විජේදාස නොදන්නා දේ – එම ඒ ඕ ද සොයිසා

ජනවරම මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ බෙහෙවින් කතාබහට ලක්වන තවත් උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම කථාබහට පාදක වී තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දේශපාලන සංසිද්ධියයි. එය කිරීමට සම්මුති ආණ්ඩුවට ජනවරමක් තිබේද?

වෙනත් ආකාරයකට කියනවා නම් එය කිරීම සඳහා සුජාතභාවය සහිත ජනතා අනුමැතියක් ආණ්ඩුවට තිබේද? සමහරු ප්‍රකාශ කරන ආකාරයට එසේ කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් නැත. මේ මතය ප්‍රකාශ කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට එරෙහිව පෙළගැසී සිටින ආණ්ඩු විරෝධී පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් පමණක්ම නොවේ. ආණ්ඩු පාර්ශ්වයේ සිටින සමහර මැති ඇමතිවරුන්ද මේ අදහස වරින් වර ප්‍රකාශ කරන ආකාරය ජනමාධ්‍ය තුළ පළවන ප්‍රවෘත්ති දෙස බලන විට පෙනේ. නිදසුන් ලෙස එස්. බී. දිසානායක අමාත්‍යවරයා මේ අදහස කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. මෙම මතය වඩාත් ප්‍රබල අයුරින් ඉදිරිපත් කළේ හිටපු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ විසිනි.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට මේ රටේ ජීවත් වන මිලියන 22 ක් පමණ වූ ජනතාවගෙන් සම්මුති ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ලක්‍ෂ 62 ක් තරම් වූ සුළු ප්‍රමාණයක්ය. එනම් ලක්‍ෂ 220 න් ලක්‍ෂ 62 ක් පමණක්ය. ප්‍රතිශතයක් ලෙස ගතහොත් ආසන්න වශයෙන් මුලූ ජන සංඛ්‍යාවෙන් 30% ක් තරම් ප්‍රමාණයක්ය. මේ අනුව ආණ්ඩුවට තිබෙන ජනවරම ඉතාම කුඩා එකකි. එවැනි සුළු ජනතා වරමක් තිබෙන ආණ්ඩුවකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලය හෝ අයිතිය තිබෙනවාද? විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ තර්කය වන්නේ එවැනි බලයක් සම්මුති ආණ්ඩුවට නොමැති බවය. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මුලූමණින්ම නීතියට පටහැනි නීති විරෝධී දෙයක් ලෙස ඔහු තර්ක කරයි.

විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ මෙම තර්කය මගින් සැබෑ සත්‍ය නිරූපණය කරන්නේද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සම්බන්ධයෙන් අවසාන නිගමනයකට ඒමට ප්‍රථමයෙන් සළකා බැලිය යුතු කරුණු දෙකක් තිබේ. එයින් එකක් වන්නේ ජනවරම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. දෙවැන්න වන්නේ බලයේ සිටින සම්මුති ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැබෑ ලෙසම ජනවරමක් තිබෙනවාද නැතිද යන්නය. ජනවරම යන්නෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට නැතිනම් ආයතනයකට යම් දෙයක් කිරීමට හෝ නොකර සිටීමට ජනතාව විසින් බලය පැවරීම හෝ අනුමැතිය දීම හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමය.

මෙහි දී ජනතාව යනුවෙන් අදහස් කරන්නේ රටක ජීවත් වන සියලූම දෙනා නොව ඡන්ද බලය හිමි ඡන්දදායකයින් පමණක්ය. මෙයින් පැහැදිලි වන්නේ ජනවරම යන දේශපාලන මෙවලම ක්‍රියාත්මක වන්නේ රටක ජීවත් වන මිනිසුන් පදනම් කරගෙන නොව එ රට වාසය කරන ඡන්ද බලය හිමි ඡන්දදායකයින් පදනම් කරගෙන බවය.

යම් අවස්ථාවක බලයේ සිටින ආණ්ඩුවකට ඇති ජනවරමේ ප්‍රමාණාත්මකභාවය තීරණය කරන්නේ කෙසේද? මේ සඳහා භාවිතයට ගතහැකි දේශපාලන මෙවලම් වන්නේ මැතිවරණ සහ ජනමත විචාරණ පැවැත්වීමය. නමුත් මෙම මෙවලම් නිතර නිතර භාවිත කළහැකි දේවල් නොවේ. හේතුව ඒවා භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු රාශියක් තිබීමය. එසේ වූවද මේ මෙවලම් දෙක හැරුණු විට ඒ සඳහා භාවිතයට ගතහැකි විකල්ප මෙවලම්ද ඇත්තේ නැත.

සාමාන්‍යයෙන් මැතිවරණ පවත්වන්නේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තෝරා පත්කර ගැනීම හරහා ආණ්ඩුවක් සංස්ථාපනය කර ගැනීමටය. ජනමත විචාරණ පවත්වන්නේ බලයේ සිටින ආණ්ඩුවක් ක්‍රියාවට නැංවීමට අදහස් කරන වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් සඳහා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමද අවශ්‍යයැයි සළකන්නේ නම් එම අනුමැතිය ලබා ගැනීමටය.

සාමාන්‍යයෙන් මැතිවරණ පැවැත්වීම ඒ ඒ රටවල් පවතින මැතිවරණ නීතිරීති අනුව අවුරුදු හතරේ සිට හයක හතක තරම් කාල පරාසයක් තුළ පැතිරී යන ස්ථාවර පදනමක් මත කෙරෙන දෙයක් වන අතර ජනමත විචාරණ පැවැත්වීම කෙරෙන්නේ ඉතාමත්ම කලාතුරකින්ය. සමහර රාජයයන් තුළ ජනමත විචාරණ පැවැත්වීම කරන්නේම නැත. මේ අනුව පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩුවකට තිබෙන ජනවරමේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා තිබෙන ප්‍රධානම සහ වැදගත්ම නිර්ණායකය මැතිවරණ වන බවය. මැතිවරණයක දී ඡන්දදායකයින් ප්‍රකාශ කරන කැමැත්ත පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩුවට තිබෙන ජනවරමේ ස්වභාවය මණිනු ලබයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම තුළ ආණ්ඩු බලයට පත්වන්නේ මැතිවරණවල දී ඡන්දදායකයින් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය අනුවය. මේ අනුව යම් මැතිවරණයක දී ඡන්දදායකයින්ගේ බහුතර කැමැත්ත දිනා ගන්නේ යම් දේශපාලන පක්‍ෂයක්ද නැතිනම් ස්වාධීන කණ්ඩායමක්ද එම දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම ආණ්ඩු බලය මෙහෙයවීම සඳහා ජනතා වරම හිමිකර ගත් පක්‍ෂය හෝ කණ්ඩායම ලෙස පිළිගැනීම යන සිද්ධාන්තය පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවේ. මෙම සිද්ධාන්තයෙන් අවධාරණය වන කරුණු කිහිපයක් තිබේ. එයින් එකක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යනු යම් දේශපාලන ක්‍රමයක් තූළ ජීවත් වන සියලූම ඡන්දදායකයින්ගේ පොදු අභිමතය හෝ පොදු කැමැත්ත හෝ පොදු එකඟතාව හෝ පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුකරණයක් නොවන බවය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාත්මක වන්නේ බහුතර කැමැත්ත සහ එම කැමැත්තට සුළුතරයේ ඇති එකඟතාව යන සිද්ධාන්තය පදනම් කර ගෙනය.

දෙවන කරුණ වන්නේ යම් මැතිවරණයක දී ආණ්ඩුවට ලැබුණු ජනවරමේ ප්‍රමාණය නැතිනම් මට්ටම තීරණය කරන්නේ මැතිවරණයේ දී එයට සහභාගි වෙමින් ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයින් තම කැමැත්ත ප්‍රකාශ කළ ආකාරය පදනම් කොටගෙන මිස රට තුළ ජීවත් වන සියලූම ඡන්දදායකයින්ගේ ප්‍රමාණය පදනම් කොටගෙන නොවන බවය. තුන්වන කරුණ වන්නේ යම් මැතිවරණයක දී බහුතර ඡන්දදායක කැමැත්ත

ලබාගෙන බලයට පත්වන දේශපාලන පක්‍ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට තමන් මැතිවරණ අවස්ථාවේ දී ඡන්දදායකයින්ට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත ප්‍රතිපත්ති හෝ පොරොන්දු රාජ්‍ය ප්‍රතිපත්ති බවට පරිවර්තනය කොට ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ජනවරම සහ සුජාතභාවය හිමිවන බවය.

මීළඟට සළකා බැලිය යුත්තේ සම්මුති ආණ්ඩුවට තිබෙන ජනවරමේ ස්වභාවය පිළිබඳය. 2015 වර්ෂයේ පැවැත්වුණු ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී සිටි මුළු ඡන්දදායකයින්ගේ ප්‍රමාණය 15044490 ක් වූ අතර එයින් 81.52 ක් හෙවත් 12264377 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි’. එම ප්‍රමාණයෙන්

ජයග්‍රාහී අපේක්‍ෂයා වූ මෛත්‍රිපාල සිරිසේන ඡන්ද 6217162 ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 51.28 ක් ලබාගෙන තිබුණ අතර පරාජිත අපේක්‍ෂයා වූ මහින්ද රාජපක්‍ෂ ලබාගෙන තිබුනේ ඡන්ද 5768090 ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 47.58 ක් පමණි. මෙම ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාට අමතරව තවත්

අපේක්‍ෂකයින් 17 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිඅතර ඔවුන් සියලු දෙනාම ලබාගෙන තිබුණේ ඡන්ද 138200ක් පමණි. මෙම ඡන්ද සංඛ්‍යාවද මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රාහී අපේක්‍ෂකයාට එරෙහිව ප්‍රකාශ කළ ඡන්ද ලෙස උපකල්පනය කොට ප්‍රධාන ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට එකතු කළහොත් ලබාගත් මුලූ ඡන්ද සංඛ්‍යාව 5906090 ක් වේ. මෙම සංඛ්‍යාව ජයග්‍රාහී අපේක්‍ෂයා ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් අඩුකළ විට පවා පෙනී යන්නේ ජයග්‍රාහී අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන අනෙක් සියලුම අපේක්‍ෂයින්ට වඩා ඡන්ද 311072 ක් ලබාගෙන තිබෙන බවය.

2015 අගෝසතු මාසයේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ලියා පදිංචි වූ ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 15044490 ක් වූ අතර එයින් ඡන්දදායකයින් 11684098 ක් හෙවත් 77.66 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එයින් රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ තරග කළ එක්සත් ජාතික පෙරමුණට ඡන්ද

5098916 හෙවත් ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 45.66% ක් හිමි වූ අතර මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 4732664 ක් හෙවත් ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 42.38% ක් හිමිවිය. මෙම ප්‍රධාන කණ්ඩායම් දෙකට අමතරව මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක්

දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ප්‍රමාණය 12 ක් සහ වෙනත් වශයෙන් නම් කළ අපේක්‍ෂයින් කිහිප දෙනෙක්ද විය. මේ සියලු දෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණය 1335395 ක් හෙවත් ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 12% ක් පමණ විය.

මෙම මැතිවරණ දෙකේ ප්‍රතිඵලවලින් නියත ලෙසම පෙන්නුම් කරන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ මැතිවරණ දෙක සඳහා ලියපදිංචි වී සිටි ඡන්දදායකයින්ගෙන් නියත බහුතරයක් එනම් 80%ට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවය. දෙවන කරුණ වන්නේ එසේ ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් නියත බහුතරය සම්මුති ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවය. එසේනම් මෙම ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැතැයි විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තර්ක කරන්නේ කෙසේද? එම තර්කය කිසිදු අර්ථයක් නැති හිස් සම්ප්‍රඵලාපයක් වන්නේ එබැවිනි.

මෙසේ වැරදි නිගමනයකට ඔහු පැමිණ තිබෙන්නේ එක් අතකින් රටක ජීවත් වන සියලුම මිනිසුන්ට ඡන්ද බලය හිමි වනවාය යන වැරදි සිතා ගැනීම නිසාය. අනෙක් අතින් ඡන්ද බලය හිමි සියලු දෙනාම මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කළ යුතුයැයි ඔහු සිතන නිසාය. මේ රටේ ජීවත් වන මිලියන 22 ට ආසන්න ජනතාවගෙන් මැතිවරණ පවත්වන අවස්ථාව වනවිට ඡන්ද බලය හිමිව තිබුණේ 15044490 දෙනෙකුට පමණක් බව සහ එයින් 80% ක තරම් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවත් එයින් බහුතරය සම්මුති ආණ්ඩුව හිමිකර ගෙන තිබෙන බවත් ඔහු නිවැරදිව අවබෝධ කර ගත්තා නම් එම වැරදි තර්කය ඉදිරිපත් නොකරනු ඇත. අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි හරසුන් තර්කවලට ඇහහුම්කන් නො දී ආණ්ඩුව නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම එයාකාරයෙන්ම කළයුතු බවය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *