියේ දී අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමිගේ මැදිහත් වීම ද අගය කළ යුතු ය. උන්වහන්සේ ප්‍රශ්න කළේ ටැටූ සලකුණක් සහිතව තායිලන්තයෙන් වැඩම කරන හිමිනමකුත් මෙසේ පිටුවහල් කිරීමට ශ්‍රී ලාංකිකයන් විසින් කටයුතු කරනු ඇත් ද යන්න ය. උන්වහන්සේ තවදුරටත් ප්‍රශ්න කර සිටියේ සිවුරක් දරණ නිසා වෙනස් යැයි සලකා සංඝයා වහන්සේ කෙනෙක් අමෙරිකාවෙන් පිටුවහල් කරනු ලබන්නේ නම් එය සාධාරණ ද යන්න ය. උන් වහන්සේ ඇරෙන්නට මේ ගැන හඬ අවදි කළ හාමුදුරුවන් සිටියා නම් ඒ අල්ප ය. උන්වහන්සේගේ හඬට ද අවසර ලැබී තිබුණේ සිංහල පත්තරයකින් නොව ඉංග්‍රීසි දි අයිලන්ඩ් පත්තරයෙන් ය.

බුදු දහම වෙනුවෙන් කැරලි ගැසූ කතක්

මේ කාන්තාව ජීවත් වන්නේ ක්‍රිස්තියානි රටක ය. බුද්ධ රූපයක් පච්ච කොටා ගැනීමෙන් ඇය ගෙන ඇත්තේ අවදානමකි. ඇයගේ සමාජය ඉදිරියේ වෙනත් ආගමිකයෙක් හැටියට පෙනී සිටීම ම අවදානමකි. ඒ රටවල මිනිසුන් වෙනස්කම් දරා ගන්නට අපට වඩා පුරුදුව ඇති නිසා එහි දී ගන්නා අවදානම අපේ රටකට වඩා අඩු විය හැකි ය. එහෙත් එය පැහැදිලි අවදානමකි. සෙසු අයට වඩා වෙනස් ලෙස පෙනී සිටින්නන්ට කවර සමාජයක වුව සියුම් ප්‍රශ්න ඇති වේ. ඒ නිසා ඇය සැලකිය යුත්තේ බුදු දහම වෙනුවෙන් කැරලි ගැසූ කාන්තාවක් හැටියට ය. ඒ බව මතු කර පෙන්වීමට ද උන්වහන්සේ සිය ලිපිය මගින් උත්සහ දරා තිබිණි.

එහෙත් එහෙම පැත්තක්වත් තිබිය හැකි යයි කරදිය වළල්ලෙන් එහාට පියා නගා නැති අපේ දූපත් වැසියන්ට දැනුණේ නැත. තායිලන්තයේ බුද්ධ රූප මාලයකට ගොනු කිරීම ද ශරීරයේ ටැටූ කිරීම ද සිරිතකි. ඔවුන්ගේ විශ්වාසයට අනුව බුදුන් තමන් ආසන්නයේ, නිතර නෙත ගැටෙන මානයේ, සිටීම ම බුදුන් අනුගමනය කිරීමට පොළඹවන්නකි. මිනිසුන් වෙනස් බව නොදකින, ඒවා නොඉවසන, කෙනෙකුට තායිලන්තය පෙනෙනු ඇත්තේ බුදුන්ට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන්ගේ දේශයක් ලෙස ය.

මේ ටැටූ සිද්ධිය පිළිබඳව ලංකාවේ වෙසෙන බෞද්ධ භික්ෂූන් පමණක් නොව බහුතරයක් බෞද්ධ විද්වතුන් ද මුවින් නොබැණ සිටියේ ඔවුන්ගේ ඥානය ද මෙසේ ගැට ගසා ඇති නිසා ය. නිවහල් නැති නිසා ය. එය කාන්තාවක්, විශේෂයෙන් ඒ බොහෝ දෙනෙකුට අදාළ නැතැයි සැලකෙන විදෙස් කාන්තාවක්, හා සම්බන්ධ පෞද්ගලික ප්‍රශ්නයක් හැටියට ගත්තා විනා ගැඹුරින් විමසිය යුතු සංවාද කළ යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිල්ලට යොමු වුණේ නැත. යම් හඩක් නැගුනා නම් ඒ මූණු පොත වැනි සමාජ ජාලා තුළ ය.

ඒ සංවාදය තුළ පවා අප දුටුවේ ටැටූ කළ කාන්තාව පමණක් නොව ඇය වෙනුවෙන් පෙනී සිටි, හැගීම්වලින් වියුක්තව තර්කයට ආයාචනා කළ, මිනිසුන් ද කුණුහරුපවලින් සංග්‍රහ ලැබූ බව ය.

පටු අදහස්වලින් නිදහස් සෙවීම

තාගෝර් විසින් දුටු මහගමසේකරයන් විසින් වචනයට නැගුණු ගීයක් මෙහි දී අපේ මතකයට නැගේ. ඒ ගීයෙන් කියන පරිදි මෙය තර්කයේ නිර්මල ජල ධාරාව ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නොපෙනී ගිය තවත් අවස්ථාවකි. හැගීම්වලින් ප්‍රලය වුණු කල ඇත්ත යුක්තිය පැහැදිලිව පෙනෙන්නේ නැත. එහෙම සමාජයක බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිය නොහැකි ය. ඥානය පටු අදහස්වලින් බැඳ තැබූ විට එයට සත්‍යය දකින්නට නොහැකි ය. අමරදේවගේ කටහඬින් ගැයෙන පටු අදහස් නම් පවුරින් ලෝකය යන ගීය නැවත නැවතත් අප ඇසිය යුත්තේ ඒ නිසා ය.

නඩු පැවරීම මගින් ද නඩුව ජය ගැනීම මගින් ද අපේ විදෙස් මිතුරිය ටැටූ කතාව පිටුපස ඇති ඛේදවාචකය නැවතත් සංවාදයට භාජනය කළ හැකි, කළ යුතු, යමක් ලෙස ජන ගත කර තිබේ. අපව මේ ගැන ලියන්නට පෙළඹුණේ ද ඇය විසින් මතු කළ ඒ පණිවුඩය ය. රතු එළිය ය.

(මේ ලිපියේ සඳහන් ඇතැම් තොරතුරු ලබා ගත්තේ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වීරකෝන් විජේවර්ධන මහතාගේ ඩේලි එෆ්ටී හි පල වූ ලිපියකිනි. එවැනි තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එතුමාට ද අපේ ස්තුතිය හිමි විය යුතු ය.)

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *