විප්ලවයක ඉරණම – සී.ජේ අමරතුංග

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම නිමිත්තෙනි

පසුගිය සියවසේ ලොව හෙල්ලූ සිදුවීමේ ශත සංවත්සරය නොවැම්බර් හත්වෙනිදාට යෙදී තිබිණි. ඒ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීමේ අවස්ථාවයි. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද එය සමරන ලද්දේ අති උත්සවාකාරයෙනි. එයට බොහෝවිට මුල් වූයේ වාමාංශික පක්ෂ හා කණ්ඩායම් වුවද ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ද එක්ව සිටිනු දක්නට ලැබිණි. සියලු දෙනාම ඔක්තෝබරය සැමරුවේ එකම හැඟීමකින්ද යන්න සැක සහිතය. ඇතැමුන් එය ඉතා භක්තියෙන් සමරන ලද්දේ තවත් එබඳු විප්ලව සිදුවිය යුතු යැයි ප්‍රාර්ථනය කරමිනි. තවත් පිරිසකට එය අතීතයේ ලොව වෙනස් කළ සිදුවීමක් ලෙස පමණක් වැදගත් වූවා විය හැකිය. විප්ලවයේ අරමුණු ගැන භක්තියක් තිබූ ඇතැමුන්ට එයින් බිහිවූ දේශයේ නැතහොත් සමාජ ක්‍රමයේත්, පාලනයේත් ස්වරූපය හා හරය පිළිබඳව ප්‍රශ්න තිබුණු බවද පැහැදිලි කාරණයකි.

ඔක්තෝබර් විප්ලවයෙන් බිහිවූ දේශය හඳුන්වන ලද්දේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය වශයෙනි. කොමියුනිස්ට් පක්ෂ පාලනයක් පැවැති එය ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය ලෙස හඳුන්වනු ලැබීය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ මෙන්ම ආසියාවේද සමාජවාදී රාජ්‍ය කිහිපයක් ඇතිවිය. මේ වන විට ඒ කිසිවක් ඒ ආකාරයෙන් නැත.

සෝවියට් දේශයේ මෙන්ම නැගෙනහිර යුරෝපයේ පැවැති සමාජවාදී ලෙස හැඳින්වූ රාජ්‍යයන් කිසිවක් අද නැත. එම රාජ්‍යයන්හි ආණ්ඩු බලය වෙනස් කරන ලද්දේ ජනතා නැගිටීම් මඟිනි. චීනය හා වියට්නාමය කොමියුනිස්ට් පක්ෂ මඟින් පාලනය වුවද සෝවියට් ක්‍රමයට වෙනස් විවෘත වෙළෙඳ පොළ ආර්ථික ක්‍රම වෙත යොමු වී ඇත. උතුරු කොරියාවේ පවතින්නේ එක්තරා ආකාරයක අත්තනෝමතික පාලන ක්‍රමයකි. එම ක්‍රමය සාධාරණීකරණය කිරීමට පෙනී සිටින්නකු සොයා ගැනීමට පවා නැත. දැන් අපට කතා කරන්නට සිදුව තිබෙන්නේ ඔක්තෝබර් විප්ලවයට හා එය විසින් ලොවට හඳුන්වා දුන් සමාජවාදී යයි කියාය. සමාජ ක්‍රමයට සිදුවූයේ කුමක්ද යන්න ගැනය.

එකම වසරේ විප්ලව දෙකක්

එක්දහස් නවසිය දහහතේදී රුසියාවේ විප්ලව දෙකක් සිදුවීය. පළමුවැන්න පෙබරවාරි විප්ලවයයි. සාර් රජුගේ පාලනය අවසන්කොට රාජාණ්ඩු ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බිහිකිරීම එම විප්ලවයේ කාර්යභාරය වී තිබිණි. එයට විවිධ පක්ෂ හා කණ්ඩායම් එක්ව ක්‍රියා කිරීමක් දක්නට ලැබිණි.

ලෙනින්ගේ නායකත්වයෙන් ඔක්තෝබර් විප්ලවය දියත් වන්නේ පෙබරවාරි විප්ලවයෙන් පත්වූ පාලකයන් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයෙන් ඉටු නොකරන පසුබිමකය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨ ප්‍රබලව මතුකරනු ලැබිණි. ප්‍රධාන සටන් පාඨයක් වූයේ ‘සියලු බලය සෝවියට සභාවලට’ යන්නයි. සෝවියට් සභා යනු මහජන නියෝජිත ආයතනයි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කැඳවීමද තවත් සටන් පාඨයකි. ලෙනින් සහ බොල්ෂෙවිකයන් බලය ගත්තේ මෙම ඉල්ලීම් හා සටන් පාඨ ඉදිරියට දමමිනි.

අනෙක් අතට ලෙනින් තම පක්ෂයට හා රටට කීවේ මෙය සමාජවාදි විප්ලවයක් වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු ඉටු කරමින් සමාජවාදය කරා ඉදිරියට යෑම ඔහුගේ ඉදිරි දර්ශනය වී තිබිණි.

කෙසේ වෙතත් ඔක්තෝබර් විප්ලවයෙන් බලය ලබාගත් බොල්ෂෙවිකයන් සියලු බලය සෝවියට් සභාවලට දුන්නේ නැත. සෝවියට් සභා බලය රහිත ආයතන බවට පත්කරමින් කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩුවක් පවත්වාගෙන ගියේ කම්කරු පංතියේ ආඥාදායකත්වය යැයි නම් කරමිනි. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසුරුවා හරින ලද්දේ ගමේ සිදුවූ බල වෙනස ඉන් පිළිබිඹු නොවන බව කියමිනි. එයට නැවත මැතිවරණයක් පැවැත්වූයේද නැත. පුවත්පත් නිදහස ද අහෝසි කළේය. අනෙක් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරන ලද්දේ ධනපතියන්ට ප්‍රජාතන්ත්‍රවාදය දීම කම්කරු පංති පාලනයක් මඟින් නොකළ යුතු බව කියමිනි.

මුල් කාලයේ මෙම කොමියුනිස්ට් පක්ෂ පාලනය ගෙන ගියේ යුරෝපයේ සමාජවාදී විප්ලව ඇතිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එකල විශ්වාසය වූයේ සමාජවාදය තනි රටක බිහි කළ නොහැකි බවයි. එය රාජ්‍යයන් විශාල ගණනක නැතහොත් ලෝකයේම එකවිට සිදුවිය යුත්තක් බවයි. එම විශ්වාසය මත මුල්කාලයේ සෝවියට් දේශය පවත්වාගෙන ගියේ ලෝක විප්ලවයක් සිදුවන තෙක් කම්කරු රාජ්‍යය රැකගත යුතුය යන අදහස ඇතිවය.

කෙසේ වෙතත් ලෙනින් හා බොල්ෂෙවිකයන් බලාපොරොත්තු වූ පරිදි යුරෝපයේ විප්ලව සිදුවූයේ නැත. එම විප්ලවකාරී ව්‍යාපාරද පරාජයට පත්විය. සෝවියට් දේශය තනිවිය. ඔක්තෝබර් විප්ලවය සැබෑ අර්බුදයකට මුහුණදෙන්නේ මේ අවස්ථාවේදීය. එම කාලයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ නොයෙකුත් ගැටුම් ඇතිවිය. එහිදී පළමුවෙන් සිදුවන්නේ ලියොන් ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කිරීමය. එම ගැටුමෙන් පසුව වඩා බලවත් වූ පක්ෂයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් ඊළඟට හැරෙන්නේ පක්ෂයේ ප්‍රධාන නායකයන් දෙදෙනකු වන ලෙව් කමනෙව් හා ග්‍රෙගරි ඩිනොවියොව් වෙතටය. මෙම ගැටුම් ගැන විවිධාකාර අර්ථකථන ඇතත් ඒ සියල්ලට යටින් දිවෙන හේතුව සෝවියට් දේශයේ ක්‍රියාත්මක කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ මත ගැටුම බව පැහැදිලි කාරණයකි.

මේ කාලයේ තනි රටක සමාජවාදය ගොඩනැඟීම යන න්‍යාය පිළිගත් ජොෂෆ් ස්ටාලින් එරටෙහි සියලු ආර්ථික කටයුතු රාජ්‍ය පාලනයට ගැනීමට කටයුතු කළේය. ගොවිජනයා සාමූහික ගොවිපළ ක්‍රමයට යොමුකරන ලද්දේ ස්වේච්ඡාවෙන් නොව බලහත්කාරයෙනි. එම බලහාත්කාර ක්‍රියාවලිය තුළ දස දහස් ගණන් ජනයා මරා දැමූ බවත් වාර්තා වී ඇත. ඒ එම ජනය මෙම ක්‍රමයට විරුද්ධවීම හා තම දේපළ රැකගැනීමට සටන් වැදුණු නිසා බව සිතා ගැනීම අපහසු නැත. එසේ වුවද ජොෂෆ් ස්ටාලින්ගේ මර්දනකාරී ක්‍රියාවලිය සාධාරණීකරණය කරන ලද්දේ ඒ සියල්ල කරන්නේ පංති රහිත සමාජයක්, එනම් සමාජවාදී සමාජයක් ගොඩනැඟීම සඳහා බව කියමිනි. ප්‍රචාරය කරමිනි. මෙහිදී ප්‍රධාන ප්‍රතිපත්තිය වූයේ අන්තය විසින් ක්‍රමය සාධාරණීකරණ කරන්නීය යන්නයි. එනම් උතුම් අරමුණකට ළඟාවීමට ඕනෑම පහත් ක්‍රමවේදයක් යොදාගැනීම වරදක් නොවන බවය.

ස්ටාලින්ගේ ක්‍රමවේදය වූයේ දරුණු මර්දනයයි. තමන් සමාජවාදය යැයි ගොඩනඟන දෙය සමාජවාදය යැයි නොසිතන සියලු දෙනා ඔහුගේ මර්දනයට ලක්වීය. එහිදී වැඩිම මර්දනය එල්ලවූයේ කොමියුනිස්ට් පක්ෂයේම නායකයින්ටය. බොල්ෂෙවික් පක්ෂයේ නායක ත්‍රිමුර්තියක් ගැන (ටොයිකා) එකල බොහෝ දෙනා කතා කළහ. ඒ ලෙනින් – කමනෙව් හා සිනොවියොව් ගැනයි. ලෙනින් මියගියද කමනෙව් හා සිනෙවියොව් ජීවත්ව සිටියහ. ඔවුන්ට මරණය උරුමවූයේ 1933දී පැවැති මොස්කව් නඩු විභාග මඟිනි. එහිදී සෝවියට් ක්‍රමයට ද්‍රෝහීවීමේ චෝදනාව ඔවුන්ට එරෙහිව නඟන ලද අතර එයට ඔවුහු වරද පිළිගත්ත. ඉතිහාසඥයන් කියන්නේ ඔවුන්ගේ අඹු දරුවන් ඥාතීන් මරා දමන බවට තර්ජන එල්ල වූ නිසා වරද පිළිගත් බවයි.

ආදරවන්තයාට මරණය

ප්‍රධාන මාක්ස්වාදී නායකයින් ඝාතනයේ දෙවන වටය ස්ටාලින් 1936 දී ක්‍රියාත්මක කළේය. එහිදී ඝාතනයට ලක්වූයේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා හා ආදරවන්තයා ලෙස ලෙනින් හැඳින්වූ මිහායිල් බුකරින් ඇතුළු කණ්ඩායමකි. බුකරින්ද පක්ෂයට ද්‍රෝහීවීමේ වරද පිළිගත්තේය. ඒ සමඟම තම පණිවිඩය ලොවට කියන්නට බුකරින් තමන්ට එරෙහිව පරීක්ෂණය කළ උසාවිය යොදාගත් බවක් පෙනෙන්නට තිබිණි. එම අධිකරණයට බුකරින් කීවේ තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වූයේ රුසියාවේ සුළු නිෂ්පාදකයින්ගෙන් හා ව්‍යවසායකයින්ගෙන් සැදුම්ලත් ධනපති ක්‍රමයක් බිහිකිරීමට බවයි. ජොෂෆ් ස්ටාලින් ගොඩනැඟූ රාජ්‍ය ධනවාදී ක්‍රමය ඇත්ත සමාජවාදයක් නොවන බවට අදහසක් බුකරින්ගේ විවේචනය තුළ ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම මොස්කව් නඩු විභාග කෙතරම් ව්‍යාජද යන්න බුකරින් සම්බන්ධ තවත් සිදුවීමකින් අනාවරණය විය. 1953 දී ස්ටාලින් මියගිය විට ඔහුගේ මේස ලාච්චුවක තිබී කුඩා ලිපියක් සොයාගනු ලැබිණි. එහි වූයේ ‘කොබා ඔබට මා මරා දමන්නට අවශ්‍ය වී ඇත්තේ අයි?’ යනුවෙනි. ලිපිය බුකාරින්ගේ අත් අකුරිනි. මේ දෙදෙනා අතර සබඳතාවය හා ස්ටාලින්ගේ පාලනයේ කෲරත්වයද එමඟින් පෙන්නුම් කෙරිණි.

ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතරින් ස්ටාලින්ගේ මරණ දඬුවමින් බේරුණේ අලෙක්සැන්ඩ්‍රා කෙ‍ෙලන්නායි පමණි. ස්ටාලින්ගේ සෝවියට් සමාජවාදය බිහිවූයේ එලෙස කොමියුනිස්ට්වාදීන් මරා දමමිනි. මෙය ඇත්ත සමාජවාදයක් නොවන බව එවකට හිටි බොහෝ කොමියුනිස්ට්වාදීන් දැන සිටියහ. මාක්ස්වාදී නායකයකු වූ කාල් ‍කෞට්ස්කි 1933 දී ලියුවේ “ලෝක කම්කරු ව්‍යාපාරයට විශාලතම තර්ජනය වන්නේ සෝවියට් දේශය බිඳවැටීම නොව එය දිගටම පැවතීම“ බවයි.

සමාජවාදය යනු පංති රහිත සමාජයකි. එය පදනම් විය යුතු වන්නේ සාමුහිකත්වය මතයි. සෝවියට් දේශයේ පැවැතියේ ව්‍යාජ සාමුහිකත්වයකි. කම්කරු පංතියක් තවදුරටත් පැවැති එරටේ පැවැතියේ නිලධාරී තන්ත්‍රයක පාලනයකි. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතුණේද නැත. මිනිස් අයිතිවාසිකම්ද නොතිබිණි. තමන්ට අවස්ථාව ලැබුණු විට මහජනයා නැඟිට එය පෙරළා දැමුවේ එහෙයිනි.

ධනපති ක්‍රමය යටතේ නිෂ්පාදනය, බෙදාහැරීම ආදිය සිදුවන්නේ වෙළෙඳපොළ මූලධර්ම අනුවය. සෝවියට් ක්‍රමයේදී එය සිදුවූයේ මධ්‍යගත සැලසුම් ක්‍රමවේදයන් අනුවය. එයට කළ හැකි‍දේ මෙන්ම නොහැකි දේ ද තිබිණ. සපත්තු හදන්නට හරක් හම් අවශ්‍ය ප්‍රමාණය ලබාගන්නා විට මස් නිෂ්පාදනය අතිරික්ත විය හැකිය. එය අනෙක්පසටද සිදුවිය හැකිය. ඛනිජ තෙල්වලින් පෙට්‍රල් ඩීසල් මෙන්ම තවත් බොහෝ නිෂ්පාදන ලැබේ. ඒ සියල්ල එක් සැලසුමකින් විසඳිය හැකිද යන්න ගැටලුවකි.

සෝවියට් ක්‍රමයේ ඇති ලොකුම ගැටලුවක් නම් නවීකරණයට පෙලඹීමක් නොවීමයි. ධනපති ක්‍රමය යටතේ නවීකරණය සිදුවන්නේ තරගකාරී නිෂ්පාදනය නිසා බව කීවේ සමාජවාදයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන කාල් මාර්ක්ස්ය. ඔහු කීවේ තරගයේ බලහත්කාරී නීතිය නිසා දිගින් දිගට තම නිෂ්පාදන ක්‍රම නවීකරණය නොකර ධනපතියන්ට පැවතිය නොහැකි බවයි. ධනපති ක්‍රමය මේ දක්වා දිගින් දිගට පැවතීමේ රහස එයයි.

මේ වන විට ලෝකයේ මහා ධනපතියන් වී සිටින්නේ ලොවට නව නිෂ්පාදන දායක කළවුන් බව අමතක කළ නොහැකිය. බිල් ගේට්ස් යනු ‘පෞද්ගලික පරිගණකය’ හඳුන්වා දුන් තැනැත්තාය. ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගම මඟින් අයි ෆෝන්, අයි පෑඩ් ආදිය හඳුන්වා දුන්නේය. අන්තර්ජාලය, ෆේස් බුක් හා යූ ටියුබ් වැනි අඩවි නිර්මාණය කළෝ කොටිපතියෝ වී සිටිති. එලෙස මෙම ක්‍රමය තුළ විවිධ මට්ටම්වලින් නිතර නිතර නව නිර්මාණ බිහිවන අතර තාක්ෂණය වර්ධනය වෙයි. සමාජය ඉදිරියට යනනේ ඒ සියල්ලෙනි.

සෝවියට් ක්‍රමය බිඳ වැටුණේ ඇයි?

සෝවියට් සමාජවාදී ක්‍රමය යටතේ මෙබඳු කිසිවක් සිදුවූයේ නැත. අභ්‍යාවකාශ ගමන්, යුද උපකරණ, න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ හැකියාව ඔවුනට තිබිණි. එසේ වුවද මහජනයාගේ උපයෝගිතා සැපයුමේදී නවීකරණය වන්නට එම ක්‍රමය තුළ ගතිකයන් තිබුණේ නැත. අඩු තරමින් නව මෝටර් රථ තාක්ෂණයක්වත් සෝවියට් ක්‍රමය තුළින් බිහිවූයේ නැත. එම ක්‍රමය බිඳවැටීමට මෙය ප්‍රධාන හේතුවකි. එමෙන්ම අනාගතයේ ධනපති ක්‍රමයට විකල්පයක් සොයන ඕනෑම සමාජවාදියකු මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයාගත යුතුව ඇත.

ඔක්තෝබර් විප්ලවයේ නායක ලෙනින් සමාජවාදය ගැන කියූ බොහෝ දේ සොවියට් ක්‍රමය තුළ තිබුණේ නැත. ලෙනින් කතා කළේ දිය වී යන ‍රජයක් ගැනයි. සෝවියට් දේශයේ තිබුණේ ශක්තිමත් වූ රජයකි. කොමියුනිස්ට් ක්‍රමයක් තුළ මුදල් ද අහෝසි විය යුතුය. එවැනි තත්ත්වයක් සොවියට් දේශයේ නොතිබිණි.

මේ දුර්වලතා සියල්ල තිබියදී රුසියානු විප්ලවය ලොවට විශාල දායාදයක් ලබා දී තිබේ. එනම් සමාජවාදය පිළිබඳ දර්ශනයයි. එනම් සමාජයේ පංති අහෝසි කළ යුතු බවට හා දේපළ එක් පංතියක් අත තිබීමේ ක්‍රමය අවසන් කළ යුතු බවට එන හැඟීමයි. ඔක්තෝබර් විප්ලවයෙන් පසුව බිහිවූ සෝවියට් සමාජ ක්‍රමය බිඳ වැටුණේද සැබෑ සමාජවාදී සමාජයක අවශ්‍යතාවය පිළිබඳ එමඟින් බිහිකළ මතවාදය තවමත් නොනැසී පවතියි. එය ඔක්තෝබර් විප්ලවයෙන් ලොවට ලැබුණු ලොකුම දායදයයි.

නවසිය හැත්තෑ ගණන්වලදී ස්ටාලින්වාදය වෙනුවෙන් පෙනී සිටි මාක්ස්වාදී බුද්ධිමතකු වන ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතා පසුකාලීනව කතා කළේ සෝවියට් දේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හා නිකොලොයි බුකාරීන්ගේ ඉරණම පිළිබඳවයි. එහිදී ඔහු නිතර මතක් කළ කෘතියක් නම් ආතර් කොස්ට්ලර්ගේ ‘මධ්‍යාහිනයේ අඳුර’ නම් නවකතාවයි. සෝවියට් දේශයේ බොල්ෂේවික් විප්ලවයේ නායකයකුගේ චරිතය වටා ගෙතී ඇති එහි එම ප්‍රධාන චරිතය වන රොබෂොව් යනු බුකාරින්ගේ චරිතය බව ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ගේ අදහස විය. පසුකලෙක ජෝ සෙනවිරත්න විසින් එය සිංහලට නඟා තිබුණි.

එහි රොබෂොව් සිය සිරකුටිය තුළ සිටින අවසන් දිනවල මෙසේ කල්පනා කළ බව සඳහන්ය.

‘ඇත්තෙන්ම පසුව, ඉතා කල් ගොස්, නව ධජයක් යටතේ නව ව්‍යාපාරයක් බිහිවනු ඇති. එයට ආර්ථිකවාදයේ විනාශය ගැන මෙන්ම සමුද්‍රයක් බඳු හැඟීම් ගැන ද වැටහීමක් තිබෙනු ඇත. පූජකයින්‍ සේ හැසිරෙන නව පක්ෂයේ සාමාජිකයන් කැපවනු ඇත්තේ යොදාගන්නා ක්‍රමවේදයේ පිරිසිදු බව විසින්ම පමණක් ගොඩනඟන අන්තයේ සුජාතභාවය සහතිකවනු ඇති බවටයි’

රොබෂොව්ගේ ප්‍රාර්ථනය වූ නව ව්‍යාපාරය ගොඩනැ‍ඟෙනතාක් බලා සිටිමු ද? එය ගොඩනඟන්නට කැපවෙමු ද?

සී.ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *