අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ජනතාව මත පැටවීමයි – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

මීට අවුරුදු 40කට කලින් මාතර දෙවිනුවර මන්ත‍්‍රී රොනීද මැල් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප‍්‍රතිපත්තිය සහ මූලධර්ම ඒ ආකාරයෙන්ම අද මාතර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. විවෘත ආර්ථිකයටම පරිසර හිතකාමී සත්ව හිතකාමී පේන්ට් එකක් කරලා. රට වළපල්ලට ඇදගෙන ගිය ප‍්‍රතිපත්තිය ඒ ලෙසම ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවට විහිළු සපයන කාරණා කිහිපයක් මේ අයවැයේ තියෙනවා. නීලහරිත අයවැයෙන් මංගල සමරවීර යෝජනා කරනවා දෙහිවල සත්තු වත්තේ සත්තු ටික කූඩුවලින් නිදහස් කරන්න. සත්තු වත්තේ කූඩු ටික නිදහස් කරපහුගිය ආණ්ඩුවේ නීලකාශ හොරුටික ඒ කූඩුවලට දානවානම් ජනතාව සැනසුම් සුසුමක් හෙළයි පසුගිය ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකරනවා කියලා. එසේ නොකර කූඩුවල ඉන්න සත්තු නිදහස්කිරීමෙන් රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ.
සීනි අඩංගු පානවර්ග සඳහා ආණ්ඩුව අලූතින් බද්දක් යෝජනා කර රුපියල් මිලියන 5000ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. ජනතාව දියවැඩියාවෙන් බේරගන්න බද්ද ගහන බව කියමින් ආණ්ඩුව බීර මත පනවා තිබෙනව බද්ද අඩු කරනවා. ජනවහරෙ නම් තියෙන්නේ නංගී පෙන්වලා අක්කා දෙනවා කියලා. මේක වෛද්‍ය විද්‍යාත්මකව කිව්වොත් අගන්‍යාශය පෙන්නලා අක්මාවට ගහන අයවැයක්. ජනතාවගේ සෞඛ්‍ය නංවන්න කියලා සියලූම පළාත් පාලන ආයතනවල ජොගින් ට‍්‍රැක් 350ක් හදන්න රුපියල් මිලියන 1500ක් වෙන්කර ආණ්ඩුව මාතර නිල්වලා එළිය පාර්ක් එක හදන්න විතරක් රුපියල් මිලියන 1500ක් වෙනකරගෙන තිබෙනවා. නිලවලා පාර්ක් එකට විතරක් මිලියන 1500ක් වෙන්කළේ ඇයි කියලා මංගල සමරවීර ජනතාවට කියන්න ඕනෑ. අපේ රටේ වෛද්‍යවරු බිහිකරන්න වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ තුනක් හදන්නත් වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන 1250ක් විතරයි. මේ වගේ විහළු තිබෙන අයවැයක්.
රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට අධ්‍යාපන පෞද්ගලීකරණය පත්වී තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට උත්සාහ කරනවා. සටනේ ප‍්‍රතිඵලයක් විදියට සයිටම් ආයතනය අහෝසි කළා. නමුත් මේ අයවැයේ යෝජනාවක් අනුව ආණ්ඩුව සූදානම් වෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන විශ්වවිද්‍යාලවල කොටස් අයිතිය සමාගම්වලට ලබාගත හැකි ආකාරයට නීතිමය අණපනත් වෙනස් කරන්න සූදානම් වෙනවා. රටකට විශ්වවිද්‍යාල අවශ්‍ය වෙන්නේ බුද්ධිමය ප‍්‍රජාව නිර්මාණය කරන්නයි. ඒ සඳහා රටේ ජනතාවගේ බදු මුදල්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් වෙන් කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුවේ ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය යටතේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලත් කොටස් වෙළඳපොළට දාන්න යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවම මීට අවුරුදු 40කට කලින් එවකට මාතර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයාත් ගෙනාවා. අපේ රටේ ඉතිරිවෙලා තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ටිකත් කොටස් වෙළඳ පොළේ විකුණන්න යෝජනා ඇතුළත් අයවැයක්. විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියේ ලිහිල් කිරීම් තුළින් රට ගොඩ ගන්න බැරි බව පැහැදිලිව ඔප්පු වෙලා තිබියදී නීල හරිත හෝ පරිසරහිතකාමී පින්තාරුවක් යෙදුවට ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. තවදුරටත් රට වළපල්ලට යන සහ ජනතාවගේ බොටුව මිරිකන අයවැයක් මංගල සමරවීර ඇමතිතකුමාත් ඉදිරිපත් කර තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට පත්වීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් නිර්මාණය කළ ජනමතයට අනුව යමින් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන බවට පොරොන්දු වී තිබුණා. නමුත් ගෙවී ගිය අවුරුදු 03දී අවම තරමින් 4%ක්වත් වෙන්කරන්න ක‍්‍රියාකර තිබුණේ නැහැ. ඊටත් වඩා බරපතලම කාරණයක් තමයි අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී වැඩි මුදලක් අධ්‍යාපනයට වෙන්කළ බව පම්පෝරි ගැහුව්වත් වසර අවසානයේදී වෙන්කරන මුදලින් 25%ක් 30%ක් වගේ මුදලක් වියදම් නොකර භාණ්ඩාගාරයට යනවා. අයවැයක් ඉදිරිපත් කරනකොට ගහන පම්පෝරියට සාදාරණයක්වත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉටුවෙන්නේ නැහැ.
රාජපක්ෂ ගත්ත ණයයි මේ ආණ්ඩුව ගන්න ණයවලට සියල්ලටමයි මේ බදු ගහන්නේ. මේ ආණ්ඩුව ණය ගැනීම නතර කරලා නැහැ. ඒ නිසා රාජපක්ෂ බද්දයි, මෛත‍්‍රී බද්දයි, රනිල් බද්දයි, අලූතින් මංගල බද්දයි ඔක්කොම එකතු වෙනවා. සුපුරුදු පරිදි අයවැයෙන් විවිධ ක්‍ෂේත‍්‍රවලට මුදල් වෙන්කරන ආකාරයට මේ සැරෙත් මුදල් වෙන්කර තිබෙනවා. අයවැය යෝජනාවල තිබුණත් කිසිම ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කර නැහැ. ලස්සන වචන විතරයි. ගියවර සමස්ත අයවැයෙන්20%ක් වියදම් කර නැහැ. ළඟම පාසල හොඳම පාසල කිව්වත් අධ්‍යාපනයට වියදම් කර තිබෙන්නේ වෙන් කළ මුදලින් කොටසක් වුණු බිලියන 69ක් වගේ මුදලක්. සමහර තැන්වල ව්‍යාපෘතිය ආරම්භ කළත් කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් නොගෙවීම නිසා අතරමඟ නතර වී තිබෙනවා. ව්‍යාපෘති යෝජනා තිබුණට ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.
ගෙවී ගිය අවුරුදු 70 ඇතුළේ ඉදිරිපත් කළ අයවැය ලේඛන හොඳ වුනානම් රටට හොදක් වී තිබෙන්න ඕනෑ. නමුත් සිදුවී තිබෙන්නේ ජනතාව මත බදු බර පැටවීමයි. ඇත්තටම ජනතාවට අද වෙලා තිබෙන්නේ බදු බර පැටවීම සහ ණය කන්දක් කඩාපාත්වීම හැර ජනතාවගේ ආර්ථිකය ගොඩගැනීමට කිසිදු සාදනීය මැදිහත්වීමක් අයවැය තුළින් සිදු නොවීමයි.
ඇත්තටම අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ගෙවීමක් ජනතාව මත පටවපු එකයි. ඒ ගොල්ලන්ගේ හිතවත්කම් යාළුකම් මත තෝරගත්ත හෙන්චයියන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන්න යම් බදු සහන දෙනවා. සමහර සමාගම්වලට කෝටි ගණන් බදු සහන දී තිබෙනවා. ඒවත් පෙරලා සාමාන්‍ය ජනතාව මත පටවනවා. හැමදාමත් සිදුවුනේ ඒකයි. මේ අයවැය යෝජනාවලින් සිදුවෙන්නෙත් ඒකයි.

ස්තූතිය ජවිපෙ මාධ්‍ය ඒකකයට

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *