පෙට්ට්‍රල් ගින්න කාගේ වැඩක්ද ? – සරත් වික්‍රමසූරිය

රට පුරාම පැවතුන පෙට්ට්‍රල් ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබුණා වුවද තෙල් ප්‍රශ්නය විසින් මතු කළ ගැටලුව පිළිබඳ අවධානය යොමු කීරීම කාලීන අවශ්‍යතාවයකි. තෙල් ප්‍රශ්නයේ ඇරඹුම ලෙස පෙනෙන්නට ඇත්තේ බාල ප්‍රමිතියෙන් යුතු තෙල් නැවක් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

නැවෙන් රැගෙන ආ තෙල් බාල නම් බාර නොගැනීම වරදකැයි කියා කියන්නට නොහැකිය. රාජපක්ෂ සමයේ බාල තෙල් නිසා මෙරට වාහන හිමියන් පත් වූ අපහසුතාව මෙහිදි මතකයට නඟා ගැනීම සුදුසුය. බාල තෙල් භාවිතයෙන් වාහන තැන තැන නතර වූ නමුත්, මෙවර මෙන් කිසිවකු උ‍ද්ඝෝෂණ විරෝධතා කරන්නට නොගියේ එකල පැවති ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳ වැටහීමක් තිබුණු නිසා බව සිතන්නට පුළුවන.

වාහන මග නැවතුණු විටත් ඒ ආණ්ඩුව කීවේ, තෙල්වල ප්‍රශ්නයක් නොව ඩීසල් ෆිල්ටර්වල ප්‍රශ්නයක්ය කියාය. නැවතුණු වාහන වලට වන්දි ගෙවන කතාවක් ද පසුව කී නමුත් වන්දි ගෙවූ බවක් මතකයක් නැත. අද තෙල් අවුල ගැන මහහඬින් කෑගසන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් එකල කතා කළ බවක්ද මතක නැත.

මෙවර තෙල් ප්‍රශ්නයේ ප්‍රධාන භූමිකාවක් රඟදක්වනු ලැබුණේ ජනමාධ්‍ය විසින් සහ සමාජ ජාලා විසින් බවද කිය යුතුය. තෙල් නැව හරවා යැවූ සැණින් ජනමාධ්‍ය කීවේ, රට තුළ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවයි. ඒ ආරංචියෙන් කලබලයට පත් ජනතාව වාහන නොව බූලි බොතල් බැරල් රැගෙන ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසුණි. එදිනෙදා තෙල් සපයා ගන්නා වාහන හිමියෝ ද අමතර තෙල් ලබාගැනීමටත් වැඩිපුර පුරවා ගැනීමටත් උත්සාහ කළහ. සැපයුම ඉක්මවා යන ඉල්ලුමක් ඇති වූ විට හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැකිය. තෙල් හිගයක් පිළිබඳ කෙටි පණිවිඩ ව්‍යාපාරයක් ද ඒ අතර ක්‍රියාත්මක විය. සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ අර්බූදයක් දක්වා ප්‍රශ්නය මුහුකුරා යාමයි.

අර්බූදයක් ඇති විය හැකි වතාවරණයක ජනමාධ්‍ය විසින් ප්‍රවෘත්ති පළකළ යුත්තේ නොසන්සුන් තාවක් ඇති නොවන පරිදි ය. එසේ වුව මෙවර තෙල් ප්‍රශ්නයේ දී බොහෝ විද්‍යුත් නාලිකා සහ පුවත්පත් කටයුතු කළේ අර්බූදය උත්සන්න කොට ආණ්ඩුව අපහසුතාවයට පත්කරන අටියෙන් ද යන ප්‍රශ්නය මධ්‍යස්ථ ජනතාවට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයට වාසි සහගත ලෙස ප්‍රවෘත්තිය යොදා ගැනීමට එක් පිරිසක් උත්සාහ කළහ. ආණ්ඩුවේ පාර්ශව අතර ඇති අරියාදු පිරිමසා ගැනීමේ මඟක් ලෙසද ප්‍රශ්නය යොදා ගැනුණු බව රහසක් නොවේ. තෙල් ප්‍රශ්නය එක් ආකාරයකින් පිපිරුවේ තෙල් – ක්‍රිකට් අවුලක් වශයෙන් බව ද පෙනෙන්නට තිබුණි. ක්‍රිකට් හා සම්බන්ධ පුද්ගලයෙකුට සමීප පුවත්පතක කතු වැකිය ණනිජ තෙල් ඇමති වරයා විවේචනය කිරීමට යොදාගෙන තිබුනු ආකාරය ඊට හොඳම නිදසුනකි. ඛනිජ තෙල් ඇමතිවරයා ක්‍රිකට් විවේචනය කිරීමට එකට එක කිරීම ඒ කතුවැකියේ අරමුණ වූ බව පෙනෙනන්ට තිබුණි.

ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වශයෙන් ජාතික ප්‍රශ්නයකදී එකාවන්ව එකතුවී විසඳුම් සෙවීමට සූදානම් නැති බව තෙල් ප්‍රශ්නයේ දී හොඳින් දිස්විය. යහපාලන ආණ්ඩුවේ දුර්වලකම වශයෙන් හඳුනා ගත හැක්කේ‍ද මෙකී තත්ත්වයයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සයිටම් ප්‍රශ්නය ආදි සෑම තැනකදීම සාමුහිකත්වයට වඩා කැපී පෙනෙ‍න්නේ සුමුහිකව ප්‍රශ්නයට මුහුණදීම වෙනුවට පක්ෂ සහ පුද්ගලයන් වශයෙන් එකෙක් අනෙකා කපාගෙන නැඟිටීමට දරන උත්සාහයයි.

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා පවසා තිබුණේ තෙල් නැවක් පරීක්ෂන දෙකකදී අසමත් වූ බවත් පැමිණීමට නියමිත තිබූ තෙල් නැවක් දින හතක් ප්‍රමාද වූ බවත්ය. චම්පික රණවක අමාත්‍යවරයා කියා තිබුණේ තෙල් නැව පමාවීමත් තෙල් පරිපහදුව කර්මණ්‍ය වීමත් සමාපාත වීම පිටුපස දූෂණයක් ඇති බවයි. චම්පික අමාත්‍යවරයා යටතේ තෙල් ඇමති ධුරය පැවැති වකවානුවේත් තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වූ බව ඔහු පෙන්වා දී තිබුණි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී වැදගත් කරුණු කිහිපයක් මතුකර තිබුණි. ඔහුගේ මතය අනුව, නියමිත පරිපාටිය අනුගමනය නොකර තෙල් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරයි. ටෙන්ඩර් කැඳවා ආයතන තොරාගෙන තිබියදිත් ඊට කැබිනට් අනුමැතිය ලබා නොදී ඉක්මන්  මිලදී ගැනීම් යටතේ තෙල් ගෙන්වා තිබේ. ඉන් සිදුව ඇති පාඩුව මිලියන 40කි. ඛනිජ තෙල් සංස්ථාව සතුව ගබඩා පහසුකම් නැති බව, තෙල් පිරිපහදුව අකර්මණ්‍ය වීම ආදී කරුණු ද අනුර කුමාර දිසානායක මහතා විසින් පෙන්වා දෙන්නට යෙදී තිබුණි.

බොහෝ අය විමසූ ප්‍රශ්නය වූයේ නැවක් හරවා යවන්නට සිදු වූ පමණින් රටේ තෙල් අර්බූදයක් ඇතිවිය හැකිද යන්නයි. බැලූ බැල්මට එය සාධාරණ ප්‍රශ්නයක් බව පිළිගැනීමට සිදුවේ. තෙල් මිලදී ගැනීම මෙන්ම සැපයීමද ව්‍යපාරික කටයුත්තකි. ගනුදෙනු වලදී උපරිම ලාබ ගැනීමට ඇතැම්විට ඇතැම් සැපයුම්කරුවන් විවිධ කූඨ උපක්‍රම යොදන්නට පුළුවන. මෙර සිදු වූ තෙල් සැපයීම ද එවන්නකි. එවැනි දේ ඉදිරියටත් සිදුවිය හැකිය. එසේ නම් එවැනිදේට මුහුණ දීමට පෙර සූදානමකින් පසුවීම ද වැදගත්ය. මෙවර සිදුවීමෙන් පෙනී යන්නේ එවැනි පෙර සූදානමක් ඛනිජතෙල් සංස්ථාවට නොතිබූ බවය. එසේ නැත්නම් සූදානම ප්‍රමාණවත් නොවන බවය.

මූලික වශයෙන් කෑපී පෙනෙන දුර්වලතාව වූයේ තෙල් අවුල සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රචාරක යුද්ධයට මුහුණ දීමට පවා ශක්තිමත් වැඩපිලිවෙලක් ආණ්ඩුවට නොතිබීමය. තෙල් නැව හරවා යැවීම අර්බූදයක් දක්වා වර්ධනය වීම වලක්වා ගන්නට හොඳ ප්‍රචාරක යාන්ත්‍රණයකින් හොඳටම ඉඩ තිබුණි. නිදසුනක් වශයෙන්, වාහන ඉන්ධන ටැංකි හැර පෙට්‍රල් පිරවිය නොහැකිවන නිවේදනයක්, දළදා මැදුර ඉදිරිපිටදී භික්ෂුවක් ගිනිතබාගත් පසුව නිකුත් කෙරිණ. මෙවර තෙල් අර්බුදය හමුවේද ඛනිජතෙල් අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙනත් භාජනවලට තෙල් නිකුත් නොකරන්නැයි නිවේදනය කළේය. එහෙත් එය බොහෝ සෙයින් පමා වූ පසුවය.

එක් ඉන්ධන පිරවුම් හලක හිමිකරුවෙක් කීවේ, තමා වාහන වලට ප්‍රෙට්‍රල් නිකුත් කළේ සීමාවකින් යුතුවය කියාය. එනිසාම තෙල් හිගයකට මුහුණ දීමට සිදු නොවූ බවද හෙතෙම කීවේය. තෙල් හිගයක් ඇති වීමට ඉඩ ඇතැයි හැඟුනි නම් තෙල් සංස්ථාවට වුව එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාව තිබුණි. ඇති විය හැකි සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලිකර තෙල් පරිභෝජනය අරපිරිමැස්මෙන් කරන්නට ජනතාවට මග පෙන්වන්නටද තිබුණි. නමුත් සිදුවූයේ අමතර භාජනවලට තෙල් නොදිය යුතුය යන නිවේදනයද නැවත හකුලා ගැනීමයි.

ඉන්ධන ගැටළුවට ක්ෂණික විසඳුම් සෙවීමට ඇමති කමිටුවක් පත්කිරීම දක්වාම අවසානයේ ගැටළුව දික්ගැස්සී ගියේය. ඇති වූ ගැටළුවට ක්ෂණික විසඳුම් සෙවීමෙන් නතර නොවී අනාගතයේ යළිත් අර්භූදයක් ඇතිවීම වලක්වා ගැනීමට පියවර සොයා බැලීමටත් කටයුතු කළ යුතුය.

අර්භූදය පිටුපස දේශපානල හස්ථයක් තිබුනේද? නිලධාරිවාදි කඩාකප්පල්කාරි ක්‍රියාවක් ගැටලුවට හේතුවීද? කොමිස් මුදල් වැනි කරුණු අර්භූදය පිටුපස තිබේද?  වැනි‍දේ සොයා බලා ඒවාට නැවත හිස එසවීමට ඉඩකඩ ලැබුණේ කෙසේද යන්න සොයා බලා ඒවාට නැවත හිස ඔසවන්නට ඉඩ නොතැබීම ද වැදගත්ය.

සියල්ලලටම වඩා වැදගත් වන්නේ ණනිජතෙල් සංස්ථාවේ කටයුතු පිළිබ ඳ ස්වයං ‍විවේචනාත්මක බලා වැරදි නිවැරදි කර ගැනීමයි. චම්පක රනවක, අනුර කුමාර දිසානායක වැන්නන් මතුකරන පුශ්න වැදගත්වන්නේ ඒ සඳහාය. ‍

සරත් වික්‍රමසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *