රැවටිල්ල

“මුදලාලි කී වතාවක් රැවටිලා තියනවද?” ඉස්කෝල මහත්තයා ඇසුවේ සාටක රජතුමා ආනුරාධපුරයේ දී කී රැවටීමේ කතාව මතක් වූ නිසා වුවද, මුදලාලි සිටියේ ණය පොත පෙරළමින් නිසා ඔහුට මතක් වූයේ ගමේ ගනුදෙනු කාරයන්ට රැවටුණු ප්‍රමාණය බැවින් ‘ඉසේ කෙස් ගාණට’ කියා උත්තර දුන්නේය.

‘ඉහේ කෙස් ගාණට රැවටුනේ කාටද මුදාලාලිගේ හාමිනේටද?’ කියා ඉස්කෝලෙ මහත්තයා නැවතත් ඇසුවේ, මුදලාලි සාටක රජාට රැවටුණා නම් දෙතුන් වතාවකට වඩා වැඩි නොහැකි බව හොඳින්ම දන්නා නිසාය.

හාමිනේට රැවටුණේ එකම වතාවයි, ඒක ජීවිතේටම ඇති. කියා කියූ මුදලාලි, ඉස්කෝල මහත්තයා ඇහුවේ කාට රැවටීම ගැන දැයි නැවත ඇසුවේ ප්‍රශ්නය පැහැදිලිකර ගැනීමටය.

‘දෙපාරක් රැවටෙන්නෙ නැහැ කියල සාටක රජතුමා කීව මුදලාලි දන්නෙ නැද්ද? මම ඇහුවෙ මුදලාලි දේශපාලකයන්ට කී පාරක් රැවටිලා තියෙනවද කියලයි’ ඉස්කෝල මහත්තයා ප්‍රශ්නය පැහැදිලි කළේය.ජේ.ආර්. ට දෙපාරයි, ප්‍රේමදාසට දෙපාරයි, චන්ද්‍රිකාට දෙපාරයි, සාටකට තුන්පාරයි මුදලාලි කීවේ අන්තිම වතාවෙත් කතිරය ගසා තිබුණේ සාටකට නිසාය.

‘එතකොට මුදලාලි දෙපාරක් රැවටෙන්නෙ නැති කතාව සාටක කියන්න ඇත්තේ කාටද?’  ඉස්කෝ‍ල මහත්තයා ඇසුවේය.

මම හිතන්නෙ හදහන් සුමනයාට කියලයි. උගේ උපදෙස් අහල කලින් ඡන්දෙට ගිහිං රැවටිච්චි රැවටිල්ල මතක් වෙන්න ඇති මුදලාලි කීවේය. ‍

සෝභිත හාමුදුරුවෝ අපවත් නොවී හිටිය නම් විධායක ජනාධිපති ක්‍රමයට කැමති වෙනව කියල කවුදෝ උන්නාන්සෙ කෙනෙක් කීවෙත් රැවටිලාවද්ද කියා ඉස්කෝල මහත්තයා ඇසුවේ, සෝභිත හිමියන් විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නට දිවි නොතකා සටන් කළ බව අමතක නැති නිසාය.

සෝභිත හාමුදුරුවෝ විතරක් නෙමෙයි ජීවතුන් අතර නැති ඕනම කෙනෙක් විධායක ක්‍රමයට කැමතියි කියා එවිට මුදලාලි කීවේය.

මුදලාලි ඒ බව දන්නෙ කොහොමද කියා ඉස්කෝල මහත්තයා ඇසුවේ මළගිය ඇත්තන් සමග කතා කිරීමේ කලාව මුදලාලි දන්නවා දැයි සැක සිතුණු නිසාය.

ඉස්කෝල මහත්තයෝ ඕක බොහොම සරල කතාවක්, මුදලාලි කීවේය.

සෝභිත හාමුදුරු‍වෝ විධායක ජනාධිපති ක්‍රමයට කැමතියි කීම සරල කතාවක් වෙන්නේ කොහොමද? කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

මේ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ජීවත්වෙලා ඉන්න අපිට. මැරිච්ච මිනිසුන්ට මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණා කියල කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ නිසා මැරිච්ච හැම මිනිහෙක්ම විධායක ජනාධිපති ක්‍රමයට කැමතියි, කියා මුදලාලි ඉස්කෝල මහත්තයාට කීවේය.

සාටක රජතුමා සෝභිත හාමුරුවන්නට පින්දෙන්න නාග විහාරෙට ගියේත් උන්නාන්සේ දැන් විධායක ජනාධිපති ක්‍රමය අනුමත කරන බව ආරංචිවෙලාද, කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

සෝභිත හාමුරුවෝ අපවත් වුණු එකට වැඩියෙන්ම පින් දෙන්න ඕන සාටක රජතුමා තමයි. කියා එවිට මුදලාලි කීවේය.

එහෙම කියන්නෙ ඇයි කියා ඉස්කොලෙ මහත්තය ඇසූවිට මුදලාලි කීවේ, සෝභිත ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් සාටක රජතුමාට ‍ලොකු හිසරදයක් සනීප වුණාය කියාය. උන්වහන්සේ ජීවතුන් අතර සිටියානම් නාග විහාරයේ දූවිල්ලක් පාගන්නවත් සාටකට ලැබෙන්නේ නැතැයි කියූ මුදලාලි වැඩිදුරටත් කීවේ, සෝභිත හිමියන් නැති නාග විහාරය දැන් චෞරයන්ට පිරිත්පැන් වඩන ගැරඬි විහාරයක් වීම බලා ඉන්නවාට වඩා මරණය සැපක්යැයි කියාය.

අලුත්කඩේ බාරව ඉඳලා හත්පොළේ ගාගත්තු හාදයෙකුත් සෝභිත හිමියන්ට පින් දෙන්න සාටක රජා එක්ක එකතු වෙලා ඉන්නව දැක්කම හතර විලිලැජ්ජාවයි කියා ඉස්කෝල මහත්තයා කීවේය.

කලිසං කෝට් ඇඳගෙන වුණත් නිරුවත පෙන්නන්න පුළුවන් කියල එයා ඔප්පු කළ බව කී මුදලාලි වැඩිදුරටත් කීවේ, සෝභිත ස්වාමින් වහන්සේ ජීවත්ව සිටියා නම් එයාට ඔච්චර කාලයක්වත් අලුත්කඩේ වැඩ බලන්න නොලැබෙන බව දන්නා නිසා පින්දෙන්න හිතුණා වෙන්න ඇති කියාය.

මංගල අයවැය ජය මංගල කියා හාලිඇල ගොයියා කීවත්, ධන රින මහත්තයා කියන්නේ වෙනස් කතාවක් නේද කියා මුදලාලි ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවේ, ආදායම් වියදම් තැන තමාට වඩා වැඩි දැනීමක් ඉස්කෝල මහත්තයට ඇති බව දන්නා නිසාය.

ඉස්කෝල මහත්තයා එවිට මුදලාලිට කීවේ ධනරින අය වැයට බැණීම සර්ව සාධාරණයි කියාය. හේතුව මොකක්දැයි මුදලාලි ඇසූවිට ඉස්කෝල මහත්තයා කීවේ, හේතු එකක් නොව කීපයක්ම තියෙනවාය කියාය.

ඒ හේතු මොනවාදැයි මුදලාලි ඇසූවිට ඉස්කෝල මහත්තයා කීවේ, අය වැයටත් කලින් සහන මල්ලක් දීම මංගල ලොක්කා කළ මුල්ම වරදය කියාය.

සහන මල්ලක් දීම වැරැද්දක් ද කියා මුදලාලි ඇසූවිට ඉස්කෝල මහත්තයා කීවේ, ආණ්ඩුව බඩු මිල අඩු කළ විට ධන රිනලාට ස්ටේජ් පුපුරන්න කතා කරන්න බැරිවෙන නිසා පොහොට්ටුවට එය වරදක් කියාය.

අනිත් කාරණා මොනවා දැයි මුදලාලි ඇසූ විට ඉස්කෝල මහත්තයා කීවේ, අරක්කු බදු වැඩිකර බියර් බදු බැස්සීමත් වරදක් කියාය.

අරක්කු බීමට වඩා බියර් බීම ශරීරයට හොඳ නේද කියා මුදලාලි ඇසූ විට ඉස්කෝල මහත්තයා කීවේ, අරක්කු මිල වැඩි වීම ශරීර සෞඛ්‍යට හොඳ වුවත් ඡන්ද කෙරුවාවට හොඳ නැහැ කියාය.

ඉස්කෝලෙ මහත්තයා කියන දේ මට තේරෙන්නේ නැතැයි කියා මුදලාලි කී විට ඉස්කෝ‍ල මහත්තයා කී‍වේ, සාටක රජාගේ මීටින්වල ඉන්න බාගෙට බාගයක් අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි නිසා සහන මල්ලත් වැරදියි අරක්කු බද්දත් වැරදියි කියාය.

ඒ මොකද කියා මුදලාලි ඇසූ විට ඉස්කෝල මහත්තයා කීවේ බඩු ගණන් අඩුකළ විට බත් පැකට් එකට පෙළපාලි යන මිනිස්සු අඩු වෙනවා, අරක්කු මිල ඉහළ ගියාම මිනිස්සු අද්දන්න ධන රිනලාට යන වියදම වැඩි වෙනවා කියාය.

ගොවියන්ට රක්ෂණයක් දෙනවා වෙනුවට මංගලට තිබුණේ කෘමිනාශක මිල අඩුකරන්නය කියා මුදලාලි කීවේ හදිස්සියේ යමක් මතක් වූ නිසාය.

රක්ෂණයට වඩා කෘමිනාශක හොඳද කියා ඉස්කෝල මහත්තයා ඇසූවිට මුදලාලි කීවේ, සාටකලා, සෙනරත්ලා, අලුත්ගමගේලා ජාතියේ මලලා කරපු හරිය දැක දැකත් සාටක පස්සෙ යන එකාලට අපේ ගානේ කෘමිනාශක කුප්පියක් දෙන්න එහෙම නම් පුළුවන් වෙනවා කියාය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *