විස්කි බීර සහ ගල් අරක්කු – තිසර දිලිප්කුමාර

මෙවර අයවැයෙන් මත් පැන් සඳහා පනවා ඇති බද්ද සම්බන්ධයෙන් මේ වන විට බරපතළ කතිකාවතක් සමාජයේ ඇති වී තිබේ. එකී කතිකාව තරාතිරම අනුව කොටස් කිහිපයකට වෙන්කර ගත හැකි බව පෙනේ.

එනම්,

  1. සදාචාරවාදී ආගමික‍ කෝණය
  2. ආර්ථික දෘෂ්ඨි කෝණය
  3. දේශපාලන කෝණය
  4. සෞඛ්‍ය ප්‍රශ්නයක් ආදි වශයෙනි.

මත් පැන් බද්ද පිළිබඳව සදාචාරවාදි පිල බහුලව නියෝජනය වන්නේ භික්ෂූන් වහන්සේ සහ ආගම්වාදී වෙනත් පාර්ශ්ව විසිනි. ඔවුන්ගේ මතය අනුව බීර සඳහා අඩු බද්දක් අයකිරීමට අය වැයෙන් යෝජනාකර තිබීම වරදකි. හේතුව ඒ මගින් ජනතාව වඩ වඩා මත් පැනට ඇබ්බැහි විය හැකි බැවිනි.

ඉතිහාසයේ වතාවක රා මැදීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳන්වාදීමට උත්සාහ කළ අවස්ථාවක මෙවැනිම විරෝධයක් සංඝ සමාජය ඇතුළු පිරිසකගෙන් එල්ල වූ බව පැවසේ. ඒ සම්බන්ධ විවාදයේ දී වාමාංශික පිල නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතවරියක්, සුරාවට ඒ තරමට විරෝධයක් ඉතිහාසයේ පැවතියේ නම්, දුටුගැමුණු රජුට එළාර පරාජය කිරීමටද නොහැකි වනු ඇතැයි කී බව කියැවේ. කඩොල් ඇතා යුද්ධයට ගියේ සුරාපානය කර බැවිනි.

ඇත්ත වශයෙන්ම ගත් කල මෙරට සමාජයේ දක්නට ලැබෙන මත්පැන් විරෝධී සාදාචාරාත්මක සහ ආගමික පිවිසුම සීමාන්තික එකක් බව පිළිගත යුතුය. එනම් මත්පැන් විරෝධය ඔස්සේ බොරු සදාචාරවාදයක් ඉස්මතු කරන්නට දරන උත්සාහයයි. එදා අනගාරික ධර්මපාලත්,  මෑත යුගයේ ගංගොඩවිල සෝම වැනි අයගේත් මතවාදී පිවිසුම නොවන්නට ලාංකීය සමාජයේ බෞද්ධ පරිසරය තුළ පවා එතරම් බලගතු මත්පැන් විරෝධයක් පැවතියා යැයි පිළිගත නොහැකිය. අපේ සාහිත්‍යයේ එන මධුපාන උත්සව වැනුම් ආදිය සැලකිය හැක්කේ රහමෙර පානය බලවත් වරදකැයි යන මතයක් පැරණි සමාජයේ නොතිබුණුබවට සාක්ෂි වශයෙනි. අද පවතින තරමට බෞද්ධකමත් එකල පැවතියේ නම් ගුත්තිල කාව්‍යකාරයා,

රැගත් සුරා පිරූ විතින්

සුරත් තඹරු පෙතිසෙනෙතින්

පවත් නොදැන බමන මතින්

නටත් අයෙක් සුරා මතින්

යැයි වර්ණනා නොකරනු ඇත. විශේෂයෙන්ම ගුත්තිල කාව්‍යකාරයා භික්ෂුවක් වූ කල තත්ත්වය තවත් බරපතල වේ. උන්වහන්සේ ගේ ස්වරය අනුව වැටහෙන්නේ එකල භික්ෂූන් ගිහියන් ගේ සුරාපානය බරපතල වරදක් කොට නොතැකූ බවයි. අද භික්ෂුන්වහන්සේ බියර් බදු අඩුකිරීමට එරෙහිව අවි එසවීම වටහාගත යුත්තේ භික්ෂුව තරමටම සිල්වත් ගිහි සමාජයක් ඔවුන් අපේක්ෂාකර බව ලෙසද යන්න පැහැදිලි නැත. තවත් අතකින් ගත් කල අද ඇතැම් භික්ෂූන් වහන්සේ පවා රහමෙර පානයට ඇලී සිටිති. බොදු බලයක් ගැන නිතර කියවන භික්ෂූවක් මත්පැන් පානය කොට රිය පදවා පොලීසියට කොටු වූ පුවතක් ද තිබේ.

මත්පැන් පානය පිළිබඳ ආර්ථික කෝණය ආකාර දෙකකි.

  1. රජයේ ආදායම පිණිස බදු පැනවීම
  2. මත් පැන් පානයත් නිවසේ ආර්ථිකයත් ගැටගැසීම. යනුවෙනි.

ගල්අරක්කු යනුවෙන් ප්‍රකටව පවතින බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 150 – 200 අතර බව පැවසේ. නමුත් ඉන් එකක වෙළඳපල වටිනාකම රුපියල් දහස (1000) ඉක්මවා යයි.  ඒ අනුව ගත් කල ගල් අරක්කු බෝතලයකට පාරිභෝගිකයා ගෙවන මුදලින් වැඩි කොටස ආණ්ඩුව බදු වශයෙන් ලබාගනී. බදු ඉහළ යාම නිසා අරක්කු මිල ඉහළ යාම හේතුවෙන් මත් පැන් පානය යම් තරමකට අඩුවේයැයි උපකල්පනය කළ හැකි වුවද එය එසේමදැයි කිසිවකු මෙ‍තෙක් විද්‍යාත්මකව ඔප්පු කර නැත. උපකල්පනය කළ හැකි වන්නේ ආණ්ඩු ආගමික හා සදාචාරාත්මක තිරයට මුවා වී මත්පැනට බදු පනවා රාජ්‍ය ආදායම ඉහළනංවා ගන්නට උත්සාහ දරන බවයි.

එහි අනෙක් ප්‍රතිඵලය නීති විරෝධි මත්පැන්ය. රා මැදීම ආදිය ප්‍රචලිත කිරීමෙන් ද ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්පැන් අඩු මිලට සැපයීමෙන් ද මත්පැන් නිසා රෝගීවන ප්‍රමාණය පවා අවම කරගත හැකිය. සිරෝසිස් වැළඳුනු රෝගියකු රෝහලට ඇතුළත් කළ විට ඔහු පානය කළේ අරක්කුද කසිප්පු ද කියා නොව සහටහන් වන්නේ මත් පැන් කියාය.

පවුලේ ආර්ථිකය සම්බන්ධයෙන් මත්පැනෙහි බලපෑම මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් තවත් බරපතළ වනු ඇත. මත්පැන් යනු එක්අතකින් විනෝදාංශයකි. මිනිසකුගේ විවේකය විනෝදය බදු පනවා නතර කිරීම කොතෙක් සාධාරණ ද යන්න සිතා බැලිය යුතුය. විදෙස් රටක නම් බොහොම පහසුවෙන් බියර් වැනි සැර අඩු මත් පැන් මිලට ගත හැකිය. ජර්මනිය වැනි රටක බස් රියක ගමන් කරමින් වුව බියර් පානය කිරීමට අවසර තිබේ. මත්පැන් නිසා රෝගීවන පිරිස ගැනත්, ඔවුනට ප්‍රතිකාර කරන්නට වැයවන මුදල් ගැනත් ඒ රටවල් ගණන් හදන්නේ නැත. ‍හොඳ ප්‍රමිතියෙන් යුතු මත්පැන් අඩු මුදලකට පානය කරන්නට ඒ රටවල ජනතාවට හැකියා තිබේ.

  1. දේශපාලන කෝණයෙන් කරන මත් පැන් බදු විග්‍රහය යනු බලය බෙදීම ව්‍යවස්ථා සංසෝධනය ආදී කරුණු වලදී වැනිම එළඹුමකි. එහි එක් ආකාරයක් නම් මත්පැන් බද්දේ එල්ලී බලයට ඒමට දරන උත්සාහයයි. නිදුසුනක් ලෙස, එදා ඡන්දය ඉලක්ක කරගෙන මත්පැන් සාද පැවැත් වූ ඒකාබද්ධ විපක්ෂය අද බියර් බදු අඩුකිරීමට එකහෙළා විරුද්ධය.

ගල් අරක්කු මිල අඩු කළයුතුයි කියන ජෝන් සෙ‍නවිරත්න ද කතා කන්නේ වතු කම්කරු පතල් කම්කරු ආදි ඡන්දවලට ද දන්නේ නැත.

බියර් බද්දට දක්වන රාජිත ගේ විරෝධයද සදාචාරවාදි ඡන්දවලටත්, කාන්තා ඡන්දවලටත් ඉව ඇල්ලීමක් විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ ද බියර් බද්දට මනාප නැත. ඒ මෑත කාලයේ දී ඔවුන් සමාජවාදයට වඩා සදාචාරවාදයට ඇල්මක් දක්වන්නට පටන්ගෙන ඇති බැවිනි. ඒ බෞද්ධ සහ සදාචාරවාදි ස්ථරවලට ආමන්ත්‍රණය කර බලය ගොඩ නගා ගැනීමේ අරමුණ ඇතිවය. සමාජවාදි රුසියාව උලපානොව් එනම් ලෙනින් ගේ නමින් වොඩ්කා නිශ්පාදනය කළ බව සදාචාරවාදි ඡන්ද වෙනුවෙන් අමතක කරන්නට ජනතා විමුක්ති පෙරමුණට සිදු වී තිබේ.

  1. සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මත්පැන් ගැටලුව විසඳීමට අ‍පේක්ෂා කරන්නේ නම් හොඳම ආකාරය ප්‍රමිතියෙන් යුතු මත්පැන් සහනදායී මිලකට ලබා දීමයි. බාල මත්පැන් හේතුවෙන් ජනතාව රෝගිවීම ඉක්මන් වනු ඇති බැවිනි. ගල් අරක්කු මිල බියර් මිල නොව විස්කි මිල අඩු කිරීම මෙහිදී වැදගත් වනු ඇත.

වතු ආශ්‍රිත ප්‍රදේශ වැනි තැන්වල විකිණෙන පලපත්‍ර සහිත මත් පැන් පවා වඩාත් කිට්ටු වන්නේ කසිප්පු වලට බව දන්නෝ දනිති. මත්පැන් පාලනය කරන්නට උත්සාහ ගන්නා තරමට මත්පැන්වල තත්ත්වය සොයා බැලීමට හෝ තත්ත්වය පාලනය කිරීමට උනන්දුවක් තිබේදැයි සොයා බැලිය යුතුය.

මත්පැන් නිෂ්පාදනය සඳහා ආනයනය කෙරෙන එතනෝල් ආදියෙන් කෙරුණු මහා පරිපාණ බදු වංචා පිළිබඳ පසුගිය සමයේ දැඩි කතාබන් ඇති විය. ඇතැම් විට මත්පැන් නිෂ්පාදන බද්ද ඉහළ නැංවීමෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් ආණ්ඩුවට එතනෝල් ආදිය ගෙන්වීමේ දී සිදුවන බදු වංචා නතර කිරීමෙන් ලබාගත හැකි වන්නටත් පුළුවන. මත්පැන් ප්‍රශ්නයේදී ජනප්‍රියවාදී වීමට වඩා යථාර්ථවාදි වීම වැදගත් වන්නේ එහෙයිනි.

තිසර දිලිප්කුමාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *