ඇතැම් භින්ෂුන් වහන්සේලා, අද කරන්නේ බුදු දහමට නිග්‍රහයක්-මහාචාර්ය සරත් විජේසූරිය

සාධාරණ සමාජයක් රට වැසියන්ට උරුම කිරීම උදෙසා, විධායක ජනාධිපති පදවිය අවසන් කළ යුතුය යන කාරණාව සෝභිත හිමියන්ගේ ප්‍රධාන මතවාදය වන්නේය. එය ඉටු කරන මෙන් උන් වහන්සේ ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගෙනි. එතුමා ඒ ඉල්ලීම මායිම් නොකළේය. එතුමා ඒ වෙනුවට කළේ දිවි තිබෙන තුරා ජනාධිපති පදිවිය දැරීමට නෛතික අවකාශයක් උදා කර ගැනීම ය. මේ පසුබිම තුළ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට පොදු අපේක්ෂකයකු තෝරා ගැනීමට ද සෝභිත හිමියන් නායකත්වය දෙන්නේ ය. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීම පිළිගැනීම උදෙසා අනෙකුත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකම වේදිකාවකට කැඳවීම සිදු කරන්නේ සෝභිත හිමියන් ය. විවිධ මතබේද මත බෙදී සිටි පුද්ගලයන් සෝභිත හිමියන්ට ඇහුම් කන් දීමට කැමති වීම නීති ගරුක පුරවැසියන්ගේ භාග්‍යයක් වූ බව සඳහන් කළ යුතුය.

2015 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ ය අකර්මන්‍ය කර තිබුණ පසුබිමකය. විධායක ජනාධිපති ක්‍රමය බුක්තියට සවි කර තිබුණ සංදර්භයකය. ධනය සහ බලය අසීමිතව උරුම කර ගනිමින් හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට හිමි විය යුතු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය වසා දමා තිබුණ මර්ධනකාරී රාමුවකය. අධිකරණය බෙලසුන් කර මාධ්‍ය හීලෑ කරගෙන තිබූ තත්ත්වයක් යටතේය. ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් පුරවැසියන් වහලුන් ලෙස සලකා කටයුතු කරමින් සිටි ගොරබිරම් අවධියකය. එහෙත් සෝභිත හිමියන් අකම්පිතව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් වෙනුවෙන් ඉදිරියට පියවර තැබීය. උන්වහන්සේගේ ඒකායන ප්‍රර්ථනාව වූයේ ජනවාරි 08 ජයග්‍රහණය සමගින් ශීලාචාර – නීතිගරුක යහපත් රාජ්‍ය පාලනයක් ප්‍රතිෂ්ඨාපනය වනු දැකීමය. එහෙත් අද තත්ත්වය කුමක්ද? අද අපට පෙනී යන්නේ හරි හම්බ කරගැනීමේ දේශපාලනය ජනවාරි 08 වෙනිදාවත්, අගෝස්තු 17 වෙනිදාවත් ලංකේය දේශපාලන සංස්කෘතියෙන් ඉවත් කිරීමට ජනතාවට නොහැකි වූ බවයි. දූෂනය හා බැඳුණ පුවත් දිනෙන් දින වැඩි වර්ධනය වේ. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනෙකුට තමන් දැරූ පදවි අත් හරින්නට සිදු විය. එය එදා තත්ත්වය සමඟ සසඳන විට සාධනීය වෙනසක් වුව, එය උදම් ඇනීමට නම් හේතුවක් නොවේ.

පරාජිත බලවේග අදටත් ජනමාධ්‍ය භාවිත කරන අන්දම,  රාජ්‍ය දේපළ පරිහරණය කරන අන්දම, ඉතාම අවලස්සණ තත්ත්වයක පවතී. ඇතැම් මාධ්‍ය ආයතන බල අරගලයට උඩ‍ගෙඩි දෙන අතර, ස්වකීය ව්‍යාපාරවල අභිවෘද්ධිය අරමුණු කරගෙන මාධ්‍ය හසුරුවන තත්ත්වයක් දක්නට ඇත. පරාජිත බලවේග අධිකරණය තමන් අභිමත අන්දමින් හසුරුවන බව කූප්‍රකට රහසකි. මේ තත්ත්වය යම් අන්දමකින් නැවත ගමන් කරන්නේ මර බිය පවතින සමාජයකට ද? අද නීති ගරුක පුරවැසියන් අබිමුව තිබෙන බරපතල ගැටලුව එය වන්නේය.

අලුත් ව්‍යවස්ථාව පදනම් කරගෙන රට ජාතිය ආගම ගැන ආවේගශීලී ව කතා කරමින්, වෛරය පතුරවමින් ඇතැම් භින්ෂුන් වහන්සේලා, අද දවසේ කරන්නේ බුදු දහමට නිග්‍රහයකි. තරුණ භික්ෂූන් වහන්සේලාට පරමාදර්ශයක් බවට පත් කරගත යුතු සෝභිත හිමියන් අනුදත් මාර්ගය අවබෝධ කරගනිමින් රටේ අභිවෘද්ධියට දායක වීම වෙනුවට කරන්නේ රටේ විනාශයට තුඩු දෙන අන්දමට ජාතිවාදය පැතිරවීමය. ‍ සෝභිත හිමියන් ස්වකීය ජීවිතයේ අවසාන භාගයේ දී තමන් වහන්සේව ආවර්ජනය කළ අන්දම ප්‍රශස්තය. ඒ බව උන් වහන්සේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරිපත් කළ දසවැදෑරුම් යෝජනාවලියෙන් මනාව පැහැදිලි වන්නේය.

සිවිල් සමාජය කෑ මොර දෙන විට දූෂණ හෝ අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නවා. ගන්න පරක්කුවෙන් ඇප ලබාදෙනවා. අධිකරණය මඟ හරිමින් සිටි කුමාරයකුගේ ලේකම්වරියක් පසුගිය දා ලංකාවට පැමිණියා. ඇයව ගුවන් තොටුපළෙන් උසාවියට කැඳවාගෙන ආවේද රජයේ වියදමින්. අධිකරණය මඟ හැරීම වරදක්. ඒත් ඇයට ඇප ලැබෙනවා. තාජුඩීන් ඝාතනයට අදාළ ප්‍රධාන පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ අංශ පියවර ගන්නේ අපමණ වෙහෙසක් ගෙනයි. ඔහුට වහාම ඇප ලැබෙනවා. එදින නීතිපති දෙපාර්ථමේන්තුවේ අදාළ නිලධාරියා අධිකරණයට එන්නේ නෑ. රටම කළඹා තිබෙන නඩුවකට අදාළ ප්‍රධාන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ අවසරය ලැබුණු පසු, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ විට නීතිපති දෙපාර්ථමේන්තුවෙන් උසාවියට නොපැමිණීම පවසන්නේ කුමක් ද?  ඔහු නොපැමිණෙන්නේ අමතක වීමෙන් විය නොහැකියි. අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයාට නිසි රැකවරණය ලැබෙණ බවට ලැබුණ සහතිකය තමයි ඇප ලබා දීමෙන් සනාථ කර ඇත්තේ. නීතිපති දෙපාර්ථමේන්තුවෙන් නොපැමිණෙන්නේ ඇමති අයියා කෙනෙක් මල්ලිලා වෙනුවෙන් කැපවී කටයුතු කරන නිසා බව කූප්‍රකට රහසක්. මෙවැනි ඛේදයකට ද ජනවාරි 08 වෙනිදා නීති ගරුක පුරවැසියන් කැප වුණේ? මේවායින් සනාථ වන්නේ නීතිය අවලස්සණ අන්දමට අව භාවිත කරන බව මිස අනෙකක් නොවේ.

මහාචාර්ය සරත් විජේසූරිය මහතා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණානුස්මරණ උත්වයේ දී කළ කතාවෙන් උපුටනයක්.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *