ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන රාජපක්ෂ යුගයේ මූල්‍ය කළමනාකරණයේ කතාව – භාතිය බරුකන්ද

2018 අයවැය ලේඛනය ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන සංවාදය යළි සක‍්‍රීයවී තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තම ආර්ථික උපාය මාර්ග වඩාත් නිර්මාණශීලීව ක‍්‍රියාත්මක කිරීමට සූදානමකින් පසුබව බවක් දැකිය හැකි වෙනවා. මේ සඳහා ආණ්ඩුව වඩාත් නිර්මාණාත්මක සන්නිවේදන හා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ආරම්භ කර තිබීම අතිෂයින් වැදගත්.
අපට වැරදුණේ කොතැනද ?
ඪ2025 මගින් පසුගිය දා සියලූම ජාතික පුවත්පත්වල දැන්වීමක් පළකරලා තිබුණා. ‘‘ව්‍යවසායක ශ‍්‍රී ලංකාවක් – ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවතත් නිවැරදි මාවතට’’ යන ශීර්ෂපාඨයෙන් යුතු වූ මෙම දැන්වීමේ එක් තැනක සඳහන් වුණේ ‘‘අපට වැරදුණේ කොතැනද ?’’ යන ප‍්‍රශ්නාර්ථය සහ ඒ සඳහා හේතු. එහිදී අපට වැරදීමට මුල් වුණ හේතු හයක් (6)ක් ඉතා පැහැදිලිව දක්වා තිබුණා.
1 එදා වේල ප‍්‍රතිපත්තිය
2 ආර්ථික සංවෘත්තභාවය
3 රටට වඩා දේශපාලනයට මුල්තැන
4 අවස්ථාවාදය
5 ඥාති සංග‍්‍රහය හා දුෂණය
6 බෙදුණු ජනතාව
රටක් වශයෙන් අපට වැරදුණු තැන් සොයා යන ගමනේදී මේ හේතු හය අපි කවුරුත් පොදුවේ පිළිගැනීමට කැමැති වුණත් පුද්ගලිකව මේ කාරණා හයට විවිධ හේතු මත පක්ෂවීමට සූදානම් බව පිළිගත යුතුයි. ඒ පුද්ගලික ආත්මාර්ථකාමීභාවය තමයි ලංකාව පසුගිය කාලය පුරා ලත් සියලූම ස්වර්ණමය අවස්ථාවන් අතපසු කරමින් අගාධය කරා ගමන් කිරීමට මාවත විවර කර ගත්තේ.
ඉහත සඳහන් කළ අපට වැරදීමට හේතු කිහිපය මේ වන විට සිදුවෙමින් පවතින අයවැය විවාදය සමග යළි විමසුමට ලක්විය යුතු තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ දශකයකට ආසන්න කාලයක් පුරා සමස්ත ආර්ථිකය වළට ගෙන ගිය කල්ලිය මේ අවස්ථාවේදී තමන්ගේ ඒ අතීත කෙරුවාව අමතක කරමින් යළිත් ජනතාව මුලා කිරීමට ගන්නා වෑයම පරාජය කළ යුතු නිසයි.
පසුගිය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක ‘‘ඥාති සංග‍්‍රය හා දුෂණය’’ වශයෙන් සැලකිය හැකි කරුණු මේ වන විට අධිකරණය හමුවේ වගේම දේශපාලන කරළිය තුළත් දැඩිව හෙළි වෙමින් තිබෙනවා. අද තවමත් තහවුරු නොවූ කතාවක් වන බැඳුම්කර සිදුවීම මත එල්ලෙමින් ආණ්ඩුව පෙරළීමට තැත් කරන හිටපු පාලකයින් තම පාලන සමය තුළ අමු දවාලේ සිදු වූ දුෂණ හා ආර්ථික ඝාතනයන් ගැන දැඩි නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ආකාරය අපට දැකිය හැකියි.
මේ සිදුවීම් අතරින් වඩාත් වැඩි අවධානයක් යොමු විය යුතු ආර්ථික ඝාතන සිදුවීමක් වශයෙන් සැලකිය හැකි ‘‘ශ‍්‍රීලංකන් එයාර් ලයින් සමාගමේ’’ සිදු වූ බව කියන දුෂණ වගේම ඒ හරහා ජාතික ආර්ථිකයට සිදු වූ හානිය මේ දක්වා විධිමත් විමර්ෂණයකට ලක්වන ආකාරයක් හෝ එකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයක් දැකිය නොහැකියි. ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන දු ෂණ සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී ( 2015.04.04) වසර දෙකකට අධික කාලයක් ගතව තිබුණත් එම වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක වන බවක් මේ දක්වා දැකිය නොහැකියි. මේ තත්ත්වය නිසා ආර්ථික ඝාතකයින්ට නිදැල්ලේ පසුවීමට පමණක් නොවුන් පිතෘවරුන්ට යහපාලන ආණ්ඩුව ගැන, එහි ආර්ථික ක‍්‍රියාකාරීත්වය ගැන වහසි බස් දෙඩවීමට ද පහසු අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.
මහින්දගේ කොන්දේසි
පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක වෙත යොමු කළ ලිපිය ඉහත මාතෘකාව ගැන විමසුමකට යාමේදී පහසු ප‍්‍රවේශයක් නිර්මාණය කරනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහාය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීම සඳහා ශ‍්‍රීලනිපය විසින් ඉටු කළ යුතු කොන්දේසි 07ක් ඇතුළත් මෙම ලිපිය මගින් අවධාරණය කර තිබූ වැදගත් කොන්දේසියක් වුණේ ‘‘ජාතික සම්පත් අන්සතු කිරිමේ, නැතිනම් විදේශකරණය කිරීමේ ක‍්‍රියාවලියෙන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය’’ යන කොන්දේසියයි.
මේ කතාව රාජපක්ෂවරු සහ ඔවුන් සමග සන්ධානගතව සිටින ඊනියා වාමාංශිකයින් සහ ජාතිවාදීන් පසුගිය කාලය පුරාම එජාපයට එරෙහිව රට තුළ තහවුරු කිරීමට තැත් කරන බිල්ලෙක් වශයෙන් සැලකිය හැකියි. පසුගිය කාලය පුරාම මේ කල්ලිය අවධාරණය කරමින් සිටින්නේ, චෝදනා කරමින් සිටින්නේ ‘‘එජාප ආණ්ඩුව ජාතික සම්පත් විකුණාගෙන කන බවයි’’ මෙය හම්බන්තොට වරාය, චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ආදි සිදුවීම් රැුසක් සමග ඉදිරියට පැමිණියා.
ඒත් රාජපක්ෂවරුන්ගේ හා ඊනියා වාමංශිකයින්ගේ ගොබෙල්ස්වාදී ප‍්‍රචාර කොතරම් සාවද්‍ය ඒවා ද කියන එක පසුගිය අයවැය ලේඛනයෙන් පවා මනාව තහවුරු වුණා. මුදල් ඇමැති මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ යහපාලන ආණ්ඩුවේ සිවුවැනි අයවැය ලේඛනය තුළ රාජපක්ෂවරු මවන බිල්ලා ගැන ඉඟියක්වත් දැකිය නොහැකි වුණා. ඒ නිසා නොකෙරෙන දීගයක් වශයෙන් සැලකිය හැකි මහින්ද – මෛත‍්‍රී නව සන්ධානයක් වෙනුවෙන් මෙවැනි ඊනියා කොන්දේසි පැනවීම ඒකාබද්ධ විපක්ෂයේ බංකලොත්භාවය ප‍්‍රකාශ කරන හිස් ප‍්‍රලාප වනවා හැරෙන්න ඉන් ඔබ්බට සිදුවන දෙයක් නැහැ.
එයාර් ලංකා – ශ‍්‍රීලංකන් එයාර් ලයින් වූ හැටි
අද ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අසීරුතාවයන්ගේ ඍජු වගකීම හිටපු පාලකයින් විසින් අවිවාදයෙන් තොරව භාරගත යුතු බවට සැකයක් නැහැ. මොකද මහින්ද රාජපක්ෂ පාලන සමයේ අනුගමනය කළ අත්තනෝමතික හා දුෂිත තීන්දු රට මේ අසීරුතාවට පත් වීමට ප‍්‍රධාන හේතු වූණා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ මීට ඉහතින් ද සඳහන් කළ ‘‘ශ‍්‍රීලංකන් ගුවන් සමාගම’’ වැනි රාජපක්ෂ පවුලේ ඥාති සංග‍්‍රහයේ සුපිරි ¥ෂිත තත්්ත්වයන්.
ආණ්ඩුවේ පාලනය යටතේ ගුවන් සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් එහි ආරම්භක යුගයේ සිට ඍණාත්මක අදහසක් තිබූ බව ප‍්‍රකට කතාවක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1980 අපේ‍්‍රල් මස 24 වැනි දා රජයට අයත් සමාගමක් වශයෙන් ‘‘එයාර් ලංකා’’ සමාගම ආරම්භ කිරීම එවකට සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාන් යූ මහතාගේ පවා දෝෂදර්ශනයට ලක් වූ බව කියවෙනවා. දුරදක්නා නුවණින් යුත් කීර්තිමත් පාලකයෙක් වූ ලී ක්වාන් යූ මහතා එහිදී අවධාරණය කර තිබුණේ ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට තමන්ගේම ගුවන් සේවයක් නඩත්තු කිරීම ඔරොත්තු නොදෙන දෙයක් බවයි.
එහෙත් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ආසියානු කලාපයේ ආර්ථික ප‍්‍රාතිහාර්යයක් පෑමට සිහින දකිමින් සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා ඒයාර් ලංකා සමාගම ආරම්භ කළා. ජයවර්ධන මහතාගේ මේ අත්තනෝමතික තීන්දුව කොතරම් ඍණාත්මකදැයි ඉතා කෙටි කාලයකින් දැකගත හැකි වුණා. ඒ එයාර් ලංකා සමාගම ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි, මහා භාණ්ඩාගාරය හිස් කරන සුදු අලියෙක් බවට ඉතා කෙටි කලකින් පත් වූ නිසයි.
අවුරුදු 18ක් පුරා ජාතික ධනයෙන් නඩත්තු වූ මේ සමාගම පුද්ගලීකරණය කළ යුතු බවට තීරණය ගත්තේ 1998දී. ඒ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් (මහින්ද, දිනේෂ්, වාසු ද මේ ආණ්ඩුවේ ප‍්‍රබලයින් බව අමතක නොකළ යුතුයි* මේ තීන්දුව එදත් ඊනියා වාමාංශිකයින්ගේ විවේචනයට ලක් වුවත් ජනාධිපතිනිය ඍජු තීන්දුවක් ගෙන එයාර් ලංකා සමාගම කළමනාකරණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිමිකාරීත්වය සහිත කීර්තිමත් ගුවන් සමාගමක් වූ ‘‘එමිරේට්ස් සමාගමට’’ පැවරුවා. ශ‍්‍රී ලංකික කාන්තාවක් සමග විවාහ වී සිටි කීර්තිමත් කළමනාකරුවකු වූ ‘‘පීටර් හීල්’’ මහතාගේ නායකත්වයට ශ‍්‍රීලංකන් සමාගම පත් වුණේ මේ සමගයි.
මේ තීන්දුව කොතරම් ඥානවන්ත දැයි රටට පැහැදිලි වුණේ එමිරේට්ස් සමාගම යටතේ කළමනාකරණය වූ ‘‘ශ‍්‍රීලංකන් ගුවන් සමාගම’’ ඉතා කෙටි කාලයකින් ලාභ ලබමින් මහා භාණ්ඩාගාරයට බදු ද ගෙවන තත්ත්වයට පත්වීම සමගයි.
දේශපාලන මහන්තත්වයේ ගොදුරක් වීම
එමිරේට්ස් සමාගමේ පාලනය යටතේ ලාභ ලබමින් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ සේවයක් ලබා දුන් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට සෙනසුරු දසාව ලැබීමට පටන් ගත්තේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීම සමගයි.
එහි ආරම්භක ප‍්‍රවේශය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සිහිනයක් ඉටු කිරීම වෙනුවෙන් ආරම්භ කූ ‘‘මිහින් ලංකා’’ ගුවන් සමාගම 2006දී ආරම්භ කිරීමයි. 2006 ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වූ මිහින් ලංකා ගුවන් සමාගමේ මුඛ්‍ය අරමුණ වුණේ අඩු වියදම් ගුවන් ගමන් පහසුකම් ලබාදීම වුවත් එම අරමුණ නිසි පරිදි සාධනය කරගත හැකි සැලසුමක් ආණ්ඩුවට නොමැති බව ආරම්භයේදීම තහවුරු වුණේ මිහින් ලංකා සමාගමේ ප‍්‍රධානියා බවට මහින්ද රාජපක්ෂ මහතාගේ අතවැසියෙකු වූ සජින් වාස් ගුණවර්ධන පත් කිරීම සමගයි. ගුවන් සමාගම් කළමනාකාරණය ගැන තබා නිසි අධ්‍යාපන සුදුසුකම් පවා සම්පූර්ණ නොකළ පුද්ගලයෙකු වූ සජින් වාස් ගුණවර්ධන යටතේ පාලනය වූ මිහින් ලංකා සමාගම මහා භාණ්ඩාගාරය අමු දවාලේ වනසන සුදු අලියෙක් බවට පත් වෙමින් තිබෙන විට රාජපක්ෂ පවුලේ ගසේ තවත් පුද්ගලයෙක් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට කෙළ හලමින් සිටියා.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ එමිරේට්ස් කළමනාකාරීත්වය ජාත්‍යන්තර කළමනාකාරීත්වයකින් ක‍්‍රියාත්මක වූ බැවින් ඒ වෙත කළ හැකි දේශපාලන බලපෑම් අවම තත්ත්වයක තිබුණා. ඒ කළමනාකරණ ප‍්‍රතිපත්තියම ශ‍්‍රී ලංකන් සමාගමේ අහේතුවට හේතු වුණේ 2008 වසරේදීයි.
රාජ්‍ය බලයට පත්වීම සමග සිය ගණන් අතවැසියන් පිරිවරා ගෙන විදේශ සංචාරවල නියැලීමේ පිපාසයකින් පෙළුණු මහින්ද රාජපක්ෂ මහතා 2008 දී මහා බි‍්‍රතාන්‍යයේ කළ සංචාරකදී ශ‍්‍රීලංකන් ගුවන් යානක ආසන වෙන්කරවා ගැනීම සම්බන්ධ ගැටලූවක් ඇති වුණා. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටි ආසන ගණන හදිසියේ වෙන් කරදීමට එදා එමිරේට්ස් කළමනාකාරීත්වය ප‍්‍රතික්ෂේප කර තිබුණා. අවසානයේ ආසන ප‍්‍රශ්නයක මුල් කර ගෙන (අඬන්න සිටිය එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගේ* මහින්ද රාජපක්ෂ මහතා සහ එමිරේට්ස් කළමනාකාරීත්වය අතර ඇති වූ ඊනියා අර්බුදය කෙළවර වුණේ ‘‘ජාති ආලය’’ තොරොම්බොල් කරමින් ශ‍්‍රීලංකන් ගුවන් සමාගම යළි ආණ්ඩුවට පවරා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව තීරණය කිරීම සමගයි. ආණ්ඩුවේ මේ අත්තනෝමතික තීරණය ගැන බොහෝ දෙනා දැඩි තිගැස්මට ලක් වුණත් රාජපක්ෂ මහතා තමන්ගේ අත්තනෝමතික තීරණය ආපසු හරවා ගැනීමට සූදානම් වුණේ නැහැ.
¥ෂිත පවුල් පාලනයට
ශ‍්‍රීලංකන් සමාගමේ කොටස් අයිතිය යළි ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පවරා ගන්නා විට එය ලාභ ලබමින්, ආණ්ඩුවට බදු ගෙවමින් ඉතා සාර්ථකව කළමනාකරණය වෙමින් තිබූ ආයතනයක් බවට පත්ව තිබුණා. ඒ වගේම පුරා දශකයක කාලයක් එය ශ‍්‍රී ලංකා භාණ්ඩාගාරයට මහත් සහනයක් සලසා දෙමින් සිටියා. ඒ අනුව ශ‍්‍රීලංකන් ගුවන් සමාගම 2008 වසර වන විට රුපියල් බිලියන 9.28ක ලාභයක් වාර්තා කළ බව සඳහන් වුණා.
මහින්ද රාජපක්ෂ මහතා ආසන ප‍්‍රශ්නයක් දඩමීමා කර ගනිමින් රජයට පවරා ගත්තේ මෙවැනි වර්ධනයක් අත්පත් කරගෙන සිටි සමාගමක් බව අප අමතක නොකළ යුතුයි.
ශ‍්‍රී ලංකන් සමාගම ආණ්ඩුවට පවරා ගත් විට එහි පාලනය පැවරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව වන ශිරන්ති වික‍්‍රමසිිංහ මත්මියගේ සොහොයුරෙකු වූ නිශාන්ත වික‍්‍රමසිංහ මහතාටයි. මේ පත් කිරීම ගුවන් සමාගම් කළමනාකරණ ක්ෂේත‍්‍රයේ විමතියට හේතුවක් වුණා. ඊට හේතුව වුණේ නිශාන්ත වික‍්‍රමසිංහ මහතා අදාළ විෂය ගැන මූලික දැනුම පමණක් නොව එවැනි තනතුරකට පත්වීමට අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම් පවා අහිමි පුද්ගලයෙකු වූ නිසයි.
මෙතැන් සිට ආරම්භ වුණේ ජාතික ගුවන් සේවය රාජපක්ෂවරුන්ගේ කෙළිබිමක් බවට පත්වීමයි. එය රාජපක්ෂ පවුලට පමණක් නොව රාජපක්ෂ කල්ලියට පවා සියලූ පහසුකම් සපයන කෙළිබිමක් බවට පත් වුණේ එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ලාභ ලබමින් ද ජාත්‍යන්තර ප‍්‍රමිතියක් සහිත සේවයක් ලබා දෙමින් ද අත්කර ගෙන සිටි කීර්තිනාමය කෙළසා දමමින්.
රාජපක්ෂවරුන්ගේ පාලනය හා අනුග‍්‍රහය යටතේ අන්ත ¥ෂිත ආයතනයක් බවට පත් වූ ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ඒ හා සමගම තම ලාභය දැවැන්ත අලාභයක් බවට හරවා ගත් බව පසුව නිකුත් වූ මූල්‍ය වාර්තා සනාථ කළා. ඒ අනුව 2008-15 වසර හතක නිශාන්ත වික‍්‍රමසිංහ පාලනය යටතේ එය රුපියල් බිලියන 128.238 දැවැන්ත අලාභයක් වාර්තා කළා. මේ රුපියල් බිලියන 128 සම්පූර්ණයෙන් දැරීමට සිදු වුණේ මේ රටේ පොදු ජනතාවට බව අප අමතක නොකළ යුතුයි. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තුළ තවත් අන්ත දුෂිත ගනුදෙනු පමණක් නොව දැවැන්ත අපයෝජන පවා සිදු වූ බව මේ යුගයේ මාධ්‍ය වාර්තා කළා. ඒ බව ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ දුෂණ සොයා බැලීමට පත්කළ ජේ.සී වැලිඅමුණ වාර්තාව මගින් (2015 අපේ‍්‍රල් 04) මනාව හෙළිකළා.
රාජපක්ෂ පවුලේ කෙළිබිමක් බවට පත් ව තිබූ ශ‍්‍රීලංකන් ගුවන් සමාගම අවසානයේ පත්ව සිටි ඛේදනීය ඉරණම ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව හෙළි කර තිබුණා.
‘‘ගුවන් යානා නඩත්තුව සහ කල්බදු සඳහා අදාළ පිරිවැය ඉහළ යාම ප‍්‍රධාන වශයෙන් හේතු කොටගෙන ශ‍්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් විදයම 2015 වසරේදී වාර්තා කළ රුපියල් බිලියන 4.9ට සාපේක්ෂව 2016 දී රුපියල් බිලියන 14.1ක් දක්වා ඉහළ ගියේය. … දැවැන්ත අලාභ ලබන ගුවන් සේවයක් රජයේ මුදල් ප‍්‍රවාහය මගින් අරමුදල් සපයමින් පවත්වා ගෙන යාම රජයේ අයවැය මත විශාල පීඩනයක් ඇති කරයි. එබැවින්, ප‍්‍රාග්ධන සැපයීම සහ ණය ස්ථායිකරණ අවශ්‍යතාවයට විසඳුම් සෙවීමටත්, එමගින් රජයේ අයවැය මත ඇති පීඩනය ඉවත් කිරීමටත්, උපාය මාර්ගික හවුල්කරුවෙකු එක්කර ගැනීම සඳහා ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ග සාර්ථක කරගත යුතුව ඇත’’
අද ජාතික සම්පත් පුද්ගලීකරණය ගැන, දුෂණ හා අවභාවිත කිරීම් ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරන, මාධ්‍ය අවකාශය ගඳ ගස්සන ඒකාබද්ධ විපක්ෂ කල්ලිය ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට වැනි රාජ්‍ය ආයතන කාබාසිනියා කළ ආකාරය ගැන කිසිවක් නොදන්නා ළදරුවන් සේ හැසිරීම හාස්‍යයට කරුණක්. ඒ වගේම යළි යළිත් බලයට ඉව කරමින් ඔවුන් ජනතාව ඉදිරියේ මේ රඟපාන්නේ යළිත් සුපුරුදු දඩකෙළිය සඳහා ම බව වටහා නොගත් සැලකිය යුතු පිරිසක් අදත් අපේ සමාජයේ ජීවත් වීම කනගාටුවට කරුණක්.

සටහන

භාතිය බරුකන්ද

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *