වැරදි කරුවන්ට හරියට නීතිය ක්‍රියාත්මක නොවුන එකතමයි මටත් තියන ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අපවත් වී අදට දෙවසරක් පිරෙන මොහොතේ අපි උන්වහන්සේව සිහිපත් කරන්නට යි මෙතෙන්ට රැස්වෙලා ඉන්නේ. උන්වහන්සේ ශාසනයට පමණක් නෙමෙයි සාමාජයටත්, රටටත් උදාර සේවයක් කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්.  තවුරුවත් බලාපොරොත්තු වුනේ නැහැ උන් වහන්සේ අපවත් වූ ආකාරයට රෝගාතුර වෙලා එසේ අපවත් වෙයි කියලා. කවුරුවත් නොහිතපු විදිහට උන් වහන්සේ රෝගාතුර වී අපවත් වී වදාළා.

උන්වහන්සෙව මම දන්නෙ මීට වසර විසිපහකට පෙර ඉදන්. ශාසනික සේවාව වගේම සමාජය තුළ තිබෙන විවිධ ගැටළු විසඳගන්න නොයෙක් අවස්ථාවල මැදිහත් වුණා. විශේෂයෙන්ම යුද්ධය පැවැති වකවානුතුළ උන්වහන්සේ මේ රටේ යුද්ධය පැවති ප්‍රෙද්ශවල ගමක් පාසාගොස් ඒ ප්‍රෙද්ශවල ජනතාවගේ සුභසාධනය ඇති කළා. යුද්දයෙන් පීඩාවට වෙච්ච ජනතාවගේ දුක සැප සොයා බැලුවා. උන් වහන්සේ විශාල කැපවීමක් ඒ කාලය තුළ සිද්ධ කළා. ඒ වගේම රට තුළ ඇති වන දේශපාලන විශමතාවයන් සමනය කරන්නට කැප වුනා. විශේෂයෙන් පහුගිය කාලය තුළ ඇති වූ රටේ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන උන්වහන්සේ රටේ අවශ්‍ය දේශපාලන පෙරළියක් සඳහා, රටට අවශ්‍ය දේශපාලන විප්ලවයක් සඳහා, රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනයක් සඳහා ඒ පිළිබඳව පොදු ජන මතය ගොඩනගන්නට උන්වහන්සේ නායකත්වය දුන්නා. එය දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් නොවෙයි. එය දේශපාලන පක්ෂයක දර්ශනයක් අනුව නොවෙයි. පැහැදිලි ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සියල්ල සත්‍යයෙන් සාධාරණත්වයෙන් ඉටු විය යුතුයි කියන ඒ විශිෂ්ට ගුණාංගය තුළ තමයි උන්වහන්සේ කටයුතු කළේ.

එහි විශේෂ සංධිස්ථානයක් වශයෙන් තමයි උන්වහන්සේ ගෙනා පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සංකල්පය. පසුගිය ජනාධිපතිවරණයෙදි, පොදු අපේක්ෂක සංකල්පය මුල් කරගෙන උන්වහන්සේ නායකත්වය දෙමින්, ඒ සඳහා එකතු කළයුතු එකතු කළ හැකි දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සමාජ සේවා ආයතන, විවිධ පුද්ගලයින් ඒකරාශි කරමින් උන්වහන්සේ ඉතාමත් සාර්ථක උත්සාහයක යෙදුනා. උන්වහන්සේගෙ උත්සාහය ප්‍රතිඵල ලබා ගත්තා.

මගේ මතකයේ හැටියට විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ආරම්භක වූ අවස්ථාවේ සිටම ඊට ඇති වෙච්ච විරෝධය වගේම, ජනධිපතිවරයෙක් තෝරාගැනීමට පවත්වපු 1982 පළවෙනි මැතිවරණයේ සිටම සෑම අවස්ථාවකම පොදු අපේක්ෂකයෙක් පිළිබඳ මතයක් ගොඩනැගුවා. නමුත් ඒ එකම ජනාධිපතිවරණයකදීවත්, ඒ ජනාධිපතිවරණ පසුබිමේ පොදු අපේක්ෂක සංකල්ප ජයග්‍රහණය කරන්නට පුළුවන් වුනේ නෑ. උන්වහන්සේගේ උතුම් විශිෂ්ඨ ශ්‍රේෂ්ඨ නායකත්වය තුළ ඊට සම්බන්ධ වූ සියලුම දේනාගෙ කැපවීම තුළ ඒ ශේෂ්ඨ සංකල්පය පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළා. ඒ පොදු අපේක්ෂකයෙක් තෝරාගැනීමත් ඉන්පසුව මැතිවරණයට මුහුණ දීමත්, මැතිවරණ ජයගහණය කිරීමත් ඒවා සරල පහසු දෙයක් නොවේ. ඉතාමත් සංකීරණ වූ ඉතාමත් ගැටළු සහගත වූ  තත්ත්වයක් නිර්මාණය කෙරුවා. නමුත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ඊට නායකත්වය දුන්න සියලු දේශපාලන නායකයින්, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ඒ වගේම ආගමික සංවිධාන මේ සියල්ල ඒ සඳහා විශාල කැපවීමක් කෙරුවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රටේ මැතිවරණ ඉතිහාසයේ රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල කිසිදු ආකාරයකට අයතා විදිහට පාවිච්චි නොකර, කිසිම මැතිවරණයකට තිබුණට වඩා ඉතාමත් බලවත් ලෙස රාජ්‍ය දේපල, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම්, රාජ්‍ය බණ්ඩාගරය, රාජ්‍ය මාධ්‍ය ඒ සියල්ලම පාවිච්චි කරල කරපු මැතිවරණ ව්‍යාපාරයකටයි අපි මුහුණ දුන්නෙ.

මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක්, මේ රටේ කිසිම අගමැතිවරයෙක් මම තරම් දේශපාල ප්‍රතිවාදින්ගේ ප්‍රහාරවලට මුහුණ දීලා නෑ. ඔබට මතක ඇති පැල්මඩුල්ල රැස්වීම, මම කතාකරන වෙලාවෙ තමයි තමයි වේදිකාවට ගල්මුල් ගැහුවෙ, ප්‍රචණ්ඩත්වය මුදාහැරියෙ. ඒ වගේම මම කතා කරන්න යන්න හිටිය වේදිකාවල් ගිනිතිබ්බා. රාජ්‍ය මාධ්‍ය කිසිම මැතිවරණයකදී හැසිරුනේ නැති ආකාරයට ඉතාම අශිලාචාර විදිහට රාජ්‍ය මාධ්‍ය හැසිරුණා. රජයේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙව්වා. ඒ සියල්ලත් සමඟ අවසානයේ ජනතාව ජයග්‍රහණය කෙරුවා.

ජනතාව ජහග්‍රහණය කරපු අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා රජය බාරගත් අයගේ වගකීම කොතෙක් දුරට ඉෂ්ට වී තිබෙනවද කියල අපි විසින් සමාලෝචනය කළ යුතු වෙනවා. මට කිවහැකි දේවල් වගේම කිව නොහැකි දේවලුත් තියනවා. අපි ඒ වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වෙ ඇයි? සාමාන්‍යයෙන්අපේ ආණ්ඩුව ගැන ආදරයෙන් කතාකරන අයත් කියනව යහපාළන ආණ්ඩුව කියල, ආණ්ඩුව අපහාසයට හා උපහාසයට ලක් කරන අයත් කියනව යහපාලන ආණ්ඩුව කියල. යහපාලනය කියන වචනය ගැන පොත් කොච්චර ලියන්න පුළුවන්ද? යහපාලනය කියන එක කොතරම් විෂය කේෂත්‍රයක් තුළ කතා කරන්න පුළුවන්ද? අපි හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්න ඕනැ. වැරදි කරපු මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරනව වගේම, වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙනව වගේම, තමනුත් වැරදි නොකර සිටිය යුතුයි. සරත් විජේසූරිය මහාචාර්යතුමාගේ කතාව යෝජනාවක් නම් මම සියයට සීයක් ඒක ස්ථිර කරනව.

මේ බොහෝ දේවල් මගේ මට්ටමෙන් මම කරල තියනව. කරගෙන යනව. ලබන ජනවාරි 8 ට අවුරුදු 3ක් පිරෙන ආණ්ඩුවේ අපි ලබපු ජයග්‍රහණ රාශියක් තියෙනව. අපි ලබපු ජයග්‍රහණ ගැන ආණ්ඩුවෙ මැති ඇමතිවරු කීදෙනාද කතා කරන්නෙ? අපි ආණ්ඩුවක් හැටියට කරල තියන වැඩ කීදෙනාද කතා කරන්නෙ?  එක එක අමාත්‍යාංශ යටතේ කරල තියෙන සේවාවන් ගැන කීදෙනාද කතා කරන්නෙ? 19 වැනි සංසෝධනයේ වැදගත්කම කීදෙනාද කතා කරන්නෙ? පහුගිය ආණ්ඩුව කරන්න නොදුන්න ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කළ වෙනස ගැන කවුද කතාකරන්නෙ? මේ රටේ මනාප ඡන්ද ක්‍රමය ආරම්භ වෙච්ච දවසෙ ඉඳලා ආශීලාචාර දේශපාලනයක් නිර්මාණය වුනා. අපිට පුළුවන්වුණා ඒක අහෝසි කරන්න. ඒවා කවුරුත් කතා කරන්නෙ නෑ.

උදේ හිටන් රෑ වෙනකම් රාජ්‍ය මාධ්‍ය කෙසේ වෙතත් රාජ්‍ය නොවන මාධ්‍යවල ආණ්ඩුවට බනින බැනිලි මිසක් ඒ යහපත් දේවල්, කරපු දේවල් ගැන කතාවක් නෑ.

අද අපිට හොඳට දැනෙන පෙට්ට්‍රල් ප්‍රශ්නය ගැන සමහරු මගේ කෑලි හලනවා. සමහරු හිතාගෙන ඉන්නවා මම තමයි පෙට්ට්‍රල් බෙදන්නෙ කියලා ෂෙඩ්වල. ඉස්පිරිතාල වැඩ වර්ජනයක් වුණාම මට බනිනවා. සමහරු හිතනවා ඇති මම තමයි ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නෙ කියලා. පාසැලට ළමයෙක් දාගන්න බැරිවුණාම ජනාධිපති තමයි වැරදි කාරයා. හිතන්ඉන්නෙ ජනාධිපති තමයි ළමයි ඉස්කොලවලට දාන්නෙ කියල. මේකට හේතුවක් තියනවා. ජනතාවගේ පැත්තෙන් එහෙම හිතන එක හරි. හේතුව ජනාධිපතිවරු විසින් ඒ දේවල් කරලා ජනතාවට පුරුදුකරලා තියනවා. මේ රටේ ජනාධිපතිවරු පෙට්ට්‍රල් ෂෙඩ්වල තෙල් ගහපු නැති එක විතරයි ඒ කාලේ නොකළෙ. අනිත් ඔක්කොම කෙරුවා. ඒක තමයි ඇත්ත තත්ත්වය ඒ නිසා රටේ ප්‍රශ්නයක් ඇති වුණාම මිනිස්සු හිතනවා ‘ජනාධිපති මේක හරියට කරලා නෑ. ඒක එයා හරියට බලලා නෑ, කියලා.

අපි සම්මුති ආණ්ඩුවක් වශයෙන් කටයුතු කරනවා නම් අපි ඒ කතාකළ යහපාලනය, සමාජ සාධාරණත්වය, නීතියේ අධිපත්‍ය ඒ සියල්ල තියෙන්න ඕන. වැරදි කරපු ඕනෑම කෙනෙකුට වැරැද්දට විරුද්ධව ක්‍රියා කිරීම, දඬුවම් කිරීම හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒක ක්‍රියාත්මක නොවුන එක තමයි මටත් තියන ප්‍රශ්නය. වැරදි කරුවන්ට දඬුවම් දෙනවා වගේම තමනුත් වැරදි නොකර සිටිය යුතුයි.

මනෝජ් රූපසිංහ

.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *