සිවුවන ආණ්ඩුවේ සටන් සගයා – දුමින්ද සම්පත්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය හෙටට යෙදේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කර දශක දෙකහමාරක් ගතව ඇත. මේ කාලය තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කළ අරගල රැසකි. එහි උච්චතම අවස්ථාව පසුගිය රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා කළ අරගලය බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ උතුරේ යුද්ධය පවතින සමයේ මාධ්‍ය වෙත වාරණ රැසක් පැනවුණි. ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහරදීම, අතුරුදන් කිරීම, තර්ජනය සහ බියවැද්දීම වැනි බලපෑම් රැසක් මාධ්‍යයට එල්ල වුණි.

මාධ්‍ය වෙත එල්ල වූ බලපෑම් හමුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනෙකුත් මාධ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සමඟ එක්ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟුවේය. මේ නිසාම එහි සමහර නායකයිනට ජීවිත ආරක්ෂාව සඳහා රට හැර යාමට ද සිදුවිය. මෙකී තත්ත්වය තුළ ඉතිහාස‍යේ කිසිදු දිනෙක නොගත් දේශපාලන තීන්දුවක්ද ගන්නට සිදුවිය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රටේ පොදු ගැටලු හමුවේ මැදිහත්වීම් කළද දේශපාලන බල අරගලවලදී මැදිහත් කරුවකු වී සිටියේ නැත. ඔවුන් ප්‍රථම වතාවට 2015 ජනපතිවරණය සඳහා ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. රටක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවන පරිසරයක ජනමාධ්‍ය නිදහස ඇතිවිය නොහැකිවීම ඊට පදනම වූවා විය හැකිය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් මූලික සාකච්ඡා ආරම්භවන 1989 – 90 යුගය ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව භීෂණය ගොඩනැඟුණු යුගයකි. එකලද මෙරට මාධ්‍ය වෙත දැඩි පීඩනයක් මුදා හැර තිබිණි. මෙකී සමය තුළ ජනමාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසක් පහර කෑම්වලට ලක් වූ අතර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගොස් මරා දමා තිබියදී කොරළවැල්ල වෙරළ තීරයේදී හමුවිය.

ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට සහ භීෂණයට මුහුණදීම සඳහා මාධ්‍යවේදීන් සංවිධානයවීමේ අවශ්‍යතාව ගැන හඬක් නැ‍ඟෙමින් තිබුණේ මෙවැනි වටපිටාවකය. කලක් තිස්සේ මෙරට ජනමාධ්‍යවේදීන් තුළ මතුවෙමින් තිබූ අවශ්‍යතාව සපුරාලමින්, පළමු සාකච්ඡාව 1991 වසරේදී රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් මාවතේ පිහිටි රාවය පුවත්පත් කාර්යාලයේදී පැවැත්වුණි. 1991 වසරේදීම තවත් සාකච්ඡා දෙකක් පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1992 වසරේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිහිවිණි.

එතැන් සිට අද දක්වාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස, මාධ්‍ය ප්‍රතිසංස්කරණ සහ රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය. මේ නිසාම විවිධ ආණ්ඩු යටතේ මෙකී ව්‍යාපාරයට එල්ල වූ චෝදනා රැසකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ත්‍රස්තවාදීන්ට උදව් දෙන සංවිධානයක් බවත් එය රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ආණ්ඩු විරෝධී, ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට ගතු කියන, සංවිධානයක් ලෙසත් පසුගිය කාලයේ හංවඩු ගසන ලද්දේ පැවති ආණ්ඩුවලට සිදුකළ බලපෑම් නිසාමය.

ඕනෑම රාජ්‍යයක් අසමත් වෙද්දී පළමුව ප්‍රහාරයට ලක්වන්නේ ජනමාධ්‍ය සමාජයය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු අනෙකුත් මාධ්‍ය සංවිධාන මේ සත්‍යය හොඳින්ම අත්දැක්කේය.

මෙරට ආණ්ඩු විසින් සිදුකරන ජනතා විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව, පළමුව නැඟීසිටින්නේ ජනමාධ්‍ය සංවිධානයි. ඉන්පසුව බිහිවන ආණ්ඩු වසරක් දෙකක් මාධ්‍ය සංවිධාන සමඟ සුහදතාවයෙන් කටයුතු කළද ඔවුනගේ වැරදි හමුවේ ජනමාධ්‍ය සංවිධාන ක්‍රියාත්මක වනවිට ඊට එරෙහිව රාජ්‍ය බලය යෙදවීම පසුගිය රජයන් යටතේ සිදු විණි.

නිදහස් මාධ්‍ය ව්‍යාප­ාරය 2015 දී දේශපාලනමය තීන්දුවක් ගනු ලැබූවේ මෙවැනි වටපිටාවක වුවද ඔවුනගේ දැක්ම සහ මෙහෙවරට ඉන් බලපෑමක් සිදු නොවනුයේ රටේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මකවීම සමාජ වගකීමක් ලෙස ඔවුන් දකින බැවිණි.

සමාජ වගකීමකින් යුත් මාධ්‍ය සංස්කෘතියක් සහිත සමාජයක් ගොඩනැඟීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැක්මවන අතර සමාජ ප්‍රගමනයට දායකවන සමාජ වගකීමක් ඇතිව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා මාධ්‍යවේදීන් පුහුණු කිරීම, ජනමාධ්‍යයට අදාළ පර්යේෂණ කිරීම හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා යෝග්‍ය පරිසරයක් සැකසීමට බලපෑම් කිරීම සහ ජාලගතකරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙවර වේ.

එම ව්‍යාපාරය බහු වාර්ගික බහු ආගමික විවිධත්වය පිළිබඳද සංවේදීව කටයුතු කරන ආයතනයකි. එමෙන්ම එය ගෙවීගිය විසිපස් වසර පුරාම ඔවුන් මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදුකළ කාර්යභාරය සුළුපටු නොවේ. 1992 ජුනි 03දා සිට 1993 මාර්තු 03 දා දක්වා රැස්වීම් 19ක් දිවයින පුරා පැවැත්වූයේ ‘සත්‍ය ප්‍රකාශ කිරීමටත්, සත්‍ය දැනගැනීමටත් ඇති අයිතිය සුරකිමු’ තේමාව යටතේය. ඉන් අනතුරුව ‘මාධ්‍යවේදීන්ට අතනොතබනු’ තේමාව යටතේ විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළේය. එතැනින් නොනැවතුණු ඔවුන් 1993 සිට 1994 කාලයේදී ‘යුද්ධය හා ජනමාධ්‍ය’ නමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන්නට හඬ නැගීය.

පොදු පෙරමුණු ආණ්ඩුව 1994 වසරේ ජයග්‍රහණය කරනුයේ ද මේ වකවානුවේය. එහිදී බලපෑම් කළ කණ්ඩායමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කැපී පෙනුණි.

පොදු පෙරමුණු ජයගත් පසු මාධ්‍ය නිදහස ලබාගැනීමට අදාළ යෝජනා 14ක් සහිත නිවේදනයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවති ආණ්ඩුව යටතේ ජනමාධ්‍යයට එරෙහිව වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට ඉල්ලීම් කළේය.

මෙකී ඉල්ලීම් ඉටු නොවූ තැන එම පාලනය යටතේ පත්වූ ප්‍රථම මාධ්‍ය ඇමැතිවරයා වූ ධර්මසිරි සේනානායක මහතා හමුවී කරුණු ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කමිටු හතරක් පත්කොට වාර්තා ද නිකුත් වූ නමුත් එකී වාර්තා ක්‍රියාවට නැඟුණේ නැත.

1996 වසරේදී ගුවන් විදුලි සංස්ථාව නව ආධ්‍යාපන සේවය නවතා දැමීමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ලබාගත් ඓතිහාසික තීන්දුව පිටුපස සිටියේද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී අංග සහිතව 1997 අප්‍රේල් මස ගෙනා ශ්‍රී ලංකා විකාශන අධිකාරී පනතට එරෙහිව විරෝධතා දියත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ මාධ්‍යවේදීන්ට එරෙහිව බලපෑ කොටස් ඉවත් කර ගැනීමේ අරගලයේ කොටස්කරුවකු විය.

පළාත් සභා මැතිවරණ කල්දැමීමට එරෙහිව 1998 සැප්තැම්බර් 03 දා ගොනුකළ පෙත්සම වෙනුවෙන් 1999 දී ජයග්‍රාහී තීන්දුවක් ලබා ගත්තේය. ඉන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරිණි.‍‍‍

මාධ්‍යවේදීන්ට එරෙහිව භාවිත වූ සාපරාධී අපහාස නීතියට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද අඛණ්ඩ අරගලයක නිරත විය. 2001 දී බලයට පත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය ඉවත් කළේය.

මෙරට ජනමාධ්‍යයට දැඩි බලපෑම් එල්ල වූ පසුගිය දශකයක පමණ කාලයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ තර්ජනයන්ට මුහුණපෑවේය. එහි නායකයිනට ජීවිත තර්ජන පවා එල්ල විය. ඒ පිළිබඳ නොතකමින් ඔවුන් මාධ්‍ය සමාජය සහ රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීම මෙන්ම මාධ්‍යවේදීන්ට පහරදීම, ජීවිත තර්ජන, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම් වැනි දෑ සිදුවූ මේ යුගයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම කැපී පෙනුණි.

රටේ සමස්ත මාධ්‍ය ක්‍රියාකාරීත්වයම පාලන බලය ගෙන ගිය කණ්ඩායමේ ග්‍රහණයට නතුව තිබුණු යුගයක “කළු ජනවාරිය” විරෝධතා ව්‍යාපාරය අනෙකුත් මාධ්‍ය සංවිධාන සමඟ එක්ව අරඹමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

ශ්‍රී ලංකාවේ මානවහිමිකම් සහ ජනමාධ්‍ය නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ කවුන්සිලයට තොරතුරු ලබාදීමටත්, එහි පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර දෙන්නටත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කළේය. ‍

කොළඹ ප්‍රකාශනයේ කොටස්කරු‍වකු වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය, ප්‍රකාශකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ඇතිකරගත් පුවත්පත් ආයතනය, ජනමාධ්‍ය විද්‍යාලය සහ මාධ්‍යයේ ස්වයං නියාමනය වෙනුවෙන් පිහිටවූ පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය ද නියෝජනය කරයි.

සෑමවිටම ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඔවුන් තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් ද සුවිශාල කාර්ය භාරයක් ඉටුකළේය. තොරතුරු දැනගැනීමේ පනත 2016 වසරේ ජූනි මස යහපාලන ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතිකරගත් ජාත්‍යන්තර සබඳතා මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාකාරී මෙහෙවරක් ඉටුකරන්නට යොදාගත්තේය. ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලොව ප්‍රධානතම සංවිධානය වන අයිෆෙක්ස් සංවිධානයේ සාමාජිකත්වය ද ලොව වැඩිම ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය දරන ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ ෆෙ‍ඩරේෂනයේද (IFJ) සාමාජිකත්වය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලබාගෙන ඇත.

දුමින්ද සම්පත්

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *