නාග විහාරයට වුණේ කුමක්ද? – අනුර සූරියබණ්ඩාර

මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වී දෙවර්ෂපූර්ණය සැමරීම වස් උත්සව දෙකක් පැවැත් විණි. එකක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් සහ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජනකලාකේන්ද්‍ර පරිශ්‍රයේ දී ය. අනෙක සෝභිත හිමියන් වැඩ වාසයකළ කෝට්ටේ නාග විහාරයේ දී ය. එය දානමය පිංකමකි.

නාගවිහාරයෙහි පැවැත්වුණු පිංකමෙහි ප්‍රධාන අමුත්තා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි දේශපාලකයන් පිරිසක් සහ එම ආණ්ඩුවට හිතවත්කම් පෑ නිලධාරින් සමහරකුද ඊට සහභාගි වී සිටි බව පෙනුණි.

නාගවිහාරය යනු මෑත කාලීන දේශපාලනයේ මූලික හැරවුම් ලක්ෂය තීරණය කළ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වීම වරදක් නොවේ. මාදුළුවාවේ හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ එතැනිනි. ජනවාරි අට වෙනස යනුවෙන් අද අප හඳුන්වන දේශපාලන පෙරළියට මුලික වූවෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ය ජනවාරි අට වෙනස රටට අවශ්‍යවූයේ මන්ද යන්න මෙහිදී කෙටියෙන් හෝ පැහැදිලි කරගතයුතුය. එවක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් උත්සාහ කළේ ජරාජීර්ණව පැවැති මෙරට දේශපාලනය සුද්ධ පවිත්‍රකොට ආනාගත පරපුරට යහපත් දේශයක් ගොඩනඟාදීම සඳහාය. සියල්ලන්ගේ විවේචනයට ලක්ව තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් කිරීම, අල්ලස දූෂණය පිටු දැකීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදී රටට වැදගත් අරමුණු රැසක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වැඩ පිළිවෙළට අඩංගුව තිබුණි.

මාදුළුවාවේ හිමියන් සිය වැඩපිළිවෙල පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටය. උන්වහන්සේ සිය වචනයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට කීවේ, මේ මොහොතේ මේ වෙනස කළ හැකි එකම නායකයා ඔබතුමා පමණකැයි කියාය.

මාදුළුවාවේ හිමියන් රට හමුවේ තැබූ යෝජනාවලිය එවක රටේම අවශ්‍යථාව වී තිබුණු වැඩසටහනකි. එය රටේ අභිවෘද්ධිය සඳහා සැකසුනක් මිස උන්වහන්සේගේ පෞද්ගලික අභිමතාර්ථයන් ගෙන් යුතු යෝජනාවලියක් වූයේ නැත.

18වන සංසෝධනය ඔස්සේ විධායක ජනාධිපති ධූරය යාවජීව ධුරයක් බවට පත්කොටගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා එකල උන්වහන්සේගේ යෝජනා දෙස නිකමට හෝ හැරී බැලුවේ නැත. බලය වැඩිකර ගැනීම, බලය පවුලේ උරුමයට සන්තක කර ගැනීම මිස මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාව වූයේ ජනතා අභිලාෂයට මුල්තැන දීම නොවේ.

ඒ මොහොතේ පැවති ජනතා අවශ්‍යතාවට සෝභිත හිමි නායකත්ව දෙනවිට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ 100%ක්ම උන්වහන්සේට පස මිතුරු ලෙසය. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගේ අභිප්‍රාය අවශ්‍යතාව සහ පරමාර්ථය වූයේ උන්වහන්සේගේ ව්‍යාපාරය තලා, සමතලා කොට, පොඩිපටටම් කර දැමීමය.

දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් ගත්තද මහින්ද රාජපක්ෂ මහතාත් සෝභිත හිමියනුත් අතර වෙනස අහසට පොළොව මෙන් විය.

සිල් රෙදි බෙදාදීම, සමෘද්ධි මුදල්වලින් දින පොත්, කැලැන්ඩර් මුද්‍රණය කිරීම, රජයේ දේපළ මැතිවරණය සඳහා භාවිත කිරීම ඔස්සේ මහින්ද අන්තිම මොහොත දක්වාම පෙන්නුම් කළේ සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනීසිටීමට හෝ ක්‍රියාකිරීමට තමා කිසිසේත්ම සූදානම් නැති බවය. ඒ සඳහා තමාට කිසිම අවශ්‍යතාවක් නැති බවය.

මැතිවරණ දෙකකින් පිටපිට පරාජය වීමෙන් පසුව පවා මහින්ද රාජපක්ෂ තමන්ගේ පැරණි පිළිවෙත වෙනස්කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. විධායකය තනි බුක්තියට ලියා ගන්නට තැත් කළ ඔහු එම ව්‍යායාමයෙන් පරාජය වූ පසුව කළේ ජනතා අකමැත්තට හිස නමා පසෙකට වීම නොව තවත් වටයකින් බලයට ඉව ඇල්ලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට පැමිණීමයි. ඉන් නොකියා කියමින් සිටින්නේ යළිත් වතාවක් කෙසේ හෝ බලය ඩැහැගැනීම තමා ප්‍රතික්ෂේප නොකරන බවයි. නාගවිහාරයේ එනම් මාදුළුවාවේ හිමියන්ගේ පිළිවෙත් සමග නුතන නාගවිහාරික භික්ෂූත්වය මේ දේවල් තුලනය කරගන්නේ කොයි අයුරින්ද යනවග ගැටළුවක් වන්නේ එහෙයිනි.

වංචාව දූෂණය සම්බන්ධයෙන් වුව මහින්දගේ පිළිවෙත තවමත් පෙර පරිදිමය. දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන්ගේ දුක සැප විමසීමට හිරගෙවල් ගානේ ඇවිදීම දූෂණ වංචා චෝදනාවනට ලක්වූවන් අත්අඩංගුවට ගැනීම ඔවුන් සිරගත කිරීම ආදිය දේශපාලන පළිගැනීම් ලෙස අර්ථකථනය කිරීම ආදිය ඔස්සේ ඔහු ඔප්පු කරමින් සිටින්නේ එයයි.

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් වුව ඔහු එය රජයේ දේපළක් තනිපුද්ගලයකුගේ අවශ්‍යතාවකට යොදවා ගැනීමක්, මැතිවරණ නීති කඩකිරීමක් බව පිළිගන්නේ නැත. ඔහු එය අර්ථකථනය කරන්නේ දේශපාලන පළිගැනීමක්, රාජ්‍ය සේවකයන් අපහසුතාවට පත්කිරීමක් ආදි වශයෙනි.

ඒ අනුව පෙනෙනනේ යම් ආකාරයකින් හෝ මහින්ද රාජපක්ෂ මහතාට යළි බලය හිමි වුවහොත් ඔහු සිය වැරදි නිවැරදි කරගන්නවා නොව පෙර පරිදිම කටයුතු කරන්නට පෙළඹෙනවා ඇත යන්නයි. ‘අපේ කාලයේ වැරදි වුණා. අපි ඉදිරියේදී ඒවා නිවැරදි කරගන්නවා, යනුවෙන් නොකියන මහින්ද රාජපක්ෂ මාදුළුවාවේ හිමියනට පිං පමුණුවන පිංකමට කැඳවා ගැනීමට නාගවිහාරයේ වත්මන් හිමිකාරිත්වයට හැකිවන්නේ කෙසේද යන්න ගැටලුවක් වන්නේ එහිදී ය.

සෝභිත හිමියන් අපවත්වීමත් සමඟ නාග විහාරයේ සාධාරණ සමාජයක් වන පැතුමත් අභාවප්‍රාප්ත වී ඇති බවක් මෙයින් පැහැදිලිය. එහෙයින් සෝභිතහිමියන්ගේ දෙවර්ෂ පූර්ණ පිංකමට මහින්ද නාග විහාරයට යාම වටහාගත් යුත්තේ මහින්ද නාගවිහාරයට යෑමක් වශයෙන් නොව නාගවිහාරය මහින්දගේ පදනමට වැටීමක් ලෙසටය. දැන් සාධාරණ සමාජයක් පිළිබඳ සියලු බලාපොරොත්තු ඇත්තේ නාගවිහාරයෙන් පරිබාහිරවය. සෝභිත හිමියන්ගේ පිංකමට සහභාගිවන්නට ලැබීම මහින්දගේ ජයග්‍රහණයක් නොවේ. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යපාරයේ පරාජයක් ද නොවේ නාග විහාරයෙ වත්මන් දූෂිතභාවය හෙලිදරව් වීමක් පමණ.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *