අය වැයට එරෙහි බොරු තර්ක – සී. ජේ. අමරතුංග

 මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැය ලේඛනය මෙරට ආර්ථික ප්‍රගතිය හා සෞභාග්‍යය අපේක්ෂා කරන බොහෝදෙනාට මංගල කාරණාවක් වී ඇති බව පැහැදිලිය. ව්‍යාපාරික සංගම්, වෙළෙඳ සංගම් පමණක් නොව බොහෝවිට ආණ්ඩුවට එරෙහිව සිටින උදවියද මෙම අය වැය අගය කළ බව පෙනෙන්නට තිබිණි. කෘෂිකාර්මික භෝග කිහිපයකට රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ගැන ගොවි සංවිධාන පැසැසුම්කොට තිබිණි. බදු ස්ථාවර කිරීම ගැන වෙළෙඳ සංගම් සතුට ප්‍රකාශකොට ඇත. ව්‍යාපාරික සංගම් ප්‍රකාශ කොට ඇත්තේ අය වැයෙන් ප්‍රකාශිත ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැගීම අවශ්‍ය බවයි.

අය වැයේ තිබෙන මෙම සාධනීය ලක්ෂණ ගැන බොහෝදෙනා කතා කරද්දී ඇතැම් විවේචන එල්ල වූයේ බියර් සඳහා බදු අඩුකොට තිබීම පිළිබඳවය. සැර මත්පැන් බදු වැඩිකිරීම ගැන කතාවක් නැත. කසිප්පු ජාවාරම අධෛර්යමත් කිරීම ගැන අවධානයක් නැත. හුදෙක් බියර් මිල අඩුවීම ගැන පමණක් කතා කරති. එමෙන්ම ජීවන වියදම පාලනය කිරීම සඳහා අය වැයට පෙර දින සිට අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩුකිරීම සම්බන්ධයෙන්ද එතරම් අවධානයක් යොමු වූ බවක් පෙනෙන්නට නැත.

මේ අතර විපක්ෂය අයවැය ගැන කියන්නට හදන්නේ මෙය රටට අහිතකර බවකි. ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා කීවේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාව මත හැදූ අයවැයක් බවයි. ඔවුන්ගේ කොන්දේසි ඉටුකිරීමක් බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කීවේ මෙය 1977 න් පසු ක්‍රියාත්මක කළ අසාර්ථක නව ලිබරල්වාදී ව්‍යාපෘතියම ඉදිරියට ගෙනයාමක් බවයි. එයින් රටේ ආර්ථිකය කඩා වැටුණු බව හා දුප්පත්කම වැඩිවූ බව විජිත හේරත් මහතා කියයි. මහ පොළොවේ දත්තවලට කිසිසේත් නොගැළපෙන එබඳු කතා කියන්නේ එකම හේතුවකටය. එනම් ආණ්ඩු විරෝධයක් මතුකර ගන්නටය. ඔවුන් හිතන ආකාරයට විපක්ෂයේ කාර්යභාරය එයයි.

හැත්තෑ හතට කලින් ක්‍රමය

විපක්ෂයක කාර්යභාරය හැමවිටම ආණ්ඩුවට විරුද්ධ වීම යයි සිතා සිටීම එතරම් යහපත් තත්ත්වයක් නොවේ. විපක්ෂයක් ආණ්ඩුව ගැන විවේචනාත්මකවීම අවශ්‍යය. එසේ වූවද එම විවේචන හා විරෝධතා කිසියම් පිළිගත හැකි දර්ශනයක් මත සිදුවිය යුතුය. විරුද්ධ විය යුතු නිසා කුමක් හෝ කියමින් විරෝධය පෑම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකය නිවැරැදි මඟට යොමුකිරීමට හේතුවන්නේ නැත.

ජවිපෙය කියන්නේ මෙය 1977 න් පසු හඳුන්වා දුන් අසාර්ථක ආර්ථික පිළිවෙත බවයි. තමා කරන්නේ 77 න් පසු ආරම්භ වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමක් බව මංගල සමරවීර ඇමැතිවරයාද ප්‍රකාශ කළේය. ජවිපෙට අනුව 77ට පසු පටන්ගත් ක්‍රමය අසාර්ථකය. එයින් ගම්‍ය වන්නේ තමන්ගේ පිළිගැනීම ඇත්තේ හැත්තෑහතට පෙර පැවැති ක්‍රමය ගැන බවයි. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව විදේශ ආයෝජන පිළිබඳව හා දේශීය නිෂ්පාදන පිළිබඳව ජවිපෙ කරන ප්‍රකාශවලින්ද ගම්‍ය වන්නේ එම අදහසයි.

මෙම ලියුම්කරුද නවසිය හැත්තෑහතට පෙර පැවැති ක්‍රමය වෙනුවෙන් රතු කමිස හැඳගෙන පෙළපාලි ගිය අයෙකි.

හැව්ලොක් පිටියේ සිට එම දැවැන්ත මැයි දින පෙළපාලි ගාලුමෝදර පිටියට පැමිණියේ එදා අප සමාජවාදය ලෙස සිතා සිටි එම ක්‍රමය රැකගැනීමටය. ශක්තිමත් කිරීමටය. එදා සටන්පාඨ කීවේ තව තවත් ආයතන ජනසතු කරන්නටය. මිල පාලනය කරන්නටය. ධනපතියන්ට බදු ගසා ජනතාවට සහන දෙන්නටය.

නිල් රතු කමිස හැඳගත් ජනයා එසේ පෙළපාලි ගියද සාමාන්‍ය ජනයාට නම් එම ක්‍රමය තිත්ත වී තිබිණි. ජනතාව එම ඊනියා ‘සමාජවාදී’ ආණ්ඩුව බලයෙන් පහකර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කළේ හයෙන් පහක බහුතරයක්ද ලබාදෙමිනි. බලවත් පක්ෂ ලෙස තිබූ වමේ පක්ෂ බින්දුවට වැටුණේ එම මැතිවරණයෙනි. එයට හේතුව නම් මහජනයා වෙනුවෙන් කියමින් ක්‍රියාත්මක කළ එම ආර්ථික ක්‍රමය මහජනයාට පීඩාවක් වූ නිසාය. මහජනයාට මෙම යුගය මතකයට නැගෙන්නේ හාල් පොලු, මිරිස් පොලු ක්‍රියාත්මක වූ යුගය වශයෙනි. එනම් හාල් සේරු දෙකකට වඩා මිරිස් රාත්තල් දෙකකට වඩා රැගෙන යනවාද බලන්නට මගතොට හරස් කළ පරීක්ෂණ ස්ථාන පිළිබඳවය.

එදා මහජනයාට අවශ්‍ය බොහෝ දේ ලැබුණේ සලාක ක්‍රමයටය. හාල් පොත රැගෙන සමුපකාරයට ගියවිට හාල් සේරුවක් නොමිලේත් තවත් සේරුවක් සුළු මුදලකටත් ලැබිණි. අනෙකුත් භාණ්ඩ ගන්නට කාඩ් එකක් තිබිණි. උම්බලකඩ, පරිප්පු, හාල්මැස්සන්, කරවල, කොත්තමල්ලි, සූදුරු, සුදුලූනු ආදී සියල්ල මිලදී ගත යුත්තේ සමුපකාරයට එම කාඩ්පත ලබාදීය. එක් අයකුට මසකට උම්බලකඩ අවුන්ස දෙකකි. පරිප්පු අවුන්ස හතරක් ආදී වශයෙනි. එය ලබාගන්නටද පෝලිම්වල සිටිය යුතුය.

ළදරුවකුට කිරිපිටි පැකැට්ටුවක් ලබාගැනීමට ළදරු පොතක් තිබිය යුතුය. පොතක් තිබූ පමණින්ද කිරිපිටි ලැබෙන්නේ නැත. ලැබෙන්නේ සමුපකාරයට කිරිපිටි ලැබුණු විටය. තම දරුවාට කිරිපිටි ටික ලබාගන්නට මවුපියන් විඳි දුක දන්නේ එකල එම අත්දැකීමට මුහුණදුන් උදවියයි.

බඩු ගන්න දුක් වින්ද හැටි

බොහෝ නිෂ්පාදන හා සේවා අංශ තිබුණේද රජය යටතේය. බයිසිකලයට ටයරයක් ගන්නටත් බලා සිටිය යුතුය. සමුපකාරයට ටයර් පැමිණිවිට කාඩ්පත සමඟ ගොස් ටයරයක් ලබාගත හැකිය. ගෑස් ළිපක් ගතහොත් රිසිට්පත සමඟ ගොස් ගෑස් සමාගමේ ලියාපදිංචි විය යුතුය. මාස කිහිපයකට පසුව ගෑස් සිලින්ඩරය ලැබෙනු ඇත. දුරකථනයක් ගැනීමට වසර කිහිපයක් පොරොත්තු ‍ලැයිස්තුවේ සිටිය යුතුය. වෙනත් සැපයුම් සම්බන්ධයෙන්ද තිබුණේ එම තත්ත්වයයි.

ජනතා විමුක්ති පෙරමුණේ අද සිටින තරුණයන්ට නම් මෙම අත්දැකීම් විඳින්නට ලැබී නැතුවා විය හැකිය. එම අත්දැකීම ඇත්තේ වැඩිහිටි පරම්පරාවටයි. ඔවුන් නම් නැවතත් එබඳු සමාජයක ජීවත්වන්නට ප්‍රාර්ථනා නොකරනු ඇත.

නවසිය හැත්තෑවට පෙර මෙම ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විසිනි. 1965 – 70 එජාපය ප්‍රමුඛ ආණ්ඩුවද එම පිළිවෙත වෙනස් කළේ නැත. 77 පසුව පැමිණි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එජාප රජය මෙම තත්ත්වය වෙනස්කොට විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබීය.

ආර්ථිකයේ රාජ්‍ය ඒකාධිකාරය අවසන් කරමින් ඇතැම් අංශ පෞද්ගලිකකරණයට යොමු කළේය. 1994 න් පසුව යළිත් ශ්‍රීලනිප හා වම එක්වූ ආණ්ඩු පත්වූවද මෙම ආර්ථික ක්‍රමය වෙනස් කළේ නැත. හේතුව නම් එයට පිළිගත හැකි සාර්ථක විකල්පයක් නොවීමයි.

දැන් අවස්ථාව උදාවී තිබෙන්නේ මෙම ක්‍රමය තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමටය. අයවැයේ යෝජනා අතර එම ප්‍රතිසංස්කරණ අඩංගුය. ඒකාබද්ධ විපක්ෂය මෙය මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන අයවැයක් කියන්නේ ඒකටය. ඔවුන්ද වක්‍රව පෙනී සිටින්නේ රාජ්‍ය මුල්කරගත් ආර්ථිකයක් සඳහාය. අපි රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරන්නේ නැහැ කියා මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ කීවේ එම අදහසයි. එසේ වූවද එම ආණ්ඩුවටද මෙම ක්‍රමයට විකල්පයක් තිබුණේ නැත. ඔවුන්ට සිදුවුණේ එක දෙයක් ඔළුවේ තියාගෙන මහපොළොවේ වෙනත් යමක් ක්‍රියාත්මක කිරීමටය.

හැත්තෑ හතෙන් පසු ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ක්‍රමය නිසා ආර්ථිකය කඩාවැටෙන බව හා දුප්පත්කම වැඩිවන බව විපක්ෂය කියයි. එවැන්නක් ඇත්ත ලෝකයේ නම් සිදුවී නැත. සිදුවී තිබෙන්නේ එහි ප්‍රතිපක්ෂයයි. එයට විරුද්ධ ලෙසට ආර්ථිකය දිගටම වර්ධනය වී ඇත්තේ හා දුප්පත්කමද අඩුවී තිබෙන්නේ පැවැති ආණ්ඩු පැහැදිලි දැක්මකින් තොරව ක්‍රියා කරද්දීය. ඇතැම් කාලවල ආණ්ඩු පිස්සු කෙලිද්දීත් මේ ආර්ථිකයට දරාගත හැකි වූ බව කිවහොත් වරදක් නැත.

දිළිඳුකම අඩුවූ හැටි

අපේ ආර්ථිකය දැන් යැපුම් ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට පත්ව ඇත. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් කාර්මික අපනයනයි. ඇඟලුම් හැරුණුවිට රබර් නිෂ්පාදන වැනි අංශද විශාල ප්‍රගතියක් ලබා ඇත. එදා රබර් රට යවා රබර් භාණ්ඩ ගෙන් වූ ශ්‍රී ලංකාව දැන් වැඩි වශයෙන් යවන්නේ රබර් නිෂ්පාදනයි. ඇත්ත කතන්දරය ඒකය.

රටේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය නවසිය හැත්තෑවේ ඩොලර් 190 කි. 80 දී 280 කි. දැන් එය ඩොලර් තුන්දහස ඉක්මවා ඇත. අප කතා කරන්නේ එය පන්දහසක් කරගන්නටය. මේ ආර්ථික ක්‍රමය තුළ දුප්පත්කම වැඩිවුණා යැයි කීම අන්තිම පචයකි. 1977 සියයට 35 ක පමණ තිබූ දුප්පත්කම 2016 දී 4.5 දක්වා පහත බැස ඇත. සංඛ්‍යාව වශයෙන් එය නව ලක්ෂයකට ආසන්නය. ඊට පෙර 2012-2013 එය වාර්තා වූයේ ලක්ෂ 13ක් වශයෙනි.

දුෂ්ශාධ්‍ය, මන්දපෝෂණය යනු ආහාර අහේනිය නිසා ශරීරය කෙට්ටු වී බඩ ඉදිරියට නෙරා එන රෝගී තත්ත්වයකි. 1977 දී එබඳු රෝගී ළමයින් විශාල ප්‍රමාණයක් මේ රටේ සිටියහ. ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂ වාට්ටුවක් තිබිණි. එහි ඉඩකඩ මදවීම නිසා අයි.ඩී.එච්. රෝහලේද වාට්ටුවක් වෙන්කර තිබිණ. අද වනවිට එම වාට්ටු නැත. එබඳු රෝගී තත්ත්වයක් ඇති ළමයකු වාර්තා වන්නේද කලාතුරකිනි. මේ කරුණු නොදන්නා තරුණයන්ට තම මුතුන් මිත්තන්ගෙන් හා වෙනත් මාර්ගවලින් තොරතුරු සොයාගත හැකිය.

එමෙන්ම එකල නිර්මාණය වූ කලාකෘතිවලද මෙම දරිද්‍රතාවය නිරූපිතය. ඒ කිසිවක් සොයා නොබලා මෙම ආර්ථික ක්‍රමය තුළ දුප්පත්කම වැඩිවී ඇතැයි කියන්නේ දැනුවත් ජනයා ඉදිරියේ ජෝකරයින් බවට පත්වීම වැළැක්විය නොහැකිය.

මෙම ආර්ථික ක්‍රියාවලියට නව ලිබරල් කියා ලේබල් කිරීමද කිසිදු තේරුමක් නැත. පසුගිය කාලයේ නිසි දර්ශනයකින් තොරව මෙය ක්‍රියාත්මක වූවද එයට නව ලිබරල් දර්ශනයක් තිබූ බවක් පෙනෙන්නට නැත. වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ වෙනත් දර්ශනයක් ඇතිවය. එය නම් සමාජ වෙළෙඳපො‍ළ ආර්ථික ක්‍රමය යන්නයි. එයට මහජන සුබසාධනය නැතහොත් මහජනයා රැකබලා ගැනීමද ඇතුළත්ය.

ලක්ෂ හතළිහක් වූ පාසල් සිසුන්ට වෛද්‍ය රක්ෂණ ආවරණ ක්‍රමයක් ආණ්ඩුව පසුගියදා හඳුන්වා දුන්නේය. සිසුන්ගේ සෞඛ්‍ය හා යැපෙන්නන් අහිමිවීම මෙමගින් රක්ෂණය කොට ඇත. දැනටමත් එයින් ප්‍රතිලාභ ලැබීමට 80 කට වැඩි සිසුන් පිරිසක් ඉල්ලුම් කොට ඇති අතර පහළොස් දෙනෙකුට ආධාර ලබාදී අවසන්ය. එයින් දෙදෙනකුට හැත්තෑපන් දහස බැගින් ලැබුණේ මව හෝ පියා අහිමිවීම නිසාය. බරපතළ රෝගවලට ගොදුරුවන සිසුන්ට ලක්ෂ දහය ‍දක්වා රක්ෂණයෙන් ගෙවන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නටය.

අයවැයෙන් රජය කටයුතු කොට ඇත්තේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටද එම රක්ෂණ ක්‍රමය ලබාදීමටය. එය කෙතරම් විශාල සහනයක් වන්නේද යන්න ක්‍රියාත්මක වීමේදී දැකගත හැකිවනු ඇත.

හදවත් ඇත්තෝ වටිනාකම දනිති

කෘෂි භෝග පහකටද මෙබඳුම රක්ෂණ ක්‍රමයක් ලබාදීමට අයවැයෙන් කටයුතු කොට ඇත. එමෙන්ම මේ වනවිට රජය ක්‍රියාකොට ඇත්තේ මෙරටේ සෑම නිවසක්ම රක්ෂණයකට යටත් කරන්නටය. ගංවතුර, නායයාම්, සුනාමි වැනි විපතකදී වන්දි ලබාදීම එහි අරමුණයි. එය ක්‍රියාත්මක වීමේ ප්‍රතිලාභ ගැනද ඉදිරියේදී දැකගත හැකිවනු ඇත.

පෞද්ගලික අංශයේ සේවකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීමටද යෝජිතය. එය කරන්නේ සේවක වැටුපෙන් හා සේව්‍යාගෙන් එයට දායකත්වය ලබාගැනීම මගින්ය. හැටපන් ලක්ෂයක් වන ‍පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා එවැනි අරමුදලක් ගොඩනැගීම අවශ්‍යය.

හෘද රෝගීන්ට ස්ටෙන්ත් ගන්නට ලක්ෂ ගණන් ගෙවන්නට පසුගිය කාලයේ සිදුව තිබිණි. රෝගීන්ට එය දරාගත නොහැකි තරම් වී තිබිණි. දැන් ආණ්ඩුව ස්ටෙන්ත් නොමිලේ ලබාදීමට කටයුතු කොට ඇත.

හදවත් ඇත්තෝ එහි වටිනාකම තේරුම් ගනිති. අක්ෂි කාච නොමිලේ දීම ඊට පෙර සිට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළකි.

විපක්ෂයේ උදවිය නව ලිබරල්වාදය කියා ලේබල් ගසමින් ජනතා ද්‍රෝහි යැයි කියන්නට තනන්නේ මෙබඳු ආර්ථික වැඩපිළිවෙළකි. ආර්ථිකයක් ගොඩගනිමින් මහජනයාත් රැකබලාගන්නා මෙබඳු ක්‍රමයකට එරෙහි වන්නේ බොරු විශ්වාස රාශියක් කරපින්නාගෙනය.

අයවැයට මෙම විරෝධය ප්‍රකාශ වන්නේ යල්පැනගිය දර්ශනයක් හා යථාර්ථයට පටහැනි විශ්වාස මත පදනම් වෙමිනි. එයින් රටට සිදුවන්නේ විනාශයකි. එමෙන්ම බොරුව මත පදනම් වූ මෙම විවේචනවලට හා වි‍ෙව්චකයන්ටද දිගුකල් දේශපාලන පැවැත්මක් නැති බවද පැහැදිලි කාරණයකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *