ප්‍රවෘත්ති වසා තැබීම – අනුර සුරියබණ්ඩාර

ශ්‍රී ලංකා ටෙලිකොම් ජලය ඔස්සේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ටෙලිකොම් පාරිභෝගිකයනට අවහිර කර ඇතිබවට පසුගිය ඉරිදා පුවත්පතක් විසින් පෙන්වා දී තිබුණි. මේ වන විටත් ෆේස් බුක් වැනි සමාජ ජාල ඔස්සේ එකී සංවාදය දිගහැරෙමින් පවති.

මෙහිදී විරෝධතා කරුවන් මතුකරන කරුණ වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඊ නිවුස් වාරණ නියෝගය පනවා තිබේය යන්නයි. එසේම වාරණය ක්‍රියාත්මක කරන්නට දායක වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිත්වය ජනාධිපතිවරයාගේ සොහොයුරු පී.ජී. කුමාරසිංහ මහතා දැරීමද එකී කරුණේ දී කරළියට පැමිණ තිබුණි. එපමණක් නොවේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිත්වය නිල වශයෙන් ජනාධිපති ලේකම්වරයාට එනම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට හිමිව ඇති බවද පුවත්පත විසින් පෙන්වා දී තිබුණි.

මේ තත්ත්වය මත බැලූබැල්මට පෙනීයන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය, අනුදැනුම ඇතිව හෝ නොමැතිව ජනාධිපතිවරයාට සම්බන්ධ ආයතන හා පුද්ගලයන් සම්බන්ධවී ඊ නිවුස් වාරණය ක්‍රියාත්මකව ඇති බවයි.

මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයන් අතර පැතිරුණු කතාවකට අනුව පැවසෙන්නේ ඊ නිවුස් වාරණයට බලපෑ ආසන්නම හේතුව ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ වාහන ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු ඊ නිවුස් හරහා ප්‍රචාරය වීම යන්නයි.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගත් කළ මෙරට මෑත කාලීන ඉතිහාසය සුන්දර නැත. මාධ්‍යවේදීන් මරාදැමීම, පැහැරගෙන යාම, අතුරුදන් කිරීම, අතපය කඩා දැමීම, ස්වේච්චාවෙන් රටින් පිටුවහල්වන තත්ත්වයට පත්කිරීම වැනි දේ සිදු වූ බැවිනි.

ජනවාරි අට වෙනස ඔස්සේ ජනතාව බලාපොරොත්තු වූයේ ප්‍රකාශ කිරීමේ අයිතිය යළිත් ශ්‍රීලාංකේය සමාජජය තුළ තහවුරුකර ගැනීමයි.

ගතවූ වසර දෙකහමාරකට ආසන්න කාලය තුළ මෙරට මාධ්‍ය නිදහස පෙර පැවැති ඛේදනීය තත්ත්‍වයෙන් මිදුණු බව කාහට වුවද පිළිගැනීමට සිදුවේ. එය එක් අතකින් ආණ්ඩුවේ වුවමනාවටත් වඩා ජනතා බලපෑම මත සිදුවූවක් බවද පෙනෙන්නට තිබේ. එහිම අතුරුපලයක් ලෙස ආණ්ඩුව නිසි නින්දේ විවේචනය කිරීමට මාධ්‍ය රැසක් කටයුතු කරයි.

තවත් අතකින් ගත්කල පාලකයන්ගේ එනම් ආණ්ඩුවේ අනුදැනුම අනුග්‍රහය නොමැතිව රටක මාධ්‍ය නිදහස ක්‍රියාවේ යෙ‍දවෙනු ඇතැයි විශ්වාස කරන්නටද හැකියාවක් නැත. ආණ්ඩුවක මර්දනයක් පවතින්නේ නම් මාධ්‍යට එළිපිට නිද‍හසේ කටයුතු කරන්නට ඉඩ නොලැබෙන බැවිනි.

ක්‍රියාත්මකව පවතින් ඊ නිවුස් වාරණය පිළිබඳ ඉහත කී සතිඅන්ත පුවත්පත සහ සමාජ ජාල හැරුණු විට වෙනත් පාර්ශ්ව වලින් හඬක් අදහසක් නැගුණු බවක් මෙය ලියන මොහොත වන විටත් පෙනෙන්නට තිබුණේ නැත.  ඇතැම් විටෙන ප්‍රෙට්‍රල් ප්‍රශ්නය සහ අය – වැය හේතුවෙන් ප්‍රධාන එනම් ජාතිකය කියා හඳුන්වන මාධ්‍ය ආයතනවලට ඊ නිවුස් පුවත මඟහැරුණා වන්නට පුළුවන. නමුත් කිවයුතු වන්නේ පෙට්‍රල් අර්බුදයට හෝ අය – වැය යෝජනාවලට වඩා බරපතල ලෙස ඊ නිවුස් ප්‍රශ්නය ජනමාධ්‍ය විසින් බාරගත යුතුව තිබු බවයි.

ඊ නිවුස් යනු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් නොවන බැවින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් එම ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවන බව සලකා ඉවත දැමුවා වන්නටත් පුළුවන. දේශපාලනයට ද මේ ලියන මොහොත වනතෙක් ඊ නිවුස් වාරණය ප්‍රශ්නයක් වශයෙන් පෙනෙන්නට තිබුණේ නැත. ආණ්ඩුවේ කොයි වරදටත් කෑකෝ ගසන ඒකාබද්ධ විපක්ෂය පවා ඒ ගැන කිසිවක් පැවසූ බවක් පෙනෙන්නට නැත. එය එක් අතකින් සාධාරණ බවද මෙහිදී කිය යුතුය. මන්ද එකාබද්ධය බලයේ සිටි සමයේ ඊ නිවුස් ආයතනය එහි මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමද සිදු වූ බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණ ආදි දේශපාලන පක්ෂද ඊ නිවුස් වාරණය සම්බන්ධයෙන් මේ ලියන මොහොත එනම් 2017.11.13 ප.ව. 9,59 දක්වා අනුගමනය කර තිබුණේ නිහඬ පිළිවෙතකි. ඊ නිවුස් වාරණයෙන් පසු වහාම එළඹුනේ සති අන්තයක් වීමද ඊට යම් තරමකින් බලපෑවා වන්නට පුළුවන.

ඉහත දැක්වූ සතිඅන්ත පුවත්පත විදුලි සන්දේශ නියාමන කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් (විදුලි සන්දේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා විදේශගතව සිටින බැවින්) වාරණය පිළිබඳ විමසා බලා තිබුණි. ඔහුගේ පිළිතුර වී තිබුණේ එවැනි වාරණයක් සඳහා දැනුම්දීමක් නියාමන කොමිසම ටෙලිකොම් වෙත කර නොමැති බවයි.

ලංකා ඊ නිවුස් වාරණය පිළිබඳ චෝදනාව එල්ලවී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට බැවින් ඒ සම්බන්ධව ආණ්ඩුව පාර්ශ්වයෙන් මැදිහත් වීමක් සිදුවිය යුතුය. එනම් වාරණයට ජනාධිපති කාර්යාලය මැදිහත් වූයේද නැතිද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ජනාධිපති කර්යාලය විසින් කළ යුතුය.

කවර හේතුවක් මත හෝ ටෙලිකොම් ජාලය හරහා ලංකා ඊ නිවුස් වෙත ප්‍රවේශ වීමට නොහැකියාවක් තිබේය යන්න සත්‍යයකි. එසේ නම් ඊට හේතුවක් තිබිය යුතුය. හේතු පැහැදිලි නොකර සිටීමට හෝ ප්‍රශ්නය නිරාකරණය නොකර සිටීමට ටෙලිකොම් ආයතනයට සදාචාරත්මක අයිතියක් ද ඇත්තේ නැත. එසේම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වීමට විදුලි සන්දේශ නියාමන කොමිසමට ද වගකීමක් ඇත.

වාරණය කිරීමෙන් තොරතුරු හෝ ප්‍රවෘත්ති වසාදැමීය හැකියයි කිසිවකු සිතන්නේනම් එයම මුළාවකි. එක් ජාලයකින් පිවිසීමට බාධා කළද වෙනත් මාර්ග ඔස්සේ අවශ්‍ය වෙබ් අඩවියට පිවිසීමට තාක්ෂණය දන්නා අයට හැකියාවක් ඇති බැවිනි.

අනෙක් අතට හරි හෝ වැරදි ප්‍රචාරයට මුහුණ දියයුතු ආකාරය වන්නේ වාරණයෙන් නොවේ. ආණ්ඩුවේ වරදක් හෝ ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයකුගේ හෝ ආයතනයක හෝ වරදක් හෙළිදරව් වන්නේ නම් කළ යුත්තේ වරද නිවරද කර ගැනීයි. බොරු ප්‍රචාර හෝ මඩ ප්‍රචාර පතුරුවන්නේ නම් සත්‍ය හෙළිදරව් කර ඒවා නිහඬ කිරීම මිස ප්‍රචාරණ මාධ්‍ය වසා දැමීම යහපාලනයට ගැලපෙන්නේ නැත. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ ඇණගසා තිබූ ජනමාධ්‍ය අයිතිය නිදහස් කර ගැනීම බැවිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *